අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-12-08

12/08/2025 10:00:00 pm



මාතර පරණ ගාලු පාරේ 99 වැණි සැතපුම් කණුවේ කොටා ඇති MATURA
මෙය පරණ ගාලුපාරේ 1700 වකවානුව දක්වා ඉතිහාසයක් ඇති මාතර මහ වලව්ව නොහොත් ඉලංගකෝන් මුදලි වලව්ව හි ආසන්නයේ මේ 99 සැතපුම් කණුව පිහිටා ඇත...

රුහුණු රට හා මාතොට

රුහුණු මායා සහ පිහිටියැයි පැරණි ලක්දිව ප්‍රධාන රටවල් තුනකට බෙදා තිබිණි. මෙයින් රුහුණු රට හා මායා රට හෙවත් මලය රට" මුල සිට ම දීපවංසයෙහි හා මහාවංසයෙහි සඳහන් වේ. එහෙත් පිහිටි රට හෙවත් රජ රට ගැන පළමු වරට මහාවංසයේ සඳහන් වන්නේ නව වැනි සියවසේ දී සිටු වැනි කාශ්‍යප රජුන් සමයේ දී ය.

රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය මහවැලි ගඟට පීනා ඔය එක් වූ කටුගස්තොට දී බෙදුණ බව වර්තාගතය. සමනොළින් පටන් ගෙන ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මහාචාලුකා නදිය හෙවත් මහවැලි ගඟත් එසේම සමනොළින් ඇරඹී කළුතොට දී මුහුදට වැටෙන කාලගංඟා හෙවත් කළු ගඟත් උතුරු මායිම් ලෙස ඇති ව කළුතර සිට ත්‍රිකුණාමලය දක්වා මුහුදින් වට වූ ලක්දිව දකුණු පෙදෙස පැරණි රුහුණු රට විය. රජ රටට අයත් ප්‍රදේශයක් වු දක්ඛිණ දේශයට පස්දුන් කෝරලය අයත් විමත් සමඟ කළු ගඟ වෙනුවට බෙන්තොට ගඟ රුහුණේ මායිම ලෙස ගැනෙන්නට විය. මෙය වූයේ පළමු පැරකුම්බාවන් සමයේය.

දොළොස් වැනි සියවසේ සිටම මෙම බෙදීම මෙසේ ම පැවැතිණි. දහහතර වැනි සියවසට අයත් මහකඩයිම් පොතීන් හා දහඅට වැනි සියවසට අයත් ත්‍රි සිංහලේ කඩයිම් පොතීන් මෙම ප්‍රදේශ වල විස්තර දත හැකි අතර, ත්‍රිසිංහලේ කඩයිම් පොත රුහුණු මායා පිහිටි රටවල මායිම් විස්තරය හොදින් පැහැදිලි කරයි. එකී විස්තර අනුව වර්තමාන ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, මඩකලපුව යන දිසා
.
මුළුමනින් ද මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමල දිසා වලින් කොටස් ද පැරණි රුහුණට අයත් වේ. මේ අනුව මහනුවර නගරයත් පේරාදෙණියේ විශ්ව විද්‍යාලයයේ සංඝාරාමය හැරෙන්නට ඉතිරි කොටසත් අයත් වන්නේ රුහුණටය.

පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලය තුළ මෙකී පැරණි රට බෙදීම ව්‍යවහාරයෙන් ඉවත් වන්නට වුයේ විටින් විට ඔවුන්ගේ වසඟයට ගත් ප්‍රදේශ වෙනස් වූ නිසාය. පෘතුගීසින් ලක්දිව මුහුදුබඩ පෙදෙස් අයත් කර ගත් පසු 16 වැනි සියවසේ දී විමලධර්මසූරිය රජතුමා (1592 - 1604) ස්වාධීන සිංහල රාජ්‍යයේ අග නුවර කන්ද උඩ පස් රටේ සෙංකඩගලට ගෙන ගියේ ය. ඉන් පසු මහනුවර ලෙස හැඳින් වෙන එම නගරය හා සිංහල රජුට අයත් ප්‍රදේශ උඩ රට ලෙස හඳුන් වන ලදුව විදේශිකයන් සතු මුහුදුබඩ පෙදෙස් පහතරට ලෙස හඳුන් වන්නට විය. සිංහලයන් අතර භේද ඇති කොට පාලනය කිරීමේ දී උඩ පහත භේදය විදේශිකයෝ අවියක් කොට ගත් හ.

පැරණි රුහුණේ මධ්‍ය ස්ථානය මාගම යි. ඒ අවට ප්‍රදේශයේ එවැනි ආර්ථික, සාමාජික සාමයික දියුණුව සොයා ගෙන ඇති නටබුන්වලින් හා ශිලා ලේඛන වලින් අනාවරණය වේ. එහෙත් කළු ගඟ සිට නිල්වලා නදිය දක්වා වු රුහුණට අයත් පෙදෙස ක්‍රිස්තු වර්ෂයෙන් දොළොස් වැනි සියවස දක්වා එ තරම් ජනාවාසව තිබූ බවෙක් නො පෙනේ. 12 වැනි සියවසේ සිට මේ පෙදෙස් ජනාවාස වන්නටත් දියුණු වන්නටත් පටන් ගති. 13 වැනි සියවස වන විට රුහුණේ මධ්‍ය ස්ථානයෙක ස්වරූපය දොළොස් දහස් රටට අයත් මාතොට උසුලන්නට විය. නිල්වලා ගඟ මුව දොර දියුණු වෙමින් පැවැති මාතොට සිරිය 14, 15 වැනි ශතවර්ෂ වල මා තොට හරහා දෙවිනුවර උපුල්වන් දෙවුරද කරා ගිය මයුර පරෙවි සන්දේශ වලද දෙවිනුවර සිට මා තොට හරහා යැවුණු තිසර කෝකිල සන්දේශ වලද සඳහන් වේ.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල 1597 දී සිය රාජධානිය පෘතුගීසින්ට පවරා මිය ගිය විට ඔහුට අයත්ව තිබූ මාතොට දිසාව පෘතුගීසින්ට අයත් විය. වර්ෂ 1645 දී පමණ එම
.

ප්‍රදේශ ලන්දේසීන්ටත් 1796 දී ලන්දේසීන්ගෙන් ඉංග්‍රීසින්ටත් මාතොට දිසාව අයත් විය.

මාතොට නාමය මහාතිත්ථ යන්නෙන් බිඳේ. මහාතිත්ථ ලෙස මහාවංසය හැඳින් වූයේ වයඹ ප්‍රදේශයේ මන්නාරම අසල මාතෛයි යන්නයි. නිල්වලා ගඟ අසල වූ මහා තොට නිසා මාතොට ලෙස සැලැකුණු මාන්තොට මහාතිත්ථ ලෙස මහනුවර යුගයේ දී පාලියෙන් හඳුන්වා තිබේ.

මාතොට ඇත්නිලය ගැන මයුර සංදේශ කතු දකියි. ත්‍රි සිංහලේ කඩයිම් පොත මා තොට දෙව්නුවර ගැන සඳහන් කරයි. රාජාධි රාජසිංහ රජ (1780 - 1798) මාතොට යතිවරයන් ගැන කවියෙන් විමසයි.

පාලි - කාලතිත්ථ > කළුතොට > කළුතර විය. එසේ ම භීමතිත්ථ > බිම්තොට > බෙන්තොට බෙන්තර විය. එහෙත් ගිම්හතිත්ථ > ගිම්තොට ගින්තොට වී එසේම ව්‍යවහාර විය. එය ගින්තර වූයේ නැත. මාතොට නාමයද අද දක්වා මාතොට ලෙස ව්‍යවහාර වන්නට ඉඩ තිබුණ ද පෘතුගීසීන් ගේ වැරැදි උච්චාරණය නිසා එය මාතර බවට පත්වී යයි මතයෙකි.

වර්ෂ 1606 පෘතුගීසි සිතියමක මාතොට මම්පොර Matvre ලෙසත් සසොන් නමැති ප්‍රංශ ජාතිකයා ගේ ලක් සිතියමේ (1652) එය මාතුරෙ Mature ලෙසත් 1677 දි බැල්ඩෙයස් Baldaeus නමැති ලන්දේසි ජාතිකයා ඇඳි ලංකා සිතියමේ එය Matura ලෙසත් රොබට් නොක්ස් නමැති ඉංග්‍රීසි ජාතිකයාගේ 1681 වර්ෂයට අයත් සිතියමේ ද එසේමත් මා තොට ලකුණු කර ඇත.

මාතර නාමය ඉදිරියට වෙනස් නො වේ. එහෙත් ඒ නමින් හැඳින්වෙන නගරයත් ප්‍රදේශයත් තව තවත් ප්‍රගතිය කරා ඉදිරියට වෙනස් වන බව සත්‍යයෙකි.

එච්. ඒ. පී. අභය වර්ධන ගේ ලිපිය ක්

1. දීපවංසය පරි: 18 ගාථා 23, 40 මහාවංසය පරී: 22 ගාථා 6, 8;
2. .Θ. පරී: 7 ගාථා 67, 68;
3. ම වං 08. 52 04;
4. ලංකා විශ්වවිද්‍යාල සමාලෝචනය වෙළුම IX 26 පිටුව
5 යූ. සී. ආර්. වෙළුම VII පිටුව 142;
6 ම. වං පරී. 48 ගාථාව 81 " පරී. 51 ගාථාව 28
7 '' පිතරං. සංඝරාජෙන පෙසිතං ධම්මපාලප්පමුඛාය සිස්සසුනුතං. මහාතිත්ථ රට්ඨ වාසීනං '' ගල්කෙමේ රජමහා විහාරයට අයත් සරණංකර සඟරජ හිමියන් එවන ලද විපරම් පත්‍රය

මුණු පොතෙන් -  Hmsk Herath
A day in the life

0 ප්‍රතිචාර: