Wednesday, December 20, 2023

ගෞරවය හා නින්දාව

ජපානයේ එක්තරා ගම්මානයක කුඩා පන්සලක් තනාගෙන තරුණ භික්ෂුවක් වාසය කළා. මේ භික්ෂුවට ගමේ සියලු දෙනාම ඉමහත් ගරුත්වයක් දැක්වූවා. සැළකිය යුතු උපරිමයෙන්ම සැළකුවා. විශේෂයෙන්ම තරුණ පිරිස අතර භික්ෂුව මහත් ජනප්රිය තත්වයකට පත් වුණා. එක්තරා දවසක මේ තත්වය මුළුමනින්ම කණපිට හැරුණා. ඒ කොහොමද....?
ගමේ සිටි තරුණියක් දරුවෙක් බිහි කළා. දරුවාගේ පියා කවුදැයි පවුලේ අය විමසුවා. තරුණිය පැවසුවේ දරුවාගේ පියා තරුණ භික්ෂුව බව යි.
බොහෝ කාලයක් පුරා භික්ෂුවට ඉමහත් ගෞරවයක් දැක්වූ ගමේ පිරිස භික්ෂුවගේ ආරාමයට අතට අසු වන දෙයින් පහර දෙන්න පටන් ගත්තා. ඉන් නොනැවතී ඔවුන් ආරාමයට ගිනි තිබ්බා. පිරිස අතර සිටි අයෙක් දරුවා රැගෙන ඇවිත් භික්ෂුවගෙ අතට දුන්නා. භික්ෂුව ඇහුවා " මොනවද මේ කරන්නෙ...? මොකක්ද හේතුව...?
මිනිස්සු මහ හයියෙන් කෑගහන්න ගත්තා. " අපෙන්ද අහන්නෙ හේතුව...? මේ දරුවා ඔබේ...බලන්න මේ දරුවා දිහා...බලන්න මේ ගෑණු ළමයා දිහා...ඔබේ ඇතුලාන්තයෙන් අහන්න මොකක්ද හේතුව කියල..."
"ඒකත් එහෙමද...එතකොට මේ දරුවා මගෙද...? භික්ෂුව ඇහුවා. දරුවා හඬන්න පටන් ගත්තා. භික්ෂුව ගිනිගත් ආරාමය අසළ බිම වාඩිවී දරුවා නලවන්න උත්සාහ කළා.
තමන් තුළ මතු වුණු කෝපය හැකි සෑම විදියටම පිට කළ පිරිස ආපසු යන්නට ගියා. නිතර බැතිමතුන්ගෙන් පිරි පැවති ආරාමයක් මුළුමනින්ම ගිනිබත් වෙලා. භූමිය පාලුවට ගිහින්. භික්ෂුව සුපුරුදු පරිදි ආහාරය සඳහා ගම පුරා ඇවිද ගියත් සියලු දොරවල් වසා දැමුවා. ළමයින් ඔහු පසුපස යමින් අපහාස කළා. ගල්වලින් දමා ගැසුවා. ඔහු දරුවා බිහිකළ තරුණියගෙ නිවස අසළට පැමිණුනා. " මට ආහාර නොලැබුණාට කමක් නෑ...අඩුම තරමේ මේ දරුවට කිරි ටිකක් දෙන්න...මම වැරදිකාරයා වෙන්න පුළුවන්. ඒත් මේ අහිංසක දරුවා කරපු වරද මොකක්ද...?"


දරුවා හඬන්නට වුණා. අවට පිරිස ජනෙල්වලින් එබිකම් කරමින් බලාගෙන සිටියා. තරුණියට තව දුරටත් දරාගෙන ඉන්න බැරි වුණා. ඇය තම පියාගේ දෙපා මුළ වැඳ වැටුණා.

"මට සමාවෙන්න තාත්තෙ...දරුවගේ ඇත්ත තාත්තා සඟවන්න ඕනැ වුණු හින්දයි මම භික්ෂුව ගැන කිව්වෙ...දරුවගෙ ඇත්ත තාත්තා භික්ෂුව නෙමෙයි...මම භික්ෂුව හරියට හඳුනන්නෙවත් නෑ "
තරුණියගෙ පියා හොඳටම කලබලයට පත් වුණා. නිවසින් එළියට දුවගොස් භික්ෂුවගෙ දෙපා මුළ වැඳ වැටුණා. භික්ෂුව ගෙන් දරුවා ලබාගැනීමට උත්සාහ කළා.
"මොකක්ද හේතුව ?" භික්ෂුව ඇසුවා.
"මට සමාවෙන්න... ලොකු වැරදීමක් වෙලා තියෙනවා. මේ දරුවා ඔබගේ නෙමෙයි..." පියා පැවසුවා.
"ඒකත් එහෙමද...මේ දරුවා ඇත්තටම මගේ නෙමෙයිද ?" භික්ෂුව පිළිතුරු දුන්නා.
මිනිස්සු භික්ෂුවගෙන් ඇහුවා " ඔබට පිස්සුද...? ඇයි මුළින්ම නෑ කිව්වෙ නැත්තෙ ?"
භික්ෂුව පැවසුවා. " මොකක්ද ඒකෙන් සිද්ද වෙන වෙනස..? මේ දරුවා කාට හෝ අයිති විය යුතුයි. ඔබ දැනටමත් ආරාමයක් ගිනි තියලා විනාශ කළා. ඔබ තව නිවසක් ගිනි තියයි...ඔබ එක් පුද්ගලයෙකුට බැනලා චෝදනා කරලා සතුටු වුණා. ඔබ තව කෙනෙකුට ඒ විදියට කරලා සතුටු වෙයි...මොකක්ද ඒකෙන් සිද්ද වෙන දේ...? දරුවා කාට හෝ අයිති විය යුතුයි..."
"ඔබට තේරෙන්නෙ නැද්ද...? හැම කෙනෙක්ම ඔබට බැන්නා නින්දා කළා. ඔබව සම්පූර්ණයෙන්ම අවමානයට ලක් කළා." මිනිස්සු පැවසුවා.
භික්ෂුව පිළිතුරු දුන්නා. මම ඔබේ නින්දාවන් ගණන් ගත්තා නම්, ඔබේ ගෞරව කිරීම් ද ගණන් ගත යුතුව තිබුණා. මට නිවැරදි යැයි හැඟෙන දේ මම කරනවා. ඔබට හරි යැයි සිතෙන ඔබ කරනවා. ඊයෙ වන තුරු ඔබට සිතුණා මට ගෞරව කළ යුතුයි කියල. ඉතින් ඔබ එහෙම කළා. අද ඔබට සිතුණා මට ගෞරව නොකළ යුතුයි කියලා.ඉතින් ඔබ එහෙම කළා. නමුත් මම ඔබගේ ගරු කිරීම හෝ නින්දා කිරීම සැළකිල්ලට ගත්තෙ නෑ."
මිනිස්සු කිව්වා. "ගෞරවනීය ස්වාමීනි, ඔබවහන්සේ කල්පනා කරලා බලන්න තිබුණා ඔබගෙ හොඳ නාමය පළුදු වන බව..."
භික්ෂුව පැවසුවා. " මම හොඳවත් නරකවත් නොවෙයි. මම සරළවම මමයි. හොඳ හෝ නරක කියන අදහස අත්හැරිය කෙනෙක්. මම සම්පූර්ණයෙන්ම උපේක්ෂා සහගත තත්වයට පත් වුණු කෙනෙක්. මම මුනිවරයෙක්."
ගමේ මිනිස්සු දින කීපයකින් ආරාමය ගොඩනගලා සියලු දේ පිළිසකර කර පෙර පරිදිම භික්ෂුවට භක්තිමත්ව ජීවත් වුණා.
මතක තබාගන්න, ගෞරව කරන්නෙක් සතුරෙකු බවට පත් වෙන්න එතරම් කාලයක් ගත නොවෙන්න පුළුවන්. ගෞරව කරන්නාගේ මනස තුළ සැම විටම ගර්හාව ද සැඟවී තිබෙනවා. මනස අවස්ථාවක් එන තුරු බලා සිටිනවා. ගෞරව කිරීම අවසාන වූ වහාව ගර්හාව පටන් ගන්නවා. ගරු කරමින් සිටින අය මොහොතකින් නින්දා කිරීම ඇරඹිය හැකියි. ගෞරවය හා නින්දාව එකම කාසියේ දෙපැත්ත වගෙයි. ගෞරවය ලැබෙන විට එය පැළඳ ගත හොත් නින්දාව ද පැළඳගැනීමට සිදු වෙයි.
(උපුටා ගැනීමකි)

notes of imaginary

0 comments: