සිංහල අවුරුදු නැකැත් හෙවත් නකත් ගැන ග්රහ යුද්ධයක් ඇති වෙලා. ඒත් අහසෙ නොවෙයි ලංකාවෙ. ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ල නකත් ගැන වචනයක් කියන්න ඕන. අප බොහෝ දේ භාරතයෙන් ලබා ගෙන තියෙනවා. ඒත් සමහර දේ අපේ ම නිර්මාණ නැත්නම් සංස්කරණ එහෙමත් නැත්නම් අභිසංස්කරණ. නකත් හා ශූන්යයට සංකේතයක් ලබා දීම අපේ වැඩ හැටියටයි මට හිතෙන්නෙ. ශූන්ය ගැන කී දේ එහෙම නැත්නම් හිතලුව වැඩ කරනවාද කියා බලන්න වාතාවරණයක් නැහැ. ඒ සඳහා අවශ්ය මුදල් ලබා ගන්න විධියක් නැහැ.නකත් කියන්නෙත් අප ලෝකෙට දුන් දෙයක්. අපේ බොහෝ දෙනා හිතන්නෙ නකත් කියන වචනය සංස්කෘත නක්ෂත්ර යන්නෙන් බිඳුණු එකක් කියලා. අද අප බටහිරට වඳිනවා වගේ කාලයක් භාරතයට වැඳලා තියෙනවා. අපි බටහිරින් හරි ඉන්දියාවෙන් හරි වෙනත් ඕනෑම රටකින් දැනුම අරන් අපේ බවට පත්කර ගන්න එකේ වරදක් නැහැ. වරද තියෙන්නෙ වැඳ වැටී අනුකරණය කිරීමේ. අප අභිසංස්කරණය කරන අපේ දැනුම් ලෝකෙට දෙන්නත් අපි මහන්සි වෙන්න ඕන.සංස්කෘත මහාචාර්යවරයකු මට පැවසුවේ නක්ෂත්ර යන්නට සංස්කෘත භාෂාවෙන් නිරුක්ති නැති බව. ඉන්දියානුවන් නොකීවාට නක්ෂත්ර හදාගෙන තියෙන්නෙ නකත් යන්නෙන්. නකත් කියන්නෙ මෙරට නාගයන්ගෙ නිර්මාණයක්. නක යන්න නාග යන්නෙන් බිඳුණු එකක්. නාගයන් තමයි මුහුදු ගියෙ. ඔවුන්ට තමයි තරු බලල ගමන් මග කියන්න නකත් හදා ගන්න අවශ්ය වුණෙ. අප චුලෝදර මහෝදරගෙන් හා මණිඅක්ඛීක නා රජුගෙන් නවතින්න හොඳ නැහැ.ඒ කුමක් වුණත් අවුරුදු නකත් හරි නැකැත් හරි සිංහල අවුරුද්දට බලපානවා. රාශි අපට බැබිලෝනියාවෙන් ලැබුණ වෙන්න පුළුවන්. අපට අවුරුද්ද ලබන්නෙ සූර්යයා මීනයෙන් මේෂයට යෑමත් සමග. අද ප්රශ්නය ඇවිත් තියෙන් කිරිබත් ටික මේසෙට යැවීම සම්බන්ධව. සූර්යයා යන්නෙ නැහැ පොළොව තමයි යන්නෙ කියා පඬි නැට්ටෙක් කියන්න පුළුවන්. පඬි නැට්ටන් කිසි දා සාපේක්ෂ කතා ඉගෙන ගන්න එකක් නැහැ.ජ්යොතිෂය කියන්නෙ මිථ්යාවක් කියලත් පඬි නැට්ටන් කියාවි. කාල් පොපර් විද්යාවන් නොවන දැනුම් පද්ධති තුනක් ගැන කියනවා. මා එතරම් පොත් කියවල නැහැ. ඔය පොපර්ගෙ පොත මා කියවා ඇති එක් පොතක්. ඔහුට අනුව ජ්යොතිෂය මාක්ස්වාදය මනෝ විශ්ලේණය ඔහුගෙ නිර්වචන සංකල්ප අනුව විද්යාවන් නො වෙයි. පඬි නැට්ටන් ජ්යොතිෂය සම්බන්ධයෙන් ඒ පිළිගනීවි. අනෙක්වා විද්යා නොවේ යැයි කියන එකක් නැහැ. එහෙම කිව්වොත් ඒ අයට පැවැත්මක් නැහැ.සිංහල අවුරුද්ද ගැන මා ලිපි රාශියක් ලියා තියෙනවා. මාක්ස්වාදයට මනෝ විශ්ලේෂණයට වඩා ජ්යොතිෂය වැඩ කරන බව මට පේනවා. ඒ සමහර ලිපි පොතක් හැටියටත් පළ කරල තියෙනවා. එහෙත් ජ්යොතිෂවේදීන් ඒ පොත කියවන්නෙ නැහැ. ඒ කොහොම වුණත් සූර්යයා තම ගමනෙ දි එක් අවස්ථාවක මීන රාශියෙන් මේෂ රාශියට යනවා. සංක්රමණය වෙනවා කියලත් කියනවා. ඒකට නොනගතේ කියල කියන්නෙ. නොනගතේ පූර්ව භාගයෙ අපි පන්සල් යනවා. අපර භාගයෙ නැකැත් අනුව ලිපි ගිණි මොළවනවා අනුභව කරනවා වැඩ අල්ලනවා සහ තවත් වැඩ.මට කුඩා කල ප්රශ්නයක් තිබුණ නොනගතේ ගැන. නොනගතය කියන්නෙ නැකැත් නැති කාලය කියලයි කිවුවෙ. එහෙනම් ප්රශ්නය වුණෙ නොනගතේ අපර භාගයෙ නැකැත් ගන්නෙ කොහොමද කියල. ඒත් විද්යාව ඉගෙන ගන්න පටන් ගත්තට පස්සෙ ඒ මිථ්යා ගැන මා කරදර වුණෙ නැහැ. ඒත් ඊට අවුරූදු ගණනකට පස්සෙ මා ජාතිකවාදියකු වුණා. ජාතිකවාදියා කියන්නෙ කවුද කියල මා පස්සෙ කියන්නන්.මට තේරුණා අපේ න්යාය (logic) අනුව නොනගතය කියන්නෙ න+අනගත බව. ඒ කියන්නෙ නෑවිත් නැත කියන එක. අනාගත කාලය කියන්නෙත් ඇවිත් නැති කාලය. නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් තියෙනවා. පැය දොළහයි විනාඩි හතළිස් අට කියන්නෙ සිංහල පැය නම් තිස්දෙකක්. ඒක රවුම් සංඛ්යාවක්. අපේ සංස්කෘතියෙ තිස්දෙක හැටහතර වගේ සංඛ්යා විශේෂයි. අපි අද හෝරාවට (hour) පැය කිවුවට අපේ පැය දැන් පැය නොවෙයි. කමක් නැහැ.නොනගතය පැය දොළහයි විනාඩි හතළිස් අටක් වෙන්නෙ සූර්යයාට මීනය හා මේෂය අතර දේශසීමාව පහු කරන්න එ කාලය ගතවෙන නිසා. අපට සූර්යයා පේන්නෙ තැටියක් වගේ. ඒ තැටියෙ විෂ්කම්භයට ලක්ෂ්යයක් පහු කරන්න පැය දොළහයි විනාඩි හතළිස් අටක් යනවා. මෙවර නොනගතය අප්රේල් 13 අපරභාග 2.41 සිට අප්රේල් 14 අලුයම 3.29 දක්වා තියෙනවා. ඒ කාලයෙහි සූර්යයා මේෂ රාශියට ඇවිල්ලත් නැහැ. නෑවිල්ලත් නැහැ. මීන රාශියෙන් පිටවෙලත් නැහැ නැත්තෙත් නැහැ. නොනගතේ කියන්නෙ ඒක මිසක් නැකැත් නැහැ කියන එක නො වෙයි.කොහොමත් හැම තිස්සෙම නැකැත් තියෙනවා. නැත්තෙ සුබ නැකැත්. ලිපි ගිනි මොළවන්නෙ සුබ නැකතට. පෝරුවට නගින්නෙ සුබ නැකතට. අපේ සංස්කෘතියට ඇවිත් තියෙනවා අදහසක් නොනගතයෙ අපර භාගයෙ සුබ නැකැත් ගන්න ඕන කියලා. ඒක කොහොම ආවද කියන්න මා දන්නෙ නැහැ. සිංහල අවුරූද්ද පොතෙත් කියන්නෙ ඒකයි. මා දැකපු ලිත්වල තියෙන්නෙත් එහෙමයි. ඒ නිසා තමයි මෙරට අවුරුදු නැකැත් හදන මණ්ඩලය රාත්රි 9.05න් පස්සෙ සුබ නැකැත් හදල තියෙන්නෙ. ඔවුන්ට අනුව සුබනැකැත් 13 වැනි දා රාත්රි 9.05ත් 14 වැනි දා අලුයම 3.29ත් අතර බලන්න ඕන. අර අදහස අනුව ඒකෙ වරදක් නැහැ.ඒත් මට ප්රශ්නයක් තියෙනවා. අර අදහස හරිද? අප අලුත් අවුරුද්දට සුබ නැකැත් ගන්න ඕන නොනගතේ (සංක්රාන්ති සමයෙ) මධ්ය වෙලාවෙන් පස්සෙ ද නැත්නම් සංක්රාන්තිය අවසන් වීමෙන් පසුව ද කියන එක. මේ අවුරුද්දෙ නම් රාත්රි අප්රේල් 13 වැනි දා 9.05න් පසුව ද නැත්නම් 14 වැනි දා අලුයම 3.29න් පසුව ද? මෙය නිර්වචනය පිළිබඳ ප්රශ්නයක්. අලුත් අවුරූද්ද ලබන්නෙ සංක්රාන්තියෙ මැද ද නැත්නම් සංක්රාන්තිය අවසන් වුණාට පසුව ද?මා නම් කැමති සංක්රාන්තිය අවසන් වුණාට පස්සෙ සුබ නැකැත් ගන්න. සංක්රාන්ති කාලය කියන්නෙ අලුත් අවුරූද්දවත් පරණ අවුරුද්දටවත් මුළුමනින් ම අයිති නැති කාලයක්. අනෙක් අතට සංක්රාන්තිය අවසන් වීමෙන් පසු සුබ නැකැත් ගත්තොත් සුබ නැකැත් ගැනීම සංක්රාන්තිය මැදත් අවසන් වීම අතරත් තියෙන පැය හයයි විනාඩි විසිහතරට කොටු වෙන්න ඕනත් නැහැ. පැය ගණනාවක් ම තියෙනවා සුබ නැකැත් ගන්න. රාත්රි කාලයෙ සංක්රාන්තිය (නොනගතය) අවසන් වුණත් ඉර පායන තුරු ඉන්න පුළුවන් සුබ නැකැත් ගන්න.මට දැන ගන්න ලැබී ඇති ආකාරයට සමහර අවුරුදුවල සුබ නැකැත් අරන් තියෙන්නෙ නොනගතය අවසන් වුණාට පස්සෙ. අර සුබ නැකැත් නොනගතයේ අපර භාගයෙ ගන්න ඕන කියන අදහස ආවෙ කොහොමද කියන එක ප්රශ්නයක්. ඒත් සුබ නැකැත් එකකට වඩා තියෙන එකේ ප්රශ්නයක් නැහැ. අප කුඩා කල එලෙස නැකැත් කිහිපයක් තිබුණා. ගමේ ගෑණු උදවිය අම්මගෙන් අහනව මට ඇහිල තියෙනවා ඉස්කෝලෙ හාමිනේලා ගන්න නැකත මොකක් ද කියල. සමහර විට ඔවුන් ඉස්කෝලෙ හාමිනේ කියපු දේ අනුව කටයුතු කළා වෙන්න පුළුවන්. ඒත් පඬි නැට්ටන් නම් ඉස්කොලෙ හාමිනේගේ ලොකු පුතා කියන මිථ්යා විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් ඩෙරීඩා ෆූකෝ ජිජැක් ලකාන් කියවපු අය. මා ඉතින් ජ්යොතිෂ පොතක්වත් කියවල නැහැ.සුබ නැකැත් කිහිපයක් වෙනුවට එක නැකතක් හදන්නෙ වි ජ මු ලොකු බණ්ඩාර මහතා නිසා. ඔහු එය හොඳ හිතින් කළ එකක්. එහෙත් සිංහල සංස්කෘතියෙ තියෙන්නෙ විවිධත්වයක්. ඒ ඒ අය ඒ ඒ ආකාරයට කටයුතු කරනවා. පාරම්පරික වෙදකමත් එහෙමයි. මුළු ලෝකෙට ම එක ම පැනඩෝල් පෙත්ත නියම කරන්නෙ බටහිර විද්යාවෙ.
තවත් නිර්වචනයක් තියෙනවා. ඒත් අවුරූද්ද ගැන. බටහිර ක්රමයෙ අවුරුද්දකට දින 365.242190ක් වන අතර අපේ අවුරුද්දට දින 365.256363ක් තියෙනවා එය සායනය හා නිරායනය පිළිබඳ ප්රශ්නයක්. මේ වෙනස්වීම නිසා අපේ අවුරුද්ද ලබන දිනය අවුරුදු 70කට පමණ එක් දිනයක් ඉදිරියට යනවා. කලකට පෙර අවුරුද්ද අප්රේල් 12 වැනි දා ලබා තියෙනවා. තව ටික කලකින් එය අප්රේල් 15 වැනි දා වේවි.
වැඩි විස්තර සිංහල අවුරූද්ද පොතෙන් දැන ගන්න පුළුවන්. මට පොත විකුණ ගන්නත් ඕන.
0 comments:
Post a Comment