බෙලිහුල්ඔය සුව පහසු දේශගුණික පරිසරයක ඇති ප්‍රදේශයක් .
ඒ නිසාම සති අන්ත ,නිවාඩු දිනයන් ගත කරන්න එන පිරිස බොහොමයක් දෙනා බෙලිහුල්ඔය තෝරා ගන්න කැමතියි
මේ ලිපිය ලියන මේ අවස්ථාවේ පරිසර උෂ්නත්වය සෙල්සියස් අංශක 20 යි. මෙය 18 -22 අතර විචල්‍ය වෙනවා.
ඉතින් නිවාඩුවේ ගත කරන්න හොද දේශගුණයක් තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්නේ.
මට මාස දෙක තුනකට වරක් හමුවන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා පදිංචි බස්නාහිර පලාතේ. බෙලිහුල්ඔයට විත් නවාතැන් ගෙන දින දෙක තුනක් ඉද ආපහු යන . ඔහු නවාතැන් ගන්න එක් නවාතැනක් තෝරා ගෙන තියෙනවා. ඔහු එන්නේ තනියම. මම දවසක ඇහුවා මොකද මේ ගමනෙන් බලාපොරොත්තුවෙන්නේ කියලා
“මිස්ටර් මම එන්නේ නිදා ගන්න. මෙහේ නිස්කලන්කව නින්ද යනවා. ඇගට තියෙන්නේ ප්‍ර බෝධයක් . “ඒ එයාගේ අදහස.
එයා බෙලිහුල්ඔයට එන්නේ REFRESH වෙන්න.
තවත් අය එන්නේ නාන්න සීතල වතුර ඇග ප්‍රෙබා්ධමත් කරනවා.
නාගරිකයෙන් මිදුනු පරිසරය ලස්සනයි .දිය ඇලි ,කදු ,සිත ප්‍රෙබා්ධමත් කරනවා. දුෂ්කර අතුරු මාවත් සිත ක්‍රියාන්විතයක් බවට පත් කරනවා. විවිධ වයස් කාණ්ඩයන්ට විවිධ අත්දැකීම්.
මම මේ අතර අතීත කථා වක් වියමන් කරන්නම්.
අතීත කථා.
“බෙලිහුල්ඔයේ ගල් සෙවලය ලිස්සනවා
හිරිකටු ඔයේ හෙල වැහැලා බොර එනවා
ඉහින් කණින් කූඩැල්ලන් ලේ බොනවා
දුප්පත්කම නිසා රස්සාවට යනවා…..“
බෙලිහුල්ඔයට නම හැදුන හැටි ගැන විවිධ මත තියෙනවා.
අර්නස්ට් හේකල් කියන්නේ මේ වගේ අදහසක්.
හේකල් සදහන් කරනා ආකාරයට බෙලිහුල්ඔය ට නම ලැබී ඇත්තේ “බිල්ලට දුන් ගිණි හුලෙහි ඔය” කියනා අර්ථයෙනුයි. ඒත් වෙනත් අර්ථකථනයන් බෙලිහුල්ඔය කියන නමට තියෙනවා.
බෙලිහුල්ඔය ගමට මේ නම ලැබී ඇත්තේ සානුවේ දොරුවක් මැදින් ගලා බසින කදුකර දොල පහර නිසාවෙනි . අතු ගංගා කිහිපයක් ඇරුන විට මෙම දොළ පහරේ මුලාශ්‍රයන් හෝර්ටන් තැන්නෙන් ඇරඹෙනවා. මේ මුලාශ්‍රයන් එකතුවී පසුව සැඩ පහරක් ලෙස ගලා බසින මෙම දිය පහර පටු ඕඩ සරුවට වැඩුන පලාවන් වියනාන් වැසී ඇති බිම ඔස්සේ . බටහිර දෙසට මුහුණ ලන ප්‍රපාතාකාර ගල් බිත්ති අතරින් රිංගා ගලා බසිනවා. මෙම ඇල දොළ නිසා මේ අවට භුමි ලක්‍ෂණ වඩ වඩාත් උදාර හා සිත් ගන්නා සුළු බවට පත්වෙන බව හේකල් ලියනවා.
“ එදා හෙලබිම “ කියවන කොට පහත රට සිට ඌවට ගමන් ගත් මාර්ගය බෙලිහුල්ඔය හරහා තමයි වැටිලි තිබුනේ කියන අදහස හමුවෙනවා. ආක්‍රමික විදේශිකයන් හා සටන් වැදුන ස්වදේශිකයන් කල සටන් වලදී බෙල්ල ගගට වැටෙන්න පහර දුන් නිසා බෙල්ල - වැටුන - ඔය බෙලිහුල්ඔය වුනා කියලත් කියනවා.
බෙලිහුල්ඔය තැන තොරතුරු හොයන කෙනෙකුට අමතක කරන්න බැරි පරම්පරාවක එක් පුරුකක් තාම හමුවෙනවා.
ඒ ගනේවත්තගේ දොන් ජයරත්න බණ්ඩාර මහත්තයා.
එතුමා මීට අවුරුදු හැත්තෑවකට පෙර මේ ප්‍රෙද්ශයේ ජීවත්වූ ගනේවත්තගේ දොන් මේලිස් අප්පුහාමි සහ විලියම් අප්පුහාමි යන සහෝදරයින් දෙදෙනාගේ මුණුපුරා.
ගම්සභා මැම්බර් කෙනෙකුද වූ විලියම් අප්පුහාමි මහත්තයා හොද කවියෙක්. විලියම් අප්පුහාමි කවියා, ජයරත්න බණ්ඩාර මහතාගේ පොඩි සීයාය. “අපේ පොඩි සීයයි මේලිස් අප්පුහාමි සීයයි (එයා තමයි මගේ තාත්තගේ අප්පච්චි) ඒ කාලේ හැටියට ත දැන උගත් මිනිස්සු. සුද්දො එහෙම හුඟක් ආශ්‍රය කළා. ඒ කාලේ මෙහාට හරියට සුද්දො ආවා.” ඔහු අතීත බෙලිහුල්ඔය පිළිබඳ මතක අවදිකරමින් පවසනවා.
“කොහොමත් මේ පළාත වතුරෙන් පොහොසත්. ඉහත්තාවෙ පේන කඳු හොර්ටන් තැන්න. එක පැත්තකින් බෙලිහුල්ඔය ගලන කොට අනෙක් පැත්තෙන් හිරිකටු ඔය. හිරිකටු ඔය කියන්නේ හිරිගඩු පිපෙන තරම් සීතල වතුර තිබුණු නිසා. අදටත් ඒක හරිම සීතල වතුර තියෙන ඔයක්. මේ බෙලිහුල්ඔයට නම දෙන්න ඇත්තෙ බෙල්ලො. ඔයේ හරියට ගල්පර. ඒවායේ ලිස්සන දිය සෙවල පිරිලා තිබ්බ නිසා බෙල්ලොත් ගොඩක් හිටියා. ඉස්සර මිනිස්සු මේ බෙලිකටු එකතු කරලපුලුස්සලා හුණු ගත්ත කියනවා විටට කන්න.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතකය.
බෙලිහුල්ඔය අවට පරිසරය බෙහෙවින් සුන්දරයි. හෝර්ටන් තැන්නෙන් ඇරඹී ගලන මේ දිය දහරාවන් බේකර්ස් ඇල්ල මෙන්ම එතරම් ප්‍රචලිත නොවූ තවත් දිය ඇල්ලක් වන කැතිගාන ඇල්ලටද පණ දෙයි. “ඉස්සර මේ හැම එකේම අදට වඩා වතුර තිබ්බා. අපේ මේ කඩමණ්ඩිය මැදින් ගලන්නේ මැද කඳුර ඔය, නැගෙනහිර පැත්තෙන් ගලන්නෙ පුවක්ගස් ඇල්ල ආර. ඉස්සර මේවයෙ හරියට හිටියා මාලුවෝ.”
අතීතයත් වර්තමානයත් ගලපන ජයරත්න බණ්ඩාර මහත්තයාගේ කතා අතර දොඩමළු වෙනවා.
“බෙලිහුල්ඔය“ ගග අද විපරිතවු පරිසරය නිසා විනාශ වෙලා. ගොවීන් රසායනික පොහොර, වගාවට යොදන කෘමි නාශක නිසා ගග දිය රසායනික වෙලා.
ඒ නිසා නොලැබිලා තියෙන ස්වභාවික සම්පත් ජයරත්න බණ්ඩාර මහත්තයාගේ අතීත කතාවලින් හෙලිවන්නේ මෙහෙමයි.
“ඒ මාලුන් අතර ආඳන්, හොරපොලයි හා අල්ලක් තරම් ලොකු නිල් කලු ගල් ඉස්සෝද වූහ. ඉස්සන් දඩයම කොල්ලන් අතර ජනප්‍රිය වූවකි. එය බොහෝ හුරුබුහුටි කමක් වුවමනා කරන දඩයමකි. කිතුල් පිත්තක අග්ගිස්සට කිතුල් කෙන්දකින් තනා අමුණා ගන්නා තොණ්ඩුවක් සහිත බිලිපිත්තක් ඉස්සන් දඩයමට වුවමනාය. ඇම සුණුසහල්ය. කොල්ලෝ ඉස්සන් ගැවසෙන ඉවුරු හෝ ගල්පර අතරට සුණුසහල් ඉස බලා සිටිති. ඉස්සා සුණු සහල් ඇට වෙත පිහිනා එන කල ඉදිරියෙන් තොණ්ඩුව තබා ඌ එතුළින් රිංගා සිරවෙන්නට සැලසීම දඩයම් උපක්‍රමයයි.
ජයරත්න බණ්ඩාර මාමා ඉස්සන් අල්ලා සිය මුත්තණුවන්ගෙන් ගුටිමුරද ලබා තිබේ.
අද මේ සම්පත් දිනෙන් දින හීන වෙමින් පවතී.
“ගාලෙ ගොනුන් ලිහුවේ මෙහි වෙද රාළේ“
සුද්දන් වතු වැවූ හල්දුම්මුල්ල, හපුතල බදුල්ල වැනි ප්‍රදේශවලට කරත්තවලින් බඩු ප්‍රවාහනය කළ යුගයයි. කළුතරින් පාරුවලට පටවා ගෙනෙන බඩු රත්නපුර මහ සමන් දේවාලයට නුදුරෙන් බාගෙන කරත්තවලට පටවන්නේ මේ වෙහෙසකර ගමන යෑම සඳහායි. ඒ අතර තැන තැන ගිමන්හල් විය. එවැනි එක් නැවතුම් පලක් වූයේ ඉඹුල්පේය.
කරත්ත එහි නැවතූ පසු බෙලිහුල්ඔය දක්වා පයින් එන පයිංඩකාරයෙක් මෙපමණ කරත්ත ගණනක් මිනිසුන් හා ගොනුන් පිරිසක් උඩත්තාවට එන බව දැනුම් දෙයි. විලියම් අප්පුහාමිගේ ගාලේ කඩේ පිරිස සඳහා කෑම පිළියෙල වෙයි. පැමිණෙන ගැල්කරුවන් ගොනුන් ලිහා සාත්තු කර බෙලිහුල්ඔයෙන්, මැද කඳුරෙන් සිත්සේ සනීපෙට නා ගෙන ඉස්මුරුත්තාවට එනතුරු කන්නේ ගාලෙ කඩයෙනි. ඔවුන්ට නිදන්නට සිංහල උළු හෙවිල්ලූ අම්බලමක් පාරේ අද්දරට වන්නට තිබුණි.
ලෝ ප්‍රකට තානායම්පල
ලංකාවේ කරත්තකරුවන් මෙතැන සනීපදායක ගිමන්පොළක් කරගන්නා විට වැවිලිකාර සුදු මහත්තුරුන්ට වුවමනා කළේ ඉස්තරම් තානායමක් තැනීමයි. රමණීය බෙලිහුල්ඔය ඉවුරේ මාර්ගය අද්දරට වෙන්නට යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඔවුන් තැනූ තානායමට අස්හලක්ද ඇතුළත් විය. එහි මිදුලේ වැවූ පාරේ මාර යැයි ව්‍යවහාරයේ හඳුන්වන "ඇල්බීසියා ලෙබෙක් ගස" අද වනවිට වසර එකසිය පණහක්වත් පැරණි අති දැවැන්ත වෘක්ෂ රාජයෙකි. එය නඩත්තු කිරීම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අනුදැනුම ඇතිව සිදුවේ.
රසවත් භෝජන සංග්‍රයන්ටද නමගිය මේ තානායම එංගලන්තයේ රාජකීය උදවිය පවා ගිමන් හළ තැනකැයි ජන ව්‍යවහාරයේ සඳහන් වේ. එය කෙසේ වෙතත් සිරිමාවෝ රත්වත්තේ මෙනවිය හා තරුණ බණ්ඩාරනායක මහතා මෙහි මධුසමයට ආහ. එදා ඔවුන් සිටවූ අඹ පැලය අද දැවැන්ත වෘක්ෂයකි. “එදා බෙලිහුල්ඔය විලියම් අප්පුහාමි තමයි ඒ දෙපළ පිළිගන්න ගොක්කොළ තොරණ ගැහුවේ. තොරණෙ කවියක් ලියලා තිබ්බා තැඹිලි මල් අලවලා.” ඒ මතකයයි.
අසිරිමත් මතකයේ අද ඊයේ වගේ රැඳුණු තවත් සිද්ධියක් නම් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටය රූපගත කිරීමයි. “එතකොට මං පොඩි කොල්ලෙක්. අපේ මාමලා මාව කරේ තියන් ගිහින් ටිකක් උඩහට වෙන්න තැනක චිත්‍රපටය හදනවා පෙන්නුවේ. යම්තම් මතකයි මාමා ගාමිණී මහත්තයාව එහෙම පෙන්නනවා. සමහර දර්ශන කළේ නැග්රැක් නන්පෙරියල් පැත්තට යන පාරෙ. කරත්තෙ යන ගමන් කියන සිංදුව තියෙන්නෙ මුත්තෙට්ටුවගම පාරේ. ටිකක් උඩහට වෙන්න බලකොටුව තිබ්බෙ. ඒක පුපුරුවනවනේ. මේ චිත්‍රපටයට අස්සයො ගෙනල්ල හිටියා. අපි උන්ට බය වුණා. මොකද ඌ හරි තේජවන්ත ලොකු සතෙක්නේ.” ඒ ජයරත්න බණ්ඩාර මහතාගේ මතකයයි.
එකල සුරතලී චිත්‍රපටය සඳහාද මෙහි සිට තරමක් දුරින් වූ දිය ඇල්ලක රූප පෙළක් යොදා ගැනුණි. අදද ඒ දිය ඇල්ල හඳුන්වන්නේ සුරතලී ඇල්ල නමිනි.
ජාතික-ආගමික සංහිඳියාව
බෙලිහුල්ඔයෙහි විසුවේ ගොවීන්ය. මේ කඩ මණ්ඩියේ වෙළෙඳාම් කළ අයද ගොවිතැනක් බතක් කළ උදවියයි. කරවල, තෙල්, ලුණු පමණක් ඔවුන් පිටින් බලාපොරොත්තු වුණු දේ අතර විය. පසුකාලීනව සමනළ වැවෙහි දියවරට යට වුණු ගම්වල පවුල් ගණනාවක්ද මෙහි විත් පදිංචි විය. බෙලිහුල්ඔය බහුතරය ජාතියෙන් සිංහලය. ආගමෙන් බෞද්ධය. දෙමළ-හින්දු ජනයා මෙන්ම කතෝලික ආගම අදහන ජනයාද වෙති.
බෙලිහුල්ඔයේ කතෝලිකයෙකු වන ටයිටස් සිල්වාට අනුව පරම්පරා හතරකවත් තිස්සේ කතොලිකයෝ මෙහි වෙසෙති. “1900 ඉඳලා විතර මෙහේ පල්ලියක් තිබ්බා. ඔය බේරුවල මග්ගොන පැත්තේ ඉඳලා කළු ගඟේ පාරුවල වෙළඳාමට ආපු මිනිස්සු තමයි අපේ පැරැණියො. ඔය ජෝකිනූ මුදලාලිලා එහෙම කරවල, ලුණු නන්පෙරියල් හපුතලේ වතුවලට ඇද්දා, සුද්දගෙ කාලෙ. 1860දී බලංගොඩ පල්ලිය හදලා තියෙන්නේ...” මෙහි වෙසෙන කතෝලික හා බොදුනු පවුල් අතර ඇත්තේ දැඩි සහෝදර බැඳීමකි. පල්ලියේ පෙරහැරට බොදුනුවන්ගේ උපහාරය හිමිවන අතර පන්සල් තැනීමේදි ගල් ගඩොල් කඳු උඩට කර බරින් අදින්නට කිතුනුවන් සහය දී තිබේ.
නන්පෙරියල් නැග්රැක් හි දෙමළ වතු ජනයාටද ආසන්න සරුම කඩපල මෙන්ම තැබෑරුමක්ද ඇත්තේ මෙහි බැවින් ඔවුන්ද ගැවසෙන්නේ බෙලිහුල්ඔයමය.
0 ප්‍රතිචාර:
Post a Comment