මෙම ප්‍රශ්නයට කෙටි සහ සරල පිළිතුරු දෙන ඇතැම් අයට නම් ඇත්තේ එකම පිළිතුරකි. “එහෙම වුනා නම් රටට මේ වින්නැහි එකක්වත් නැහැ; රට අගේට තියෙයි” යනු ඒ පිළිතුර විය හැකිය. එහෙත් එවැනි පිළිතුරක් දෙන අයට තම මතය තහවුරු කිරීමට සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැකිය. මන්ද? යථාර්ථය එය නොවන නිසයි.
ඔවුන්ට ඉදිරිපත් කළ හැකි එකම තර්කය “එහෙම වුනා නම් 71 හා 88-89 විනාශයන් සිදුවන්නේ නැත” යන්නයි. තර්කය හැම විටම සත්‍යය නොවන බව බුද්ධිමත් ජනතාව මෙන්ම තර්ක ශාස්ත්‍රයද පිළිගනී. කළඳක් යනු සත පණහක බරට සමානයයි කීවිට, කළං දෙකක් යනු රුපියලක බරට සමාන වේ යයි කීම තර්කයට අනුකූල වුවද සත්‍යයට අනුකූල නොවේ. 71 හා 88-89 ට එරෙහිව ගෙනෙන ඇතැම් තර්ක ද එබඳුය.
ඕනෑම ප්‍රශ්නයක් විග්‍රහ කර ගැනීමේ නිවැරදි ක්‍රමවේදය නම් අදාල ප්‍රශ්නයේ ඓතිහාසික තත්ත්වයන්, වාස්තවික තත්ත්වයන් හෙවත් වර්තමානයේ පවතින තත්ත්වයන් සහ එම ප්‍රශ්නය සෙසු ප්‍රශ්න සමග පවතින අන්තර් සම්බන්ධතාව යන මේ සියල්ල එකට ගලපා විග්‍රහ කර බැලීමයි. මෙම ක්‍රමවේදය අනුගමනය නොකරන්නේ නම්, ප්‍රශ්නයට අදාළ යථාර්ථවාදී විසඳුමක් ලබාගත නොහැකි වෙයි. කිනම් හෝ පිළිතුරක් ලබාගත හැකි වුවද, එය නිවැරදිම පිළිතුර නොවෙයි. 71, 88-89 සිද්ධින් සම්බන්ධයෙන් වුවද නිරවුල් අදහසක් ඇතිකර ගත හැකි වන්නේ ප්‍රශ්න විග්‍රහ කර ගැනීමේ නිසි ක්‍රමවේදය අනුව විග්‍රහ කර ගැනීමෙන් පමණයි.
71 අරගලය හිතුවක්කාරී ක්‍රියාවලියක ප්‍රතිඵලයක්ද?
1963 වන විට රටේ ගොඩනැගී තිබුණු කම්කරු පන්තියේ ඉල්ලීම් 21 පෙරටු කර ගත් ශක්තිමත්ම වමේ ව්‍යාපාරය වූ වාමාංශික එක්සත් පෙරමුණ, 1964 දී ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රමුඛ ලංකා සමසමාජ පක්ෂය විසින් පාවාදී එවකට පැවැති සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවේ ඇමැතිකම් හා උප ඇමතිකම් ලබා ගැනීම, ලාංකීය කම්කරු පන්තිය තුළ වමේ ව්‍යාපාරය කෙරෙහි බරපතල විශ්වාස භංගත්වයක් ඇතිකිරීමට හේතුවිය.
එදා පැවැති එ.ජා.ප. ප්‍රමුඛ හත් හවුල් ආණ්ඩුවේ අධිරාජ්‍ය ගැති ස්වභාවය දඩමීමා කරගෙන බටහිර අධිරාජ්‍යවාදී බලවේග ආසියාවේ මර්මස්ථානයක් වූ ලංකාව තුළ පැලපදියම් වීමට මාන බලමින් සිටියේය. රටට සැබෑ වමේ ව්‍යාපාරයක අවශ්‍යතාව පැන නැගී තිබුනේ මෙම හේතු සාධක අනුවයි. මෙම ඓතිහාසික අවශ්‍යතාව නිසා 1965 වන විට ජනතා විමුක්ති පෙරමුණ වැනි සැබෑ ජනතා ව්‍යාපාරයක් ගොඩනැගීමේ සම්භාවිතාවක් ඉස්මතුවී තිබූ බැවින් එවැන්නකට නායකත්වයදී එකී අවශ්‍යතාව සපුරාලීමේ කටයුත්තට රෝහණ විජේවීරයන් මැදිහත් වුනා මිස ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම පුද්ගලයෙකුගේ හිතුවක්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවේ.
ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ පටන්ම සන්නද්ධ ක්‍රියාවලිය පිළිගත් දේශපාලන ව්‍යාපාරයක් බව කිසිවෙකුටත් රහසක් නොවේ. එහි සාමාජිකයා දැනුමෙන් සන්නද්ධවීම අනිවාර්යය. විප්ලවාදී විනයෙන් සන්නද්ධ වීමද එසේමය. ධනපති රාජ්‍ය යන්ත්‍රය හමුවේ දනින් නොවැටී කොන්ද කෙලින් තබා ගෙන දෙපයින් සිටගැනීමට විප්ලවාදී ජීවගුණයෙන් සන්නද්ධවීමද අන් කවරකාරණාවකට වුවද නොදෙවැනිය. එපමණක් නොව සාතිශය බහුතරයක් වූ පීඩිත පන්ති ජනතාව ජන පීඩක පාලක පන්තියට එරෙහිව නැගී සිටින විට දුෂ්ඨ පාලක පන්තියේ පිළිතුර, බන්දේසියක තබා පාලන බලය පීඩිත පන්තිය අතට භාරදීම නොවන නිසාත්, ඒ වෙනුවට ඔවුන් පිළිතුරු දෙන්නේ තුවක්කු කටින් වන නිසාත් බලය හුවමාරු කර ගන්නා සන්ධිස්ථානයේදී පීඩිත පන්තියේ බලය පාව්ච්චි කරන්නට සිදුවීම අන්තගාමී ධනේශ්වර ගැත්තකුට හෝ බවුන් වඩනා තපස් වරයෙකුට හැර අන් කවර අයෙකුටවත් අසාධාරණ යයි කිව නොහැකිය.
ඒ කවර තත්ත්වයන් යටතේ වුවද 1965 දී රෝහණ විජේවීරයන් ආරම්භකළේ තම සංවිධානයේ සාමාජිකයා දැනුමෙන්, විනයෙන්, විප්ලවාදී ජීවගුණයෙන්ද සන්නද්ධ, පවිත්‍ර වූ සන්නද්ධ ව්‍යාපාරයකි.
ධනවාදී ආණ්ඩු කලබල වූයේ ඇයි ? .
ධනවාදී ආණ්ඩු පීඩිත ජනතාව උගත්, බුද්ධිමත් ජනතාවක් වනවාට අකැමැතිය. ඔවුන් කැමති වන්නේ නූගත්, මෝඩ තකතීරුවන් ලෙස ජනතාව ජීවත් වනවා නම්, අන්න ඒකටය. එසේ වූ විට තමන්ට රිසිසේ හොරකම් වංචා දූෂණ බාධාවකින් තොරව කරගෙන යා හැකිය. කිසිදු විනයක් නැති අවිචාරවත් ජනතාවනට ඔවුන් කැමැතිය. මන්ද? කසිප්පු වීදුරුවට, බත් පැකට් එකකට රුපියල් දෙතුන් සියකට ඔවුන් යටකර ගත හැකි වන නිසාය. විප්ලවවාදීන් ප්‍රභූ වරුන් පාරේ යනවිට ලේන්සුව අතට ගෙන කාණුවට බසින්නේ නැත. තමන් ඉදිරියේ දනින් වැටෙන්නේ නැත. වරදාන වරප්‍රසාද වලට යටවන්නේ නැත. ඔවුන් හිතන විදියට නම් එවැන්නන් කිසි අංගපුලාවකට නැති මහ අසමජ්ජාතීන් රැළකි. එහෙයින් ජවිපෙ ගොඩනගා ටික කලෙකින් පීඩිත පන්ති ද්‍රෝහීන් ගේ උකුසු ඇසට ඔවුන් නාභිගත වීම පුදුමයක් නොවේ. අදහාගත නොහැකි තරම් වේගයෙන් මෙම ජනතා ව්‍යාපාරය පීඩිත පන්තිය අතර කිඳා බැස්සේය. ඊනියා වමේ ‘ඇත්ත’ පුවත් පත අපකීර්තිමත් සී.අයි.ඒ. ව්‍යාපාරයේ හංවඩුව ගසා ළදරු විප්ලවාදී ව්‍යාපාරය ප්‍රතිගාමිත්වයට හෙළිදරව් කළේත්, ප්‍රතිගාමී යු.එන්.පී. පාලනය කොන්දේසි විරහිතව ව්‍යාපාරය මර්දනය කිරීමට පෙළඹුනේත් ඒ අනුවය.
පැවති යු.එන්.පී. ආණ්ඩුව, චේ ගෙවේරා බියුරෝව පිහිටුවා ව්‍යාපාරය මර්දනය කිරීම වේගවත් කළේත්, ප්‍රේමසිරි සිරිවර්ධන අත් අඩංගුවට ගන්නේත් ඉන් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා ජූල්ගමුවේදී අත්අඩංගුවට ගන්නේත්, ශ්‍රීලනිප, ලසසප හා කොප ලේකම්වරුන් ව්‍යාපාරයට එරෙහිව ඒකාබද්ධ නිවේදන නිකුත් කරන්නේත්, සීදූවේදී 63 දෙනෙක් ද, වැලිවේරියේදී 41 දෙනෙක්ද අධ්‍යාපන කඳවුරු වටලා අත්අඩංගුවට ගන්නේත්, පටිගත කළ කතාවක් අසමින් සිටිද්දී මරදානේදී 18 දෙනෙකු අත්අඩංගුවට ගන්නේත් කිසිදු නීති විරෝධී කටයුත්තක යෙදී සිටි අය ලෙස නොවේ.
මේ අතර කැරලි කරුවන් මර්දනය කිරීමට පොලිස්පතිගෙන් නව නීති සැකසෙන බව සිලෝන් ඬේලිනිවුස් පුවත් පත සඳහන් කරයි. මේ කියන ජාතියේ කැරැල්ලක් තිබුනාද? ඒ කොහේද? ඒවාට උත්තර නැත. මේ වන විට කැරැල්ලක් තබා, කැරැල්ලකට අවශ්‍යකරන අවි ආයුධයක් වත් සොයාගෙන නොතිබියදී රාජ්‍ය ආරක්ෂක ලේකම් ආතර් රාජ්කුමාර් රත්නවේල් ප්‍රකාශකර සිටින්නේ “රටේ හිස ඔසමින් සිටින චේගෙවේරා ව්‍යාපාරය ආණ්ඩුවේ අංක එකේ හතුරාය. එය හඹාගොස් මුලිනුපුටා දැමිය යුතුය. ආණ්ඩුව ඒ ගැන නීති රීති සකස්කරමින් සිටී”. යනුවෙනි.
නිරායුධ විප්ලවාදී ව්‍යාපාරයක් කිසිදු නීති විරෝධී කටයුත්තක යෙදී නොසිටියදී ආණ්ඩුවේ මර්දන යන්ත්‍රය යොදා තළා පෙළා වධ බන්ධනයට ලක්කරන විට එය දරාගත නොහැකි තැන අතට හසුවන දෙයකින් පෙරළා පහරදීම යුක්ති සහගත නොවේ දැයි සිතා බැලිය යුතුය. යු.එන්.පි.යෙන් ජ.වි.පෙට එරෙහිව ඇරඹි මර්දනය 70 බලයට පත් සමගි පෙරමුණු ආණ්ඩුව විසින්ද අඛණ්ඩව ගෙන ගියේ සහාය දිවීමේ තරගයේදී තම කණ්ඩායම් එකෙකු අතින් බැටන් එක රැගෙන අනෙකා දුවන්නා සේය. ඒත් ඔවුන්ගේ පච මාධ්‍යකරණය හරහා රටට කීවේ “ආණ්ඩුව දෑත් බඳගෙන අහිංසකයින්සේ සාමකාමීව සිටින විට මිනීමරු චේ ගුවේරා කාරයින් අහිංසක ආණ්ඩුවට පහරදුන් බවය”. ඒත් 10,000ක් මිය ගියේත් 20,000ක් සිරගත වූයේත් ජ.වි.පෙ. සාමාජිකයින්ය. ඔවුන්ගේ ප්‍රකාශ වල හාශ්‍ය ජනක භාවය එයයි.
මර්දනය දරාගත නොහැකි මට්ටමට උත්සන්න වූ විට ජ.වි.පෙ. විසින් ප්‍රති ප්‍රහාර එල්ල කළ බව සත්‍යය. 71 අරගලය එයයි. අරගලයෙන් ජ.වි.පෙ. පරාජයට පත්විය. අරගලයට අදාල ඉතිහාසය ලියුවෝ ජයග්‍රාහකයෝය. ඔවුන් ලියු ඉතිහාසය, ජ.වි.පෙට එරෙහි අවලාද, අපහාස, පච, බේගල් පිරුණු ඉතිහාසයකි. 71 අරගලයට පමණක් නොව ඈත අතීතයේ සිටම අරගල වලට සම්බන්ධ ඉතිහාසය එබඳුය.
ජ.වි.පෙ. ආරම්භවූ පසුබිම.
සෝවියට් හිතවාදී ලංකා කොමියුනිස්ට් පක්ෂය එවකට සෝවියට් දේශයේ පැවැති නිලධාරි වාදී මෙන්ම ස්ටැලින් වාදී පාලනය විවේචනයට භාජනය වනවාට කිසිසේත්ම කැමති නොවූ නිසාත් ලංකා කොමියුනිස්ට් පක්ෂය ධනවාදී ශ්‍රී ල.නි.ප.ය සමග පෙරමුණු ගතවීම නිසාත් එහි දේශපාලන මණ්ඩල සභික ෂන්මුගදාසන් එවකට පැවැති චීන සෝවියට් මතභේදයේදී චීන පාර්ශවය නියෝජනය කරමින් සෝවියට් කඳවුරෙන් ඉවත්විය. හැරී අබේගුණසේකර හා ප්‍රේමලාල් කුමාරසිරි ආදී කො.ප. නායකයින් ද ශන්මුගදාසන් සමග චීන පිල ගොඩනැගීමට නායකත්වය දුන්හ.
ශන් මුගදාසන් කො.ප. චීන පිලේ නායකත්වයට පත්වූ පසු එහි ඉදිරිපෙළේ සිටි නායකයින් පිරිසකට ශන් ගේ විප්ලවාදී භාවිතාව සම්බන්ධයෙන් ගැටළු මතුවු හෙයින් ඔවුන් චීන පිලෙන් ඉවත්ව තම තමන්ගේ නායකත්වයෙන් විප්ලවාදී කණ්ඩායම් ගොඩනගා ගත්හ. එම කණ්ඩායම් ගොඩනැගූ අය අතර කල්‍යානන්ද තිරාණගම, ජි.අයි.ඩී. ධර්මසේකර, ආනන්ද ගුණතිලක, නිහාල් ඩයස්, සුමිත් දෙවිනුවර, ගාමිණී යාපා හා රෝහණ විජේවීර ආදීන් විය.
විජේවීරයන් ගොඩනැගූ කණ්ඩායම හැර සෙසු කණ්ඩායම් එකින් එක කාලයක් ගතවන විට දියවී යෑම නිසා මේ වනවිට ක්‍රියාත්මක තලයේ ඒ එකදු කණ්ඩායමක්වත් නැත. විශේෂයෙන් ජි.අයි.ඩී. ධර්මසේකර එදා සිටි ස්ථාවරයෙන් අංශක 180ක් අනික් පැත්තට ගොස් අද වන විට අනගාරික ජීවිතයක් ගත කරයි.
මෙම තත්ත්වයන් යටතේ බලන විට රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ගොඩනොනැගුවේ නම් මේ වනවිට රටට විප්ලවාදී පක්ෂයක් නැත. ඉතිරි වන්නේ අද බෝඞ් ලෑලි වලට සීමාවී ඇති සංශෝධනවාදී පැරණි වමේ පක්ෂ පමණි. පැරණි සංශෝධනවාදී පක්ෂ විප්ලවය අතහැරදමා ඇතැයිකී චීන පිල සහ චීන පිලෙන් කැඩී වෙන්වී ගිය සෙසු කණ්ඩායම් එකක්වත් අද දෘෂ්‍යමාන නොවේ. සංශෝධනවාදී පැරණි වම පවා ඉතිරිව ඇත්තේ ධනේශ්වර දේශපාලන පක්ෂ සමග සභාගයන්ට එළඹීමේ හේතුවෙන් මැතිවරණ පෙරමුණ තුළ පමණි.
එහෙත් රෝහණ විජේවීරයන් ජ.වි.පෙ. ගොඩනැගූ නිසා සහ එය ගොඩනැගූ ආකාරය නිසාත් එසේ ගොඩනැගූ සගයින් අරගල දෙකකදී සිය විප්ලවාදී භාවිතාවන් ප්‍රදර්ශනයකර ඇති නිසාත් අදත් එකී ගුණාංග එම පක්ෂය තුළ පවතින නිසාත් අද විප්ලවාදී පක්ෂයක් රටට ඉතිරිව ඇත.
මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් .
විජේවීරයන් ජ.වි.පෙ. ගොඩනොනගන්නට මාක්ස් ලෙනින්වාදී, විප්ලවවාදී පක්ෂයක් වත්මන් ලාංකිකයන්ට ඉතිරිවන්නේ නැත. එම පක්ෂය අද ධනවාදී පාලකයින්ට දැවන්ත අභියෝගයක් වන්නා සේම සමාජවාදී අපේක්ෂාවන් සිත් තුළ පුරවා ගත් සැබෑ ප්‍රගතිශීලී බලවේග වලට එකී පන්නයේ පක්ෂයක් අද ඉතිරිව ඇත්තේ රෝහණ විජේවීරයන් දැමූ ශක්තිමත් පදනම නිසයි.
දෙවතාවක් සමූලඝාතනය කළ පක්ෂයක්.
71 අරගලය අමානුෂික මර්දනයට මුහුණ දුන් ආකාරය නිසා ඇතිවූ අරගලයකි. එහිදී 10,000ක් පමණ විප්ලවාදී සගයන් තම ජීවිත පරිත්‍යාග කළේ තමන්ගේ කිසියම් පෞද්ගලික වුවමනාවක් ඉටුකර ගැනීමට නොවේ. තමන්ට කිසිදා හමුවී නැති, කතාබහ කර නැති, එහෙත් තම පන්තිය වන පීඩිත පන්තියේ විමුක්තිය වෙනුවෙනුයි ඔවුන් තම ජීවිත පරිත්‍යාග කළේ. එහි ගරුත්වය අනිවාර්යයෙන්ම හිමි විය යුත්තේ රෝහණ විජේවීරයන්ටයි. මන්ද? එවැනි යුග පුරුෂයින් ගොඩනැගුනේ විජේවීරයන්ගේ මග පෙන්වීම හා ප්‍රායෝගික ආදර්ශයන්මත වන හෙයිනි.
එබඳු පක්ෂයක් බිහිකර නොතිබෙන්නට නොසැලෙන ධෛර්යයක් ගැන, අචල ආත්ම විශ්වාසයක් ගැන, අනුපමේය කැප කිරීමක් ගැන, වෘත්තීය විප්ලවාදී ජීවිතයක් ගැන, ඇතැම් ආගමික නායකයින් තුළ පවා නැති ආකාරයේ (පක්ෂ) විනයක් ගැන ඒ සියල්ල එකට කැටිකර ගත් විප්ලවාදී ජීව ගුණයක් ගැන අද අපට කතා කරන්නට අවස්ථාවක් එළඹෙන්නේ නැත. නිවැරදි විප්ලවාදී දර්ශනයක් ගැන කතා කළ හැක්කේ ජ.වි.පෙ. භාවිතාව පදනම් කරගෙනය. වර්තමානයේ වුවද තනතුරු හා වගකීම් අතර වෙනස ජන සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ජ.වි.පෙ. පමණි.
1987 දී දකුණු ආසියාවේ දේශපාලන බලවතා වූ ඉන්දියානු ආක්‍රමණිකයා හමුවේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා දණගසද්දී රටේ ස්වෛරීභාවය වෙනුවෙන් රටේ බහුතරයක් ජනතාව ඊට එරෙහිව පෙළ ගැස්වීමට මැදිහත් වූයේ ජ.වි.පෙයි. ඒ මැදිහත්වීම කළේ ජ.වි.පෙ. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පවා අසාධාරණ ලෙස අහිමිකර තහනමට පවා ලක්කර තිබියදී ය.
88-89 අරගලයට ජවිපෙ ඇද දැමුවේ ජෙ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ යු.එන්.පී. පාලනය යි. 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයෙන් ජවිපෙන් මන්ත්‍රීවරුන් 13 දෙනෙකු පත්වීමත් 1982 ජනාධිපතිවරණයේදී ජවිපෙ අපේක්ෂක රෝහණ විජේවීරයන් ඡන්ද 273,000 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමත් නිසා ජවිපෙ නියෝජිතයින් පාර්ලිමේන්තුවේ නියෝජනය කිරීම වැළැක්වීමට 1982 අවසානයේ පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණය ජනමත විචාරණයක් හරහා කල්දමා ගත් ජේ.ආර්., 1983 ජවිපෙ විසින් පැවැත් වූ දැවැන්ත මැයි පෙළපාළිය දැක බියවී අපකීර්තිමත් කළු ජූලියක් නිර්මාණය කරමින් ජවිපෙ ඇතුළු පක්ෂ කිහිපයක් තහනම් කොට කළු ජූලිය ඇති කළේ ජවිපෙ බවට අභූත චෝදනා නැගුවේය.
ජනතාව ප්‍රශ්න කළ යුත්තේ මෙපමණයි.
ජවිපෙ තහනම් කළේ ඇයි? කළු ජූලියේදී දෙමළ ව්‍යාපාරිකයින්ගේ කඩවල් කැඩුවේ ජවිපෙ නම් විජේවීර සැඟවී සිටින්නේ තමිල්නාඩුවේ දෙමළ මිනිසුන්ගේ ආරක්ෂාව යටතේ යැයි කීවේ ඇයි? බොරු චෝදනා නගා රාජ්‍ය මර්දනය හරහා රටේ ජීව නාලිය බඳු තරුණ තරුණියන් 60,000ක් දෙනා රාජ්‍ය සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් ත්‍රස්ත කණ්ඩායම් යොදාගෙන අමු අමුවේ ඝාතනය කළේ ඇයි? කළු ජූලියේදී ම්ලේච්ඡ වර්ගවාදී මහා ගිනිදැල් අවුලුවා රට ගිනි ගනිද්දී රාජ්‍ය නායකයා ලෙස ජේ.ආර්. සතියක් පුරා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට නිවාඩු දී වෝඞ් පෙදෙසේ පිහිටි තම මන්දිරයටවී මන්දහාසයෙන් යුතුව බලා සිටියේ ඇයි? දෙමළ සංහාරය කළේ ජවිපෙ නම් ඒ මොහොතේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ජවිපෙට එරෙහිව මෙහෙයවන්නට බැරි වූයේ ඇයි?
මේ සියල්ලට පිළිතුරු දෙන්නට අද යු.එන්.පියේ එකදු නායකයෙක් ඉතිරිවී හෝ, ඉතිරවී සිටියත් ඉදිරිපත් වන්නේ නැත. ජවිපෙ තහනම් කිරීමට අබමල් රේණුවක හෝ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් ඔවුන් සිදු කළ බවට සාධකයක්, ජේ.ආර්.ට හෝ ජේ.ආර් ගේ ගෝලබාල එජාප පාක්ෂිකයෙකුට හෝ ජවිපෙට මඩ අවලාද, අපහාස නගන කිසිවෙකුටවත් නැත. අරගල දෙකකදී ඝාතනය කර දැමුණු ශ්‍රේෂඨ වීර වරයින් ද ඔවුන්ගේ කාර්යභාරය කර මතට ගෙන අද ඊට ජවය සපයන ජවිපෙ ශක්තිමත් ක්‍රියා ධරයන් ද රටට පසක් කර ඇති විප්ලවීය ගුණාංග අතරින් ප්‍රකට අංග ලක්ෂණ දෙක වන්නේ යුක්තියට හා සාධාරණත්වයට හිස නැමීමත්, අයුක්තිය හා අසාධාරණත්වය හමුවේ කවර පුද්ගලයෙකු වුවද ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොබලා ඍජුවම ඊට එරෙහිවී එය පරාජයට පත්කිරීමේ පෙරමුණ ගැනීමත්ය. ඒ රෝහණ විජේවීරයන් ගොඩනැගූ ජවිපෙ උත්පත්ති ගති ලක්ෂණයයි. අද විජේවීරයන් නැතත් ඒ ශ්‍රේෂ්ඨ ගුණාංග අදටත් හෙටටත් පවතින්නේ ඔහු දැමූ ඒ ශක්තිමත් පදනම නිසයි.
විජේවීරයන්ගේ අනුපමේය කාර්යභාරය.
1987 ජේ.ආර්. - රජිව් අත්සන් කළ යටත්වීමේ ගිවිසුමට එරෙහිවන්නට, එහිම අතුරු විපාකයක් වන අදත් සුදු අලියෙකු වී ඇති 13 වැනි සංශෝධනයෙන් ගෙන ආ පළාත් සභා වලට සහ මෙරටට ඉන්දියානු හමුදා ගෙන ඒමට එරෙහිවන්නට, ජවිපෙ නොසිටින්නට ඉදිරිපත්වන්නේ කවුරුන්ද? ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පොරොන්දුව, දේශපාලන උපක්‍රමයක් ලෙස හෝ දෙන්නට 1994 පසු දේශපාලන පක්ෂ පෙළඹුනේ ජවිපෙ නිසා නොවේද? පරිවාස ආණ්ඩු සංකල්පය රටට හඳුන්වාදී ඒ හරහා ජනතා සහන ලබාදුන්නේ ජවිපෙ නොවේද? ඉන්දු ලංකා ගිවිසුමේ එක් කොන්දේසියක් වූ උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීම, උතුරෙන් නැගෙනහිර වෙන්කිරීම දක්වා යෑමටත්, එල්ටිටීඊ පාලනය තහවුරු කිරීමට ගෙන ආ සුනාමි සහන මණ්ඩලය පරාජය කිරීමටත් අධිකරණ ක්‍රියා මාර්ග හරහා පියවර ගත්තේ ජවිපෙ නොවේද?
ඒකාධිපති විධායක බලතල කප්පාදු කරන 17 සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනැවිත් සම්මත කර ගත්තේත් 20 වන සංශෝධනය හරහා විධායක බලතල මුළුමනින්ම අහෝසි කිරීම දක්වා වූ වෙහෙසකර ව්‍යයාමයෙහි යෙදෙන්නේත් ජවිපෙ හැර වෙන කවරෙක්ද?
හවුලේ ජාතික දේපල කොල්ලකන හවුලේ ඔවු’නොවුන්ගේ හොරකම් ආරක්ෂා කරන වත්මන් පාර්ලිමේන්තුවේ හොර කල්ලිවල ක්‍රියාදාමය රටට හෙළිකොට ඒවා පරාජයට පත්කිරීමේ කාර්යයෙහි යෙදෙන්නේ ජවිපෙ නොවේද? මෙම ක්‍රියාවලිය රොහණ විජේවීරයන් විග්‍රහ කළේ “මොවුන් දෙගොල්ල දවල්ට රණ්ඩුවෙනවා රෑට එකට හොරකමේ යනවා” යනු වෙනි. විජේවීරයන් විසින් ජවිපෙ ගොඩනොනගන්නට මේවා අහන්නටවත් ලැබෙනවාද?
ලංකාවේ ජාතික ගැටළුව
ලාංකීය ජනතාව අතර අදත් ගැටළුවක්ව පවතින ජාතික ගැටළුව පිළිබඳව මාක්ස් ලෙනින්වාදී දෘෂ්ඨියෙන් නිවැරැදි විග්‍රහයක් ඉදිරිපත් කළේ රෝහණ විජේවීරයන්ය. වෘත්තීය විප්ලව වාදියා යන වචනයට නිවැරැදි අර්ථකථනය දී ප්‍රායෝගිකව තම ජීවිතයෙන් ඔප්පුකර පෙන්නුවේ ඔහුය. ඉන්දියානු ආක්‍රමණික පිළිවෙත හා ඉන්දියානු මැදිහත්වීම නිවැරැදිව විග්‍රහකර දීමට ඔහු හැර අන්කවරෙක්වත් දේශපාලන කරලියේ නොවීය. ස්වාභාවික විපත් අතර ගංවතුර හා නාය යෑම් පිළිබඳව 1965 වැනි වකවානුවක කල් ඇතිව විද්‍යාත්මක විග්‍රහයක යෙදුනේ ඔහුය. වෘත්තීය සමිති දේශපාලනය වෙනුවට කම්කරු පංති දේශපාලනය හඳුන්වා දුන්නේ ඔහුය. පැරණි වමේ අවස්ථාවාදී පිළිවෙත නිවැරැදිව දුටුවේ ඔහුය. සෙසු අය හිතන්නටත් කලින් ඒ ඒ සිදුවීම් හා දේශපාලන වාතාවරණයන් ගැන නිවැරැදි දේශපාලන විග්‍රහ ඉදිරිපත් කිරීමේ අපූර්ව හැකියාවක් තිබුණේ ඔහුටය.
අද රටේ සිදුවන වංචා දූෂණ, හොරකම් මැරකම්, ජාතික දේපල කොල්ලකෑම් ගැන රටට හෙළිකරන්නේ ජවිපෙ ය. ජවිපෙ යක් නොතිබෙන්නට “එළ හරකා වතුර බිව්වා සේ” කාටත් නොදැනෙන්නට පාලනය හොබවන කණ්ඩායම් විසින් එම සකලවිධ වංචා - දූෂණ යට ගසනු නොඅනුමානය.
අරගල දෙකකදී දිවිදුන් වීර සගයන් ලබා දුන් ආදර්ශය අප රටට පමණක් නොව දේශ දේශාන්තරයන්ට ද ආදර්ශ සපයන්නේය. කුලීහේවායන් මෙන් නොව ඔවුන් සටන් කර දිවිදුන්නේ තමන්ට පෞද්ගලිකව යමක් ලබා ගැනීමට නොවේ. ඔවුන් තුළ මරණ බය තිබුනේම නැත. සමස්ථ ජනතාවගේම සුබසිද්ධිය වෙනුවෙන් තම ජීවිතය පූජාකරන්නට ඉදිරිපත් වන කෙනා සත්‍ය ලෙසම මනුෂ්‍යත්වය ඉක්මවූ අයෙකි. එබැවින් ජවිපෙ යනු යුග පුරුෂයන් බිහි කළ පක්ෂයකැයි කීම අතිශයෝක්තියක් නොවේ.
එහි පුරෝගාමියා වන රොහණ විජේවීරයන් ඊට නායකත්වය සැපයූ තම ජීවිතයෙන්ම ආදර්ශ සැපයූ ශ්‍රේෂ්ඨ විප්ලවාදී නායකයෙකි. ඔහු ජනතා විමුක්ති පෙරමුණක් ගොඩනොනගන්නට අද අපේ රට නැවතී තිබෙන්නේ කොතැනකදැයි සිතාගත හැකිය.
![]() |
(ජවිපෙ මධ්‍යමකාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජිනදාස කිතුලගොඩ) |
මුණු පොතට - දයානි දිසානායක
day in the life
0 comments:
Post a Comment