උක්දඩූ රොඩු වෙනවා එහි පැණි ගත් දාට
හැර මිටි විසිවෙනවා හෙල පහුවූන දාට
ඉණිමග අමතකයි ඉහලට නැගිදාට
සැලකිලි අඩුවෙයි පැන්ෂන් ගියදාට
ලෙඩ දුක් හැදෙයි අපි පූරුවෙ කල පවට
පැන්ෂන් පඩිය දියවෙයි ෆාමසි වලට
නෑයොත් දුරස් වෙයි අතමිට හිගකලට
පල නැති රූක් වෙතට ගල් ගසනුයෙ කුමට
පාළුයි මහගෙදර පෙර පිිරිලා තිබුනු
සුවදයි හැමතැනම දරුවන් හා බැදුනු
රිදවයි විටින් විට සිත දුක හා ඇදුනු
ඉවසනු බැරිය පාළුව තනිකම රැදුනු
පෙර කල හිටිය මිතුරන් සැම දුරස් වෙලා
ඉදහිට හමුුවුුනත් යයි දැන් ඉවත බලා
දුරකතනයත් දැන් උන්ගේ නිහඩ වෙලා
කාලය ගොළුයි බිහිරියි ලොව වෙනස් වෙලා
-Face book
ධනාත්මකව.
පැණි ගත් පසුව උක් රොඩු රකිනුයෙ කුමට
හැරමිටි විසි කෙරෙයි හෙල නැඟලා බිමට
ඉණිමග කොහොම ගන්නෙද නැඟි පසු කරට
සැනසුම ඉතිරිවෙයි ඉසිඹුව ලත් කලට
ගඟකින් එතෙර වන්නට ඕනෑ ඔරුවක්
මහමඟ යන්න වේවිද ඒකට හුරුවක්
ඔරුකඳ යම් දිනෙක වූයේ නම් දිරුවක්
අළුතින් ඇවැසි වෙයි හයිහත්තිය දැරුවක්
ඉදිරිය සිතා කය වෙහෙසා නිසි ලෙසට
ඇවිදීමවත් කළහොත් පෙරයම් කලට
සුවපත් බවෙන් මුදලත් ඉතිරිව අතට
නෑයොත් නොනෑයොත් එනු ඇත නුඹ ළඟට
පාලුව හැරයන්න මහගෙදරට පැමිණී
දොඩමළු වන්න නිරතුරු ඔබ හා ඇඹෙණී
දරුවන් උස් තැනෙක රඳවා ඇති බැවිනී
දිවියම ගෙවෙනු ඇත ඒ පිළිබඳ තුටිනී
නුඹ දොම්නසින් ගතකරනා විට දිවිය
නෑ මිතුරන්ට සැනසුම නොකළැකි මැවිය
මියෙනා තුරුම සතුටින් සිටිනා සවිය
රැකගත යුතුම සම්පත දිරියෙහි අවිය
පී.ජී. ආරියපාල
1 comments:
මියෙනා තුරුම සතුටින් සිටිනා සවිය
රැකගෙන ගෙවන්නෙමි මම නම් මගෙ දිවිය
Post a Comment