Sunday, August 10, 2025

මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ (සීනි මුදියන්සේ )


ගාල්ල දිස්ත්‍රික්කයේ සුන්දර ගිංගඟ නිම්නයට නුදුරුව ගාල්ල මාපලගම පාරට මායිම්ව විශාල ඉඩමක් මධ්‍යයේ සන්සුන් වටපිටාවක බ්‍රිතාන්‍ය යටත් විජිත ගෘහ නිර්මාණ ශෛලියට අනුව ඉදිවූ නිවසක් වෙයි.නාගොඩ වලව්ව ලෙස හැඳින්වෙන මෙම නිවස ඉදිකොට ඇත්තේ දහනවවෙනි සියවසේ අගභාගයේ ලංකාවේ විසු පළමු පන්තියේ කර්මාන්තකරුවෙකු , වැවිලිකරුවෙකු වූ
ගම්වාසීන් විසින් "සීනි මුදියන්සේ " යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ
මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ විසිනි. 

 

 
මුදලි එලියස් ජයසිංහ ගම්වාසීන් විසින් සීනි මුදියන්සේ ලෙස හැඳින්වූයේ ඔහු බ්‍රිතාන්‍ය පාලන යුගය තුල ලංකාවේ සීනි නිෂ්පාදනය කල ප්‍රධාන ව්‍යාපාරිකයන් ගෙන් කෙනෙකු වූ නිසාය.දිවයිනේ එවක අනෙකුත් ප්‍රධාන සීනි නිෂ්පාදකයන් වූයේ හංවැල්ලේ මුදලි ඩී.ජේ අමරසේකර සහ එවකට "සිලෝන් ඔබ්සර්වර් ඇන්ඩ් කොමර්ෂල් ඇඩ්වටයිසර්" යනුවෙන් හැඳින්වූ වර්තමාන ඔබ්සර්වර් පත්‍රයෙහි ආරම්භක කර්තෘ ධූරයද හෙබවූ බ්‍රිතාන්‍ය ජාතික ව්‍යාපාරිකයෙකු වූ ජෝර්ජ් වින්ටර් ය. 
 
මේ තිදෙනා අතරින් ජෝර්ජ් වින්ටර් 1853දී මියගිය හෙයින් ඔහුගේ බිරිඳවූ සාරා වින්ටර් සහ එලියස් ජයසිංහ ගිංගඟ කේන්ද්‍රකොට ගෙන තම ව්‍යාපාර ගෙනගියහ. 
තේ සහ රබර් වඩා ඵලදායි ආර්ථික භෝග බවට පත්වන්නට ප්‍රථම උක් වගාව ගිංගඟ නිම්නයේ ප්‍රචලිත වූ අතර කාලයාගේ ඇවෑමෙන් සිදුවූ අඩු වියදමින් පිටරටින් සීනි ආනයනයත් සමග එය සම්පූර්ණයෙන්ම පාහේ නතර විය 
.මෙරටට උක්වගාව සහ සීනි කර්මාන්තය හඳුන්වාදීමේ පුරෝගාමියා වූ ජෝර්ජ් වින්ටර් ගාල්ල බද්දේගම සන්සයිඩ් නම් ස්ථානයේ වර්ෂ 1840දී පමණ වානිජ උක්වගාව සහ සීනි කර්මාන්තය ආරම්භ කල අතර බද්දේගම වත්ත, පිලගොඩ වත්ත, සනිසයිඩ් වත්ත, අකුරටිය වත්ත ආදී ඉඩම් අක්කර සියගණනක උක් වගාකොට තිබිණි.පසුව මධ්‍යසාර කම්හලක්ද ආරම්භ කල අතර වින්ටර් නිශ්පාදනය කල සීනි හා උක් ඵලදාව ගෝනන්තර දූව ඇල ඹස්සේ, බද්දෙගම ඔහු පදිංචි නිවස අසල තොටුපලට ගෙන ඒනු ලැබුණි. ඒතැන් සිට ඒවා ගිංගග ඔස්සේ ලන්දේසි යුගයේ නිර්මාණය කල කැප්පූ ඇල නොහොත් මෝඩ ඇල හරහා වරායට ගෙන නැවිවලට පටවන ලදි. 


 

මෙ කාලයේ ජෝර්ජ් වින්ටර් පරිහරණය කල ගිංගඟේ තොටුපල කුඩා වරායක ස්වරුපය ගත් අතර කාර්ය බහුල ස්වරූපයක් පැවතිණි.එම නිසා එම තොටුපල ''වින්ටර් තොටුපල'' ලෙස ප්‍රසිද්ධියට පත් විය.1960 දශකය අගවනතුරුම වින්ටර් පෙරිය කිුයාත්මකව තිබුණි. 
 
එලියස් ජයසිංහ නාගොඩ අවට උක්වගාව ප්‍රචලිත කිරීමට පෙර ගම්වාසී ගොවීන් ප්‍රධාන වශයෙන් වී හා මූල්‍ය භෝග වගාවල නිරත විය. මුලදී, මෙම නව වගාව සඳහා ගම්වැසියන් පොළඹවා ගැනීම අපහසු කාර්යයක් වීය.මෙම ව්‍යාපාරයේදී ඔහුට විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවූ අතර එවකට පැවති යටිතල පහසුකම් පහසුකම් අවම වීම බරපතළ ප්‍රශ්නයක් විය. එකදිගට සැතපුම් කීපයක් පමණක් ගමන් කළ හැකි බොරළු සහිත ගම්සභා පාරවල් හැරුණුකොට තාර පාරවල් දක්නට නොවීය.ගාල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනයට සාර්ථකම මාර්ගය වූයේ ගිං ගඟයි.එයින් කැප්පූ ඇල හරහා ගාලු වරායට නුදුරු මහමෝදරට භාණ්ඩ ගොඩබාගත හැකිවිය. එකල මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වයට ප්‍රමාණවත් ශ්‍රම බලයක් තිබීම ප්‍රධාන සාධකයක් විය. 
 
ගම්මුන්ගේ වගාකිරීම් සහ අස්වැන්න නෙලීම අතරතුර අතිරික්ත කාලය මෙම ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් ඵලදායි ලෙස යොදාගත හැකිබව මුදලි එලියස් ජයසිංහ දිටීය.ඔහුගේ දැඩි උත්සාහයත්, අධිෂ්ඨානයත් සමඟ ගිංගඟ අසබඩ ඕවිටි සහ හිස් ඉඩම් සියල්ලම පාහේ උක් වගාව සඳහා යොදාගත හැකිවිය. 
 
එවක බ්‍රිතාන්‍ය ආණ්ඩුව සමඟ ඔහුට තිබූ සමීප සම්බන්ධය නිසා සීනි කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම අසීරු නොවීය. උක් ඇඹරුම් යන්ත‍්‍ර එංගලන්තයේ බර්මින්හැම් නගරයේ සිට ආනයනය කරන ලද අතර වර්තමාන නාගොඩ පොලිස් ස්ථානය පිහිටා ඇති ඉඩමේ කර්මාන්තශාලාව ස්ථානගතකොට තිබිණි.මෙම යන්ත්‍රසූත්‍ර වාෂ්ප බලයෙන් ක්‍රියාකල හෙයින් ප්‍රදේශවාසීන් අතර මෙම කර්මාන්තශාලාව ජනප්‍රිය වූයේ "දුම්මෝල" නමිනි. 
 
ගොවීන් විසින් වගාකරන ලද උක් ඵලදාව ගොඩබිමින් ගොන් කරත්ත මාර්ගයෙන් කර්මාන්තශාලාව තෙක් ප්‍රවාහනය කල අතර ගිංගඟ දිගේ පාරු මාර්ගයෙන් ගෙනා උක්දඬු බාගත් තොටුපල "දිස්ඕවිට" නම් විය. 
 
එකල පැවති තාක්ෂණික දියුණුව සලකා බැලීමේදී මුදලි එලියස් ජයසිංහ තම කම්හලේ සුදු සීනි පවා නිෂ්පාදනය කළ බව ඇසීම පුදුමයට කරුණක් විය හැකි අතර මුදලි එලියස් ජයසිංහගේ නාගොඩ සීනි කර්මාන්තශාලාව සහ සාරා වින්ටර්ගේ බද්දේගම සීනි කර්මාන්තශාලා නැරැඹීමට වර්ෂ 1892දී ගිය 1890-1895 දක්වා බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාර තැනවූ ශ්‍රීමත් ආතර් හැව්ලොක් ගාල්ල නාගොඩ බද්දේගම ප්‍රදේශය එංගලන්තයේ එවක වඩාත් කාර්‍යබහුල කාර්මික නගරයක් වූ මැන්චෙස්ටර් නගරයට සමකොට "පුංචි මැන්චෙස්ටර්" යනුවෙන් හැඳින්වූ අතර එලියස් ජයසිංහගේ සීනි යොදා සකස්කල තේ පානයකට නාගොඩ වලව්වේදී සහභාගී විය. 
 
වර්ෂ 1886 දී සහ 1912 දී ලන්ඩනයේදී පැවැත්වූ බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන්හී කර්මාන්ත ප්‍රදර්ශනවලදී සීනි මුදියන්සේගේ සුදු සීනි සඳහා පිලිවෙලින් ලෝකඩ සහ රිදී පදක්කම් හිමිවිය. සීනි අඩු මිලට පිටරටින් ගෙන්වීම සහ නාගොඩ සීනි කර්මාන්තශාලාවේ ප්‍රධාන ඇක්සලය හානියට පත්වී එය පිලිසකර කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මුදලිඳු එලියස් ජයසිංහගේ ජීවිතයේ අවසාන භාගයේදී සීනි කර්මාන්තය ඔහු විසින් අත්හැර දමන ලදී. පසුකාලීනව කර්මාන්තශාලාවෙහි ඉතිරිවූ යන්ත්‍රෝපකරණ සහ වෙනත් දෑ ජෝර්ජ් වින්ටර්ගේ ව්‍යාපාරයට විකුණන ලදී. 
 
මෙම අද්විතීය කර්මාන්තකරු සීනි මුදියන්සේ තම ජීවිතයේ අවසාන භාගය ගතකලේ තම පුත්‍රයෙකුට හිමිව තිබූ ගොඩේවත්ත වලව්වේය.එහි උරුමකරුවන් සතු තොරතුරු වලට අනුව මුදලිඳු දොන් එලියස් අමරසිරි ජයසිංහ නොයෙකුත් සමාජ සේවා කටයුතු වලට තම මූල්‍ය දායකත්වය ලබාදී තිබේ.ගාල්ල මහින්ද විද්‍යාලයේ ගොඩනැගිලි සංවර්ධනයට මුදල් ලබාදීම සම්බන්ධ ලියවිලි ඔවුන් සතුව ඇත.නාගොඩ ජයසිංහාරාමයද ජයසිංහ පවුල විසින් ගොඩනගා ඇත.

 ** වලව්ව වෙතින් 

A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon