අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Wednesday, March 06, 2024

3/06/2024 11:23:00 am















එදා වාගෙම අදත් පුරහඳ කඳු වළල්ලට උඩින් පායා
මුදා හළ දිගු නීල වරළස සිකිපිළක් සේ මැවේ ඡායා
විදා දෙඅදර මඳ හසින්මා නිවා සැනසූ කිඳුරු සේයා
දෙවා දුක් ගිනි ගිරිහිසෙන් පැන සැඟව ගියෙ දෝ ලෙසින් මායා.
ගොකටු කිරි හා සාදිලිංගම් පාට තැවරූ නුඹේ සිතුවම්
බුහුටි ලෙස පින්සලේ හරවා ඉනේ රැළි පෙළ සැකසු අන්දම්
නුදුටුවාසේ වරින්වර නුඹ ඌට හෙළනා කෝළ සරදම්
සතුටු මුහුණ ක් මවාගෙන මා බලා සිටියා එවැනි විගඩම් .
නිරතුරේ නුඹ ,නයිදෙ සිත්තර හා මනාපෙන් දොඩනු ඇසිලා
ඇතොවුරේ සිටි බොළඳියන්ගේ මුසාබස් දෙසවනේ වැටිලා
සිහිකරේ "ඌ එකට දුව පැන ගමේ එකටම හැදුණෙ "කියලා
සිරකරේ නුඹ කුටිය ඇතුළේ ඉරිසියාවක් හිතේ මැවිලා .
මෙහෙසියක් කර ගම් තුලානෙන් මාළිගාව ට කැන්ද ආවට
ලැදිකමක් වූ පළමු ප්රේමය ,නයිදෙටයි පුද කළේ ඇත්තට
ඔවදනක් දී උස් හඬින් මා තිට කතාකෙරුවේ සෙනේහෙට
පාපයක් නොවැ නයිදෙ එළවා දැම්ම නම් සිතුවමත් බාගෙට .
වඳින්නට යෙහෙළිය න් හා නුඹ ගියේ පිදුරංගල බලා
රිදෙන්නට ඕනෑ තරම් ඇති පපුතුරේ දුක් උහුළලා
සමුගන්ට පෙර මා දෙපා මත කඳුලු බිඳුවක් තවරලා
පනින්නට හිත හහදාගත්තද....සොඳුර නුඹ ,මා තනිකළා.
රෝ.සි.
වළප = වැළපිල්ල
සිකිපිළ= මොණරපිල
සාදිලිංගම් =රතු වර්ණය සඳහා භාවිතා කළා.
ගොකටු කිරි = කහපාට සඳහා යොදන ලදී
.සිත්තර නයිදෙ =චිත්ර ශිල්පියා
ඇතොවුර= අන්තහ්පුරය
2024.03.05.

A day in the life

0 ප්‍රතිචාර: