අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Monday, October 16, 2023

10/16/2023 02:01:00 pm



මට හැකි පමණ අත්වැල් පටලා ලොවම
සිතුවිලි පෙලගසා මානයකින් නවම
රතුපැහැ රුවින් හැඩගන්වූ ලක්දිවම
මා පිය සබඳ මා ගැන මතකද තවම

සැම තොරතුරම සුරැකිව රඳවමින් මුවේ
මාකල මෙහෙය සුළුපටුසේවයක්නොවේ
පරසිදු වුවද එදවස මා මිතුරු ලොවේ
අද නම් විවේකීවම කල දවස ගෙවේ

කුසතුළ හොවාගෙන සිට කරදහි කඳුම
තවමත් රෝග⁣යක් නැති එකමය පුදුම
රෑ දහවලේ සිදුවී දුහුවිලි වැදුම
අවපැහැ වෙලාදෝ මගෙ රතුපැහැ ඇඳුම

ගරුතර ලියුම් රජයේ සලකුණුද තියා
ලියවුනු හසුන් නෑකම් මිතුරන්ද සොයා
යායුතු මංතලය පසුවට සොයන නියා
පුදුමයි නේද පළමුව මගෙ කුසට ගියා

එනමුදු හෙනහුරා පැන මගෙ කුස මතට
කටකන පෙත්ත ආවා ඔබ ගේ අතට
පණිවුඩ දුන් සැනින් ලැබුනත් ඔබ අතට
මහ කණගාටුවක් ඇත මගෙ නම් සිතට

එදවස ලිපි සමග මාවෙත පියමැන්න
රසබර කතා ඇත තවමත් පවසන්න
ඔබටත් අවැසි නම් ඒවා දැනගන්න    
ළඟදිම දිනක ලිපියක් ගෙනවිත් දෙන්න

--සුරංග බණ්ඩාර

notes of imaginary

0 ප්‍රතිචාර: