මල් සුවඳයි ගෙඩි තිත්තයි....
නොතේරුවොත් ටොකු විස්සයි......
ඕන්... තේරවිල්ල. අපි පුංචි කාලේ සමහර දවස්වලට...විශේෂයෙන් වැහි දවස් වලට
නංගි මායි මැණිකෙයි ගංග යි එකතුවෙලා
එක ගෙදරක...ඉස්තෝප්පුවෙ ඉඳගෙන තේරවිලි කියනවා...කවි කියනව..කතා කියනව ..
එහෙම එකතු වෙලා ඉන්නෙ.....
අම්මා මොනව හරි කෑම ජාතියක් එක්ක තේ...අරන් එනවා.
දවසක් ඉතින් කැන්ද කොල වල ඔතාපු මොනවදෝ අරන් ඇවිත්...
අපිට දීලා අම්මා තමයි මේ තේරවිල්ල කිව්වෙ...
අපි ඉතින් දැනගෙන හිටියේ නෑ උත්තරේ....
ඒ තමයි හල් ගහ...ළමයිනේ.හල් ගහේ ගෙඩි වලින් තමයි මම මේ කෑම ජාතිය හදල තියෙන්නේ...
මේ තමයි හල් හැලප..
දැන් ඉතින් මේවා කාලා තේ බීලා ඉන්ට කො...
පස්සේ බැරියැ... තේරවිලි කියන්ට...
ඒ තමයි මුලින්ම හල් කාපු දවස... එදා ඒ කාපු හල් හැලප වල රස තවමත් මතකයි.. පස්සෙ හල් වලින් එක එක ජාති හදල දුන්නා අම්මා.....
දැන් ඉතින් අපිත් ආච්චිලා වෙච්චි කොට අම්මා කොයින්ද... කොහොම වුනත් අද නම් මම රිදී ගෙදර යන පාරේ ගියේ නැහැ.....
ඊයේ පෙරේදා වැහැපු වැස්සට....දොළ පාර දිගේ ආපු රොඩුබොඩු හිරවෙලා තිබුණා.....
හෙමින් හෙමින් ඒවා අයින් කරද්දි.....තමයි මෙන්න මේවා හම්බවුණේ....
ඒ තමයි,හොඳට පැහුණු ලොකු හල් ගෙඩි..කීපයක්.. ඒව දැකපු ගමන් මතක් වෙන්නේ අම්මා හදාපු හල් පිට්ටු..
හල් හැලප
හල් මුල්
හල් ගුටි
හල් වණ්ඩු.
ඔය හැමදේම....
ඉතින් ගිය වැඩෙත් කරගන්න එපැයි.....මෑ කරලුත් කඩා ගෙන...බෝංචි, කරවිල ඒවත් කඩාගෙන
ගෙදර ආව ගමන් කළේ...
ඉස්සර නම් අම්මලා හල් ගෑවේ ඒ වෙනුවෙන්ම තහඩුවක් නවලා යකඩ ඇනයකින් හිල් විදලා හදාගත්ත ... උපකරනයකින්. ඒකට කිව්වේ හල්කටුව කියලා.
ඒත් හිරමණයෙනුත් ගාගන්න පුළුවන්. ටිකක්....පොඩි පොඩි කෑලි ටික ග්රේටර් එකකින් ගා ගත්තා....
ඉස්සර නම් කලින් දවසේ හවසට ගාපු හල් ටික.මල්ලක දාලා කට බැඳලා....වතුර ගසාගෙන සේදිලා යන විදිහට දොල පාරක් අයිනේ ගහක මුලක බැඳලා තියෙනවා......
එහෙම කරන්නේ හල්වල තියෙන තිත්ත යවාගන්න....
ඒත් දැන් නම් එහෙම කරන්න ඕන නැහැ ටැප් එකට අල්ලලා පුළුවන් ඒ වැඩේ කරගන්න....
ඉතින් මේ ගාපු හාල් සාමාන්යයෙන් පොල් රැල් වගේ..
ඒවට හාල් පිටි, සීනි හෝ කිතුල් පැණි..පොල් මිශ්ර කරල...එනසාල් ..කරල් කීපයක් තලල දාලා...
අර මම කලින් කියපු කෑම ජාති ඕන දෙයක් හදාගන්න පුළුවන්......
ඉතිං මේවා හරිම රසයි..ඒ වගෙම ගුණයි..
ටිකක් ඌෂ්ණාධික වුණත්...මේක පුදුම රස ජාතියක්..
දියවැඩියාව වගෙම කොලොස්ටරෝල් තියෙන අයට හොඳ ඖෂධයක්.. ඉතිං දන්නවද හල් ගහ ශ්රී ලංකාවට ආවේණිකම ශාකයක්...
ඒත් දැන් රතු දත්ත පොතට නම ඇතුලත් වෙලා තියෙන්නේ...ඒ කියන්නේ මේ ශාකය වඳවීගෙන යන ශාකයක් බවට පත්වෙලා....
බොහෝ මිනිස්සු හල්ගස් කපලා දාන්නෙ ඇත්තටම මේකට ලොකු ඉඩක් යන නිසා...
අපේ රටේ ඕන තරම් ලොකු ලොකු හිස් ඉඩම් තියෙන මිනිස්සු ඉන්නවා...
ඒ අයට පුලුවන් මේ වගේ ශාක නැවත වගා කරන්න.
මේ වගේ ශාකයක් ලෝකයෙන් තුරන් වෙන්න ඉඩ නොදී රැක ගන්න එක අපි හැමෝගෙම යුතුකමක් වගේම වගකීමක්.
හොඳින් අතුපතර විහිදුනු..මේ ශාකය...අඩි 60ක් හැත්තෑවක් පමණටත් වඩා උස යන ශාකයක්...
ගහේ පහළ සිටම අතු දැකිය හැකියි...
හල් ගහ සම්බන්ධව රසවත් කතාවක් මගේ ජීවිතෙත් තියෙනවා...
මං මුලින්ම ගහකට නැග්ගේ හල් ගහකට...
වයස අවුරුදු 10 වත් නැතිව ඇති.
හැබැයි ගහෙන් බහිද්දි බඩයි පපුවයි ඔක්කොම සීරුණා...ලෙලි ගියා.
අපේ අම්මා කුරුම්බැට්ටි ගලක උරච්චි කරලා ගෑවා....
හම්මෝ ඕ...ඕ...ඕ....සනීප ..තාම මතකයි...
හරී ඒ කතාව පසුවට හොඳේ.....
හල් ගහෙන් තවත් බොහෝ ප්රයෝජන ගන්න පුළුවන්...
අම්මෝ හල්දුම්මල ගැන නම් බය හිතෙන කතාත්. තියෙනවා.
අපිට නම් හල්දුම්මල නොමිලේම ලැබෙනවා...
හල් ගහේ පොත්ත කොයි විදිහකින් හරි තුවාල වුනාම..වැගිරෙන කිරි එහෙම නැත්නම් ලාටු ඝන බවට පත්වෙලා තමයි..හල් දුම්මල හැදෙන්නේ..
හල් ගස් විශේෂයෙන් හැදෙනවනේ ඇලවල් දොලවල් අයනේ.....
මාවක් ඔයේ වතුර වැඩි දාට ඉවුර දෙපැත්තේ එකතුවෙන කොළරොඩු ගොඩවල්...පීර පීර ඉස්සර අපි හල්දුම්මල හොයනවා..
ඔයේ ඉහළ ප්රදේශවල තියෙන හල් ගස්වල හැදුනු දුම්මල....වතුරෙ පාවෙලා ඇවිත්...ඉවුරට ගොඩ ගහනවා....
අනිත් දුම්මල වලට වැඩිය හල්දුම්මල ලා පාටයි...හරියටම කිව්වොත් දිලිසෙන තිරිවාන ගල්වල පාටයි...
ඉතිං ඉස්සර කාලෙ හිටපු වැඩිහිටියෝ කියන්නේ...හල්දුම්මල වැඩිපුර හම්බවෙනවා නම් ඇලවල් අයිනේ තිබිල ඔක්කොම අත ඇරලා එහෙමම ගෙදර දුවන්න කියලා....
සීමාවක් නැතුව එහෙම දුම්මල ලැබෙන කොට
ඒවත් එක්ක යක්ෂ දෝෂත් තියෙනවලු.....
මේව ඉතිං කට කහනවට කියපුවා එහෙම නොවෙයි....
ඉතිං අපිට නම් එහෙම දාල දුවන්න තරම් වැඩිපුර හම්බ වෙලා නැහැ...
මේ හල්දුම්මල තොවිල් වලට ගන්නව වගේම....කෘමි සතුන් එලවන්නත් බොහොම හොඳ ඖෂධයක්...
හරිම සුගන්ධවත් දුමක් එන්නෙ පත්තු කරනකොට...
ඒ වගෙම හල්පොතු....වලිනුත් ප්රයෝජනයක් ගන්න පුළුවන්....
කිතුල්ගස් තෙල්දිය පිණිස මදිනකොට...ඒවා පැසීම වළක්වන්න හල් පොතු භාවිතා කරනවා...මේ බව අපේ තාත්තා ඒ කාලෙ කිව්වම මම හරි පුදුම උනා කොහොමද මේවා දන්නේ ඇත්තටම අපේ පැරැන්නො කියලා....
තෙල්දිය කියන්නේ පැණිරස ද්රාවණයක්....ඒව රා බවට පත්වන්න නම් යීස්ට් අවශ්ය වෙනව.
පරිසරයේ පවතින යීස්ට් සංඝටක එකතු වෙලා වෙන්න පුළුවන් ඒවා රා බවට පත්වන්නේ....
ඒ යීස්ට් වල ශක්තිය දුර්වල කරන්න හල් පොතු වලට පුළුවන් බව...කොහොමද අපේ පැරැන්නන් දැනගත්තේ...
මේ හල් ගහ තියෙන්නෙ අපේ ගමේ...හොඳේ.
1 comments:
හල් කාල තියන්ව් අබෝහොම ඈත කලෙක
Post a Comment