කඳු යායට ඔබින් සරතැස නිවාලන
මුදු මඳ පවන් සනසා තුරු පත් සලන
වියපත් හිරු සිඹියි රත් දෙකොපුල සොඳින
රළ පෙළ සසළ වෙයි වැව් තාවුලේ ඇනී
බිඟු කැළ ගී ගයති කුමුදක සුවඳ දැනී
මඳනල කියඹු වැල් හා දඟ කරනු පෙනී
සුලකළ වටොර නෙත් සළෙළුන් වැළඳ ගනී .
දිය කාවුන් ඉගිළ යති සුළි නංවාලා
ගිරවුන් කුඹුක් අතු මත පළසක් වියලා
තනි වූ ඔරු කඳක් එගොඩට යන ලීලා
ඇයගේ දෙපා වෑ කණ්ඩිය මත රැඳිලා .
සිතිජය රේඛාව කෙළවර වන බැද්දේ
විළිකුන් හිරු මඬල වැටිලා වැව මැද්දේ
අත වූ රෙදි බරට පුළුලුකුලත් පැද්දේ
දිය බිඳු වැටෙන ගෙල ලැම මා මන බැන්දේ .
පළුගස් මංඩියේ සුපුරුදු සෙවනැල්ලේ
මා නෙත් ඇගේ නෙත් යාවුණි එක එල්ලේ
තොල්පෙති ලිහී මතුවුණු පෙම් හසරැල්ලේ
නාමල් සුවඳ දැනුණා මට ඇගෙ.... කොපුලේ.
රෝ.සි.
ඈ රෝ. සි .මුහුණු පොතේ හැදින්වෙන්නේ එහෙමයි. නිතර නිතර නිර්මාණ එකතු කරන කිවිදියක්.විශ්‍රාමික විදුහල්පතිනියක් , අධ්‍යාපන නිළධාරිනියක් . එමෙන්ම අධ්‍යාපනවේදිණියක්.
පරිසරය මවා ගෙන ලියන පදවැල් නිතර ඇගේ පෑන්තුඩින් මැවෙනවා.
මෙයත් ඇයගේ අපුරු නිර්මාණයක්.
මට සිහිපත්වුනේ විමලරත්න කුමාරගමයන්ගේ හැඩරුව.
0 comments:
Post a Comment