සීතලට පෙඟුණු මේ රාත්තිරි යාමයේ
කඳුයාය නිදිවරා සුසුම්ලයි වරින්වර
තරු ඇහැක් දල්වලා හොයනවිට සඳ එළිය
කළු වළාවක් ඇවිත් වහගත්තෙ සඳ පළුව .
රැහැයියන් ස්වර මදින හඬට විස්සෝපයෙන්
උල ලේණියක් ඉකි ගසා දුක කියන විට
කඩුපුලක නෙත’ග පිණි කඳුළු තවරා තියා
සුළං රැල්ලක් හෙමින් සමුඅරන් දුර ගියා .
කවුළුවේ තිර රෙද්ද වැළඳ මා දෙකම්මුල්
හුරුපුරුදු පහසකට හිත ගිහිං නිමේෂෙක
අගුලු ලූ මංජුසා මතකයන් විවරකර
තිසා වැව රළ විලස සිත් ඉවුරෙ පෙරළුණා .
කෙටි දුරක් ගෙවාගෙන අම්බලම හැරපියා
සැනසුමක් සොයාගෙන පිය නගන මාවතේ
බැඳීමක් නො මැති සඳ වළා පටලෙන් මිදී
අහස් තල එක’ළු කර මා සමග හිනැහුණා .
රෝ.සි.
4 comments:
හරිම ලස්සනයි
ජයවේවා
බැඳීමක් නොමැති තැන බලාපොරොත්තු කඩවීමක් නෑ. වේදනාවකුත් නෑ. හැබැයි බැඳීම් නැති ජීවිතය?
බැඳීමක් නොමැති තැන 😥
ලොකු දෙයක් ආයෙමත් බ්ලොග් ලෝකය පය තැබීම පිළිබඳව!
කවදත් වාගේම චිත්ත රූප මැවෙනා කවි ගෙත්තමක්!
Post a Comment