Sunday, January 28, 2024

වටද්දර ඤණිස්සර නායක හාමුදුරුවෝ.


කූරගල සැබෑ භාරකරු වූයේ උන්වහන්සේය.. ඉතා දුෂ්කර කලක උන්වහන්සේ එහි වැඩවිසූහ.. බහුභාණ්ඩික භික්ෂූන් අතර අල්පේච්ඡ හිමිනමක් වූහ.. උන්වහන්සේ විසින් පුරාවිද්යාව සහ ජනකථා අතර සම්බන්ධය ඔප්පු කල අවස්ථා සිය ගනනක් මම අත්විඳ ඇත්තෙමි.. කල්තොට වෙනම ප්රාදේශීය ලේකම් කොට්ඨාසයක් කරන්නට මට අදහස දුන්නේ් මහාද්වීප පාවෙමින් ගිය ආකාරය සහ ඉන්දියාව යුරේසියාවේ ගැටෙද්දී එහි ප්රතිඵලයක් ලෙස බෙල්ලන්ගල කන්ද ඉහලට එසවුනු ආකාරය පහදා දෙමින් වසර මිලියන ගනනක් පැරණි බෙල්ලන් ගොඩබිමෙහි ඇති ආකාරය පහදාදීමෙන් පසු ඇතිවූ කථාවකදීය..
ආචාර්ය ගිලියන් ජුලෙෆ් බලංගොඩදී සුලං බලයෙන් යකඩ උනුකරන උඳුන ප්රතිනිර්මාණය කලේ වටද්දර නායක හාමුදුවන්ගේ උපදෙස් පරිදිය.. එම උඳුන යලි ඉදිකිරීම සිහිවන්නට බලංගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ එහි අනුරුවක් සහ පුවරුවක් ඉදිකරන්නට මා කටයුතු කලේ උන්වහන්සේ කවුරුන්දැයි නොදන්නා අයට දැනගන්නටය..
වටද්දර හාමුදුරුවන් දැනුම් ගබඩාවකි.. එහි ඵල ප්රයෝජනය ගන්නට තරම් බුද්ධියක් බලංගොඩ මිනිසුන්ට තිබුනු බවක් මා අත්විඳ නැත.. ප්රාඩෝ වල යන, ගල්මත සිංහයින් හදන, වටිනා සිවුරු දරන, නායක තනතුරු වලින් වැජබෙන සංඝ සමාජය නිසා ඇස් නිලංකාරබුනු බලංගොඩයෝ සෙරෙප්පු නොදා පයින් යන, ලොකු අයියාගේ කඩෙන් ⁣එලවළු රොටියක් කහට එකක් වළඳන, කියන්න තියෙන දේ මූණටම කියන, දේශපාලන නායකයාට සහ පාරේ බුදියන හිඟන්නාට එකසේ සලකන වටද්දර හිමියන්ට සැළකුවේ වැඩිය අවුස්සානොගෙන සිටියයුතු ස්වාමීන්වහන්සේ නමක් ලෙස බව මගේ මතකයයි..

 


ලංකාවේ මිනිස්සු ගල් පිළිම සහ බොල් පිළිම වෙන්ව හඳුනාගන්නා දිනක උන්වහන්සේ ගැන මීටවඩා ආදරයෙන් සිහිපත් කරනු ඇත.. බලංගොඩ උරුමය ඇත්තේ කොන්ක්රීට් සිංහයන් තුල නොව වටද්දර හිමියන් මැදිහත්ව ප්රතිනිර්මාණය කල ලෝකයටම එකක් වන ස්වභාවික සුළගෙන් තනි පියවරෙන් වානේ නිපදවන තාක්ෂණය ඇති උඳුන් වල බව කවදාහෝ කවුරුන්හෝ ලියනු ඇත..
උන්වහන්සේට නිවන් සුව පතනවා වෙනුවට ඒ මහා දැනුම යලි බෙදන්නට දැනුමේ වටිනාකම දන්නා රටක උපදීවායි පතන්නට මට සිත් වෙයි..
වටද්දර ඤණිස්සර අපේ නායකහාමුදුරුවන්ට නිවන් මගට යොමුවන සුගතිගාමී භවයක් ලැබේවායි පතමි..
සටහන - Champika Nirosh (හිටපු ප්රාදේශීය ලේඛම්)
ඡායාරුප - Sidusankha Vidupathi



A day in the life