ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2024-03-21

ආදර සැමරුම් !!!




ඇල්මෙන් ඒ ලෙවල් කරනට පාසැලට
අළුතෙන් රෙජිස්ටරයේ නම ලිවු පවට
රැග් එක දෙන්න ආ රංචුව දැක බයට
ලතා ඇදන් රිංගුවෙ වැසිකිළියකට .

අරලිය හෙවන කෙල්ලන්ගේ රජදහනයි
ටක්ෂොප් එකේ ලැවරිය උණු කැවුම් වගෙයි
“පෙත්තා”සර් ගේ පාඩම් ග්‍රීක් සමයි
සාහිත සමිතියේ ලේකම් ධුරය මමයි

සිසිවන උවන ඉඟ සුග ගතහැකි මිටින
පද්මා දුටුව මනතින් පිස්සුව හැදෙන
ඩෙස් එක හූරලා ආදර වැකි ලියන
නම් පටබඳින කොල්ලන්ගෙන් නෑ නිවන .

සෙවනැළි අවදිනොමවන ප්‍රයිමරියෙ කොනේ
සෝමේ, දික්තලා සමගින් රඟනු පෙනේ
කොට බිත්තියෙන් විදුහල්පති ඔළුව පෙනේ
වේවැල් පාර අපි කාටත් වැදෙනු දැනේ .

සාහිත පාඩමේ “ පොර” මම ..පෙර සිටම
සැළලිහිණියේ දිය කෙළි වැණුමයි අරුම
හාමුදුරුවන් ,තිසරුන් ගැන දෙයි දෙසුම
ළඟ සිටි එකිය ඇන්නා මගෙ ඉලයටම .

කැඩෙටින් එකේ ලීඩර් හරි හැඩකාරයි
මුස්ලිම් උණත් හිනැහෙන විට මනමාලයි
උදයෙන් පංති අතුගෑමට එන චිත්‍ර යි
අපි දෙන්නාම රහසේ ලව් කලෙ ඌට යි
 
දම්මිල සුගත්ලා කෝ අද වෙරළු කැඩූ
පද්මේ වන්දි ගෙවනව අහුවෙලා කුඩූ
ඒ .එල් .පන්තියේ තව කවුරුන්ද අඩූ
කරුණාසීලි ස.තො.සේ . කිරනවලු බඩූ .

ගැටවර වියේ පාසල් මව් සෙවනෙ සිට
එකපත බෙදා එකටම කෑ රංචුවට
සරසවිවරම් ලැබුණේ ලොව දිනන්නට
දිනුවද පැරදුණා දැයි සැක සිතේ මට .!

රෝ.සි.
2024 .03.21 .

A day in the life

1 ප්‍රතිචාර:

රොශාන් ජයකොඩි said...

පාසැල් ජීවිතේ රහ දැනෙන්නේ , පාසැලෙන් සමුගත් පසුවයි ....