අහම්භයක් වෙන්නට ඇති
ප්‍රේමය ලිස්සල වැටුණම
නැගිටින්නට අත දීගෙන
කවියක් හිනැහෙනු දුටුවෙමි
ඒ කවියම
තනපුඩුවක එල්ලීගෙන
හිනා මවන බිළිඳුන් ළඟ
ඉන්ද්‍රචාප මවනු දුටිමි
අරගලයක සටන් පාඨ
කලබලයෙන් ඇහැරෙන විට
තුවක්කුවක සිදුරක් ළඟ
කවියක් ලතැවෙනු දුටුවෙමි
ඒ කවියම
හරස් පාරකින් ඇවිදින්
ඉසියුම් තැන් ඇහැරවමින්
ප්‍රේමය තැවරුව කොපුලත
මතකය මඟහරිනු පිණිස
රිදවුම් පිරිමදින රහස
ලතෙත් අකුරු වල පටලා
කවියක් මුමුණනු දුටුවෙමි
ඒ කවියම
ඊළඟ මොහොතේ සුවඳැති
මල් පෙත්තක මම දුටුවෙමි
කවියෙක් උපදින්නට නම්
කවියක් ආ යුතු පපුවට
සෝමලතා හේරත් මැණිකේ
2 comments:
බොහෝම අලංකාරයි පදපෙල, රසවින්ඳා.
කවියක් වෙන්න
පයලා ගත යුතුය
අනුන්ගේ පාවහන් යුගලක්,
තමන්ගේම මේස් කුට්ටමක්
ඒක වෙනමම රසක්. ලස්සනයි
ජයවේවා
Post a Comment