Saturday, December 09, 2023

ඒක තමයි ආදරය....



මගේ සැමියා වෘත්තියෙන් ඉංජිනේරුවෙක්...
මම ආදරය කලේ එයාගේ සෘජු බවට, එයාගේ පළල් උරහිසේ මට දැනුන ආරක්ෂාවට උණුසුමට...
වසර තුනක ආදර සම්බන්ධතාවයකින් පසුව අපි විවාහ වෙලා දැනට අවුරුදු දෙකක්...
අවුරුදු දෙකක් යනකොට මට විවාහය එපාවුනා.
ඒ විවාහ ජීවිතය වෙහෙසකාරී අත්දැකීමක්.
මුල් කාලයේ මම එයා ගේ ආදරය කරපු ගතිගුණම, දැන් මට වදයක් වෙලා.
මම ලේ මස් නහර වලින් හැඳුන දුක සතුට දැනෙන ගැහැණියක්.
ආදරය හමුවේ මම හොඳටම සංවේදී යි.
මගේ හදවත ආදරණීය අවස්ථා ඉල්ලා හඬා වැළපෙන්නේ හරියට පොඩි දරුවෙක් සෙල්ලම් බඩු ඉල්ලනවා වගේ.
මගේ සැමියා සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත.
හරිම අසංවේදි පුද්ගලයෙක්.
කොයිම වෙලාවකත් අපේ සම්බන්ධයට romance ගේන්න එයාට බැරි වුනා.
මේ දේවල් මාව විඩාවට පත්කලා, මට ඇතිවුනා.
අවසානයේ මගේ තීරණය මම එයාට කිව්වා.
"මම දික් කසාද වෙන්න තීරණය කලා "
එයාට මගේ තීරණය හිතාගන්න බැරි එකක් වුනා.
"ඒත් ඇයි.. ඇයි මෙහෙම වුනේ"
"මට ඔයාත් එක්ක ජීවත් වෙන එක හරි වෙහෙසෙයි.
හැම දෙයකටම හේතුවක් කියන්න බෑනේ"
ඊට පස්සේ මුළු දවසෙම කතාවක් නෑ, එයා බොහොම නිශ්ශබ්ද ව කල්පනා කලා, මම තව තවත් කලකිරීමට පත්වුනා.
මේ වගේ අසංවේදි පුද්ගලයෙක් සමග තව මොනවා කරන්නද, මේ වගේ වෙලාවක වචනයක්වත් කියන්න බෑ.
ඊළඟ දවසේ එයා මගෙන් මෙහෙම ඇහුවා...
" මම ඔයාගේ ඔය තීරණය වෙනස් කරන්න මොකක්ද කරන්න ඕනේ..."
මට මේ වෙනකොට එයාව වෙනස් කරන්න පුළුවන් කියලා කිසිම විශ්වාසයක් නෑ.
එයාගේ විදිහ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. මම එහෙමයි හිතුවේ.
මම එයාගේ ඇස් දෙක දිහා බලාගෙන එයාට මෙහෙම කිව්වා....
"ඔයා මට මේ ප්රශ්නයට දෙන උත්තරය අනුව මම මගේ තීරණය ගැන ආයෙත් හිතන්නම්....
කන්දක අයිනක ලස්සන මලක් පිපිලා තියෙනවා, මේ මල කඩන්න ගියොත් ඔයාගේ ජීවිතය අවධානමකට ලක්වෙන්න පුළුවන්, ඒත් මට මේ මල ඕන...
ඔයා මා වෙනුවෙන් මේ මල් කඩලා දෙනවාද.."
"මම හෙට උත්තර දෙන්නම්"
එයාගේ උත්තරය මාව තවත් කලකිරීමට පත් කලා.
මම ඊළඟ දවසේ උදේ නැගිටින කොට එයා නෑ. එයාගේ කටු අකුරු වලින් ලියපු ලියුමක් තිබුනා...
මම ඔයා වෙනුවෙන් ඒ මල කඩන්නේ නෑ,
මට පැහැදිලි කරන්න ඉඩදෙන්න...
මගේ හදවත කඩා වැටුනා
ඒත් මම දිගටම ලියුම කියෙව්වා...
ඔයා computer එක පාවිච්චි කරන කොට ඔයා හැම වෙලේම ඒකේ තියෙන මෘදුකාංග අවුල් කරගන්නවා, මම මගේ ඇඟිලි ආරක්ෂා කරගන්න ඕන
ඔයාට ඒ වෙලාවට උදව් කරන්න..
ඔයා හැම වෙලාවකම ගෙදර යතුර අමතක කරනවා, මම මගේ කකුල් ආරක්ෂා කරගන්න ඕන ඔයා වෙනුවෙන් දුවගෙන ඇවිත් දොර අරින්න...
ඔයා ඇවිදින්න ආසයි ඒත් ඔයා පාරවල් දන්නේ නෑ, මම මගේ ඇස් ආරක්ෂා කරගන්නවා ඔයාට පාර හොයලා දෙන්න...
ඔයා මාසයක් ගානේ අපහසුවෙන් ඉන්නවා නේද.. මගේ අත් ආරක්ෂා කරගන්න ඕන ඔයාගේ උදර වේදනාව අඩුකරන්න...
ඔයා දුකින් ඉන්න දවස් තියෙනවා, මම මගේ කට ආරක්ෂා කරගන්නවා ඔයාව සිනහගස්වන්න...
අපි වයසට ගිහින් ඔයාගේ ඇස් නොපෙනෙන්න ගත්තොත්, මම ඔයාගේ නියපොතු කපන්න උදව් කරන්න ඕන, ඔයාගේ සුදු කෙස් අයින් කරන්නම්...
මට කවදා හරි දැනගන්න ලැබුනොත් ඔයාට මට වඩා කවුරුහරි ආදරෙයි කියලා, මට වඩා එයාට ඔයාව බලාගන්න පුළුවන් කියලා, මම එදා ට ඒ මල කඩනවා....
මගේ ඇස්වලින් කඳුළු ගලාගෙන ගිහින් ලියුමට වැටුනා...
අකුරු බොඳවුනා....
මම දිගටම කියෙව්වා....
ඔයා දැන් මේ ලියුම කියවලා ඉවරයිනේ, ඔයා මගේ උත්තරය ගැන සතුටුයි නම්, ඉස්සරහ දොර අරින්න..
මම ඔයා ආසම දේවල් එක්ක දොර ගාව...
මම දුවලා ගිහින් දොර ඇරියා..
එයාගේ බලාපොරොත්තු සහගත බැල්ම මම දැන් දන්නවා...
වෙන කවුරුවත් නෑ එයා තරම් මට ආදරය කරන...
මම තීරණය කලා මල එතනම තිබුනාවේ....
ඒක තමයි ජීවිතය....
ඒක තමයි ආදරය....
කෙනෙක්ව ආදරය වටකරගෙන හිටියත් එයාට ඒ හැගීම් වල නැවුම් බව නැතිවුන දවසට ඒ සාමය පිටුපස තියෙන සත්ය ආදරය අමතක වෙනවා,
ඒ ආදරයේ වටිනාකම නැතිවෙනවා...
ආදරය එක එක විදිහයි.
ඒක මේ වගේ කියලා කියන්න ස්වරූපයක් නෑ..
ඒක ගොඩක් වෙහෙසකාරී කම්මැලි දෙයක් වෙන්න පුළුවන්...
මල් වගේම එක් එක් අවස්ථා (romantic moments) සම්බන්ධයකට ලස්සනක් ගේනවා..
නමුත්..,
ඒත් ඒ හැම දෙයක්ම යට පවතින ආදරය තමයි සම්බන්ධතාවයක් සඳහා වැදගත්වන අත්තිවාරම..
Translated
ජය ❤️❤️
Jordan M Fernandes
notes of imaginary

1 comments:

ලියෝනි අමරතුංග - සිතිවිලි මංපෙත said...

ඇත්තටම රසවත් කතාවක් වගේම පාඩමක්. කෙනෙක් ආදරය දිහා බලන්නෙ සැහැල්ලුවෙන් ඒත් තව කෙනෙක් ඒ ආදරය දිහාම ඊට වඩා ගැඹුරු විදිහට බලනවා. හිතන්න ගොඩාක් දේ ඉතුරු කලා. ස්තූතියි ඔබේ සටහනට.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.

 

මීදුම Published @ 2014 by Ipietoon