අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Sunday, August 24, 2025

8/24/2025 07:34:00 pm



ජනාධිපති අනුර කුමාරට රටේ තරුණයන් අතර දැන් ඇති ස්ථානය ගැන බටහිර රාජ්‍ය තාන්ත්‍රික රහස්‍ය සමීක්ෂණයකින් හෙළි වූ කරුණු මෙන්න..!

-ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ දේශපාලන ලියුම්කරු ගේ වාර්තාවක සිංහල පරිවර්තනකි
(ලංකා ඊ නිව්ස් -2025.අගෝ.10, ප.ව‍.11.30) ශ්‍රී ලංකාවේ පළමු ජාතික ජනතා බලවේගයේ (NPP) පරිපාලනයේ ධුර කාලයෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇති අතර, බටහිර රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් විසින් කරන ලද විචක්ෂණශීලී සමීක්ෂණයකින්, රටේ වඩාත්ම තීරණාත්මක ඡන්දදායකයින් අතර එනම් වයස අවුරුදු 18 සිට 35 දක්වා කාණ්ඩය අතර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ස්ථානය පිළිබඳ කැපී පෙනෙන ධනාත්මක චිත්‍රයක් සලකුණු කර ඇත.
කොළඹ සහ බටහිර අගනගරවල තෝරාගත් විදේශ ප්‍රතිපත්ති නිලධාරීන් කණ්ඩායමක් සමඟ බෙදාගත් රහස්‍ය තක්සේරුවෙන් පෙනී යන්නේ ජනාධිපතිවරයා රට පුරා තරුණ ඡන්දදායකයින් අතර සියයට 72 ක ජනප්‍රියත්වයක් භුක්ති විඳින බවයි. මෙම සංඛ්‍යාව හුදෙක් මැතිවරණ සංඛ්‍යාලේඛනයක් නොවේ: එය ජනාධිපතිවරයාගේ දූෂණ විරෝධී ස්ථාවරය, අවම පාලන විලාසය, වාර්ගික සමගිය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ දිගු කලක් ආධිපත්‍යය දැරූ දේශපාලන සංස්කෘතියක් භුක්ති විඳි අනුග්‍රහය කපා හැර දැමීමෙන් සිදුව ඇති බව පෙන්නුම් කරයි.
අනුර ජනාධිපති ධුරයට පත් කළ තරුණ ඡන්දය..
රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමේ සමීක්ෂණය ආරම්භ වන්නේ බොහෝ විශ්ලේෂකයින් දැනටමත් නිගමනය කර ඇති දේ පිළිගැනීමෙනි - එනම් වයස අවුරුදු 18–35 අතර ජනවිකාශනයේ අනුපාතය NPP හි අතිවිශිෂ්ට ජයග්‍රහණයට කේන්ද්‍රීය වූ බවයි. දේශපාලන රාජවංශ, රාජ්‍ය අනුග්‍රහය ලත් ගජමිතුරුකම් සහ වාර්ගික-ආගමික ගැටුම් නිසා වෙහෙසට පත් වූ මෙම කණ්ඩායම, තරාදියේ අනුරගේ පැත්තේ බර වැඩි කිරීමට උපකාරී විය.
ග්‍රාමීය සහ නාගරික දිස්ත්‍රික්ක පුරා පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවලින් පෙනී ගියේ තරුණ ඡන්දදායකයින් ජනාධිපති අනුර කුමාරට පහත සඳහන් දේ සඳහා ගෞරවය දක්වන බවයි:
1. රජයේ පත්වීම් වලදී ඥාති සංග්‍රහය ඉවත් කිරීම -
කිසිදු ඇමතිවරයෙකුගේ සහෝදර සහෝදරියන්ට, බෑණනුවන්ට හෝ පුතුන්ට සහ ඥාතීන්ට රජයේ ප්‍රධාන හෝ අප්‍රධාන තනතුරු ලබා දී නොමැති අතර, කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට බදු ගෙවන්නන්ගේ අරමුදල් වලින් වැටුප් වරප්‍රසාද ලබන “උපදේශක” වැනි පදවි ප්‍රදානය කර නොමැත.
2. අඩු අයවැයක් මත රාජ්‍යය පවත්වාගෙන යාම-
සුඛෝපභෝගී වාහන, විදේශීය සංචාර සහ නිෂ්ඵල ව්‍යාපෘති මගින් රාජ්‍ය සම්පත් ගිල දැමූ අතීතයේ “මන්දිර දේශපාලනය” ලෙස හැඳින්වූ දෙයට ප්‍රතිචාර දැක්වූ තරුණ ප්‍රජාව නිතර NPP හි නව ප්‍රවේශය සංසන්දනය කළහ.
3. දූෂණ විරෝධී පොරොන්දු ඉටු කිරීම-
NPP රජයේ කිසිදු අමාත්‍යවරයෙකු තවමත් කොන්ත්‍රාත්තු සඳහා කොමිස් ඉල්ලා හෝ ලබාගෙන හෝ අපකීර්තියකට සම්බන්ධ වී නොමැත. මෙය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරූ වාර්තාවකි.
4. වාර්ගික සමගිය අනුගමනය කිරීම-
වත්මන් පරිපාලනය යටතේ, අන්තවාදී බෞද්ධ කණ්ඩායම් ආගමික හෝ වාර්ගික සුළුතරයන් බිය ගැන්වීමේ ප්‍රධාන සිදුවීම් කිසිවක් සිදුවී නොමැති අතර මෙය බහු-වාර්ගික දිස්ත්‍රික්කවල ප්‍රවේශමෙන් ශුභවාදීව සටහන් වූ වෙනසකි.
ග්‍රාමීය සමාජය
සමීක්ෂණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාගේ ආයාචනය කොළඹින් පිටත ප්‍රබලම ලෙස කා වැදී ඇති බවයි. ග්‍රාමීය දිස්ත්‍රික්කවල, විශේෂයෙන් උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල, ජාතික ජන බලවේගයේ ජනප්‍රියතාවය සියයට 75 ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී.
නාගරික මෙගා ව්‍යාපෘති කෙරෙහි උමතු වූ පැරණි මධ්‍යම රජයන් විසින් ඓතිහාසිකව නොසලකා හරින ලද මෙම ප්‍රදේශ, කුඩා, ඉලක්කගත ආයෝජන වලින් ප්‍රතිලාභ ලබා ඇත. ග්‍රාමීය විදුලිබල වැඩිදියුණු කිරීම්, ගොවීන් සඳහා ක්ෂුද්‍ර ණය යෝජනා ක්‍රම සහ වඩා හොඳින් නඩත්තු කරන ලද පළාත් රෝහල් ඒ අතර තීරණාත්මක වී තිබේ. මෙම මුලපිරීම් ක්‍රියාත්මක කර ඇත්තේ මහා පරිමාන පිරිවැය සහ අවතාර කොන්ත්‍රාත්කරුවන්ගේ හුරුපුරුදු රටාවකින් තොරවය.
පොළොන්නරුවේ එක් ගොවියෙක් සමීක්ෂණ සම්මුඛ පරීක්ෂකවරුන්ට මෙසේ පැවසීය:
“ආණ්ඩු මෙහි පැමිණ රිබන් කපා, ඡායාරූප ගෙන, අතුරුදහන් වූ හැටි අපි දැක තියෙනවා. මෙවර ඔවුන් ද (එන්පීපීය) පැමිණියා, ඔවුන් වැඩ කළා, මුදල් ගියේ ව්‍යාපෘතියට මිස ඔවුන්ගේ සාක්කුවලට නොවේ.”
නාගරික පැලැන්තිය වෙනස්..
කොළඹ සහ බස්නාහිර පළාතේ සමහර ප්‍රදේශවල, ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙලට අනුමැතිය අඩු වුවද, තවමත් සාමාර්ථයේ ලකුණට වඩා ඉහළ ය. සමීක්ෂණය නාගරික ප්‍රදේශයේ ජනප්‍රියතාව ශ්‍රේණිගත කිරීම සියයට 52 ක් ලෙස වාර්තා කරයි. සැලකිය යුතු කරුණක් නම්, පෙර පාලක පන්තියේ මුල් බැසගත් ජාල සහ NPP හි සමාජවාදී මූලයන් පිළිබඳව ආර්ථික ප්‍රභූ පැලැන්තියේ කල් පවතින සැකය යි.
මෙම කණ්ඩායම් වල විචාරකයෝ රජය "අධික ලෙස පරමාදර්ශී" සහ ආයතනික මැදිහත්වීමක් නොමැති ලෙස දැකීමේ නැඹුරුක් දක්වති. රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර විසින් සම්මුඛ සාකච්ඡාවට ලක් කරන ලද සමහර විචාරකයින් තර්ක කළේ "පැරණි දේශපාලන සම්බන්ධතා තවමත් සක්‍රීය වාතාවරණයක් තුළ විදේශ ආයෝජන ඉහළ නොයනු ඇති" බවයි.
සාරාංශයක් ලෙස කීවහොත්, ජනාධිපතිවරයාගේ ග්‍රාමීය ආධාරකරුවන් අඛණ්ඩ ලෙස වර්ණනා කරන දේ, ඔහුගේ නාගරික විචාරකයින් සමහර විට අහිංසක ලෙස බැහැර කරන බව පෙනී යයි.
ආර්ථිකය සහ සන්නිවේදනය..
සමහර විට සමීක්ෂණයෙන් වඩාත්ම කැපී පෙනෙන අවබෝධය ප්‍රතිපත්ති ගැන නොව සන්නිවේදනය ගැන විය හැකිය. තරුණ ඡන්දදායකයින් නිරන්තරයෙන් ජනාධිපතිවරයාගේ සෘජු, බොරු පුරාජේරු කතා නැති ස්වරූපය ඔවුන්ගේ විශ්වාසයට හේතුවක් ලෙස සඳහන් කළහ. ඔහුගේ ප්‍රසිද්ධ කථා, සජීවීව විකාශය වූ ප්‍රශ්නෝත්තර සැසි සහ විවිධ සම්මන්ත්‍රණ ආදිය වගවීම පිළිබඳ හැඟීමක් තරුණයන්ට ලබා දී ඇත.
ප්‍රතිපත්තිමය වශයෙන්, ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රවේශය - ඉලක්කගත සමාජ වියදම් සමඟ මූල්‍ය විනය සමතුලිත කිරීම - දෝංකාර නංවා ඇත. විශේෂයෙන් උගත් නමුත් ඌන සේවා නියුක්ත තරුණයින් අතර, පුම්බා ඇති රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් වෙනුවට වෘත්තීය පුහුණුව ඉලක්ක කරගත් රැකියා උත්පාදන යෝජනා ක්‍රම පිළිගෙන ඇත.
යාපනයේ විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් මෙසේ පැවසීය:
"පළමු වතාවට, 'දේශපාලන ණය ගෙවීම' සඳහා නිර්මාණය කරන ලද රැකියා සඳහා නොවී රජය අපව ඇත්ත වශයෙන්ම පවතින රැකියා සඳහා සූදානම් කිරීමට උත්සාහ කරන බව මට හැඟේ.."
ලොකු කතා නොමැතිව ජනවාර්ගික සමගිය..
පසුගිය රජයන් උත්කර්ෂයට ලක් කළ මහා ප්‍රකාශන නොමැතිව ජනාධිපති අනුර කුමාර ජනවාර්ගික සංහිඳියාවට ප්‍රවේශ වී ඇති බව සමීක්ෂණයේ සඳහන් වේ. ඒ වෙනුවට, ඔහුගේ පරිපාලනය 'පරිපාලන සාධාරණත්වය' කෙරෙහි අවධානය යොමු කර ඇත. රාජ්‍ය සේවාවන්ට සමාන ප්‍රවේශය, විවිධත්වය පිළිබිඹු කරන මිශ්‍ර ප්‍රජාවන්හි පත්වීම් සහ සුළුතර ආගමික පිළිවෙත්වලට ඇඟිලි නොගැසීමේ පැහැදිලි ප්‍රතිපත්තිය ඒ අතර වේ.
රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ නිරීක්ෂකයින් මෙය සලකන්නේ දේශපාලන කේවල් කිරීමේ උපකරණයක් ලෙස මෙතෙක් ජනවාර්ගිකත්වය භාවිතා කිරීම සමාජයෙන් ඉවත් කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ලෙසයි. වාර්ගික බෙදීම්වලින් වෙහෙසට පත් ඡන්දදායකයින්ගේ අවධානයට තවමත් මෙය ලක් නොවූ වෙනසකි.
අඩු වියදම් ජනාධිපති ධුරයක්..
ජනාධිපති ධුරයේ මෙහෙයුම් පිරිවැය කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රිකයින් සමීක්ෂනයේ දී විශේෂයෙන් උනන්දු විය. සමීක්ෂණයේ මූල්‍ය සමාලෝචනයට අනුව, ජනාධිපති කාර්යාලය ඔහුගේ පූර්වගාමියාගේ පළමු වසරට සාපේක්ෂව අභිමත වියදම් සියයට 40 කින් පමණ අඩු කර ඇත. සුඛෝපභෝගී පෙර ගමන්, පසු ගමන් රථ පෙළපාළි නැති වී ගොස් ඇත. විදේශයන්හි නිල සංචාර අඩුය. ඒවා ද සිදුවන්නේ බොහෝ විට පුද්ගලයින් දහයකට අඩු නියෝජිතයින් සමඟය. දේශීය සංචාර වඩාත් නිහතමානී ය, හෙළිකොප්ටර් ගමන් ඇත්තේම නැති තරම් ය. සමහර විට සාමාන්‍ය ප්‍රවාහන පහසුකම් භාවිතා කරයි.
ජනාධිපතිවරයාගේ සංකේතාත්මක හා ප්‍රායෝගික 'අරපිරිමැස්මේ සම්ප්‍රදාය' නිසා ආර්ථික අර්බුදකාරී යුගයක හැදී වැඩී ඇති තරුණ ඡන්දදායකයින් අතර පිබිදීමක් පෙන්වා තිබේ.
බටහිර රාජ්‍ය තාන්ත්‍රික දෘෂ්ටිකෝණය..
රහස්‍ය වාර්තාව නිගමනය කරන්නේ, රජයට ආර්ථික වර්ධනය පවත්වා ගැනීමට සහ 1970 ගණන්වල සිට සෑම පරිපාලනයක්ම පීඩාවට පත් කළ අපකීර්තියෙන් වැළකී සිටීමට හැකි නම්, තරුණ ඡන්දදායකයින් අතර ජනාධිපතිවරයාගේ ඉහළ ස්ථාවරය “අඛණ්ඩ දේශපාලන ස්ථාවරත්වයක් සඳහා කල් පවතින පදනමක් සපයන” බවයි.
කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය මගින් සමාජය මෙහෙයවනු ලබන යුගයක ජනප්‍රියත්වය අස්ථාවර විය හැකි බව ද සමීක්ෂකයෝ අනතුරු අඟවති. විශේෂයෙන් විනිවිදභාවය හෝ පාලනය පිළිබඳ ක්ෂේත්‍රවල එක් ඉහළ පෙළේ වැරදි පියවරකින් NPP හි පිරිසිදු ප්‍රතිරූපය ඛාදනය කළ හැකිය.
අසාමාන්‍ය ප්‍රශංසාවක්..
වාර්තාවේ සඳහන් කොළඹ පදනම් කරගත් දේශපාලන විචාරකයෙකුගේ එක් අදහසක් අනුව ජනාධිපතිවරයාගේ අනුමත ශ්‍රේණිගත කිරීම් ශක්තිමත්ව පවතින්නේ මන්දැයි සාරාංශගත කළ හැකිය:
“ඔහුට පෙර සිටි කිසිවෙකුට වඩා අඩු මුදලකින් ඔහුගේ පොරොන්දු වැඩි ප්‍රමාණයක් ඉටු කර ඇත. ලෝකයාට පොරොන්දු වී අපට පනත් කෙටුම්පත් පමණක් ලබා දෙන නායකයින්ට පුරුදු වී සිටි රටකට, එයම විප්ලවයකි.!”
Lankaenews ඉංග්‍රිසි ලිපිය පරිශීලනයට පිවිසෙන්න :- https://www.lankaenews.com/news/4693/en

ලංකා ඊ නිව්ස් හි ඉංග්‍රීසි සංස්කරණයේ දේශපාලන ලියුම්කරු ගේ වාර්තාවක සිංහල පරිවර්තනයකි- සිංහලට නැගුවේ - චන්ද්‍රප්‍රදීප්


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: