සින්නක්කර ලියාගන්න
බැරිඋණු පලියට
උයන් තෙරේ ගී ගයන්න
තහන්චි නෑ මට
තනිකම උහුලනු නොහැකිව
ඉකි බිඳිනා කළ
පන්හිඳ ළඟ කවියක් වී
සුසුම් හෙලනවද?
ගඟ දියරැළි සලා මදෙස
හොරෙන් බැලූ කළ
ලැජ්ජාවෙන් තොල පෙරළා
අහක බැලූ සඳ ...
“එදා නුඹේ බඳ වටකර
රැකවල් දුන් අත
අතහැරුණේ කීම” ..විමසයි
අහසේ පුරහඳ .
ඔප්පු තිරප්පුත් ඔක්කොම
අරගෙන ගිය විට
හිමිකම් සහතික කොහෙන්ද
හිස් වෙදැඟිල්ලට
පරසතු මල් නඳුනුයනේ
පිපුණත් කදිමට
වල්මත් වූ අසරණියට
පතොක් මලක් වෙද ..?
කැකුළු සිතක් අවදිකරපු
ප්රථම ප්රේමයට
ගිලිහුණු රන් මුදු හෙවුවෙමි
සසර පුරාවට
පිය මං කොට ඉස්සරවූ
අතීත රුවකට
දුක ලිව්වට දැනෙයිද එය
අහිමි පපුවකට.!!!
රෝ.සි.
0 comments:
Post a Comment