Sunday, October 13, 2024

වැස්ස.




ගැබිනියකගේ තනපුඩුවල පැහැය උරා
පාවෙන වළාකුළු පවතියි, අහස පුරා
මිටියාවතේ මීදුමු ගොබ දෙපළු ඉරා
ඉගිලෙති කුරුළු හමුදාවෝ කැදලි කරා

අහසේ වලාකුළු හා තරගයක යෙදී
තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
දියවැල බිදී දෙන රාවය දෙකට බෙදී
හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා
මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා

වැහි බිඳු ඇද වැටී කුර ගැටෙන හඬ දිදී
මිදුලේ රළ බැඳෙයි පෙන බුබුළු බිඳී බිඳී
සුළගින් ගසා ගෙන එන මිහිරි බව රැදී
සිතුවිලිවලට මුළු හදවත ම ඉඩ මදි

වෙහෙසට පත්ව වට වැහි බිඳු පොකුරු ගිල
දිය වල වමාරන්නා මෙනි, පියසි තල
මිදුලේ පුංචි ගංගාවල් ගලන කල
පාසල් ළමුන් පාවෙති සිය සිහින වල

නැති වල ගොඩැලි මතුකොට ගල් කැට බේරා
පටු මාවතේ දුහුවිලි, කොළ රොඩු සුරා
දෙපසෙහි සැදි අගල් සුළි නැගී නැගී හාරා
පිබුරන් සේ ඇදෙයි ගුරු පැහැ දිය දාරා

ගස් වැල් තිගැස්සෙයි මේ කුළු ගැටෙන හඬින්
කඳු ගැට වසා විහිදෙයි වැහිගිලිය ගොඩින්
නිකලෙස් හැගීමක් ඩැහැගත් වන ම ගොඩින්
හදවත පියඹා යයි, වෙල් කුඹුරු උඩින්

පොළොවට වැටෙන හැම වැහි බිඳුවක ම පහේ
ගැබ්වුණ සිසිල එයි, ඊතල පරිදි මෙහේ
ළා අතු රිකිලි, රුක්ගොමු, ලියමඩුලු ඉහේ
දැඩි වේදනාවෙන් මිරිකී හඬනු ඇහේ

හැම වැහි වලාව ම ඉගිලිගෙන එද්දී
මට එයි ජීවමය ගී රසයක් ඇද්දී
මුළු ජීවිතය සතු සිහිකටයුතු සිද්දී
සිදු වුන සේ හැගෙයි මහා වැසි පවතිද්දී

සුළගට විදුලියට ගිගිරුම් හැඩ ගගා
ගැඹුරු ම නිසල බව පිටුතලය කොට නගා
රැය සීතලත් අඳුරත් සමගම කුර ගගා
සැන්දෑවට කලින් මේ ගමට විය ළගා

ගී දේවියට කැප කල දෙවොලකට සම
කුටියක සුවඳ දෙයි කළුවැල් කපුරු දුම
අද නම් නුවර එලියකි මා වෙසෙන ගම
මෙ පමණ අලස දවසක් නොදුටුවෙමි මම

- එච්.එම්.කුඩලිගම -

A day in the life

2 comments:

Ajith Dharma. said...

කුඩලිගම ගේ කවි ඉස්සර කියෙව්වා . මම කල්පනා කලේ දැන් ලියන ලේඛකයොත් ඇත්තටම හොඳ අය ඉන්නව . නමුත් කුඩලිගම ලට් වගේ පිළිගැනීමක් නැහැ කියල

miduma said...

සමාජ මාධ්‍ය වල හිරවෙලා කියලා හිතෙන්නේ නැද්ද ?. මම උපුටා පල කරන කිහිප දෙනෙක් ඉන්නවා. එයාලත් මුණු පොතේ විතරයි දකින්නේ.

Post a Comment

ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.

 

මීදුම Published @ 2014 by Ipietoon