Thursday, April 25, 2024

ගල හා වටිනාකම



එක්තරා පියෙකුට ඕනෑ උනා තමන් ගේ පුතාට ජීවිතේ වටිනාකම කියලා දෙන්න. ඔහු මේ තරුණයා ගේ අතට පොඩි ගල්කැටයක් දුන්නා. දීලා කිව්වා, " ඔයා මේ ගල අරගෙන පොළට ගිහින් ඔයාට හම්බ වෙන අයට පෙන්නන්න. කවුරුහරි මිලදී ගන්න ඇහුවොත්, අතේ ඇඟිලි දෙකක් පෙන්නන්න. ගානක් කියන්න එපා. ඒ වගේ ම කාටවත් ම මේක විකුණන්න එපා." කියලා.
තරුණයා මේ ගල අරගෙන පිටත් වුණා. ඔහුට පොළේ දී කාන්තාවක් හම්බ වුණා. මේ කාන්තාව මේ ගල් කැටය දැකලා කිව්වා,
" මේක මගේ ගෙදර මාළු ටැංකියට දාන්න පුළුවන්. මේක කීයද ?" තරුණයා අතේ ඇගිලි දෙකක් ඔසවලා පෙන්නුවා.
" රුපියල් දෙසීයයි ද ? මට මේක දෙන්න" කාන්තාව කිව්වා. නමුත් තරුණයා තමා ගේ පියා ගේ උපදෙස් මතක් කරගෙන ආපහු හැරිලා ගෙදර ආවා.
ඔහු පියාට කිව්වා සිදුවුණු සිදුවීම.
"දැන් මේ ගල අරගෙන කෞතුකාගාරයට යන්න. එතනදිත් මිලදී ගන්න කෙනෙක් ඇහුවොත්, කිසිවක් නොකියා අතේ ඇඟිලි දෙකක් පමණක් ඔසවන්න. නමුත් මතක තියාගන්න මේ ගල විකුණන්න එපා." පියා නැවත කිව්වා.
තරුණයා මේ ගල අරගෙන කෞතුකාගාරයට ගියා. ඔහු කෞතුකාගාරය බාරව සිටින තැනැත්තාට මෙම ගල පෙන්නුවහම, ඔහු කිව්වා ඔහු මේ ගල මිලදී ගන්න සූදානම් කියලා.
"කීයටද ගල විකුනන්නෙ?" ඔහු ඇසූවා.
තරුණයා නැවතත් අතේ ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"රුපියල් විසිදාහක් ද ? මම ගල මිලදී ගන්නවා" කෞතුකාගාර පාලකයා කිව්වා.
තරුණයා ගෙදර ගිහිල්ලා තාත්තට මේ සිදුවීමත් පැවසුවා.
"හරි දැන් අන්තිම වතාවට මේ ගල අරගෙන නගරයේ ඉන්න මැණික් ව්යාපාරිකයා ළඟට යන්න. ඔහුටත් පෙර වගේ ම ඇඟිලි දෙකක් ඔසවා පෙන්නන්න. නමුත් විකුණන්න එපා. ආයේ අරන් එන්න"
තරුණයා මැණික් ව්යාපාරිකයා ළඟට ගියා.
මේක දැකපු මැණික් ව්යාපාරිකයා පුදුම වුණා.
"ඔබට කොහෙන්ද මේ ගල හම්බ උනේ? මේක ඉතාම දුර්ලභ ගණයේ මැණිකක්. මම මේක ලබා ගත යුතුයි. කරුණාකර ඔබ ගේ මිල කියන්න." මැණික් ව්යාපාරිකයාට පිළිතුරු විදිහට තරුණයා නැවතත් ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"ලක්ෂ දෙසීයක්. ඔව් එය ඉතාම සාධාරණ මිලක්. මම ඔබට ලක්ෂ දෙසීයක් දෙන්නම්. මේ ගල මට දෙන්න."
තරුණයාට කිසිවක් කියා ගන්න බැරි වුණා. ඔහු ඉතාම පුදුමයට පත්වුණා. ඔහු නැගිට ගෙදර දිව්වා.
ඔහු කිසිවක් කීමට පෙර ම තාත්තා ඔහුගෙන් ඇහුවා, "දැන් ඔයාට තේරෙනවද ජීවිතේ වටිනාකම?" කියලා.
"මට මුකුත්ම හිතාගන්න බැහැ. එකම ගල් කැටේට එක එක තැන්වල, එක එක පුද්ගලයන්ගෙන් වෙනස් ම වටිනාකමක්." තරුණයා පුදුමයෙන් කිව්වා.
"ඔයා මගෙන් ඇහුවෙ ජීවිතේ වටිනාකම මොකක්ද කියලා. ඔයාට ඒක වචනයෙන් විස්තර කරනවට වඩා අත්දැකීමෙන් ම තේරුම් ගන්න දෙන්න මට හිතුනා.
ජිවිතේ ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම හරියට ම දන්නේ නැහැ.
ඒක හරියට ඔයා ගේ අතේ තිබිච්ච මැණික් ගලේ වටිනාකම ඔයා දැනගෙන හිටියේ නෑ වගේ.
අපි අපේ වටිනාකම මනින්න හදන්නේ අපේ වටපිටාව ඉන්නේ මිනිස්සු අපිට දෙන අගය මත.
නමුත් හොඳින් මතක තියාගන්න මිනිස්සු තමන් දකින දේට වටිනාකම දෙන්නේ තමන් ගේ දැනුම, ආකල්ප, අත්දැකීම් සහ තමන් ගේ අවශ්යතාවය මත.
# ඔයාට මුලින්ම හම්බවෙච්ච කාන්තාවට මේ ගල ඕනෑ වුණේ ඇගේ මාළු ටැංකියට දාගන්න. එයාට මැණික් පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඒක නිසා එයා මේකට ඉතාම අඩු අගයක් නියම කළා.
# කෞතුකාගාරයේ පාලකයාට මේ ගල ගැන යම් අදහසක් තිබුණා. නමුත් ඔහුත් මැණික් පිළිබඳව හොඳට ම දන්න කෙනෙක් නෙමෙයි. ඔහු හිතුවේ මේක කෞතුක වටිනාකමක් තියෙන දෙයක් කියලා. කෞතුක වටිනාකමක් තියෙන දේකට දෙන්න පුළුවන් අගය ඔහු මෙයට දුන්නා.
# අවසානයේ ගල අරගෙන ගියේ මැණික් ගැන හරියට ම දන්න පුද්ගලයා ගාවට. ඔහුට මැණික් පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. ඔහු ලෝකයේ විවිධ තැන්වලින් හම්බ වෙච්ච මැණික් පිළිබඳ අධ්යයනය කරලා මැණික් වල වටිනාකම් පිළිබඳව හොඳින් දන්න කෙනෙක්. ඔහු මේ මැණික් ගල දැකපු ගමන් ම අඳුනගත්තා. ඒ වගේ ම ඔබට ලබා දිය යුතු වටිනාකම ඔහු හරි අවබෝධයෙන් යුතුව ම තක්සේරු කළා.
ඔයා ගේ ජීවිතෙත් ඒ වගේ. වටපිටාවෙ මිනිස්සු ඔයාට දෙන වටිනාකම අනුව ඔයා ඔයාව තක්සේරු කරන්න පෙළඹෙනවා.
ඔයා ඔයා ගේ වටිනාකම නොදන්න කෙනෙක් ඔයාට දෙන වටිනාකම ගැන හිතලා, ඔයා ගේ වටිනාකම තීරණය කළොත්, ඔයා හැමදාම හිතයි ඔයාගේ වටිනාකම රුපියල් දෙසීයයි කියලා.
ඔයා ඉපදුනු තැන, ඉපදුනු විදිහ, දුප්පත් පොහොසත් බව, රූපය, උගත්කම මේ හැමදේම කොහොම වුණත්, ඔයාට වටිනාකමක් අනිවාර්යෙන් ම තියෙනවා. මොකද ඔයා තුළ යම් දෙයක් තියනවා. ඒක ඔයාට ම අනන්ය වෙච්ච දෙයක්. ඔයා ගේ ඇතුළෙ තියන ඒ වටිනාකම දකින්න පුළුවන් මිනිසුන් ඔයා ගේ වටේ තියාගන්න. හැම කෙනෙක් ම එහෙම ඔයා ගේ වටිනාකම දකින්නේ නැහැ.
ඔයා ඔයාව විකුණන්න ඕනෑ ඔයාට ගැළපෙන වෙළෙඳ පොළේ " පියා කිව්වා.
ජීවිතේ දේවල් තෝරා ගනිද්දී ඔයාට හරිම වටිනාකම ලැබෙන්නේ කොතනින්ද කියලා බලන්න. (රැකියාවක් තෝරා ගනිද්දී වුණත් ඔයා ගේ තියෙන හැකියාවට, දක්ෂතාවයට වටිනාකම ලැබෙන රැකියාවක් තෝරා ගන්න.) සමහර අවස්ථාවල දී ඔයාට එක සැරේ ම හරියනම තැන හොයා ගන්න බැරි වෙයි. එහෙම වුණොත්, එකපාරට ම ලැබෙන ඕනෑ තැනක ඔයාව තියන්න යන්න එපා. ඔයාට සුදුසු, ගැලපෙන තැන ලැබෙනකල්, සුදුසු, ගැළපෙන පුද්ගලයන් ඔයාට හමුවෙනකල් පොඩ්ඩක් ඉවසලා ඉන්න.
ඒ වගේ ම මතක තියාගන්න ඔයාගෙනුත් සමාජයට වෙන්න ඕනෑ දෙයක් තියෙනවා. ඔයාට හම්බවෙන අය, ඔයා ගේ යාළුවෝ, නෑදෑයො, අසල්වැසියෝ මේ හැම කෙනෙක්ගෙම වටිනාකමක් තියෙනවා. ඔයාට පුළුවන් වෙන්න ඕනෑ ඒ මිනිසුන් ගේ නියම වටිනාකම දකින්න. එයාලව අවතක්සේරු නොකරන්න. ඒ වගේ ම එයාලට එයාල ගේ වටිනාකම තේරුම් ගන්න උදව් කරන්න.
( උපුටා ගැනීමකි )
*

A day in the life