1948 දරුවෝ…..
ඒ කාලේ අට වසරටත් ශිෂ්‍යත්ව විභාගයක් තිබුනා.
එහෙම විභාගයකට ලියුවා කියලා දන්නෙත් මධ්‍ය මහා විද්‍යාලයකට ඇතුල්වීමට තෝරා ගත්තා කියලා මම එවකට ඉගන ගත්ත බලන්ගොඩ රෝමාණු කතෝලික මිශ්‍ර පාඨශාලාවේ ( පල්ලියේ ඉස්කොලේ ) මුල් ගුරුතුමාගේ පණිවිඩයකින්.
ඔන්න ශිෂ්‍යත්ව විභාගේ ගැන එකල තිබුන උනන්දුව ! .
නවය වසර හැදුන්වුනේ SSC PREF. කියලා. ඊට පස්සේ අවුරුද්ද SSC MIDDLE. විභාගෙට යොමුවුන වසර SSC පන්තිය.
ඔය පන්ති තුන තරණය කරන්න නේවාසික ශීෂ්‍යෙයක් වුන මම අළුත්ම රටාවකට ජීවිතය පටන් ගත්තා.
පන්තියේ හිටියා තිහක් ……එකම වයසේ .එක්කෙනෙක් දෙන්නෙක් හැර අනෙක් සියල්ලෝම 48 දරුවෝ….ශිෂ්‍යත්වධාරීන්.
එක්කෙනෙක් හිටියා 50 දරුවෙක්. ඈ අපේ කණ්ඩායමට එකතු වුනේ මාස කිහිපයකට පස්සේ.
ඈ ශිෂ්‍යත්වධාරියෙක් නෙමෙයි.
පසුකාලයේදී ඈ ඥාතියෙක් වුනා . නිතර මුණ ගැහෙන.
මේ මතකය අවදි වුනේ අපේ පන්තියේ හිටපු සුදු හීන්දෑරි කෙල්ලක මාතලේ ඉදන් අළුත් අවුරුද්දට සුබ පතන්න මොබයිලයෙන් මුණ ගැහුණම.
මට නොතේරුන මම නොදන්න කතා ඈ අවදි කරනවා කතා බහෙන්. අවුරුදු හැත්තෑ හතක ආතම්මා කෙනෙක් අපේ ශිෂ්‍යත්ව පන්තියට මාවත් අරන් ගියා විනාඩි තිහක් තිස්පහකින්.
කතා බහ අතරේ මම නිහඩ වෙනවා….ඈ අහනවා ඇයි අයියේ ?. කියලා. ඇත්තටම මම ඒ පන්තියට අරන් යනවා මොහොතකට.
අපි ගහ මරා ගන්නවා යාළු වෙනවා… පිලිබද සිත් ඇති කර ගත් යහළු යෙහෙලින් වටා කතා ගොතනවා.
සරුංගල් යවනවා. සීන බලනවා…..
පොත පත අතර හිරවෙලා ඉලක්ක කරා දුවනවා.
ආපදාවකින් තෙරව උසස් පෙළ කරන්න කඩ ඉම සමත් කර ගෙන මම මේ කණ්ඩායමෙන් වෙන් වෙනවා.
මට මතකයේ ඉතිරිවුන දෙයක් නැහැ .
දැන් කවුරුත් ජීවිතයේ බකමූණු කාලය ගෙවන වයසේ…මතකය අවුස්සමින් පැරණි සුන් බුන් ගොඩ දාන කාලේ.
එක එක්කෙනා ඉන්න තැන් හොයනවා…ලෝකේ හත්දිග් බාගේ විසිරිලා.
තාක්ෂණය ඒකට පහසුවක් වෙලා.
අළුත් අවුරුද්දේ එක එකා කතා කරනවා . අවුරුද්දට සුබ පතන්න. ඊලග අවුරුද්දේ සුබ පතන්න වෙයිද ? . කියලා කවුරුත් හිතනවා.
මේ කතා බහ අස්සේ එකියක් මගෙන් අහනවා…උඹ දන්නවද මම හින්දා පන්තියේ දෙන්නෙක් ගහ ගත්තා කියලා.
මම නෑ කියනවා.. උඹ බබානේ ….මොනවත් උඔට ඒ කාලේ තේරුනේ නැහැ.
ඒකි කියනවා.
යන්තම් හිනාවෙනවා….කතා කොලොත් ඈඹරෙනවා. මාරුවෙලා යනවා.
අහිංසකයා. මට ලැජ්ජත් හිතතෙනවා…..
වගකීමක් නැති නව යොවුන් වයසේ . කෙල්ලෝ තුන්දෙනෙක් එක්ක ගෙදර හැදුන මට ඔක්කොම නංගිලා අක්කලා. .
පන්තියේ හිටියෙත් ඒ වගේ අය…
ඔන්න තව කතාවක් අවුරුද්දට සුබ පතන ගමන්.තව එකියක් කියනවා. මුන් අත්තම්මලා උනාට පස්සේනේ මනමාල කතා මතක් වෙන්නේ.
උඹට මතක නැද්ද උඹ පස්සේ දුවපු චාරුනී……මට මතකයි.
මම කලින්ම කිව්වානේ
මම තොත්තබබා කියලා.මට තේරුනේ නෑ කෙල්ල මොනවට ද එන්නේ කියලා.දවසක් මගෙන් බුදධාගම පොතක් ඉල‘ලුවාම පොතේ අන්තිම පිටු කිහිපයක් අයින් කරලාපොත දුන්නා. පොතේ අන්තිම පිටු ටිකේ තිබුනේ විෂයය නිර්දේශයට තිබුන ධම්ම පදේ ගාථා ටික.
මට දැනුයි හිතෙන්නේ මම නපුරෙක් කියලා.
කොහොම කොහොම හරි කෙල්ලට මාව ගලපගන්න බැරි වුනා.මම ඔය අවුඅස්සේ පාසල මාරු කලා.
කාලය ගෙවිලා ගිහින් ගුරියක් වෙලා….විවාහ වෙලා දූ දරුවෝ ලැබිලා..සුවපත් කරන්න බැරි රෝගයකින් ඈ ජීවිතයෙන් සමුගත්තා.
මට සමු ගන්න යන්න වුනේ ඇගේ අවමංගල්‍ය උත්සවයට.
ජීවිතයෙන් කොටසක් ඔන්න ඔහොමයි.
.png)

0 ප්‍රතිචාර:
Post a Comment