Monday, September 25, 2023

පිලිලයන් දරා උහුලන අළුත් ගස්.

හරි පුදුම ගස් ඇත
මහ පොළොවටම ආදරය කරන
නැවි නැවී දහසකගෙ බඩගින්න නිවන
රත්තරං දතක් දාගත්
රත්තරං පොරොවක් අතින් ගත්
සුදු ඇඳගත්ත කලු උන්ට විසුලු කර හිනාවෙන
එහෙව් ගස් මත
ගී කියන කුරුල්ලන්ට බොහෝ ඉඩ ඇත
රෑ බදුල්ලන්ට වුව පහන් දැල්විය හැකිය
හුස්ම හිරවුණුදාක
අත් නොහැර ඇවිදින් ළඟට
රැස් දාන මහා ගින්දරට පැන
උස් මිටිකම් බින්ද මහ ගස
රහස් මොනතරම් නම් ඇතිද
අහස් ගඟ දිය මත පවා දිය නොවුණු
පිළිලයන් දරා උහුලන
අලුත් මල් පිපෙන්නට ඉඩ දෙන
තුවාල මොනතරම් තිබුණද
එහෙව් ගස් තියෙනවා තවම දළුලන
සහතිකයි
මේ ඉරිතැලුන මහ පොලොවෙම
ඇලි ඇලී ඒ ගස් තවම
---සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary

යන්නට අවසරයි

නර්ස් නෝන පහුකරගන
චිරිස් බිරිස් හඬ නංවන
හර්ස් එකේ බ්රේක් පාර
මෝචරියේ දොර අද්දර...
සිකුරිටියෙක් ඕනැම නෑ
සිකුරට ඒ මගේ බොඩිය
හතරම උස්සලා ගාත
ට්රොලියෙන් දැම්මා ඇතුලට...
මල් ශාලාවක් කීවට
ගල් හිත් ඇති නරුම රැලක්
සල්ලි වලට බල්ලො මරන
කල්ලියක් වගෙයි
බාවා මළකඳ මැස්සේ
නාවා කළකට පස්සේ
හාවා හමගසා තිබේ
නෑ ඇඳසිටි ගොමස්කඩේ...
හවුහරණක් නැතිය කිසිත්
පිළිසරණක් නොමැත තවත්
කය නිරුවත් නැත කිසිවක්
උපත විපත නෑ වෙනසක්...
මූන පුරා වැඩුනු රවුල
සූරා දැම්මා විගසින්
පීරන්නට බෑ හිසකෙස්
හැඩපලු ගෙතිලා...
මල් ලියකම් හැඩ ගන්වා
විල්ලුද අතුරා සැකසූ
සව්සිරි පිරි සයනය මත
මා සැතපෙව්වා..
දැකුමෙන් කුණුකය නිරුවත්
ඇතිවිනි විලිබිය නැවතත්
එක පලුවක් ඇති ඇඳුමක්
බලියට එලුවා...
මළ මිනියට කලඑලියක්
කුල ගෙදරට සිරියාවක්
දළ දෙක දෙපසින් තැබුවා
මිනිය නෙමේ,... මෘත දේහය... !
සාංසාර දුක පිළිබඳ
ශාන්ත හිමියන්ගෙ දෙසුම
කාන්තාවො කීපදෙනෙක්
අහගන හිටියා...
හාමුදුරුවො බණ කියනව
හමහර අය නිදිකිරනව
මා මරනින්දේ හිටියට
මට පෙනෙනව... මට ඇහෙනව...!
සියළු වතාවත් නිමවා
පාංශකූලය පිදුවා
පාණ්ඩු පැහැයෙන් දිස්වන
කුණුකය අද... මෘත දේහය...!
මං කාගෙත් හිතවතාලු....
දැන් තියෙන්නෙ ගිහි කතාලු...!
මේවගෙ වෙලාවට විතරයි බණ පිරිත
බේබදුකමට යටවී ඇත කුලසිරිත
දෑතම තබාගන දේහය මත "මුරුත"
සෑහෙන වෙලාවක් ඔහු කැපුවේ බුරුත...!
කළකට පෙර සිටිය ලෙසට නැගී ඉන්න බෑ
"මළකොට බෙර රිඹටද බොල ?"
මට අහන්න බෑ....!
අසා ඉන්න බැරි තරමට
මුසා දෙඩුවෙ බොහෝ දෙනෙක්
දෙපා දෑත නොසෙල් වන්න
මාපටැඟිලි බැඳල මගේ...!
ආදාහන මැඳුර වෙතට හර්ස් එකෙන් මං යනකොට මා පසුපස එන්නෙ මොටද ?
රිය පෙරහැර... රිය පෙරහැර... !
මං ආපසු එන්නේ නෑ ඔබ මා හා යන්නෙත්නෑ...
ආදාහන ශාලාවේ
කෝ දන්නා කිසිම කෙනෙක් ?
ලෙනකට "දෙන" ඇතුල්කළා
කවුරුත් නෑ මගෙ තනියට...
ඔබේ හිතට දුක් කන්දක්
මා වටේම ගිනි කන්දක්
පිටතට නොපෙනෙයි
ඇතුලත....!
අහස උසට ච්මිනි දොරින්
ඉහල නගින දුම් රොටුවේ
රුව මැවිලා දකින්නෙපා හිත තැවුලක් රැඳෙන්නෙපා...!
ඉහල නගින දුම් වලාව
සැඩ හිරු රැස් වෙලා ගනී...
මා වෙන්වී යන මොහොතේ
ඔබට දැනේවා සිසිලක්.....!
*** යන්ට අවසරයි...!!!
ඒකානංයකා...

notes of imaginary