අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Saturday, August 23, 2025

8/23/2025 01:57:00 pm



දවස 1908 අගෝස්තු 11. බිහාර් හිරගෙදර තාප්ප වටේට ඉන්දියානුවො දහස් ගානක් රැස්වුනා. හැමෝගෙම අතේ මල් පොකුරු. ඒ වයස අවුරුදු 19ක කොලු ගැටයෙක් වෙනුවෙන්. අවසන් මොහොතෙ හෝ මේ කොලු ගැටයාව දැකගන්න එක තමයි හැමෝගෙම උවමනාව උනේ.

මොකද මේ පුංචි කොල්ලා හිටියෙ තව සුලු මොහොතකින් මරණ දණ්ඩනයට සූදානම්ව.
වෙලාව උදේ 6 යි. කලුවර නිවුනා. බිහාර් හිරගෙදර වසාගෙන පිනි කෝඩයක් වැටුනා. වයස අවුරුදු 19ක් වූ ‘කුදිරාම් බෝස්‘ හරිම සංසුන් ව පෝරකය දිහාට ඇවිද යන්න පටන් ගත්තා. පෝරකය ළඟ නැවතිලා කෙලින් හිටගත්තා. රැස්ව හිටපු මහා ජනකාය එක්ක අවසන් වරට හිනාවුනා. මරණයෙන් පසුව ලක්ෂ ගානක් මල් පොකුරුවලින් ඔහුගෙ දේහය වැහුනා. ඉන්දියාව ම ඇඬුවා. එතැන් සිට අද වෙනකන් ම අගෝස්තු 11 තමයි කුදිරාම් බෝස්ගේ සැමරුම යෙදෙන්නෙ. ඉන්දියාවේ පුංචි වීරයා.
කුදිරාම් බෝස් ඉපැදුනේ 1889 දෙසැම්බර් 3 වැනිදා බෙංගාලයේදි. එයා කුඩා කාලෙදි ම එයාට දෙමව්පියො අහිමි උනා. හැදුනෙ වැඩුනෙ අක්කා ළඟ. මේ වෙද්දි ඉන්දියාව තිබුනෙ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය එක්ක අනවරත ගැටුමක. ජාතිමාමක ඉන්දීය නිදහස් සටන උපරිම තලයකට ඇවිලුනා. කුදිරාම් බෝස් මේ හැම නිදහස් සටන් වීරයෙක්ගෙ ම කතාවලට හොඳින් කන් දුන්නා. ඒ වීරයො ගැන එයා ආඩම්බර උනා.
වයස අවුරුදු 15 දි එයා බ්‍රිතාන්‍යයට විරුද්ධව සටන් කරන්න හදාගත්තු විප්ලවීය ව්‍යාපාරයකට බැඳුනා. ඒකෙ නම ආනුෂිලාන් සමීති. ඉන්දීය නිදහස් සටන කියන්නෙ ලෝක ඉතිහාසයේ සුවිශේෂී ම නිදහස් සටන කිව්වොත් වැරදි නෑ. ලංකාව වගේ රටවල් ඉතා ඉක්මනින් ම ආයුධ අරන් සටන් කරන එක නැවැත්තුවා. හැබැයි ඉන්දියාව ඉස්සරහට ආවෙ සන්නද්ධ සටන වෙනමත්, රාජ්‍ය තාන්ත්‍රික සටන වෙනමත් පෝෂණය කරමින්. එයාලා දැනන් හිටියා දෙකෙන් කොයික හෝ යම් දවසක දිනන බව.
කුදිරාම් බෝස් තෝරාගත්තෙ සටන් කිරීම. එයා ආයුධ පුහුණු උනා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ආණ්ඩුවේ මර්මස්ථානවලට බෝම්බ සවි කරන එක තමයි එයා බාරගත්තු වැඩේ.
මේ වෙද්දි ඉන්දියාවෙ හිටියා ඩග්ලස් කින්ස්ෆෝඩ් කියලා නඩුකාරයෙක්. එයා ප්‍රසිද්ධ ව හිටියෙ ඉන්දියානුවන්ට කෘෘර දඬුවම් දෙන බ්‍රිතාන්‍ය නිලධාරියෙක් විදිහට. කුදිරාම් බෝස් ඇතුලු කණ්ඩායමක් මේ ඩග්ලස් නඩුකාරයාව මරා දැමීමේ මෙහෙයුම බාරගත්තා. සැළසුම ව්‍යර්ථ උනා. මොකද ඉතාම ඉක්මනින් ඩග්ලස් නඩුකාරයාව බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් වෙනත් පලාතකට මාරු කර යවපු හින්දා.
කුදිරාම් බෝස් ඇතුලු පිරිස ව්‍යාජ නම්වලින් ඉන්දියාවෙ විවිධ තැන්වල පෙනී සිටිමින් ඩග්ලස් ගැන ඔත්තු බැලුවා. 1908 අප්‍රේල් 30 වැනිදා මෙයාලට හරි තොරතුරක් ලැබුනා. ඩග්ලස් එන්න නියමිතව හිටියා යුරෝපියන් සමාජ ශාලාවකට. සැළසුම උනේ මේකයි. ඩග්ලස් එන්නෙ කුලී රථයකින්. සමාජ ශාලාව ළඟට ඩග්ලස් එද්දි කුදිරාම් තවත් රථයකින් එතැනට යනවා. යනගමන් බෝම්බය දමා ගහනවා. කලුවරේ කිසිවක් පේන්නෑ. කුදිරාම්ට පුලුවන් පැනගන්න.
බෝම්බෙ පිපිරුවා. ඩග්ලස්ගෙ බිරිඳයි දියණියයි තමයි ඒකෙ ගොදුරු උනේ. සැළසුම සාර්ථක උනත් ඉලක්කය වැරදුනා. ඩග්ලස් බේරුනා.
මේක බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සමස්ථ අවධානය ම කුදිරාම් බෝස් වෙත එල්ල කළ උණුසුම් පුවතක් උනා. කුදිරාම්ට සිද්ධ උනා දවල් කාලයේ කොහේ හෝ හැංඟෙන්න. මුලු රාත්‍රිය පුරා ම තැනින් තැනට සංචාරය කරමින් ජීවිතය බේරාගන්න. එක්තරා අලුයම් කාලයකදී කුදිරාම් රෑ තිස්සේ ඇවිදපු මහන්සියට දුම්රිය ස්ථානයක ඉඳගෙන ගිමන් හැරියා. පොලිස් නිලධාරීන් දුටු සැණින් ඔහුව හඳුනාගත්තා. කුදිරාම් බෝස් අත් අඩංගුවට පත්වුනා. කුදිරාම් එක්ක මේ ප්‍රහාරයට එකතු වූ අනෙක් සගයා එදා ම කල්කටාවේදී පොලිසියට අහු උනා. හැබැයි එයාව නම් එතැන ම වෙඩි තියලා මරා දැම්මා.
කුදිරාම්ව අත් අඩංගුවට ගත් පුවතට මුලු නගරය ම කැළඹුනා. මිනිස්සු පොලිසි වැටලුවා. කුදිරාම් ඒ වෙද්දි ඉන්දීය නිදහස් සටනේ අති ජනප්‍රිය පුංචි කොල්ලෙක්. මේ නිදහස දිනාගන්න නම් ආයුධ අරන් සටන් කරන්න ඕන කියපු කඳවුරේ මිනිස්සු කුදිරාම්ට සැළකුවේ පරිනත නායකයෙක් ගානට. මොකද ඉන්දියානුවො බ්‍රිතාන්‍ය පාලකයින් යටතේ ඒ තරම් දුක් වින්ඳා.
කුදිරාම්ට විරුද්ධ ව නඩු දැම්මා. ක්ෂණික ව ම නඩුව කැඳෙව්වා. කුදිරාම් දැනන් හිටියෙ නෑ යාලුවා මැරුණු බව. කුදිරාම් පාපොච්චාරණය කෙරුවා තමන් තනියම ගිහින් බෝම්බය දමා ගැසූ බව. හැබැයි උසාවියේදි කුදිරාම්ට යාලුවගේ දේහය ගෙනැත් පෙන්නුවා. කුදිරාම් නිහඬ උනා. බෝම්බය ගැන ඉන්පසු කිසි වචනයක් උසාවිය තුළ කුදිරාම්ගෙ කටින් පිටවුනේ නෑ.
කුදිරාම් වෙනුවෙන් පෙනී සිටීමට නිදහස් සටනේ හිටපු නීතීඥයින් පොරකෑවා. ඔවුන්ගෙ තර්කය උනේ කුදිරාම් ඉතා ලාබාල හින්දා නිදහස් කරන්න කියන එක. 1908 ජූනි 13 කුදිරාම් බෝස්ට අධිරාජ්‍ය අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කෙරුවා.
මරණ දණ්ඩනය ගැන වගන්තිය නඩුකාරයා විසින් කුදිරාම්ට පැහැදිලිව කියෙව්වා. තේරුණාද ඇහුවා. ඔව් මට තේරුණා. කුදිරාම් කිව්වා. මට ඔයාට බෝම්බ හදන්නෙ කොහොමද කියලා කියාදෙන්නත් තේරෙනවා. කුදිරාම් මරණ දණ්ඩනය ලැබීමෙන් පස්සෙ නඩුකාරයාට කිව්වා.
අගෝස්තු 11 වැනිදා ඉන්දියාවේ පුවත්පත් සැරසුනේ කුදිරාම් ගැන ලියැවුනු ලොකු අකුරුවලින්. කුදිරාම් බෝස් යනුවෙන් ලියූ දෝති (ඇඳුමක්) වලින් 11 වැනිදා ඉන්දියානුවො සැරසුනා. වැඩියෙන් ම මේ වැඩේට එකතු උනේ කුදිරාම්ගෙ සමවයස්වල හිටපු පාසැල් ළමයි. කුදිරාම් ඉන්දීය නිදහස නොදැක ම පෝරකයට ගියා.
අදත් බෙංගාලයේ කුදිරාම් බෝස් නමින් පාසැල්, රෝහල්, දුම්රිය ස්ථාන නම්වෙලා තියෙයි. චිත්‍රපට පවා නිර්මාණය උනා.
බ්‍රිතාන්‍ය යුගයේදී මරණ දණ්ඩනය හිමි වූ බෙංගාල වීරයින් අතර කුදිරාම් බෝස් ප්‍රමුඛයෙක්. යෞවනයෙකුගේ කෙටි ජීවිත කාලය තුළ පවා නිදහස ගැන අමරණීය හැඟීම් ඇවිලී යා හැකි බව ඉන්දියාවට මතක් කර දුන්නෙ කුදිරාම් බෝස්. ඔහුගෙ හිතේ ඇවිලුනු මේ නිදහස් ගිනි පුළිඟුව තමයි, අගෝස්තු 11 වැනිදා පෝරකයට යන අතරමඟ මල් අරන් හිටපු මිනිස්සුන්ට ඔහු බෝ කෙරුවෙ.
අදට කුදිරාම් බෝස් ඒ ගමන ගිහින් අවුරුදු 117 ක් !.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: