මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ උද්වේගකර කතාවක් පැවත්වූ එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායල තානාපති ගිලාඩ් එර්ඩන් මෙම යෝජනාව දැඩිව විවේචනය කළේය. යෝජනාව මඟින් ඊශ්‍රායල-පලස්තීන යුද්ධයක් පිළිබඳව හුවා දක්වා ඇති මුත් මෙය කිසිසේත්ම එවැන්නක් නොවන බවත් ඊශ්‍රායලය මේ අවස්ථාවේ සිදුකරන්නේ සමූලඝාතක,මිනීමරු හමාස් ත්රස්තවාදයට එරෙහි සටනක් පමණක් බවත් ඔහු සඳහන් කළේය. මුළු ලොවම තමන්ට එරෙහිව සිටියද හමාස් ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කර මිසක් ආපසු හැරීමක් නැති බව ඔහු සපථ කළේය. එය නූතන නාසිවාදයට එරෙහිව ඊශ්‍රායල නීතිය මඟින් තම හමුදාවන්ට ලැබී ඇති අත්හළ නොහැකි වගකීමක් බව තානාපතිවරයා ප්‍රකාශ කළේය.
“මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව වර්ගයාට අඳුරු දිනයක්. හමාස්වරු කිසිදිනෙක පලස්තීනුවන්ගේ ජීවිත ගැන සැළකුවේ නැහැ. ඔවුන්ට සාමය හෝ සාකච්ඡා අවශ්‍ය නැහැ. ඔවුන්ගේ එකම අරමුණ ඊශ්‍රායලය විනාශ කිරීම හා මිහිපිට වෙසෙන සියලුම යුදෙව්වන් මරා දැමීම පමණයි. අප ඔවුන් විනාශ කිරීමට හැකි සියලුම උපක්‍රම භාවිතා කරනවා. "
දරුවන් ඉදිරියේ දෙමව්පියන්ද දෙමව්පියන් ඉදිරියේ දරුවන් ද කුරිරු වධ හිංසාවන්ට ලක්කර මරා දැමූ බවත්, තරුණියන් දූෂණය කර මරාදමා ඔවුන්ගේ නිරුවත් සිරුරු ගාසා තීරයේ මාවත් දිගේ රැගෙන ගිය බවත් ඒවා වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. යුදෙව්වෙකු නොවන තායිලන්ත ජාතිකයෙකු වධ හිංසා කරමින් මරා දමන වීඩියෝවක් මහාමණ්ඩලය හමුවේ ප්‍රදර්ශනය කළේය. මෙවැනි සාහසික ම්ලේච්ඡත්වය වීඩියෝගත කර ලොවට බෙදා හැරීමේ අරමුණ ලෝකයා තැති ගැන්වීම හැර වෙනත් කුමක්දැයි ප්‍රශ්න කළේය.
"සටන් විරාමයකින් සිදුවන්නේ හමාස්වරුන්ට නැවත සංවිධානය වී ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට හැකි වීම පමණයි. අපි ඊට ඉඩ දෙන්නේ නැහැ. මේ ආරක්ෂක මණ්ඩල යෝජනාවේ කිසිතැනකහමාස් ත්රස්තවාදීන් විසින් මරා දැමූ ඊශ්‍රායල ජාතිකයන් හෝ විදේශිකයන් ගැන සඳහන් වන්නේ නැහැ. නමුත් මම ඔවුන් වෙනුවෙන් මගේ කාලයෙන් මිනිත්තුවක් වෙන් කරනවා." එර්ඩන් මහතා එසේ කියමින් තම වේගවත් ප්‍රකාශය නිමා කළේය.
පලස්තීනුවන් හෝ ඊශ්‍රායල ජාතිකයන් හෝ මියයන්නේ කවුරුන් වුවද මෙම අර්බුදය මානව වර්ගයා මුහුණ දෙන මහා නස්පැත්තියක් බවට පත්ව ඇත. ලිපිය ලියන මොහොත වන විට පලස්තීනුවන් 9061 ක් ගැටුමෙන් මියගොස් ඇති අතර ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායලය තුළ පුද්ගලයන් 1400 කට වඩා මියගොස් ඇති බව වාර්තා වෙයි. ගැටුමෙන් සෑම මිනිත්තු 10 කට වරක් පලස්තීන ළමයෙකු මියයන බව Save the Children සංවිධානය පවසයි. කෙසේ නමුත් මියගිය ප්‍රමාණය පිළිබඳව හමාස් සංවිධානය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන පිළිගත නොහැකි තත්ත්වයක ඇති බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත. අවසන් කටයුතු කිරීමට සූදානම්ව සුදු රෙදිවලින් ආවරණය කර ඇති ව්‍යාජ මළ සිරුරුවල වීඩියෝද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත. හමාස් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවේ අනුකම්පාව අපේක්ෂාවෙන් මෙවැනි මවාපෑම් සිදුකරන බවට සමාජ මාධ්‍යයන් ඔස්සේ චෝදනා එල්ල වෙමින් පවතී. කෙසේ නමුත් දැන් මෙය හමාස් සංවිධානය හා ඊශ්‍රායල හමුදා අතර යුද්ධයක් පමණක් නොව ලෝකයේ සෑම කලාපයකටම හිසරදයක් වූ ගැටුමකි.
ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ මෙය එකට ජීවත් විය යුතු ජනවර්ග දෙකක් අතර අවාසනාවන්ත ගැටුමක් බවයි. වහාම ඔස්ලෝ ගිවිසුම ක්‍රියාත්මක කර රාජ්‍යයන් දෙකක විසඳුමට පිවිසෙන ලෙස උන්වහන්සේ ඉල්ලා ඇත. 1947 එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක වී එවකට පලස්තීනය හා ඊශ්‍රායලය නම් වූ රාජ්‍ය දෙකක් පිහිටුවීමට හැකි වූවානම් අද මේ විනාශය සිදුවන්නේ නැත. බොහෝ ජාතීන් පිළිගන්නා පරිදි ගැටුමෙන් මිදීමට ඇති එකම මාර්ගය එයයි.
මේ අතර හමාස් ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරමින් ඊශ්‍රායලයට පක්ෂපාතීත්වය දැක්වූ රාජ්‍ය පවා ජබාලියා ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. ආජන්ටිනා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ආත්මාරක්ෂාව සඳහා ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය හා සන්නද්ධ ගැටුම් හේතුවෙන් සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීමෙන් මිදීම යන කාරණා ඒ අයිතියෙන් වැසියනොහැකි බවයි.ආජන්ටිනාවේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිචාරය පැමිණෙන්නේ අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ඊශ්‍රායලයට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවය. පසුගියදා බොලිවියාව ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හරින බව නිවේදනය කළේය. එසේම කොලොම්බියාව සහ චිලී රාජ්‍යය ඊශ්‍රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් උපදේශනය සඳහායැයි පවසමින් ආපසු කැඳවා ඇත.මෙක්සිකෝව සහ බ්‍රසීලය වැනි අනෙකුත් ලතින් ඇමරිකානු රටවල් ද සටන් විරාමයක් ඉල්ලා ඇත.
එසේම මැද පෙරදිග රාජ්‍යයක් වූ ජෝර්දානයද මේ වන විට ටෙල්අවිව් සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් අත්හැර ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයාද පෙන්වා දී ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමටනම් විරාමයක් අවශ්‍ය වනු ඇති බවයි. ඔහු අදහස් කරන්නනේ සටන් විරාමයක් නොවේ. ඔහුගේ පක්ෂයේ සාමාජිකයන්ගෙන් එල්ල වන පීඩනය හමුවේ බයිඩන් මහතාට එසේ කීමට සිදුව ඇති බව කිව හැකිය. හමාස් ග්‍රහණයේ ඇති ප්‍රාණ ඇපකරුවන් අතර ඇමෙරිකානුවන් කිහිප දෙනෙකුත් සිටිති. රෆා පිවිසුම විවෘත කිරීම පිළිබඳව ඊජිප්තුවට ප්‍රශංසා කළ බයිඩන් මහතා ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඊශ්‍රායලයට දිගින් දිගටම බලපෑම් කරන බව ද පැවසීය. ඕස්ට්‍රේලියාව ද ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ ඔක්තොම්බර් 7 ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමේදී සංයමයෙන් කටයුතු කරන ලෙසයි.
ඊශ්‍රායලය පවසන්නේ ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 242 ක් බවයි. තායිලන්ත රජය පවසන්නේ ප්‍රාණ ඇපයේ සිටින තම පුරවැසියන් නිදහස් කර ගැනීම සඳහා හමාස් සංවිධානය සමඟ සෘජුවම කතා කළ බවයි. තායි ප්‍රාණ ඇපකරුවන් 25 දෙනා “නියම වේලාවට” නිදහස් කරන බවට සහතිකයක් ලැබුණු බව තායි බලධාරීහු ප්‍රකාශ කරති.
මේ අතර හමාස් සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක අවශ්‍යතාවය පෙන්වා දුන් ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රොන් හට රුසියාව දෝෂාරෝපණය කර තිබේ. ජනාධිපති පුටීන් කියා සිටියේ එවැනි පියවරක් ආතතිය උත්සන්න කිරීමට හා ගැටුමට සම්බන්ධ වීමට අනෙකුත් පාර්ශවයන් වෙත කරන බලකිරීමක් වනු ඇති බවයි.
ඊශ්‍රායල හමුදා මේ වන විටත් ගාසා තීරයට ඇතුළු වී ඇත. එහි ප්‍රධාන නගරය වූ Gaza City වට කර ඇත. ඊශ්‍රායල හමුදාවන්ට තිබූ බරපතලම අභියෝගය වූයේ හමාස් සංවිධානය විසින් ඉදිකර ඇති උමං මාර්ග පද්ධතියයි. පසුගිය දා හමාස් ප්‍රාණ ඇපයෙන් නිදහස් වූ 85 හැවිරිදි යොචාවෙඩ් ලිෆ්ෂිට්ස් මහත්මිය විස්තර කළේ හමාස් භටයන් විසින් තමන්ව “මකුළු දැල් වැනි යෝධ උමං පද්ධතියක්” හරහා කිලෝමීටර කිහිපයක් පොළව යටට රැගෙන ගිය බවයි. ඊශ්‍රායල හමුදාවට අනුව ඔවුන්ගේ ප්‍රාණ ඇපකරුවන් මේ වන විට රඳවා ඇත්තේ මෙකී උමං මාර්ග තුළයි. හමාස් ගැන අධ්‍යයනය කර ඇති හමුදා විශේෂඥයන් මෙකී උමං මාර්ග හඳුන්වන්නේ දරුණු බෝම්බ ප්‍රහාර මාලාවකින් පසුව වුවද හමාස් සටන්කාමීන්ට තවදුරටත් රැකවරණය ලැබිය හැකි ප්‍රබල ආරක්ෂක බංකර පද්ධතියක් ලෙසයි.
කෙසේ නමුත් මෙම අසීරු අභියෝගය ජයගැනීම සඳහා වූ දැවැන්ත ඊශ්‍රායල හමුදා මෙහෙයුම ආරම්භ කිරීමට දැන් සූදානම් වෙන බව නිරීක්ෂණය වේ. තම හමුදාවන්ට නතු වූ ගාසා තීරයේ බිම් කොටස්වල හමාස් උමං මාර්ග එකින් එක විනාශ කිරීමට ඊශ්‍රායල හමුදා ඉංජිනේරුවන් පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත. මේ සඳහා රොබෝ යන්ත්‍ර සහ පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීමට සැලසුම් කර ඇත. හමාස් මර උගුල් පුපුරවා ත්රස්තවාදීන් සියලු දෙනා මරා දමන බව ඊශ්‍රායලය පවසයි.
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.