Monday, October 09, 2023

ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි


කවියකට
නවතින්න පුලුවන් කවියෙක් ඇතුළෙ විතරමද
මං දැක්කා කවියක්
ඊයෙ රෑ හඳ පලුවක එල්ලුන හැටි
කරගැට පිරි අත්ලක් මැද
උණුහුම් වී හිනැහෙන හැටි
අහම්භයක් වෙන්නට ඇති
ප්රේමය ලිස්සල වැටුණම
නැගිටින්නට අත දීගෙන
කවියක් හිනැහෙනු දුටුවෙමි
ඒ කවියම
තනපුඩුවක එල්ලීගෙන
හිනා මවන බිළිඳුන් ළඟ
ඉන්ද්රචාප මවනු දුටිමි
අරගලයක සටන් පාඨ
කලබලයෙන් ඇහැරෙන විට
තුවක්කුවක සිදුරක් ළඟ
කවියක් ලතැවෙනු දුටුවෙමි
ඒ කවියම
හරස් පාරකින් ඇවිදින්
ඉසියුම් තැන් ඇහැරවමින්
ප්රේමය තැවරුව කොපුලත
මතකය මඟහරිනු පිණිස
රිදවුම් පිරිමදින රහස
ලතෙත් අකුරු වල පටලා
කවියක් මුමුණනු දුටුවෙමි
ඒ කවියම
ඊළඟ මොහොතේ සුවඳැති
මල් පෙත්තක මම දුටුවෙමි
කවියෙක් උපදින්නට නම්
කවියක් ආ යුතු පපුවට
සෝමලතා හේරත් මැණිකේ

notes of imaginary

2 comments:

ගල්මල්-Coral said...

බොහෝම අලංකාරයි පදපෙල, රසවින්ඳා.

කවියක් වෙන්න
පයලා ගත යුතුය
අනුන්ගේ පාවහන් යුගලක්,
තමන්ගේම මේස් කුට්ටමක්

දුමින්ද අබේසේකර said...

ඒක වෙනමම රසක්. ලස්සනයි
ජයවේවා