මැණිකෙ දැන් ඔය මදෑ හොඳටම යන්ට දැන් හරි වෙලාව
තවත් ඉන්ටද මෙතනටම වී ඔයාගේ කල්පනාව
රිදී රේඛා ඇඳේ කීවට මැකුණු පසු කලු වළාව
ඒ තමයි අපි අදත් අදහන ජීවිතේ ලොකු මුලාව.....
අහල අහලම ඇති වෙලා ඇති නුඹේ ඔය කන්නලවුව
දන්නවා ඔය හිතේ ඇවිලෙන ගින්න දරුවන් මෙළෙව්ව
අපේ නැති බැරි කම් වසා ගෙන දුක දරා සිටි සොරොව්ව
ඕං දැන්වත් කරමු අමතක මැණික ඔය හත් ඉලව්ව.....
දෝවණය කළ පැන් කලත් ඇති ඉහේ කෙස් ගාණට වඩා
බෝධි මලුවට දැනෙන්න්ට ඇති නුඹේ පා තරමට විඩා
තුමුල මහ කඳු ශිඛර මැද්දේ අපි වුණෙන් ගල් කැට කුඩා
සේරමත් බර අරන් ආවට නුඹත් දැන් හොඳටම ලෙඩා.....
ඔප්පු කරනට බැරි තරම් වෙයි එදා හිට ගැට ගහපු පඬුරූ
කලු ගලක් හරි නුඹේ දුක දැක උණු නොවේවිද ලෙසින් වෙඬරූ
කමක් නෑ මේ ඉන්න ඩිංගට උන්ට අපි නම් තිත්ත කදුරූ
යං ඉතිං අපි හිටපු තැනටම පිහ ගනින් ඔය ඇහේ කඳුලූ.....
- රුවන් ජයරත්න -
Harsha Sulovhana
0 comments:
Post a Comment