Sunday, December 24, 2023

පෘතග්ජන














පිනිබර සීතල උදයක
දැනුනා සුවඳක් කුසුමක
සොයනා කල එය කොයිබක
තිබුනා සුපිපී අකුලක
තුරු අතරෙහි එබී බලා
කටු කොහොලින් මඟහැරලා
දෝතට අරගෙන නෙලලා
එහි සුව වින්දෙමි රැකලා
දහවල එනතුරු රැඳුනේ
මල වෙතමයි සිත බැඳුනේ
හැමටම නිරතුරු ඇසුනේ
මුවින් නැඟුන එහි වරුනේ
සියුමැලි පෙති තලා පෙලා
සුවඳම සෙව්වා පතලා
දවසෙම මුදු බව සොයලා
පොඩිවුන පෙති බිම හැලිලා
නිමවිය ගෙවලා දහවල
ඉවතට විසිකර නෙලු මල
සෙව්වෙමි පිබිදුණු රෑ කල
වෙන කුසුමක් විසිතුරු කළ
පී. ජී. ආරියපාල


notes of imaginary

මොළදණ්ඩේ කුමන්ත්‍රණය



කීර්ති ශ්රී රාජසිංහ රජු මරා රටේ බලය අල්ලන්න හැදූ
මොළදණ්ඩේ කුමන්ත්රණය
සියමෙන් හාමුදුරු නමක් ගෙන්වා බණ කියන ගමන් රටේ රජතුමා මරා දමා රාජ්ය පැහැර ගැනීමට භික්ෂූන් වහන්සේලා හවුල්වී කළ කුමන්ත්රණය ‘‘මොළ දණ්ඩේ කුමන්ත්රණය’’නම් විය. ලංකාවේ අවසාන සංඝරාජ, අසරණසරණ පිණ්ඩපාතික වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවන් වහන්සේ සහ මල්වත්ත විහාරයේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියන් පවා මෙම කුමන්ත්රණයට හවුල්ව සිරගත විය.මෙම කුමන්ත්රණය නිසා එක් අයකු හිස ගැසුම් කෑ අතර තුන් දෙනෙකු උලතබා ඝාතනය කෙරිණ.මෙය කුමන්ත්රණය ක්රි.ව.1760 වර්ෂයේ සිදුවිය.මෙම සිදුවීම රාජාවලිය ඇතුළු ඉතිහාස පොත්වල සඳහන්ව ඇතත් හොඳම විස්තරය ලියා ඇත්තේ සැමුවෙල් ලැනරෝල් ලියූ CEYLON ANTIQUARY AND LITERARY REGISTER නමැති ග්රන්ථයේය. එල්.එස්. දේවරජා මහතා ලියූ THE KINGDOM OF SRI LANKA නමැති ග්රන්ථයේද මොළදණ්ඩේ කුමන්ත්රණය ගැන විස්තර සඳහන්ව තිබේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය ලෝකයට ගියේ සී.ඊ. ගොඩකුඹුර මහතා ලියූ ‘‘ශාසනාව තීරණ වර්ණනාවෙනි. එහි මුල් පිටපත බ්රිතාන්ය කෞතුකාගාරයේ අදත් දැකිය හැකිය. කුණ්ඩසාල කුමාරයා හෙවත් වීර පරාක්රම නරේන්ද්රසිංහ (ක්රි.ව. 1706-1739) සිංහල රජ පෙළපතේ අවසාන රජතුමා විය. ඔහු අවුරුදු තිස්තුනක් සෙංකඩගල නුවර රාජ්යකොට කාලක්රියා කළේය.
ඉන්පසු උඩරට රජකම හිමිවූයේ නායක්කර් වංශිකයන්ටයි. දකුණු ඉන්දියාවේ මදුරයි ප්රදේශයට අයත් නායක්කර්වරු මුස්ලිම් ආක්රමණ නිසා කොරමැන්ඩල් වෙරළබඩ ප්රදේශයේ පදිංචි වූ ප්රදේශ පාලකයෝ වූහ. මේ පවුල් හා විවාහ සබඳකම් ඇතිකර ගැනීම 17 වැනි සියවසේ උඩරට රාජවංශ ඉතිහාසයේ දක්නට ලැබුණකි. සිංහල රජ පෙළපතේ අවසාන රජු වීරපරාක්රම නරේන්ද්රසිංහ රජුද මදුරාපුර නායක්කර් වංශයේ කුමාරියක් බිසව කොටගෙන සිටියේය. ඒ බිසවගේ බාල සහෝදරයෙක් රජුගේ ඇවෑමෙන් ශ්රී විජය රාජසිංහ නාමයෙන් රජ විය. ඔහුගෙන් පසුව රජකමට පත්වුයේ කීර්ති ශ්රී රාජසිංහ (ක්රි.ව 1747-1780) නමැති නායක්කර් කුමාරයෙකි.
නරේන්ද්රසිංහ රජතුමා මෙසේ වඩුග ජාතිකයෙකු ලංකාවේ රජ කළේ ඇමැතිවරුන්ගේත්, එවකට සාමනේරව සිටි වැලිවිට සරණංකර හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ අනුමැතිය ඇතිවය. ඔහුට ධර්ම ශාස්ත්රය ඉගැන්වීමට බාරදුන්නේ සරණංකර සාමනේර හාමුදුරුවන්ටමය. ඒ ගැන ‘‘මන්දාරම්පුර’ පුවතේ මෙසේ සඳහන් වේ.
රජ සිරි ලැබිය යුතු දූ දරු නැති බැවින
හෙරණිඳු සහ ඇමැතියන් අදහස් ලෙසින
මදුරාපුර පිරිසිදු රජ කුලෙන් එන
සිය මෙහෙසිය සොහොවුරු පින් ගුණ නැණින
මන්දාරම් පුවත (ක්රි.ව. 1647-1702) යනු සෙංකඩගල රජ සමයේ ලියවුණ නව ඉතිහාස කාව්යයකි. සීතාවක රාජසිංහ රජුගේ කාලයේ සිට කීර්ති ශ්රී රාජසිංහ රජු දක්වා රාජ්යයේ නොයෙක් ඉතිහාස තොරතුරු මෙහි ඇතුළත් වේ.
මොළදණ්ඩේ කුමන්ත්රණය සිදුවූයේ කීර්ති ශ්රී රාජසිංහ රාජ්ය කාලයේදීය. කුමන්ත්රණයේ නිමිත්ත නම් කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරා දමා වෙන අයෙකු රජකරවීමයි. කුමන්ත්රණ කරුවන් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ වැලිවිට සරණංකර හිමි, මල්වත්තේ තිබ්බොටුවාවේ හිමි,කීර්ති ශ්රී රාජසිංහ රජුගේ උප අගමැති සමනක්කොඩි (මේ නම කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ නමැති ග්රන්ථයේ ඇත්තේ සමරක්කොඩි අදිකාරම් කියාය) කඩුවෙලරාල, මැටින්පොල දිසාවේ ආදීහු ප්රධාන කොටගත් පිරිසකි. කුමන්ත්රණයේ නායකත්වය දැරුවේ මොළදණ්ඩේ ගජනායක නිලමේ තුමාය. මෙය මොළදණ්ඩේ කුමන්ත්රණය ලෙස හැඳින්වූයේ ඒ නිසාය.
මේ පිරිස කීර්ති ශ්රී රාජසිංහ රජතුමා මරාදමා සිහසුනෙන් පළවා හැරීමට තැන තැන සාකච්ඡා කළෝය. වරෙක මල්වත්තේ පංසලේද තව වරෙක පිට පළාත්වලද මේ රහස් කතාබස් සිදුවිය. කෙසේ වෙතත් මල්වත්ත විහාරය කුමන්ත්රණයේ මූලස්ථානය විය. සමරක්කොඩි අදිකාරම තිබ්බොටුවේ නාහිමියන්ගේ ඥාතීන් වීම මෙහි තවත් විශේෂයකි.
මෙම කුමන්ත්රණය පිළිබඳව කොටගම වාචිස්සර හිමියන් ලියූ ‘‘සරණංකර සංඝරාජ සමය’’ පොතේ මෙසේ සඳහන්ව ඇත.
‘‘... කිත්සිරි රජු බෞද්ධයෙකු වුවත් ද්රවිඩ චාරිත්රයට අනුව නළලෙහි අළුගෑම අතහැරියේ නැත. මේ ගැන නොසතුටට පත් සමරක්කොඩි අදිකාරම සහ මොළදණ්ඩේ ගජනායක නිලමේද මල්වතු විහාරයේ ඇතැම් භික්ෂූන් රජුට විරුද්ධව පෙළඹවීමෙහි සමත් වූහ. (මොළදණ්ඩේ විප්ලවය – (CEYLON ANTIQUARY)
සියම් භික්ෂූන් මෙරට උපසම්පදාව පිහිටුවා අට වැනි අවුරුද්දේ එනම් 1760 දී කිත්සිරි රජු මැරවීම සඳහා මොවුහු කුමන්ත්රණයක් කළහ. ඒ කුමන්ත්රණයේ අදහස වූයේ කිත්සිරි රජු මරවා සියමෙන් පැමිණි රාජවංශික භික්ෂුවක සිවුරු හැරවා සිරිලක සිහසුනට පත් කිරීමයි. මේ සියම්රාජ භික්ෂුව මෙහි ගෙන්වීමට ලන්දේසීන්ද උදව් වූහ යැයි සමහර ඉතිහාසඥයෝ සලකති. (ඉන්දා සහ චරඤාණ චරිතය) ‘‘ශාසනාවතීර්ණ වර්ණ’’ නම් තත්කාලීන ඉතිහාස ග්රන්ථයෙහි විස්තර වන අයුරු එය සිදු වී තිබෙන්නේ මෙසේය.
සියමෙන් විදර්ශනාචාර්යවරයෙකු ගෙන්වා ඇති බව ප්රසිද්ධ කොට ගෙනෙන ලද දහම්පොත් සතර වීදියේ පෙරහරින් වැඩමකොට උන්වහන්සේගේ ධර්මදේශනය අසනු පිණිස රජුටද ආරාධනා යවන ලදී. මෙසේ කිරීමෙන් පසු පෝය ගෙයි ගැඹුරු බොරු වළක් කණවා එහි උල් සිටුවා රජු පැමිණි පසු එහි වැටෙන සේ කටයුතු සලසන ලදී.මේ පිරිස අදහස් කළේ රජු වැටුණයින් පසු ඔහු වසා පස් දැමීමටය.
අස්ගිරි විහාරයේ යටවත්තේ නමැති නායක නමකට මෙය දැන ගන්නට ලැබිණි. ඒ තෙරණුවෝ සිවුරු හැර රජ ගෙදරට ගොස් "ගෝපාල මුදියන්සේ" නමැති රජගෙදර සිටි මුස්ලිම් මෙහෙකරුට මේ බව රහසින් දැන්වූහ. රජුට මෙය දැනගන්නට ලැබුණේ ඔහුගෙනි.(CEYLON ANTIQUARY)
ශාසනාවතීර්ණ වර්ණාවෙහි පිලිමතලාවේ නම් නිලමෙවරයෙකු රජුට මේ බව දන්වා සිටි බව පැවසේ. රජතුමා මේ ගැන දැන දැනත් මල්වත්තේ විහාරයට ගොස් බොරු වළ තිබෙන තැන ඉදිරිපිට සිටගෙන ධර්ම දේශනාව අවසන් වනතුරුම එය අසා පිරිකරද පූජා කළේය. ඊට පසු තමා අත තිබුණ ජයකොන්තයෙන් බොරුවලට ඇන්නේය. ලැබුණ ආරංචිය සත්ය බව පසක් වූ කීර්ති ශ්රී රාජසිංහ රජ වැලිවිට සඟරජුන් ඇතුළු මල්වත්තේ නායක හිමිවරුන්ද රදල මුදලිවරුන්ද රජු ඉදිරියට ගෙන්වීය.ඉන්පසු එතුමා වැලිවිට මාහිමියන්ගෙන් පින්කමෙහි තොරතුරු විචාලේය.(ශාසනාවතීර්ණ වර්ණනාව)
සඟරාජ හිමියෝ නිහඬව සිටියහ. රජතුමා යළිත් ප්රශ්න කළේය. උන්වහන්සේ රජුගෙන් බේරුමක් නැති බව දැන ඒ පින්කම ගැන දන්නා බව පැවසූහ. ‘‘...එසේ නම් මට ඒ බව කලින් නොදැන්නුවේ මන්ද?..’’ යැයි රජ කෝපයෙන් ඇසුවේය.
සරණංකර මාහිමියෝ රජුට සිය ඇඟිල්ල පෙන්නා මෙසේ කීහ.‘‘...දේවයිනි මගේ මේ ඇඟිල්ලේ නිය පිරිත්තාවට බෙහෙත් නොකරන්නේ මෙහි සිටින පණුවා මැරෙන හෙයින්ය. මම ඒ තරම්ම පර පණ නැසීමට බිය ඇත්තෙමි. ඉතින් මම මේ සිද්ධිය ගැන ඔබට දැන්වී නම් ජීවිත කීයක් වැනසෙන්නට තිබුණේද...’’ මෙසේ කියා සඟ රජුන් නැවතුණ විගස ම කිත්සිරි රජ කතා කරමින් ‘‘...එසේ නම් මා මැරුණොත් හොඳද..‘‘ යි ඇසීය. නිරපරාද සරණංකර සංඝරාජයාණන් වහන්සේ ‘‘...නොකී නිසා එයට මට වැරැද්දක්... නැතැ...’’ යි කියා සැළ කළහ.
රජතුමා නැවතත් ප්රශ්න කරමින් ‘‘...එවිට තමුන්නාන්සේගේ ගෝලයන්ට හොඳද...’’ යි කී සඟ රජුහු නිහඬ වූහ. කෝපයෙන් දිලිහුණු රජ ‘‘...වැලිවිට කණා සස්නෙ වවනවා... කියා ලෝක ශාසන දෙකම නසාපි...’’ කියා සඟරජුන් සිර කරන්නට නියම කළේය.
මේ කුමන්ත්රණයේ වරදකරු වශයෙන් සැලකුණ සරණංකර මා හිමියන් දුම්බරද, තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ බුද්ධ රක්ඛිත හිමියන් කුරුණෑගලද සිරකොට තැබූ බවද මොළදණ්ඩේ විප්ලවය ජොන්ස්ටන් නම් ඉංග්රීසි ජාතිකයෙකු සපයන ලද ලියුමක සඳහන් වේ. (CEYLON ANTIQUARY ) ඒ ලියුම්කරුගේ විස්තරය අනුව නම් මේ කෙරෙන්නට ගිය කුමන්ත්රණයේ නායකත්වය දැරුවෝ වැලිවිට සංඝරාජ හිමියෝද තිබ්බොටුවාවේ සිද්ධාර්ථ හිමියෝද වෙති. එහෙත් ඔහුගේ ප්රකාශය සම්පූර්ණයෙන් සත්යයැයි පිළිගත නොහැකි බව කොටගම වාචිස්සර හිමි ‘‘සරණංකර සංඝරාජ සමය’’ නම් ග්රන්ථයේ සඳහන් කර තිබේ.
කීර්ති ශ්රී රාජසිංහ රජතුමා බොරු වළක වට්ටවා උල්ගොඩක අමුණවා මරවන්නට තැත් කළ මොළදණ්ඩේ ගජනායක නිලමේ (රටේ රාල) කඩුවෙල රාල, මැටිහස්පොල දිසාවේ යන රදළවරුන් උලසිටුවා මැරවීය. සමරක්කොඩි (සමනක්කොඩි) අදිකාරමේ හිස ගස්සවා දමා මැරෙව්වේය. මේ බව රාජාවලියේ සඳහන්ව තිබේ. අග්රවිනිශ්චයකාර සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් (1811-1818) ලිපිගොනුවේද (NO10) මෙම කුමන්ත්රණය ගැන විස්තරාත්මකව සටහන් කර තිබේ. එවකට තිබූ ඕලන්ද ලියකියවිලිවලද මොළදණ්ඩේ කුමන්ත්රණය හා එහි රහස් සාකච්ඡාවල සටහන් දක්නට හැකිය. ලංකාවේ පිට පළාත්වල පන්සල්වල වැඩ විසූ සංඝයා වහන්සේලා විශාල පිරිසක් මෙම කුමන්ත්රණයට සම්බන්ධකම් පැවැත්වූ බව සඳහන් වු නමුත් උන්වහන්සේලාගේ නම් ගම් සඳහන් වී නොමැත.
කීර්ති ශ්රී රාජසිංහ රාජසිංහ රජතුමා මරාදමා ඒ වෙනුවට රජ කරන්නට සූදානම් වූයේ සියමේ රජපෙළපතේ කුමාරයෙකි. ඔහුගේ නම ‘‘ක්රොම් මුඑන් ටෙප් පිපිට් (CROM MUEN TEP PIPPIT) ය. මේ සියම් කුමාරයා එවකට සියමේ රජු වශයෙන් සිටි බොරොන්කොට් (BRON KOT 1732-1758) රජතුමාගේ දෙවැනි බිසවගේ දරුවෙකි. මේ කුමන්ත්රණය පිළිබඳ කීර්ති ශ්රී රාජසිංහ රජතුමාගේ පියා වන නාරණප්පා නායක්කාර්ටද සැළවී තිබුණි. අස්ගිරි විහාරයේ වැඩසිටි නායක හාමුදුරුවන් කෙනෙකුට කුමන්ත්රණය සැලවූ ගමන්ම උන්වහන්සේ මේ පුවත රජුට සැලකිරීමට ගියේ සිවුරු හැර දමමිනි. සැමුවෙල් ලැනරෝල්ගේ C.A.L.R ලේඛනයේ සඳහන් වන්නේ මෙම නායක ස්වාමීන් වහන්සේ හුලංගමුවේ හාමුදුරුවෝ ලෙසිනි.
මොලදණ්ඩේ ගජනායක නිලමේට අයත්ව තිබූ සියලු දේපළ රාජ සන්තක කොට, රජතුමා ඒවා මේ ඔත්තුව ගැන මුලින්ම දැන්වූ "පරකුඹුරේ රාජකරුණා වෛද්යතිලක ගෝපාල මුදලියාර්" නමැති මරක්කල තැනැත්තාට සහ ඔහුගේ දරු මුණුපුරු පරපුරටම ලබාදුන්නේය.
ලන්දේසීන්ගේ ආධාර ඇතිව සියමෙන් ගෙන ආ භික්ෂූන් වහන්සේලාට හා රජකරවීමට සිවුරු පොරවාගෙන ආ ක්රොම් මුඑන් කුමාරයාටද රජතුමා දඬුවම් කිරීමට සූදානම් වුවත්, මීගස්තැන්නේ නිලමේ මැදිහත් වී එය වැළැක්වූයේය. එහෙත් ඔවුන්ට මහනුවර වාසය කිරීමට ඉඩ නොදී පන්නා දැමූ බව සඳහන් වේ. ඔවුන් බොහෝ දෙනෙකු දළුක් කිරී බී මියගිය බව ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ සඳහන් වේ.(ගොඩකුඹුරේ සංස්කරණය)
ලන්ඩන් විශ්වවිද්යාලයේ කලක් සේවය කළ සී.ඊ. ගොඩකුඹුර මහතා පොත් විශාල සංඛ්යාවක් ලියූ විද්වතෙකි.මෙතුමා ලියූ ශාසනාතීර්ණ වර්ණනාවේ ‘‘මොළදණ්ඩ කුමන්ත්රණය’’ පිළිබඳ තොරතුරු රාශියක් වේ.
මේ කුමන්ත්රණයට සංඝරාජ හාමුදුරුවෝ අසු වූයේ තමන්ගේ නොහික්මුණු ශිෂ්යයන්ගේ සහ රදළවරුන්ගේත් අදූරදර්ශී ක්රියාමාර්ගය නිසා බව කොටගම වාචිස්සර මාහිමියෝ පවසා තිබේ.සියම් භික්ෂූන්ට සිදුවූයේ කුමක්දැයි ‘‘ශාසනාතීර්ණ වර්ණනාවේ’’ හැර වෙන එකම පොතකවත් සඳහන් වී නැත.
මේ කුමන්ත්රණය සිදුවන්නට වූයේ තමා නළලේ අළු ගාගත් නිසා යැයි සිතූ රජතුමා නළලේ අළුගෑම සම්පූර්ණයෙන්ම අත්හැරියේය.එපමණකින් නොනැවතුණු රජතුමා අළු, දැළි ගෑ ලියුමක්වත් නොබැලීමට වන පරිදි පුස්කොළ පත් ඉරු කහවලින් මදින්නට පටන් ගත්බව ද පැවසේ.
පී.ඇම්. සේනාරත්න මහතාගේ ලංකාදීප ලිපියක් ඇසුරිනි.
ගත්සයුර🖋️
තවත් වටිනා ලිපි කියවීම සදහා එක් වන්න.

notes of imaginary