අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2026-01-18

1/18/2026 08:31:00 pm

පහු ගිය සතියේ අපි අපරැක්කට ගොඩ බැස්සා .

ලස්සන ගමක් . මාතර ඉදන් කිමි හත අටක දුරක හිතා ගන්න වත් බැරි නිසංසල පරිසරයක්.

අප  - රැක්ක නිසා අපරැක්ක වුන දුටු ගැමුණු කුමාරයා ගිමන් හැරපු අපරැක්ක ගැන 1976 B ed කණ්ඩායමේ  සමාජ අධ්‍යයනය ටීචර් අපරැක්කේ ඉදන් කියාපු පුරාවෘත්තය බොහෝම රසවත්.

දුටුගැමුණු කුමාරයා එළාර රජතුමාත් එක්ක සටන් කලා නේ. මුල් කාලේ සටන් ජය ගන්න අපහසුවුනා. මේ අතර වාරේ දුටුගැමුණු කමාරයා අනුරාධපුරේ සිට තිස්සමහරාමෙට යන්න ඕන වුනා.

කුමාරයා තනිපංගලමේ මේ ගමන යන්න හිතාගෙන රහසේම  පිටත්වුනා.

ගම්වැසියෙක් වගේ සාමාන්‍ය ස්වරූපයෙන් දින සති ගෙවා ගෙන රට තොට තොරතුරුත් බලමින් යන කුමාරයා එක් හැන්දෑවක මාතර පහුකරගෙන අපි දැන් අපරැක්ක කියලා හදුන්වන මේ ගමට ඇවිත් තියෙනවා.

ගිමන් අරින්නත් රැය ගෙවන්නත් තැනක් විපරම් කරමින් ඇවිද ගෙන යන කුමාරයට වයසක කාන්තාවක් පමනක් ඉන්න නිවසක් දකින්න ලැබෙනවා.

ඒ ආතම්මා මුණ ගැහිලා ආ ගිය කතා කරලා තමන්ගේ අවශ්‍යතාවය කිව්වම , ආතම්මා කැමති වෙනවා තරුන මගියාට නවාතැන් දෙන්න.

“දරුවෝ , මහන්සිත් කුසගිනිත් ඇතිනේ - මම කන්න ටිකක් හදලා දෙන්නම්” කියලා මුලුතැන්ගෙට රිංගපු ආතම්මා මගියාට හුණු සහලින් බතක් පිස පොල් සමග මිශ්‍රකර පිලිගන්නවා. 

හුණු සහල් බත දකුණට ආවේනික ආහාරයක්.ඉක්මනින් පිළිගන්වන්න සකස් කර ගන්න පුලුවන් රසවත් බතක්.

උණු උණුවේ පිලිගන්නපු බත නිවා ගන්න තදියමේ එහෙන් මෙහෙන් ගුලි කරලා කටට දාගන්න මගියා දිහා බලා ගෙන ඉන්න ආතම්මා කියනවා… 

“ පුතා බත ගිලින්නේ - ගැමුණු කුමාරයා යුද්ධ කරන්නා වගේනේ “ කියලා. 

මගියා අහනවා “ ඇයි ආතම්මේ එහෙම කියන්නේ  ? .“ කියලා.

“ඇයි දරුවෝ  ? . එහෙන් ගහනවා මෙහෙන් ගහනවා පිලිවෙලකට සේනා සංවිධානය කරගෙන කොනක ඉදන් ඉදිරියට යන්න එපායැ . “ කියලා.

මගී තරුනයා පහුවෙනිදා පාන්දරින් ආතම්මා ගෙන් සමු අරන් තිස්සමහාරාමය බලා පිටත් වුනා.

ආතම්මටත් කාලයත් එක්ක තරුනයා අමතක වුනා.

දුටුගැමුණු කුමාරයා සේනා සංවිධානය කර ගෙන එළාර රජතුමාගේ බළකොටු එකිනෙක විනාශ කරමින් අනුරාධපුරයට ලගාවෙලා අවසානයේ මහ සටනක් කළා.

එළාර රජතුමා පරාජය කරලා රට එක් සේසත් කලා.

පසුකාලයේ එක් දවසක දුටු ගැමුණු රජතුමා මේ ආතම්මා මුණ ගැහෙන්න ආවා.

ආතම්මට පුදුමයි….

දැන අදුනා ගත්තට පස්සේ එදා කළ අපහාසාත්මක උදාහරණයට බියත් හිතුනා.

රජතුමා ආතම්මා අස්වසලා මට දුන්න උපදෙස  නිසානේ යුද්ධෙ දිනුවේ කියලා පැසසුවා.

ඉන් පස්සේ ආතම්මාට ප්‍රසාද වශයෙන් එම ගම්වරය ප්‍රධානය කලා.

එදා ආතම්මගේ ගම්වරය තමයි අද අපරැක්ක.

යුද උපක්‍රමය නිසා රට රැකුනා. “අප  -  රැක්ක” නිසා   අපරැක්ක වුනා.

ටීචර් ත් බත බුලතින් අපට සංග්‍රහ කරලා අප රැක්කා එතුමියටත් ගම්වරක් පුද කරන්න අපට බැරිවුනත් බොහෝම පින් !.











A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: