Thursday, October 19, 2023

කුමට බරක් වුන නටුවක් ගහකට



දළු කොළ ඉති අතරෙහි හිඳ හිනැහෙන
දසදහසින් ගැවසී නිති දිදුලන
කැකුළු අතර සිටියේ නුඹ දින ගැන
නවමු පැතුම් පතමින් ලොව පිබිදෙන
සරු පොහොරද ලබමින් දියවර හා
ගස සියලුම රස බෙදමින් අප හා
නුඹ ඒ හැම ලැබුයෙන් මා හරහා
බැඳුණු සෙනේ පවසමි නොම වළහා
ගතවන විට මෝරා මේ ලෙසිනා
නිරතුරුවම මට කරුණකි දැනෙනා
දිනයකි නුදුරුම මල ලෙස පිපෙනා
උතුරා යන සතුටකි හද අරණා
අඳුර පිරුණු එක් මූසල උදයක
බිඳී වැටුණු මුදු සුමුදුම පෙත්තක
උණුසුම හා එක් වූ පිනි කඳුලක
පහස නිමා කළෙ මා දුටු සිහිනෙක
සසැලී මා සිටියත් වාවනු බැරි
එබිකම් කළ සඳ කව්රුද පෙති ඇරි
දුටුවේ දසුනකි බිහිසුණු ගති පිරි
කැකුළු නසන පණුවෙකි නපුරුම හරි
මතු දිනයක රස පලයක් නිමකොට
මාත් පෙරුම් පිරුවා මිය යන්නට
මැලවී ගිය කල කැකුළත් අකලට
කුමට බරක් වුන නටුවක් ගහකට
පී. ජී ආරියපාල

notes of imaginary