අසත්‍යයෙන් සත්‍යයටද -අන්ධකාරයෙන් ආලෝකයටද

මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

---වේද ගීතයක්

Friday, March 15, 2024

3/15/2024 03:29:00 pm



ස්කන්ධ, ධාතු, ආයතන ආදිය ගැන නොදන්නා සමහරුන් බුදුදහමත් පාංශුකූලයත් අතර සම්බන්ධයක් නැතැයි ද, එය බුදු දහමට අයත් නොවන දෙයක් යැයි ද කියති. සමහරු එය හිස් පුරුද්දක් සංස්කෘතික චාරිත්රයක් යැයි කියති. සමහරුන් එය පසු පසුකාලීනව එකතු වුණ සංස්කෘතික මිථ්යාවක් යැයි ද කියති. සමහරු බුද්ධකාලයේ මැරුණ උපාසකයින්ට පාංශුකූලය දුන්න කතාවක් ත්රිපිටකයේ සඳහන් වෙනවාදැ? යි අසති. එවැනි අයම මැරුණු මළකුණකට පාංශුකූලය දෙන්න ඕන යැයිද අසති. එසේ හිතන පතන සියලු දෙනා මෙම ලිපිය සම්පූර්ණයෙන්ම කියවන හැටියට මතක් කරමින් ලිපිය ආරම්භ කරමි.
පළමුව පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙක පිළිබඳව වැටහීමක් ඇති කර ගත යුතු ය. ඉන් පසුව ඉතිරි කරුණු පැහැදිලි කරනු ලැබේ.
ශාසනය තුළ මතක වස්ත්ර පූජාව සහ පාංශුකූලය යනු එකක් නොව දෙකකි. නමුත් සම්මතය තුළ පාංශුකූලය සහ මතක වස්ත්රය යන දෙකම එකක් හා සමාන ලෙස ව්යවහාරයට පැමිණ තිබේ. මේ දෙක දෙකක් වන්නේ මේ ආකාරයටයි.
යම් කිසිවෙක් මිය ගිය පසු ඔහු හෝ ඇය වෙනුවෙන් ජීවත්ව සිටින අය පූජා කරන වස්ත්රය මතක වස්ත්රය වේ. මියගිය අය වෙනුවෙන් යමක් දෙන්නේ නම් ඒ දෙන සෑම දේකටම "මතක" යන විශේෂණ පදය යොදනු ලැබේ. "මතං උද්දිස්ස යං පවත්තේති තං මතකං"
මියගිය අය වෙනුවෙන් දෙන වස්ත්රය - මතක වස්ත්රය වේ.
බණ - මතක බණ වේ.
දානය - මතක දානය,
දැහැත් - මතක දැහැත් වේ.
ගිලන්පස - මතක ගිලන්පස වේ.
කුක්කුට මිත්ත වැද්දාගේ කථාවේ මෙසේ සඳහන් වේ. "ඇගේ මවුපියෝත් ඈ ගැන එහෙමෙහෙ සොයා බලා ඈ නොදැක මැරෙන්නට ඇතියි සිතා මතකවත් ආදිය දුන්හ."
"තස්ස මතකචීවරං අධිට්ඨාති." ලෙස චීවරක් ඛන්ධකයේ මෙසේ සඳහන් වේ. එක ස්වාමීන් වහන්සේ නමක් තව ස්වාමීන් වහන්සේ නමක් අත මේ සිවුර වෙනත් ස්වාමින් වහන්සේ නමකට දෙන්න යැයි යවයි. අතරමගදී ඒ දෙදෙනාම කලුරිය කරයි. එවිට යැවූ ස්වාමින් වහන්සේට ම එය මතක සිවුරක් ලෙස අධිෂ්ඨාන කරගත හැකියි.
මේ ආදී ලෙස මතක පූජාවන් වනේ මිය ගිය අය වෙනුවෙන් පූජා කරන පූජාවන් වේ. නමුත් පාංශුකූලය ඊට වඩා වෙනස් වේ.
ආසාවක් බලාපොරොත්තුවක් නැතිව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, කෙනෙක් ගත්තේ නැත්නම් පොළවට දිරාපත්වන දෙය පාංශුකූලය ලෙස හඳුන්වනු ලැබේ.
"පංසුකූල චීවරං නිස්සාය තේ පබ්බජ්ජා." ලෙස 'පංසුකූල චීවරය නිසා, ඔබගේ පැවිද්ද වන්නේය.' ලෙස පැවිදි වන විට දී ම අවවාද කිරීමක් ද කරනු ලැබේ.
ධුතාංග දහතුනක් තිබේ. එයින් එක් ධුතාංගයක් වන්නේ පාංශුකූලිකාංගයයි. එය සියලුම ස්වාමීන් වහන්සේලා විසින් අනිවාර්යයෙන්ම රැකිය යුතු අංගයක් නොවේ. දේවදත්ත තෙරුන් වහන්සේ විසින් ඉල්ලූ වර පහෙන් එක් වරයක් වූයේ “භික්ෂූන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම පාංශුකූල චීවරධාරීන් විය යුතුයි” යන්නයි. භාග්යවතුන් වහන්සේ විසින් කැමති භික්ෂූන් වහන්සේලාට පාංශුකූල චීවර දැරිය හැකි බව සඳහන් කරන ලදී. කැමතිනම් වයසට යන විට පාංශුකූලිකාංගය අත්හැර ගෘහස්ථ චීවරද පිළිගත හැකි ය.
භාග්යවතුන් වහන්සේ විසින් ද මුල් කාලයේ දරන ලද්දේ පාංශුකූලික චීවරයයි. පුණ්ණා නමැති දාසියකගේ මළ මිනිය රෙද්දකින් ඔතා අතිමුත්තක නමින් හඳුන්වන අමු සොහොනකට ගෙන ගොස් දමන ලදී. එම මළ මිනිය කුණු වී පණුවන් ගසා තිබියදී, බුදුරජාණන් වහන්සේ විසින් එම රෙද්ද ගෙන තිඹක් පමණ සිටි පණුවන් ඉවත් කර සෝදා පිරිසුදු කරගෙන සිවුරක් සාදා පරිහරණය කළ සේක. පසු කලෙක මහා කාශ්යප මහා රහතන් වහන්සේ සමඟ හුවමාරු කර ගත්තේ එම පාංශුකූලික චීවරය යි.
පාංසකූල චීවරය විසි තුන් ආකාරයක් වේ.
1. සොහොනෙහි දමන ලද වස්ත්රය සොසානික නම් වේ.
2. සල්පිල් දොර වැටුණා වූ වස්ත්රය පාපණික නම් වේ.
3. පින් තකා ජනෙල් කවුළුවෙන් වීථියට දැමු වස්ත්රය රථිය චෝලය නම් වේ.
4. කසල ගොඩට දැමූ වස්ත්රය සංකාර චෝල නම් වේ.
5. ස්ත්රීන්ගේ ගැබ්මළ පිසදැමූ වස්ත්රය සොත්ථිය නම් වේ.
6. භූතාචාර්යවරුන් රෝගීන් ස්නානය කරවා හැර දැමූ වස්ත්රය නහාන චෝල නම් වේ.
7. නාන තොටෙහි දැමූ වස්ත්රය තිත්ථිය චෝල නම් වේ.
8. සොහොනට ගොස් ආපසු එන්නවුන් විසින් හැරදමා යන වස්ත්රය ගතපච්චාගත නම් වේ.
9. ගින්නෙන් කොටසක් දැවුණු වස්ත්රය අග්ගිදඩ්ඩ නම් වේ.
10. ගවයන් විසින් ටිකක් කන ලද වස්ත්රය ගොඛායිත නම් වේ.
11. වේයන් විසින් ටිකක් කන ලද වස්ත්රය උපචිකාඛායිත නම් වේ.
12. මීයන් කෑ වස්තරය උන්දුරඛායිත නම් වේ.
13. අග කැඩීගිය වස්ත්රය අන්තච්ජින්න නම් වේ.
14. දාවලු කැඩීගිය වස්ත්රය දසාච්ජින්න නම් වේ.
15. නාවිකයන් හෝ යුද්ධ භූමියෙහි හෝ ධජයක් වශයෙන් බැද හැරදමා ගිය වස්ත්රය ධජාහට නම් වේ.
16. තුඹස වටකොට බලිකර්ම කරන ලද වස්ත්රය ථූපචීවර නම් වේ.
17. භික්ෂූන් වහන්සේ සතු වස්ත්රය සමණ චීවර නම් වේ.
18. අභිෂේක ස්ථානයෙහි දැමූ වස්ත්රය ආභිසේනික නම් වේ.
19. එහි භික්ඛු ප්රවෘජ්යාවේ දී පහළ වන වස්ත්රය ඉද්ධිමය නම් වේ.
20. මාර්ගයේ වැටුණ වස්ත්රය පථික නම් වේ.
21. සුළගින් ගසාගෙන විත් වැටුණු වස්ත්රය වාතාහට නම් වේ.
22. දෙවියන් විසින් දෙන ලද වස්ත්රය දේවදත්තිය නම් වේ.
23. මුහුදු රළින් ගොඩගැසූ වස්ත්රය සාමුද්දිස නම් වේ.
මේ ආකාර වලින් එක් විදිහකට ලැබෙන චීවරය පාංශුකූල චීවරය වේ. ඒ දූවිලි ආදියෙන් පිළිකුල් බවට පත්වූ, කිසිදු බලාපොරොත්තුවක්වත් නැතුව ඉවත දමන ලද, අයිතිකරුවෙකු නැති, පොළවට දිරාපත්වන වස්ත්රයකි.
අතීතයේදි කෙනෙක් මියගිය පසුව ඔහුගේ මිනිය සුදු රෙද්දකින් ඔතා අමු සොහොනට ගෙනගොස් දමයි. වර්තමානයේ දී එම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට පූජා කර, මිනීපෙට්ටියක තබා ආදාහනය හෝ භූමිදානය කරයි. එසේ කළ පසු එම වස්ත්රය ලබාගත නොහැක. වර්තමානයේදී අමු සොහොනට ගෙන ගොස් දැමූ පසුව පණුවන් ආදීන්ගෙන් පිරී පවතින අයිතිකරුවකු නැතිව පොළොවට දිරා පත්වන එම වස්ත්රය, එසේ වන්නට පෙරම කල් ඇතිවම සංඝරත්නයට පූජා කරනු ලැබේ.
එය දෙයාකාරයකින් කළ හැක. එයින් එක් ක්රමයක් වන්නේ, ජීවත්ව සිටින විට දීම තමන් මිය ගිය පසුව මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ජීව මතක වස්ත්රයක් ලෙස පූජා කළ හැකි ය.
අනෙක් ක්රමය වන්නේ මියගිය පසුව ඔහුගේ හෝ ඇයගේ මිණිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට සිවුරක් සකස් කරගන්නට පූජා කිරීමයි. වර්තමානයේ බහුලව කෙරෙන්නේ මෙය යි.
ජීව මතක වස්ත්ර පූජාවේදී තුන් සිවුරෙන් එක් සිවුරක් සකස් කර ගන්නට අවශ්ය කරන වස්ත්රය තමන් විසින් සිය කැමැත්තෙන්ම අයිතිය අත්හැර සංඝරත්නයට පූජා කිරීම නිසා එම පූජා කළ අයට බොහෝ පින් අත්වේ. එම පිංකම සුවිශේෂී වෙන්නේ එම තමන්ගේ මළකුණ ඔතන්නට තිබෙන වස්ත්රය පූජා කිරීම නිසයි. මරණානුස්සතිය වැඩීමත්, සක්කාය දිට්ඨිය ආදී කෙළෙස් ධර්ම තුනී වී යාමත්, ස්ඛන්ධ ධාතු ආයතනාදිය ගැන අවබෝධය වර්ධනය වන නිසාත්, පොදුවේ දස පාරමිතාදියේ සෑම පාරමිතාවක්ම යම් තරමකට හෝ හැසිරෙන්නට එය උපකාර වේ. එය වෙනත් අරමුණක් ඇතිව වෙනත් වස්ත්රයක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස වලට වඩා සුවිශේෂී ආනිසංස සමුදායකට උරුමකම් කියයි.
පාංශුකූල චීවර විසි තුන් ආකාරය අනුව බැලූ විට පෙනෙන්නේ හිමිකාරයෙක් නැතිව පසට එකතු වන වස්ත්රය සංඝ රත්නයට චීවර සඳහා ලැබෙන ආකාරයේ ඉතා බුද්ධිමත් වැඩපිළිවෙළක් අතීත උපාසක උපාසිකාවන් විසින් යොදාගෙන ඇති ආකාරය යි. අතීතයේ පටන්ම මිනිය ඔතන්නට ගන්නා වස්ත්රය සංඝරත්නයට ලැබෙන්නට සලස්වා ඇත.
වස්ත්ර, චීවර පූජාවන්ගේ ආනිශංස අති විශාල ප්රමාණයක් තිබේ. ලිපිය දික් වෙන නිසා මෙහි සඳහන් නොකළත් ඒ සියල්ලම වෙනම කියවා තේරුම් ගත යුතුය.
කෙනෙක් මිය ගිය පසුව ජීවත්ව සිටින අය අනිවාර්ය්යයෙන්ම ඔහු හෝ ඇය වෙනුවෙන් පිංකම් සිදු කරනු ලැබේ. ජනුස්සෝණිය සූත්රය තුළ ඒ පිළිබඳ බොහෝ විස්තර සඳහන් වේ. එහි සඳහන් වන ආකාරයට පරදත්තූපජීවී ඤාතීන්ට ජීවත්ව සිටින නෑදෑයින් විසින් පින් අනුමෝදන් කළ යුතුම වේ. මේ පරදත්තූපජීවී ඤාතීන් අතීත දීර්ඝ සසර සිටි මාපිය, අඹුසැමි, දූදරු ආදි ඥාතීන් විය හැකි ය.
පාංශුකූල වස්ත්රයට ගරහන අය පාංශුකූල චීවරය ලෙස හඳුන්වන ධුතාංග වලට අදාල සිිවුරක් සකස් කරගන්නට වස්ත්රයක් පූජා කිරීමේ පින්වල ආනිශංස වටහා ගත යුතුය. මියගිය අය එවැනි පින් අනුමෝදන් වුවහොත් ලැබෙන උසස් ප්රතිඵලය ගැන කල්පනා කළ යුතුය. කුමන හෝ හේතුවක් මත පරදත්ථූපජීවී තැනකට පත් වූ අතීත ඥාතීන්ට මෙවැනි මහත්ඵල මහානිසංස දායක පුණ්යානුමෝදනාවක් ලැබිය හැකි නම්, එය ඔහුට ඇඳුම් පැළඳුම් ආදිය උපදවාගන්නට අතිශයින්ම උපකාර වෙයි. ජීවත්ව සිටින අය කරන කරන පින්කම් අනුව මියගිය අයට පුණ්යානුමෝදනා ලැබිය හැකිය.
ජීවත්ව සිටින අයටද මතක වස්ත්ර පූජාව අතිශයින්ම ප්රයෝජනවත් පින්කමක් වේ. එහි පළමු ප්රයෝජනය වන්නේ තමන්ගේ ඥාතියා මිය යෑමත් සමගම ජීවත්ව සිටින අයට ඇතිවන සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස ආදියෙන් ඒ අයව ගලවා ගත හැකි කල්යාණ මිත්ර පිරිස වන්නේ සංඝරත්නය වන නිසාය. සංඝරත්නයේ අනුශාසනා වන් නිසා ඔවුන්ගේ සුවක පරිදේව ආදිය තුනී වී යයි. එසේ නොවුණහොත් ඒ ඇතිවන සෑම ජවන චිත්තයකටම ඔවුන්ට මෙලොවට සහ මතු අනාගත සසරට අයහපත් ප්රතිඵල රාශියක් ලැබෙයි.
සෝක දුක වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. රොගී වීම. සීලයෙන් පිරිහීම. සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම. යනාදියෙහි දී ඒ ඒ පුද්ගලයන්ගේ හෝ කරුණු වල ගුණ කියමින් සිතමින් තැවීම. පසුතැවීම. ශෝක කිරීමයි.
පරිදේවය වන්නේ ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. වගේ ඉහත සඳහන් කරුණු නිසා ඇතිවන තෙපලීම. නැවත නැවත තෙපලීමයි.
දුක්ඛ (කායික දුක) වන්නේ කය හා ස්පර්ශ වීමෙන් හටගන්නා, කයෙහි හටගන්නා දුක් වේදනාවයි.
දෝමනස්ස වන්නේ සිත හා ස්පර්ශ වූ සිතෙහි හටගන්නා අමිහිරි දුක් වේදනාවයි.
උපායාසය වන්නේ ඥාතීන්ගේ විනාශය, භවභෝග සම්පත් වල පිරිහීම, රෝගි වීම, සීලයෙන් පිරිහීම, සම්යක්දෘෂ්ටියෙන් පිරිහීම, යනාදියෙහි දී පුද්ගලයාගේ සිතෙහි පහළවන බලවත් දුක් වේදනාවයි. (වෙහෙසීම, ක්ලාන්ත බව)
අප්රිය සම්පයෝග දුක:-
අප්රිය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීමට සිදුවීම අප්රිය සම්පයෝග දුකයි.
ප්රිය විප්පයෝග දුක වන්නේ ප්රිය පුද්ගලයන් හා ප්රිය වස්තුන්ගෙන් වෙන් වීමට සිදුවීමයි.
ජීවත්ව සිටින අයට මෙවැනි ශෝක පරිදේවාදිය ඇතිවීම ඔහුගේ අනාගත නාම රූප වලට අයහපත් ප්රතිඵල ගෙන දේ.
සංඝ රත්නය මෙවැනි අවස්ථාවක වඩමවා ගැනීමත්, සංඝරත්නයට පාංශුකූල චීවරයක් සඳහා මතක වස්ත්රයක් පූජාකිරීමත් ජීවත්ව සිටින අයටද මහනීය පින්කමක් වේ. ඔවුන්ගේ කෙලෙස් යටපත් වී කුසල් වර්ධනය වේ. නිසි කල්යාණමිත්ර ඇසුර ලැබේ. දෙලොව යහපත් වන්නට එය අතිශයින්ම උප උපකාර වේ.
මේ මෙම මාතෘකාව පිළිබඳව ඉතා කෙටි කරුණු දැක්වීමකි
පූජණීය, තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ.
ගේ,,දේශනාවක්,ඇසුරිනි.

A day in the life

0 comments: