අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-09

1/09/2026 08:47:00 pm

නිකලස් මදුරෝ


නිකලස් මදුරෝ පැහැර ගැනීම සහ ලතින් අමෙරිකාවේ CIA කුමන්ත්‍රණ,

අද උදෑසන සිදුවූ ( ---- ) ක්ෂණික ඇමෙරිකානු ප්‍රහාරයකින් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය X ගිණුම මගින් ප්‍රකාශ කර සිටියේ වෙනිසිවුලානු ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ මේ වන විට සිය භාරයේ පසුවන බවයි. මේ ප්‍රහාරය සමාන කළ හැක්කේ 1989 දී සිදුවූ ඇමරිකාවේ පැනමා ආක්‍රමණයට සහ ජනාධිපති මැනුවෙල් නොරීගා ( Manuel Noriega) අත්අඩංගුවට ගැනීමේ සිද්ධියටය.

දිගින් දිගටම ඇමරිකාව වෙනසියුලාවට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් ධීවර බෝට්ටු වලට පහර දෙමින් සිදු කළ ක්‍රියාදාමය 1989 දී පැනමාව ට එරෙහිව සිදුකළ ක්‍රියාමාර්ගයට සමානය. ඩොනල්ඩ් ට්‍රම්ප් හිටපු ඇමරිකානු ජනාධිපතිවරයකු වන ජේම්ස් මොන්රෝගේ ලතින් ඇමෙරිකාව සම්බන්ධ ප්‍රතිපත්තිය සහ ඉන්පසුව තියඩෝර් රූස්ට්වෙල් ජනාධිපතිවරයාගේ මධ්‍යම ඇමරිකාව සම්බන්ධ ප්‍රතිපත්තියටත් වඩා ඉදිරියට ගොස් ක්‍රියා කරන බව පෙනී යයි. 
මදුරෝට එරෙහිව එල්ල කර ඇති මත්ද්‍රව්‍ය චෝදනා බැලූ බැල්මටම අසත්‍යයක් බව පෙනී යයි. මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ විපක්ෂ නායිකා මරියා කොරීනා මචාඩෝට 2025 වර්ෂය සඳහා නොබෙල් සාමත්‍යාගය පවා පිරිනමමිනී.

වෙනත් රටක් ආක්‍රමණය කිරීමට වඩා වෙනිසිවුලාව සුවිශේෂ වන්නේ එය ස්වාභාවික සම්පත්වලින් අනූන රාජ්‍යයක් වන බැවිනි. ලෝකයේ වැඩිම පොසිල ඉන්ධන ප්‍රමාණයක් හිමි රට එය වන බව 2017 දී ප්‍රකාශයට පත් විය. ප්‍රමාණය ඛනිජ තෙල් බැරල් බිලියන 300කි. එයට අමතරව ඛනිජ වැලි, වර්ග ඔරිංකෝ තීරයේ සුලභ වන අතර දුලබ පාංශු නිදිද ඒ අතර වේ. 
ජාත්‍යන්තර අධිකරණ, එක්සත් ජාතීන්ගේ සංවිධානය අසමත් සංවිධානයක් පමණක් බවත් තම තමන්ගේ බාහු බලය මත මීට සියවස් ගණනකට පෙර සිදුවූ ආකාරයට ලෝකයේ කටයුතු සිදුවන බවත් මේ පැහැර ගැනීමෙන් ගම්‍ය වේ.

ලතින් ඇමරිකානු රටවල් වන කොලොම්බියාව, බොලිවියාව, ඉක්වදෝරය, පීරු පැනමාව ඇතුළු බහුතර රාජ්‍ය ප්‍රමාණයක් ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ පාලනයෙන් මුදවා ගන්නේ සිමන් බොලිවර් ( simon bolivar) නායකත්වයෙනි.
ඇමේසන් වනාන්තරය, ඛනිජ තෙල් නිධි, මායා ශිෂ්ටාචාරයේ පුරාවස්තු ඇතුළු අනේකවිධ සම්පත්වලින් ලතින් ඇමරිකාව පොහොසත්ය. දෙවන ලෝක යුද්ධයේ අවසානයත් සමගම ලතින් ඇමරිකාව හරහා සමාජවාදී මත වාද ගලා යන්නට විය. සීතල යුද්ධය පැවති සමයේ මෙම තත්ත්වය ඇමෙරිකා එක්සත් ජනපදයට ප්‍රබල තර්ජනයක් විය.

පිදෙල් කස්ත්‍රෝ, අර්නස්ටෝ චේගුවේරා ගේ මැදිහත්වීමෙන් 1959 දී කියුබාවේ බැටිස්ටා පාලනය පෙරලා දමා කියුබන් විප්ලවය සිදු කිරීමත් සමගම කලාපය තුළ සමාජවාදී කඳවුර වෙත ප්‍රබල ආකර්ෂණයක් ඇතිවනු දැකගත හැකි විය.
පිදෙල් කස්ත්‍රෝ ඝාතන කුමන්ත්‍රණ ගණනාවක් දියත් වුවද ඉන් එකක්වත් සාර්ථක වූයේ නැත ඒ සියල්ල පිටුපස සිටියේ සී.අයි.ඒ සංවිධානයයි.(බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකාව මෙම ඝාතන ප්‍රයත්න සම්බන්ධව “ 636 Ways to kill castro”යනුවෙන් 2006දී වාර්තා චිත්‍රපටයක් එළිදක්වන ලදී )

Bay of pigs මෙහෙයුම ඇමරිකාව ක්‍රියාත්මක කළේ ක්‍රස්තෝ බලයෙන් පහ කිරීමටය.කියුබාව පදනම් කරගෙන1962 දී ඇමරිකා සෝවියට් මිසයිල අර්බුදයක් ඇති වී අප න්‍යෂ්ටික යුද්ධයක් එළිපත්තට පැමිණියේ ජෝන් එෆ් කෙනඩි ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස සහ නිකිතා කෘෂෙෆ් සෝවියට් රාජ්‍ය නායකයා ලෙස ක්‍රියා කරමින් සිටි කාලයේය. කෙසේ නමුත් මිහිතලයේ වාසනාවට එම යුද්ධය සිදු වූයේ නැත.

අර්නෙස්ටෝ චේගුවේරා කියුබානු රජයේ තමන් දරමින් සිටි අමාත්‍යධූරයෙන් ඉවත් වී බොලිවියාවේ විප්ලවයක් සිදු කිරීම පිණිස ගියේය. 1969 ඔක්තෝබර් 9 වන දින සිදු වූ ඔහුගේ ඝාතනය සෘජුවම ඇමරිකානු මැදිහත්වීම මත සිදුවිය.
චිලි රාජ්‍යය සමාජවාදී මාවත ගමන් කළ සැල්වදෝර් අයන්ඩේ ( salvador allende) 1970 නොවැම්බර් 03 දින මැතිවරණයෙන් ජය ගෙන බලයට පත්වූ පසු ඔගස්ටෝ පිනෝෂේ (Augusto Pinochet ) ලවා හමුදා කුමන්ත්‍රණයක් සිදු කොට 1973.09,11 දින එම රජය පෙරලා දමා අයන්දේ ඝාතනය කරන ලදී. පිනෝෂේ වසර දහඅටක් ඇමරිකානු සහයෝගයෙන් පාලනය ගෙනගිය අතර බ්‍රිතාන්‍යයේ දී ඔහු විසින් ජනතාවට එරෙහිව කරන ලද ක්‍රියා හේතුවෙන් 1998 සිට 2000 දක්වා නිවාස අඩස්සියේ තබා ගත්තේය.ඔහු උදර්පණය කළ යුතු යයි ය සාමි මන්ත්‍රී මණ්ඩලය තීරණය කරන ලද තීරණය අනුව නැවත චිලී දේශයට ගිය පිනෝචේ ඔහුට එරෙහිව විභාග වූ අපරාධ නඩු වලට මුහුණ දෙමින් සිටින අතරතුර 2006 දී මිය ගියේය.

ලතින් ඇමරිකාව හැරුණුකොට මධ්‍යම ඇමෙරිකානු රටවල් වලට ද ඇමරිකානු බලපෑමෙන් තොරව ස්වාධීනව ක්‍රියා කිරීමට ඉඩප්‍රස්ථා සැලසුණේ නැත. 1960-1980 දක්වා කාලයේ එල් සැල්වදෝරය, නිකරගුවාව, ගෝතමාලාව වැනි රටවල පැවති වාමවාදී ව්‍යාපාර මර්දනයට හා පැරා හමුදා කණ්ඩායම් පිහිටුවීමට ඇමරිකාව සෘජුවම ආධාර කළ අතර සෝවියට් සමූහාණ්ඩුව, කියුබාව ප්‍රමුඛ සමාජවාදී කදවුර වාමාංශික ව්‍යාපාර වලට උදව් කිරීම මත එම කලාපය යුද කලාපයක් බවට පත් විය.

ඩැනියෙල් ඕටේගා ගේ නායකත්වයෙන් යුතු සැන්ඩ්නිස්ටා(SAL) ගරිල්ලන්ට එරෙහිව අමෙරිකානු සහාය ඇතිව කොන්ට්‍රා ගරිල්ලාන් දශක කිහිපයක්ම යුද වැදුණේය, සමෝසා (Anastasio Samoza)පාලනය ආරක්ෂා කිරීමට ඇමරිකාව ක්‍රියා කළේය.ඔටෙගා ගේ පාලනය අස්ථාවර කිරීමට ඇමරිකාව දිගින් දිගටම කටයුතු කළේය.
ස්වාධීන පාලනය යුතු දූපත් රාජ්‍යයක් වූ ග්‍රනේඩාව ඇමරිකානු හමුදාව විසින් ආක්‍රමණය කළේ 1983 ඔක්තෝබර් විසි පස් වන දිනය.මෙම සිදුවීමට සතියකට පමණ පෙර රාජ්‍ය නායකයා වූ මොරිස් බිෂොප් (Morris bishop) ඇතුළු කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කිහිප දෙනෙක් හමුදා කුමන්ත්‍රණයක් මගින් ඝාතනය කොට තිබිණි. මොරිස් බිෂොප් වාමාංශික නායකයෙකු වූ බැවින් ඔහුට මේ ඉරණමට මුහුණ දීමට සිදුවිය.

පැනමා රාජ්‍ය නායකයා වූ ඕමාර් ටෙරිජෝස් (Omor Torrijos ) ඇමෙරිකානු විරෝධියකු නොවූ නමුත් ඇමෙරිකානු බහු ජාතික සමාගම් වලට ඔහු කරදරයක් විය. පැනමා ඇලේ පාලනය නැවත පැනමාව වෙත ලබා ගැනීම ඔහුගේ ඒකායන පරමාර්ථය විය. 1981 අගෝස්තු මාසෙයේදී ඔහු ගමන් කළ ගුවන් යානය කඩාවැටී අබිරහස් ලෙස මරුමුවට පත්විය.(1981 ජුලි 31)

ඉක්වදෝරය ඛනිජ තෙල්, ස්වභාවික සම්පත් සහ වන ගහණයෙන් අනූන රාජ්‍යයකි. රටේ ඛණිජ සම්පත් හා වන සම්පත ඇමෙරිකානු බහු ජාතික සමාගම් රිසි සේ භුක්ති විදිමින් සිටින අවස්ථාවක ජෙයිම් රෝල්ඩොස් 1979 අගෝස්තු 10 බලයට පත්විය. ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් බහුජාතික සමාගම් වලට එරෙහිව කටයුතු කරමින් ඔහුට වැඩි කාලයක් බලයේ සිටීමට අවස්ථාව ලැබුණේ නැත. 1981 මැයි 24 දින ඔහු ගමන් කළ ගුවන් යානය ගිනිගෙන කඩාවැටී ජනාධිපති වරයා මරුමුවට පත්විය.මෙම සිදුවීම ඝාතනයක් ලෙස ට අමෙරිකානු ලේඛක ජෝන් පර්කින්ස් විසින් රචිත Confessions of an Economic Hitman ග්‍රන්ථයේ සඳහන් වේ.

ටොරිජෝස් ගේ අභාවයත් සමග පැනමාවේ නායකත්වයට මැනුවෙල් නොරීගා ( Manuel Noriega) පත්විය. ඔහුට මුලින් ඇමෙරිකානු ආශිර්වාදය හිමිවිය. නමුත් පසුකාලීනව ඇතිවූ මත ගැටුම් මත ඔහු බලයෙන් පහ කිරීමට ඇමරිකානු කුමන්ත්‍රණයක් දියත් විය.
1989 දෙසැම්බර් 20 දින පැනමාව ට සිදු කරන ලද ආක්‍රමණයේදී පන්සියයකට වැඩි සිවිල් වැසියන් ප්‍රමාණයක්, ඇමරිකානු සොල්දාදුවන් විසි තුනක් සහ පැනමා සොල්දාදුවන් අටසියයක් පමණ මියගියේය. ගුවන් යානා තුන්සියයක් සහ සෙබළුන් 27000පමණ මෙම ප්‍රහාරයට ඇමරිකාව යොදා ගන්නා ලදී.

මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රාජ්‍ය නායක නොරීගා වසර දාහතක් ඇමරිකානු සිරභාරයේ පසුවිය. පසුව නිදහස් වූ ඔහු ප්‍රංශයේ ජීවත් වූ අතර පැනමාව ට පිටුවහල් කිරීමෙන් පසු 2017 අභාවයට පත් විය.
එල් සැල්වදෝරයේ පැවති සිවිල් යුද්ධයේදී(1979-1992) හැත්තෑපන්දහසකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්විය. සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් i එක් කදවුරකටත් සෝවියට් සංගමය ප්‍රමුඛ කඳවුර අනෙක් පාර්ශ්වයටත් ආධාර කිරීම මත මෙම සිවිල් අරගල මහා අරගල බවට පත්විය.

මේ දක්වා ක්‍රියාත්මක වන වාමාංශික ගරිල්ලා කණ්ඩායම් තවමත් ලතින් ඇමරිකානු කලාපයේ ඇත. 1964 දී ආරම්භ වුණු කොළොම්බියාවේ ෆාක් (Farc) ගරිල්ලා ව්‍යාපාරය 2016 කියුබාවේ හවානා නුවර දී අවි බිම තබා සාම මාර්ගයට පිවිසුනු නමුත් එම මතයට එකඟ නොවන සෑහෙන පිරිසක් ද තවමත් අවි අත දරා සිටිති. පීරු රාජ්‍යයේ වාමාංශික ගරිල්ලා නායක වූ ෂයිනින් පාත් (shining path) නායක මහාචාර්ය අබියමල් ගුස්මාන් (Abimaiel Guzman ) 1992 දී අත්අඩංගුවට පත් වූයේ ඇල්බර්ටෝ පුජිමෝරි ගේ රාජ්‍ය පාලන සමයේදී ය,ජීවිතාන්තය දක්වා දඬුවම් හිමිවී තිබෙන ගරිල්ලා නායකයා ඇතුළු ලතින් ඇමරිකානු කලාපයේ රටවල වාමාංශික ගරිල්ලා ව්‍යාපාර මර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහාය නිරතුරුව සීඅයිඒ සංවිධානය ලබාදෙයි.

ලතින් ඇමෙරිකාවේ රෝස රැල්ල (Pink Tide)
සෝවියට් සමූහාණ්ඩුව බිඳී යාමත් සමග ලෝකයේ බොහෝ කලාපවල සමාජවාදී ව්‍යාපාර බිඳ වැටීම් සිදුවුවත් ලතින් ඇමරිකානු කලාපයේ වාමාංශික පක්ෂ වල විප්ලවය වෙනුවට ඡන්ද බලය තුලින් නැගී සිටීමක් 1990න් පසු සීඝ්‍රයෙන් සිදු විය. හියුගෝ චාවේස් ගේ නායකත්වයෙන් පසු වෙනිසියුලාවට ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් සිදු වූ ආර්ථික සම්බාධක වලට එරෙහිව රාවුල් ක්‍රස්තෝ වැනි නායකයින් වෙනිසියුලාව රැක ගැනීමට ඉදිරිපත් වීමත් සමග නව ප්‍රවණතාවක් ලතින් ඇමෙරිකානු කලාපය පුරා පැතිර ගියේය, බ්‍රසීලයේ ලුලා ද සිල්වා, ඩිල්මා රුසොෆ් , බොලිවියාවේ ඉවා මොරාලෙස්, ලුවිස් ආර්කි,ඉක්වදෝරයේ රෆායල් කොරයා, උරුගුවේ ජොසේ මුජිකා , වෙනිසියුලාවේ හියුගෝ චාවේස්, නිකලස් මදුරෝ 2022 වසරේදි කොලොම්බියාවේ නායකත්වයට පත්වූ හිටපු ගරිල්ලා නායකයකු වූ ගුස්තාවෝ පෙට්‍රෝ ඇතුළු ආජන්ටිනාවේ සිට මෙක්සිකෝව දක්වා සෑම රටකම පාහේ වාමාංශික නායකයන් බිහි වීමේ ප්‍රවණතාවය මේ වන විටත් ක්‍රියාත්මක වේ, මේ තත්ත්වය ලතින් ඇමරිකානු කලාපය ඇමරිකානු පාලනයෙන් ගිලිහී යන බව පෙන්වා දෙයි.

මෙම රටවල රාජ්‍ය නායකයන් සෘජුවම ඇමරිකානු ක්‍රියාකලාපයට අභියෝගයකි, ඉක්වදෝර හිටපු ජනාධිපති රෆායල් කොරයා විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජේ හට ‍ බ්‍රිතාන්‍යයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවරණ ලබාදීම ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයට කළ අභියෝගයක් විය.
බ්‍රසීල රාජ්‍ය නායක ලුලා ද සිල්වා අල්ලස් චෝදනා මත සිපිරි ගෙට නියම වූයේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසය.නමුත් ඔහුගෙන් පසු බලයට පැමිණි ජනාධිපති බොල්සනරෝ ගේ උග්‍ර දක්ෂිණාංශික ප්‍රතිපත්ති නැවත බ්‍රසීල ජනතාව ලුලා ද සිල්වා පත් කර ගැනීමට ප්‍රධාන හේතුව විය. බොල්සනාරොට දීර්ඝකාලීන සිර දඬුවම් බ්‍රසීල අධිකරණ මගින් නියම කළ විට ඇමරිකාව ඍජුවම එයට එරෙහිව පෙනී සිටියේය.බ්‍රසීලය මේ වන විට බ්‍ර්ක්ස් රටවල් වලට එකතු වී චීනය සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය දක්නට ලැබේ. මෙම තත්වය කිසිසේත් ඇමරිකාවට හිතකර තත්වයක් නොවේ.

පේරු ,ආජන්ටිනාව වැනි රටවල වාමාංශික ආණ්ඩු පෙරළා දක්ෂිණාංශික ආණ්ඩු නැවත බලය පිහිටුවා ගැනීමට සමත් වී ඇත. වෘත්තීය සමිති නායකයකු වූ පේරු ජනාධිපති පෙඩ්රෝ කැස්ටිලෝ 2022 බලයෙන් පහකර වසර 11 1/2ක සිරදඬුවමකට යටත් වූයේ මේ වසරේදීය. මීට දශක ගණනාවකට පෙර මෙන් ඇමෙරිකාවට ලතින් ඇමරිකාවේ කුමන්ත්‍රණ කිරීම පහසු නැති බැවින් ඔවුන්ට සෘජු මැදිහත්වීම් සිදු කිරීමට සිදුව ඇත. නමුත් මෙම කලාපය සහ එහි එහි වෙසෙන ජනයාගේ සිතුම් පැතුම් වෙනස් බව හිටපු පාප්තුමාගෙන්ම පෙනීයයි.

අතීතයේදී මෙන් ඉදිරියේදීත් සීඅයිඒ කුමන්ත්‍රණ මෙම කලාපයේ දියත් වනු ඇත. නමුත් නූතන අධිරාජ්‍යවාදයට එරෙහි ලතින් ඇමරිකානු සටන දිගටම ඉදිරියට යනු ඇත.

Viva Lathin America!!!
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර












A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: