Thursday, September 01, 2022

මිහායෙල් ගොර්බචොව්. - සෝවියට් සමුහාණ්ඩුව.

හිසේ ලේ පැල්ලමක් සහිත මිනිසකු නිසා ලෝකයේ අවසානය සිදුවනු ඇතැයි බොහෝ කාලයකට  පෙර යම් අනාවැකිකරුවෙකු විසින් පවසා තිබුණා.  මිහායෙල් ගොර්බචොව් මහතා සෝවියට් නායකත්වයට පත් වීමෙන් පසු එකී කම්මුතුකරන්නාගේ (Terminator) චරිතය ඔහුට  ආදේශ කරන්නට සමහරු උත්සාහ කළා. ගොර්බචොව්ගේ හිසේ පැහැදිලිව  එවැනි පැල්ලමක් තිබුණා. ඒ නිසා අනාවැකි විශ්වාසකරන්නන් සිතුවේ මහා බලවතුන් අතර තිබූ සීතල යුද්ධය ගිණියම් වී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක් දක්වා තල්ලු වී යනු ඇති බව.

ගොර්බචොව් මහතාගේ ක්‍රියාකලාපය නිසා සෝවියට් දේශය කම්මුතු වී ගිය බව ඇත්ත. එසේම  ලෝක සිතියමෙන්  හරි අඩකටත් වඩා වසා පැතිර තිබූ රතු අධිරාජ්‍යය කම්මුතු වි ගිය බව ඇත්ත. නමුත් ලෝකයේ මතු පැවැත්ම වෙනුවෙන් ඔහු පියවර කිහිපයක් පස්සට ගත්තා. ඔහුගේ ක්‍රියාමාර්ග නිසා සම්ප්‍රදායික කොමියුනිස්ට් ලෝකය උඩු යටිකුරු වුවත් ඒවා ලෝක සාමය වෙනුවෙන් බොහෝ සෙයින් බල පෑවා.

කොයි තරම් මහා බලයක් තිබුණත් මිනිස්සුන්ට වරදින්න පුළුවන්.  මිහායෙල් ගොර්බචොව්ටත් එහෙම වැරදුණා. ඔහුට ඇත්තටම උවමනා වුණේ යල්පැන ගිය සීමාවන් ඉවත්කර කොමියුනිස්ට් රාජ්‍යයට දියුණු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ එකතු කිරීම බව පැහැදිලියි. ඔහු ඒ වෙනුවෙන් නිර්භීත ආරම්භයක් ලබා ගත්තා. නමුත් ඒ ප්‍රජාතන්ත්‍රවාදයම මකරෙකු මෙන් නැඟී සිට සෝවියට් සංගමය කෑලි කෑලිවලට කඩා දැම්මා. ඇමෙරිකාව නිරවු යුද්ධයේ ජයග්‍රහණය ලෙහෙසියෙන්ම අත්පත්කර ගත්තා. ඔවුන් ලෝකයේ තනි සුපිරි බලවතාගේ ස්ථානය තහවුරු කරගත්තා.

1991 අගෝස්තු 19 වැනිදා හරියටම උදෑසන 6.06 ට සෝවියට් ටාස් පුවත් සේවය කිසිවෙකු බලාපොරොත්තු නොවූ  නිවේදනයක්  නිකුත් කළා. සෝවියට් සංගමයේ ජනාධිපති මිහායෙල් ගොර්බචොව් සහෝදරයාව සෞඛ්‍ය හේතු මත තනතුරෙන් ඉවත් කළ බවත් සෝවියට් සංගමයේ පාලන බලය හදිසි අවස්ථා කමිටුවට පවරා ඇති බවත් එයින් කියැවුණා. වැඩබලන ජනාධිපති තනතුර උප ජනාධිපති ග්‍රෙනඩි යනායෙව් සහෝදරයා වෙත පවරා ඇති බවත් එම නිවේදනයෙන් වැඩි දුරටත් කියැවුණා.

ඒ වන විටත් මොස්කව් පාලනයේ මූලිකත්වයෙන් තිබූ  රතු අධිරාජ්‍යය යම් ආකාරයකින් දෙදරා යමින් තිබුණා. නමුත් කොමියුනිස්ට් යාන්ත්‍රනය ආගමක් මෙන් ලොව පුරා තවදුරටත් ක්‍රියාත්මකව තිබුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පවා කටයුතු කළේ ක්‍රෙම්ලිනයෙන් ලැබෙන පණිවුඩ අනුවයි. කොමියුනිස්ට් ලෝකයත් ක්‍රියාත්මක වුණේ හරියට රෝමානු කතෝලික පල්ලිය වගේ. කොමියුනිස්ට්වරුන්ගේ ශුද්ධෝත්තම පියතුමා තමයි සෝවියට් කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්වරයා. චීනය, යුගෝස්ලෝවියාව වැනි රටවල් කිහිපයක් හැරුණාම කොමියුනිස්ට් ජාත්‍යන්තරය තවදුරටත් ක්‍රෙම්ලිනයේ නායකත්වය පිළිගත්තා. ඇතුළතින් හා පිටතින් ඉරිතලා ගියත් ඒ වන විටත්  කොමියුනිස්ට් ජාත්‍යන්තරය හුස්ම ගනිමින් සිටියා. නමුත්   ගොර්බචොව්ගේ ඉවත් කිරීම නිසා සියල්ල අවසාන විමට පාර කැපුණා.

1917 දී ව්ලැදිමීර් උල්යානච් ලෙනින්ගේ නායකත්වයෙන් බිහිවූ මේ මහා දේශය  පසුව ලොව පුරා රැල්ලක් මෙන් පැතිරී ගිය සමාජවාදී දේශපාලන මාදිලියට ජීවය සැපයූවා. දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රහණයත් සමඟ මහා බලසම්පන්න රාජ්‍යයක් ලෙස ඔවුන් වේගයෙන් ඉස්මතු වුණා. වසර 74 ක කාලයක් පුරා  ගෝලීය දේශපාලනයේ එක් බල කේන්ද්‍රයක් නියෝජනය කළ සෝවියට් දේශය පරාජය කිරීමට එහි සතුරන්ට නො හැකි වුණා. නමුත් අවසානයේ මේ අපරාජිත දේශයේ නායකයාටම එය විසුරුවා හැරීමට සිදුවීම දෛවෝපගතයි. 1991 දී ඒ  අවසනාවන්ත නායකයාගේ භූමිකාව රඟදැක්වූයේ ගොර්බචොව්. 

න්‍යායාත්මක මාක්ස්වාදය මහපොළොවේ යතාර්ථයක් බවට පත්කළ සෝවියට් දේශයේ බිඳ වැටීමට හේතු කවරේදැයි විවිධ පාර්ශව විවිධ අයුරින් අර්ථකතනය කරනවා. ඒ පිළිබඳව විවාදය දශක තුනකට පසුත්  තවමත් නිමා වී නැහැ. බොහෝ සම්ප්‍රදායික මාක්ස්වාදීන් සියළු චෝදනා ගොර්බචොව් මහතාගේ ගිණුමට බැර කරන්නේ සෝවියට් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ඔහු විසින් ගන්නා ලද උත්සාහය සෝවියට් ශෝකාන්තයට හේතු වූ බව පවසමින්. බැලූ බැල්මට එසේ පෙනුනත් සෝවියට් දේශය නම් යකඩ තිරය ඇතුළතින් ඉරිතලා යමින් තිබුණේ ඊට  දශකයකට පමණ පෙර සිට බව පෙනෙන්නට තිබෙනවා.

1917 බෝල්ෂෙවික් විප්ලවයෙන් පසුව ගොඩනැඟුණු සෝවියට් දේශයේ අවසාන පාලකයා තමයි ගොර්බචොව්. විප්ලවයට නායකත්වය ලබා දුන් වී.අයි.ලෙනින්   1924 දී මියගියා. ඔහු සෝවියට් දේශය පාලනය කළේ සිව් වසරක් පමණයි.  ඉන් පසුව බලයට පත්වූ ජෝසෆ් ස්ටාලින්ගේ පාලනය යටතේ ළදරු සමාජවාදී රාජ්‍යය ඒකාධිපති, ආඥාදායක අධිරාජ්‍යයක් බවට  පරිවර්තනය වුණා. දෙවන ලෝක යුද්ධයේදී ලැබූ ජයග්‍රහණයත් සමඟ සුපිරි බලවත් රාජ්‍යයක තත්ත්වයට පත් වූ සෝවියට් දේශය යුද ශක්තිය අතින් දක්ෂිණාංශික සුපිරි බලවතා වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කරට කර සටනකට අවතීර්ණ වුණා. ස්ටාලින්ගේ දශක තුනක පාලනය නිමා වූයේ 1953 වසරේදී සිදුවූ ඔහුගේ මරණයත් සමඟයි. 

ඉක්බිති ස්ටාලින්ගේ අනුගාමිකයෙකු වූ ජෝර්ජි මෙලන්කෝව් සෝවියට් නායකයා බවට පත්වුවත් ඔහුගේ පාලනය මාස අටකටත් අඩු කාලයකින් නිමාවට පත්වුණා. 

කොමියුනිස්ට් පක්ෂයේ බලය අල්ලාගත් නිකිතා කෘෂෙෆ් සෝවියට් සංගමයේ පාලනය සියතට ගත්තා. ස්ටාලින් යුගයේ සිරගත කරන ලද දේශපාලන සිරකරුවන් නිදහස් කළ කෘෂෙෆ් වඩාත් මධ්‍යස්ථ හා විමධ්‍යගත කොමියුනිස්ට් පාලනයක් ගෙන ගියා. සෝවියට් දේශය අභ්‍යවකාශයට අවතීර්ණ වූයේ ද කෘෂෙෆ් යුගයේදී. මගේ මතය අනුව සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය තමා කෲෂෙෆ් යුගය.

එකොළොස් වසරක කෘෂෙෆ් පාලනය නිමාවට පත්වූයේ ලියොනොඩ් බ්‍රෙෂ්නෙව් ඔහුගේ අනුප්‍රාප්තිකයා බවට පත්කරමින්. ස්ටාලින්ට පසුව වැඩිම කලක් සෝවියට් සංගමය පාලනය කළේ බ්‍රෙෂ්නෙව්. ස්ටාලින් තරමටම නොවුනත් බලය තමා වටා ඒකරාශී කරගැනීමට බ්‍රෙෂ්නෙව් කටයුතු කළේ සෙසු පක්ෂ සාමාජිකයන්ගේ බලතල ද සීමා කරමින්.

බ්‍රෙෂ්නෙව්ගේ දීර්ඝ පාලන කාලය  සෝවියට් සංගමය ආර්ථික, සමාජීය හා දේශපාලන අංශයන්ගෙන් එකතැන පල් වූ යුගයක් වූ බවයි මධ්‍යස්ථ විචාරකයන්ගේ මතය. අභිමානවත් ලෝක බලවතකු ලෙස  නැඟී සිටියත් සෝවියට් ක්‍රමය  ඇතුළතින් ඉරිතලා යෑම ආරම්භ වූයේ මේ කාලයේ බව කිව හැකියි. 

ඒ වන විට ලෝක සිතියමෙන් භාගයකට වඩා වසාගත් සමූහාණ්ඩු 15 ක දැවැන්ත රාජ්‍යයක් ලෙස සෝවියට් සංගමය ගොඩ නැඟී තිබුණා. යුක්‍රේනය, බෙලොරුසියාව, ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව, ජෝර්ජියාව ආදී යුරෝපා රාජ්‍යත්, කසකස්තානය, අසර්බයිජානය, උස්බෙකිස්තානය, කිර්ගීසියාව ආදී ආසියානු රාජ්‍යත් සෝවියට් සංගමය යටතේ ගොනු වී තිබුණා. සෝවියට් සංගමය ලෝකයේ වාමාංශික රාජ්‍ය පද්ධතියේ උත්තරීතර අණදෙන්නා බවට පත්ව සිටියා. කෙසේ නමුත් දරාගත නොහැකි තරම් වපසරියක පාලනයක් මොස්කව් කේන්ද්‍රීයව සිදුකරගෙන යෑම අනෙකුත් සමූහාණ්ඩු වල නායකයන්ගේ නොමනාපයට හේතු වී තිබුණා.

වර්ෂ 1982 දී බ්‍රෙෂ්නෙව් මරණයට පත් වුණා. ඉන්පසුව සෝවියට් සංගමයේ නායකත්වයට පත්වූ යුරී අන්ද්‍රපෝව් ද වසර දෙකකින් මරණයට පත් වුණා. 1984 දී අන්ද්‍රපෝව්ගේ අනුප්‍රාප්තිකයා බවට පත් වූ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝට වසරක්වත් බලයේ  සිටීමට වාසනාව ලැබුණේ නැහැ. ඔහුත් මියගියා.

වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ සෝවියට් නායකයන් තුන් දෙනෙකුම මියයෑම නිසා කොමියුනිස්ට් පක්ෂය සිය ක්‍රමෝපාය වෙනස් කළා.   වයොවෘද්ධ නායකයන් වෙනුවට වඩාත් තරුණ නායකයෙකු පත්කර ගැනීමට පොලිට් බියුරෝවට අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒ අනුව 1985 දී මිහායෙල් ගොර්බචොව් සෝවියට් දේශයේ උත්තරීතර නායකයා බවට පත්වුණා. වෘත්තියෙන් නීතීඥයෙකු වූ ගොර්බචොව්ගේ වයස ඒ වන විට 52 යි.

ගොර්බචොව් මහතා බලයට පත්වන විට සෝවියට් දේශය නිලධාරිවාදය, එක තැන පල්වන ආර්ථිකය හා අකාර්යක්ෂමක නිපැයුම් නිසා අර්බුදයට පත්ව තිබුණා. මේ සඳහා ගොර්බචොව්ගේ විසඳුම් වූයේ, වඩාත් නිදහස් ආර්ථික හා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීමයි. පසුකාලීනව දේශපාලන ශබ්දකෝෂයට එකතු වූ  පෙරෙස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් යනු මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාන්විතයන්ට ලබා දී තිබූ නාමයන්.

පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් වැඩපිළිවෙළ පිළිබඳව ගොර්බචොව් මහතා විසින් මුලින්ම හෙළි කළේ 1985 ලෙනින්ග්‍රෑඩ් නගරයේදී සිදුකළ ප්‍රකාශයකින්. මේ හදිසි ප්‍රකාශයත් සමඟ එවකට ඇමෙරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන්  පවා කළබල වුණා. එදිනම ධවල මන්දිරයේ හදිසි සාකච්ඡාවක් කැඳවූ ජනාධිපතිවරයා මේ පිළිබඳව තමාට වාර්තා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දුන්නා.  ක්‍රෙම්ලිනයේ තම ප්‍රබල පසමිතුරා අල්ලන්නට හදන අඩව්ව ගැන නිවැරදි අදහසක් නොතිබුණු ධවල මන්දිර නිලධාරීන්ට පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට් යන වචන වල තේරුම සොයා ගැනීමට රුසියානු ශබ්දකෝෂ සොයා දිව යෑමට පවා සිදුව තිබුණා.

ඔහු පෙරෙස්ත්‍රොයිකාව ලෙනින්ගේ නව ආර්ථික  වැඩපිළිවෙළට නව පණ දීමක් ලෙස  තමයි හඳුන්වූවේ. එහෙත් මෙම ක‍්‍රියාමාර්ගවලින් විශේෂයෙන් ග්ලාස්ට්නොට්ස් හේතුවෙන් සෝවියට් රාජ්‍ය බලය දුර්වල වුණා. සමාජවාදය ගොඩනගමින් පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය අංගයක් වූ නිර්ධන පංති ආඥාදායකත්වය දුර්වලවීම බාහිර මෙන්ම අභ්‍යන්තර සතුරන්ට වාසිදායක වුණා.

සමාජවාදය බිඳ වැටෙද්දී සෝවියට් රතු හමුදාව අකී‍්‍රයව සිටීමද මීට සාක්ෂි සපයනවා. ප‍්‍රමාණාත්මකව පිරිහෙමින් තිබුණු සෝවියට් දේශය, ගුණාත්මක බිඳවැටීමක් බවට පත් කිරීමට ගොර්බචෝෆ්ගේ ප‍්‍රතිසංස්කරණ හේතු වූ බව පැහැදිලියි.

කෙසේ නමුත් ඒ වන විට ගොර්බචොව්ගේ නායකත්වයට දැඩි අභියෝගයක් වෙමින් සුදෝ සුදු හිස කෙස් සහිත විනෝදකාමී පුද්ගලයකු රුසියානුවන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුණා. ඔහු බොරිස් යෙල්ට්සින්. කොමියුනිස්ට් පක්ෂයෙන් දේශපාලනය පටන් ගත්තත් පසුව ඔහු ලිබරල්වාදී ධනේෂ්වර කඳවුරේ රුසියානු නියෝජිතයා බවට පත්වෙමින් තිබුණා. මොස්කව් නගරාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඔහු පසුව රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපතිවරයා බවට පත්වුණා. සෝවියට් කොමියුනිස්ට් පක්ෂය නිර්ධය ලෙස විවේචනය කළ යෙල්ට්සින්  ගොර්බචොව්ට මහා හිසරදයක් බවට පත්ව සිටියා.

ගොර්බචොව් කරන්න යන්නේ කුමක්දැයි යෙල්ට්සින්ට   හරි අවබෝධයක් තිබුණෙ නෑ. ඇත්තටම පෙරොස්ත්‍රොයිකා හා ග්ලාස්නොස්ට් ප්‍රතිසංස්කරණ ඒ යුගයේ අවශ්‍යතාවයක්.  කොහොමත් ස්ටාලින්ගේ දැඩි පාලනයෙන් සමාජවාදයට වු කැළලි වහන්න ගොර්බචොව්ට සැබෑ වුවමනාවක් තිබුණා. ඔහුට සෝවියට් දේශයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමේ දැඩි උවමනාවක් තිබුණා. උග්‍ර ධනවාදියෙකු වූ යෙල්ට්සින්ගේ කඩි කුලප්පුව නොවන්නට දියුණු මානවීය දේශපාලන අදහස් තිබූ ගොර්බචොව්ට  මහා යුරේසියානු කලාපය තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ගොඩනැඟීමේ මනා ඉඩකඩක් තිබුණා.

නමුත් සම්ප්‍රදායික දැඩි මතධාරී කොමියුනිස්ට් නායකයන්ට ලෝකයේ නැඟී එන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පිළිබඳව අවබෝධයක් තිබුණේ නැහැ. ක්‍රෙම්ලිනය තවදුරටත් තම බල පරාක්‍රමයේ සංකේතය ලෙසයි ඔවුන් සැළකුවේ. ඒත් මොස්කව් ක්‍රෙම්ලිනය අභිබවා යමින් ඊට ආසන්නයේ පිහිටි රුසියානු පාර්ලිමේන්තුව කෙමෙන් කෙමෙන් ශක්තිමත් වෙමින් තිබුණා. සෝවියට් සමූහාණ්ඩු අතර දැවැන්තයා වූ රුසියානු ෆෙඩරේෂණය තුළ පවා ජන මතය වෙනස් වෙමින් තිබුණා. සෝවියට් සංගමයේ සමූහාණ්ඩු අතර "ලොකු අයියාගේ" භූමිකාව රඟදක්වනවාට වඩා නිදහස්, ස්වාධීන රුසියාවක් තුළ ජීවත් වීමේ කැමැත්ත වෙනුවන් රුසියානුවන් පෙනී සිටියා. මේක තමා ඇත්තටම ගොර්බචොව් හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය. යකඩ තිරය ඈත් මෑත් වන විට මිනිස්සු ලෝකය දැක්කා. ඒ වගේම ඇමෙරිකානු CIA බළල් අත් සෝවියට් යාන්ත්‍රනය ඇතුළට රිංගා සිටි බව ද  බැහැර කළ නොහැකියි.

රුසියානු බලය තවදුරටත් සම්ප්‍රදායික කොමියුනිස්ට් නායකයන් සතුව තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදීන් වේගයෙන් ශක්තිමත් වෙමින් තිබුණා. මෙකී  ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයේ හිඩැස පිරවූයේ යෙල්ට්සින්. පැරණි කොමියුනිස්ට් නායකයන් යෙල්ට්සින්ව ප්‍රතික්ෂේප කළා. ඔවුන් යෙල්ට්සින් දුටුවේ ඇමෙරිකාවේ පදයට නටන ලිබරල්වාදී බේබද්දෙකු ලෙස. ඔවුන් යෙල්ට්සින්ගේ දේශපාලන කැරිස්මාව අවතක්සේරු කළා. නමුත්  ගොර්බචොව් මහතා සිටියේ අතරමැද තැනක. කෙසේ හෝ සියළු දෙනා එක්ව තබාගෙන තමා බලාපොරොත්තු වූ සෝවියට් උතෝපියාව නිර්මාණය කිරීමට හැකි වේයැයි ඔහු තවදුරටත් විශ්වාස කළා.

දැන් අපි නැවතත් 1991 අගෝස්තු 19 දිනට යමු. ටාස් ගුවන් විදුලියේ හදිසි නිවේදනය නිකුත් වන විට මොස්කව් නුවර මිනිස්සු උදෑසන අවන්හල් තුළ කෝපි බොමින් සිටියා. නගරයට බලපෑ දැඩි සීතල සුළං මැදින් තවත් අමුතු දෙයක් සිදුවෙමින් තිබුණා. රතු හමුදාවේ යුද ටැංකි රතු චතුරශ්‍රයට නුදුරින් එක පෙළට කොහේ හෝ ගමන් කරමින් තිබුණා. එකී රථ ගමන් කළේ රුසියානු ධවල මන්දිරය දෙසට. ඒ සෝවියට් නව නායකත්වයේ උපදෙස් අනුව බව අමුතුවෙන් කිව යුතු නැහැ. රාජ්‍ය කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව තේරුම්ගත් අවන්හල් තුළ සිටි ජනතාව  කසු කුසු ගාන්නට වුණා.

තමාව ඉවත්කර සෝවියට් බලය ඇල්ලීමේ කුමන්ත්‍රණය සිදුවෙද්දී ගොර්බචොව් මහතා කොහොමත් මොස්කව් නුවර සිටියේ නැහැ. 

එක දිගට සිදුවූ දේශපාලන කඩා වැටීම් යම් තරමකට සමනය කළ ගොර්බචොව් මහතා අගෝස්තු  මුල් සතියේ දිනයක විවේක ගැනීම සඳහා ක්‍රිමියාව බලා පිටත්ව ගියා. කොහොමත් ඒ වන විටත් යුරෝපයේ කොමියුනිස්ට් යුද-දේශපාලනික සංධානය බිඳ වැටී අවසන්ව තිබුණා. වෝර්සෝ සංවිධානයට අයත් චෙකොස්ලෝවැකියාව, පෝලන්තය, රුමේනියාව, බල්ගේරියාවේ ආදී කොමියුනිස්ට් ආණ්ඩු සියල්ල බිඳ වැටී  තිබුණා. බර්ලින් තාප්පය බිඳ දමා නැගෙනහිර හා බටහිර ජර්මානු රාජ්‍යයන් දෙක එකතු වී  තනි ජර්මානු රාජ්‍යයක් නිර්මාණය  වී තිබුණා. ලිතුවේනියාව, ලැට්වියාව, එස්තෝනියාව යන බෝල්ටික් සමූහාණ්ඩු තුන තම ස්වාධීනත්වය ප්‍රකාශ කර තිබුණා. ඉන් පසුව කොමියුනිස්ට් බල කේන්ද්‍රයේ ආධිපත්‍යය ගොනු වී තිබුණේ ඉතිරි සෝවියට් සමූහාණ්ඩු කිහිපයක් තුළ පමණයි. මේ සමූහාණ්ඩු කිහිපය එකතු කර නව සෝවියට් පොදු රාජ්‍ය සංගමයක් බිහිකිරීමේ මූලික කටයුතු සිදුකර එකී ගිවිසුම් අස්සන් කිරීමට දින යොදාගෙන තමා ගොර්බචොව් මහතා විවේකය සඳහා ගියේ. තමන් නැවත පැමිණෙන තුරු මොස්කව්හි පාලනය සඳහා හදිසි අවස්ථා කමිටුවක් ඔහු විසින් පත්කළා.

කුමන්ත්‍රණකරුවන්ට උවමනා වුණේ මේ ගිවිසුම අස්සන් කිරීම වැළැක්වීමට. පැරණි සෝවියට් සංගමය නම් වූ සිහිනයෙන් මිදීමට ඔවුන් කැමති වූයේ නැහැ.

සෝවියට් සංගමයේ බලය ඇල්ලූ කුමන්ත්‍රණ කණ්ඩායම අට දෙනෙකුගෙන්  සමන්විතයි. පුදුමය නම් ඔවුන් සියළු දෙනා ගොර්බචොව් විසින් පත් කළ හදිසි අවස්ථා කමිටුවේම සාමාජිකයන් වීම.  අගමැති වැලන්ටීන් පවුලෝව්, අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ, ආරක්ෂක ඇමති හා සෝවියට් සංගමයේ මාෂල් දිමිත්‍රි යාදොව්, කේජීබී සංවිධානයේ සභාපති ව්ලැදිමීර් කෘච්කෝව් ආදී සෝවියට් පාලනයේ ප්‍රබලයින් මෙම අටදෙනාගේ කල්ලියට ඇතුළත්ව සිටියා. නව පාලනයේ නායකයා ලෙස බාහිරට පේන්න සිටියේ උප ජනපති ග්‍රෙනඩි යනායෙව් වුණත් ඇත්තටම තිරය පිටුපස සිට මෙය මෙහෙයවන ලද්දේ කේජීබී නායකයා බවයි පැවසෙන්නේ.

හමුදා භටයින් හාරදහසක්, යුද ටැංකි 350 ක් සහ සන්නද්ධ රථ 300 ක් අගනුවරට පැමිණ තිබුණා.  පීස්කෝව් හි කර්මාන්තශාලාවකින් මාංචු යුගල 250,000 ක් ඇණවුම් කර තිබුණු බවත් පසුව වාර්තා වුණා. ඕනෑම මොහොතක නව ආණ්ඩුවට විරුද්ධ වන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වන සේ හිස් ආකෘති පත්‍ර දහස් ගණනක් මුද්‍රණය කර තිබුණා. අලුතින් පාලන බලය ලබාගත් හදිසි අවස්ථා කමිටුව මහජන රැස්වීම්, පෙළපාළි හා වැඩ වර්ජන ආදිය මාස හතරකට තහනම් කරමින් නිවේදනයක් ද නිකුත් කළා.

අටදෙනාගේ කල්ලිය  සූදානම්ව සිටියේ තමන් සතුව දැවැන්ත බලයක් ඇති බව පෙන්නුම් කිරීමටයි. ඔවුන්ට උවමනා වුණේ ඉක්මන් ජයග්‍රහණයක්. නමුත් ඒ වන විට ගොර්බචොව් මහතාගේ ප්‍රතිසංස්කරණ වල ආදීනව සෝවියට් සමාජය විසින් ඩැහැගෙන තිබුණා. පැරණි නිලධාරිවාදී, ඒකාධිපති ස්වරූපයේ රාජ්‍යයක් තවදුරටත් රට තුළ දක්නට ලැබුණේ නැහැ.

“හමුදා නීතියෙන් කොමියුනිස්ට් ක්‍රමය රකින්න බැහැ” කියමින් තරුණයන් බෙරිහන් දුන්නා. සොල්දාදුවන් නගර වල ස්ථානගත වීමත් සමඟ නිදහස් මතධාරීන් රටහැර යන්නට සූදානම් වුණා. ඉදිරිය ගැන අවිනිශ්චිත වූ නිසා මිනිස්සු බඩුමුට්ටු එකතු කරන්නට වුණා. බේකරි වල පාන් පෝලම් හැදුණා.

අට දෙනාගේ කල්ලිය තමන්ගේ ජයග්‍රහණය ගැන සිටියේ අධිතක්සේරුවක. ඒ නිසාම අවධානය යොමුකළ යුතුම බාධක ඔවුන්ගෙන් ගිලිහී ගොස් තිබුණා. ඒ වන විට මොස්කව් බලයේ තීරණාත්මක සාධකය ගොර්බචොව් නොවන බව ඔවුන් තේරුම් ගෙන සිටියේ නැහැ. ඒ නිසාම ඔවුන්ට බොරිස් යෙල්ට්සින්ව අමතක වුණා. ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුවුණේ නැහැ. ඇත්තටම ඒ වන විට මොස්කව්හි කොමියුනිස්ට් බලයේ ප්‍රධානතම සතුරා බවට පත්ව සිටියේ යෙල්ට්සින්. ඔහුට කළ හැකි භූමිකාව ගැන කුමන්ත්‍රණකරුවන් අවතක්සේරුවකින් සිටි බවයි පෙනෙන්නේ. 

කුමන්ත්‍රණයේ නායකයන් ඒ වන විට රැඳී සිටියේ මොස්කව් හි ධවල මන්දිරය තුළ. ධවල මන්දිරය යනු සෝවියට් රජයේ මූලස්ථානයයි. යෙල්ට්සින් මොස්කව්හි ධවල මන්දිරය ඉදිරිපිටට පැමිණීමත් සමඟ දහස් ගණන් ජනතාව ඒ වෙතට රොක්වන්නට වුණා. ඔහු යුද ටැංකියක් මතට නැඟ කුමන්ත්‍රණය හෙළා දකිමින් වේගවත් කථාවක් පැවැත්වූවා. 

සැබැවින්ම එය ලෝක ඉතිහාසය වෙනස් කළ මොහොතක්.  තමන් කිසි ලෙසකින් පසුබැසීමට සූදානම් නැති බව ඔහු ධෛර්යමත්ව පෙන්නුම් කළා. උද්යෝගිමත් වූ ප්‍රතිසංස්කරණවාදීන් වීදි වලට බැස්සා. ඔවුන් හමුදා සෙබළුන්ගෙන් ඉල්ලා සිටියේ කුමන්ත්‍රණයට දායක නොවන ලෙසයි. බොහෝ හමුදා සෙබළුන්ට තමන් කාගේ අණ පිළිපදින්නේදැයි සැකයක් තිබූ බව පෙනී ගියා. කුමන්ත්‍රණය ආපසු හැරවෙන බවක් තමයි පෙනෙන්නට තිබුණේ. හමුදා සේනාංක පවා අවසානයේ යෙල්ට්සින්ගේ පැත්ත ගත්තා.

කුමන්ත්‍රණකරුවන් රැඳී සිටි රුසියානු ධවල මන්දිරය අසළට තවතවත් ජනතාව එක්රැස් වුණා. ඒ ප්‍රමාණය ලක්ෂය ද ඉක්මවා ගියා. ඔවුන්ට වෙඩි තබා මන්දිරය ආරක්ෂා කිරීමට එහි ආරක්ෂාව භාරව සිටි හමුදා ප්‍රධානියා කැමති වුණේ නැහැ. එසේ කළ හොත් විශාල ලේ වැගිරීමක් සිදුවිය හැකි බව ඔහු  තේරුම් ගත්තා.

අවසානයේ ධවල මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා ජනරාල් වරයා කුමන්ත්‍රණයේ කොටස් කරුවකු වූ  ආරක්ෂක ඇමති දිමිත්‍රි යාදොව් ඇමතුවා. තමන්ගේ සෙබළුන් තාවකාලික සෝවියට් පාලනයේ අණ ප්‍රතික්ෂේප කරන බව ඔහු වාර්තාකළා. ආරක්ෂක ඇමතිවරයා එය කේජීබී ප්‍රධානියාට දන්වා සිටියා. 

“එහෙනම් මේක අල්ලලා දාමු.” බලාපොරෝත්තු සුන් වූ කුමන්ත්‍රණයේ නායකයා අවසානයේ තම සගයන්ට පවසා සිටියා.

අටදෙනාගේ කල්ලියට වුවමනාව තිබුණේත් විශාල ලේ වැගිරීමකින් තොරව නැවතත් සෝවියට් සංගමයේ බලය ස්ථාපිත කිරීමයි. මුල් අවස්ථාවේ සිටම දැඩි ආත්ම විස්වාසයකින් කටයුතු කිරීමට ඔවුන්ට නොහැකිව තිබුණා. ගොර්බචොව් මහතා බලයෙන් පහකළ බව පැවසීමට සංවිධානය කළ මාධ්‍ය හමුවේදී වුවත් යනායෙව් මහතා වෙව්ලමින් සිටි බව පෙනීගියා. තමන්ගේ අරමුණු පිළිබඳ අවිනිශ්චිතභාවයකින් හා දැඩි බියකින් ඔහු පසු වූ බවයි පැවසෙන්නේ. වගකීම් භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. කුමන්ත්‍රණයේ ඇත්ත නායකයා වූ කේජීබී ප්‍රධානියා ඉදිරියට පැමිණියේත් නැහැ.  

මේ අතර ජනාධිපති ගොර්බචොව් මහතාව ඉවත් කිරීමට  හදිසි අවස්ථා කමිටුව විසින් ගත් තීරණය නීති විරෝධී බවත්, කමිටුවේ සියළු නියෝග අවලංගු කරන බවත් උත්තරීතර සෝවියට් සභාව විසින් අගෝස්තු 21 දා ප්‍රකාශයට පත්කළා. වැඩබලන ජනාධිපති යනායෙව් විසින්ම එම කමිටුව විසිරුවා හැරියා. 

අ‍ගෝස්තු 22 දා විශේෂිත ගුවන් යානයකින් ගොර්බචොව් මහතා මොස්කව් වෙත පැමිණුනා. නමුත් ඒ වන විට ඔහු සෝවියට් දේශයේ පාලකයා වුණේ සංකේතාත්මකව පමණයි. සියල්ල කණපිට ගැසී තිබුණා. ගොර්බචොව්ට තවදුරටත් කරන්නට යමක් ඉතිරි වී තිබුණේ නැහැ. ඔහුගේ නියෝග පිළිපදින්නට කෙනෙකු සිටියේ නැහැ. ඔහුට ඉතිරිව තිබුණේ  යෙල්ට්සින්ගේ පදයට නැටීම පමණයි. යෙල්ට්සින් ජනතාව අතර වීරයෙකු වී සිටියා. 

තව දුරටත් සෝවියට් දේශයක් පැවතීම  නිශ්ඵල බව සෑම පැත්තකින්ම පෙනීගියා. සෝවියට් සංගමයේ සම්පූර්ණ බලය  බොරිස් යෙල්ටිසින් විසින් ඩැහැගෙන තිබුණා.

යනායෙව් ඇතුළු අටදෙනාගේ කල්ලිය අත්අඩංගුවට පත්වුණා. එසේ අත්අඩංගුවට පත්වීමට මොහොතකට පෙර අභ්‍යන්තර කටයුතු ඇමති බොරිස් පූගෝ වෙඩිතබා ගෙන දිවි නසාගත්තා. 

සෝවියට් සංගමයේ ඇමතිවරු කිහිපදෙනෙක් නීති විරෝධී හදිසි අවස්ථා කමිටුවේ කටයුතු කර ඇති නිසා සෝවියට් රජය විසුරුවා හැරිය යුතු බව රුසියානු සමූහාණ්ඩුවේ පාර්ලිමේන්තුව මේ අතර යෝජනා කළා.

අගෝස්තු 24 දා සෝවියට් දේශයේ සියළුම බලතල තමා වෙත පවරාගන්නා බව රුසියානු පාර්ලිමේන්තුව නිවේදනය කළා.

එදිනම ගොර්බචොව් මහතා සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ධූරයෙන් එනම් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වුණා. එසේම සෝවියට් කොමියුනිස්ට් පක්ෂය විසිරුවා හැරෙන බවත් ප්‍රකාශයට පත්කළා. ඒ වන විටත් සෝවියට් ආරක්ෂක හමුදා සහාය හිමිව තිබුණේ රුසියානු පාර්ලිමේන්තුවට.

කොහොම නමුත් දෙසැම්බර් දක්වා සෝවියට් සංගමයේ නාමික ජනාධිපති වරයා ලෙස ගොර්බචොව් මහතා  කටයුතු කළා. දෙසැම්බර් 25 දින සවස ඔහු ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වුණා.

1991 දෙසැම්බර් 26 දා උදෑසන ටාස් ගුවන් විදුලියෙන් මෙම නිවේදනය නිකුත් කෙරුණා.

“සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ පැවැත්ම අද දින සිට අවසාන කරන බව උත්තරීතර සෝවියට් සභාව විසින් සෝවියට් දේශයේ මහජනතාව වෙත  මෙයින්  නිවේදනය කරනු ලැබේ.”

විසි වැනි සියවසේ ලෝකය හොල්ලා ගෙන සිටි සෝවියට් දේශය 1991 දී එසේ අවසාන වුණා. 

සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ අවසානය පිළිබඳව එහි අවසාන පාලකයා වූ මිහායිල් ගොර්බචොව් මහතා පසුකාලීනව පැවසුවේ මෙහෙමයි.

"සිගරට් එකක් පත්තු කරගන්න ගිහින් උන් මුළු ගෙදරටම ගිනි තිබ්බා. බලය අල්ලගන්න උවමනා වුණාට උන්ට ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඔවුන් අපරාධයකට යොමු වුනා. ඒක කුමන්ත්‍රණයක්."

පැරණි සෝවියට් දේශය ලෝක සිතියමින් ඉවත් වී ගොස් ඒ වෙනුවට රුසියාව ඉස්මතු වුණා. යෙල්ට්සින්ගෙන් පසුව  ව්ලැදිමීර් පූටින් විසින් එහි සුක්කානම අතට ගත්තා. ඔහුගේ උත්සාහය වන්නේ යුදමය වශයෙන් සෝවියට් සුපිරි බලවතාගේ අනුප්‍රාප්තිකයා ලෙස රුසියාව පත්කිරීම බව පෙනෙන්නට තිබෙනවා. තම බලය ව්‍යාප්ත කිරීම සඳහා නැවතත් රුසියාව නොනවතින යුද්ධයක පැටලී සිටිනවා. 

පසු ගිය දශක තුන තුළ ලෝකයේ බොහෝ දේශපාලන පෙරළි සිදුවුණා.බලසම්පන්න කොමියුනිස්ට් ජාත්‍යන්තරය වෙනුවට දැන් තිබෙන්නේ ඒ ඒ රටවල ජාතිකවාදීන් විසින් උක්සට ගත් කොමියුනිස්ට් බෝඩ් ලෑලි පමණයි. එහි අතීත ශ්‍රී විභූතිය දැන් නැහැ. ඊට අමතරව නවීන ලෝකය සමඟ විසංවාදයක් නැති යල්පැනගිය සමාජවාදී විප්ලවකරුවන් මාක්ස්ගේ අනුගාමිකයන් ලෙස ගොඩනැඟී තිබෙනවා. ඔවුන් "කොමියුනිස්ට් ප්‍රකාශනය" හෝ "ප්‍රාග්ධනය" ආදී කෘති ගැන අහලාවත් නැති තොරම්බල්කරුවන්  පිරිසක්. සමාජවාදය ඔවුන්ට විලාසිතාවක් පමණයි. සමහර සමාජවාදී රාජ්‍ය අන්තවාදී ආගමික කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබෙනවා.

ලෝකය මේ සියළු අලකලංචි මැදින් ගමන් කරද්දී ගොර්බචොව් මහතා මොස්කව් නුවර නිවසට වී නිවිහැනහිල්ලේ ජීවත්වුණා. තමන්ගේ ප්‍රතිසංස්කරණ උත්සාහය නිසා ලෝකය උඩුයටිකුරු වුණත් ඔහුට පසුතැවිල්ලක් තිබුණේ නැහැ. ‍රුසියාව තම පැරණි සගයෙකු වූ යුක්‍රේනය සමඟ යුද්ධයක පැටලීම නිසා ගොර්බචොව් මහතා බොහෝ සෙයින් කම්පා වුණා. ඔහු විටින් විට මාධ්‍යවේදීන් හමු වෙමින් සැහැල්ලුවෙන් කාලය ගතකළා. අසනීපයෙන් පසු වූ හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් මියයෑමට පෙර ගොර්බචොව් මහතා ඇමෙරිකාවේ බුෂ්ගේ නිවසට ගියා. බුෂ් මහතා සමඟ පැරණි මතක අළුත් කරමින් සතුටු සාමීචියේ යෙදුනා.

තමන් වටා ගොඩනැඟී තිබුණු අසීමිත බලය අතහැරීමට ඔහු දැක්වූ කැපවීම අගය කළ යුතුයි. එය එසේ මෙසේ බලයක් නොවෙයි. ලෝකයේ පැවත්ම පවා තීරණය කිරීමේ ව්ශ්වීය බලයක්.

සෝවියට් දේශය තුළ සිදුකළ දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට අමතරව ඔහු ලෝක සාමය වෙනුවෙන් ද බොහෝ පියවර ගත්තා. ඇමෙරිකාව සමඟ න්‍යෂ්ටික පාලන ගිවිසුමකට ඇතුළත් වුණේ ගොර්බචොව් යුගයේදී. ඒ නිසාම ඔහුට 1990 දී නොබෙල් සාම ත්‍යාගය පවා හිමි වුණා.

මේ ප්‍රමාණික මිනිසා අගෝස්තු 30 වෙනිදා උදෑසන නික්ම ගියා. ඔහුගේ මරණයෙන් පසු ලියූ කුඩා සටහනකට මෙවැනි කමෙන්ටුවක් වැටී තිබුණා.

"මහාමේරු පර්වතය වගේ තිබ්බ සෝවියට් දේශයට කෙළපු එකා.."

අපි කාලයක් තිස්සේ අන්තර්ජාතික භූ-දේශපාලනය ගැන කතා කරනවා. මිහායෙල් ගොර්බචොව් යනු මට අනුවනම් විසිවැනි සියවසේ ලෝකයට බිහි වූ ශ්‍රේෂ්ඨතම නායකයෙක්. ඔහුව අපේ රටේ නිසි ඇගැයීමකට ලක්වුණේ නැහැ. පූටින්ලා ගැන දන්නා බොහෝ අය ගොර්බචොව්ලා  ගැන අහලාවත් නැහැ. නමුත් ගොර්බචොව්ගේ යුගයේදී මෙරට කොමියුනිස්ට් පාක්ෂිකයන් ඔහුගේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉහළින්ම පෙනී සිටියා. යම් යම් හේතු නිසා මගේ ලැයිස්තුවේ ගොර්බචොව්  ඉන්නේ ලෙනින්ටත් උඩින්. 

ගොර්බචොව්ගේ ශ්‍රේෂ්ඨත්වය තමා මාතෘභූමියේ  යහ පැවත්ම හා එහි පුරවැසියන්ගේ පුද්ගල නිදහස පිළිබඳව ඔහු දැරූ  නිර්භීත මතය. ජීවිතයේ අවසානය දක්වා ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියා.1995 දී ප්‍රකාශයට පත්කළ  Life and Reforms නම් වූ පොතේ ඔහු සඳහන් කරන්නේ ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරණවල වගකීමෙන් ඔහු කිසිදා නිදහස් නොවන බවයි.

ඊළඟට  ලෝකයේ අනාගතය වෙනුවෙන් ඔහුට තිබූ සංවේදී තිගැස්ම. ඔහු ඒ වෙනුවෙන් පියවරක් නොවෙයි පියවර ගණනාවක් පසුපසට ආවා. නමුත් ඒ පසුබෑම් නිසා ලෝකය ඉදිරියට ගියා. ඔහු තමන්ගේ ප්‍රබල පසමිතුරා වූ එක්සත් ජනපදය සමඟ දියුණු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයක් පවත්වා ගත්තා. න්‍යෂ්ටික අවිහරන ගිවිසුම් අස්සන් කළා.මේවා ඉතා හොඳ පරිකල්පනයක් ඇති දුර්ලභ නායකයෙකුගේ ලක්ෂණ.

නමුත් පරම්පරා ගණනාවක් තිස්සේ නිදහස භාවිතා නො කරපු සමාජයකට නිදහස හඳුන්වා දීමට යෑම දැලි පිහියෙන් කිරිපැණි කනවා වැනි වැඩක්. එතැන තමයි ගොර්බචොව්ට වැරදුණේ. ඔහුට උපදෙස් දීමට ප්‍රමාණවත් දැක්මක් තිබුණු උපදේශකයන් පවා පක්ෂය තුළ ඉතිරි වී සිටියේ නැහැ. එවැනි සමාජයකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී උරුමය කැඳවා දීමට අඩු වශයෙන් දශකයක් පමණ කැපකළ යුතුව තිබුණා.

මිහායෙල් ගොර්බචොව් මහතාගේ දේශපාලනය ගැන ලිවීම ඔහුගේ මරණය ගැන ලිවීමට වඩා අපට වැදගත්.  ඔහු පැරණි පරම්පරාවට අමතකව ගිය එසේම නව පරම්පරාව නො දන්නා සමාජවාදී දාර්ශනිකයෙක්. ලෝකය වඩා යහපත් තැනක් කිරීමට පැමිණි පුද්ගලයෙක්.

ඔහු ගැන නො කියවූ අය මේ ලිපියට පවා පහර ගසාවි. තමන්ගේ ප්‍රතිපත්ති  සම්බන්ධයෙන් ඔහු එදා සිටම කොම්ප්‍රදෝරු සමාජවාදීන්ගේ නින්දා අපහාසයන්ට ලක්වුණා. ගොර්බචොව් යනු දේශපාලන පරාජිතයෙක් ලෙස තමා ඔවුන් සළකන්නේ.

නමුත් අද ඔහු ජීවිතයෙන් නික්ම යන්නේ පසුතැවීමක් නැති ජයග්‍රාහිකයෙකු වශයෙන් බව පැහැදිලියි.

බොන් වොයෙශ් ගෙරෝයි සෝවියට්කෝගෝ සොයුසා..!!

පැරණි කොමියුනිස්ට් සිරිතට අනුව මිහායෙල් ගොර්බචොව් සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය...!!!

Shanaka Madhushan Liyanagama විසින් වත පොතෙහි අඩයාලමේ පලකර තිබු ලිපියකි. 
notes of imaginary

Wednesday, August 31, 2022

අපිත් මේ රටේ දරු පැටව්





උසස් පෙල ප්‍රතිපලත් සමග විභාගය පිලිබදව බොහෝ දේ ලියවෙනවා. මේ පැදි පෙල විශ්‍රාමලත් විදුහල්පති වරයෙක් වු සිරිපාල කහවත්තයන් විසින් රචිත නිර්මාණයක්. එතුමන් ලංකාවේ දූෂ්කර අති දුෂ්කර ප්‍රදේශවල ශිල්ප බෙදා දී අත්දැකීම් සම්භාරයක් අත්පත් කර ගත් බෙදා ගත්ගුරුවයෙක්, විදුහල්පතිවරයෙක්.



පත්තරේ වාහිණියෙ රේඩියෝවේ ඇහෙයි

හංදියේ බස් එකේ පෝලිමේ දිග හැරෙයි

කියන්නෙම උසස්පෙළ සමත් උන් වරුණෙමයි

මහත්තයො උසස්පෙළ මමත් ලිව්වා තමයි

 

තාත්තා මැරුණෙ මගෙ පොල්ගහෙන් ඇදවැටිල

අම්ම කොහු මෝලෙ වැඩ එන්නෙ හොඳටම නැහිල

මොනව හරි තම්බන්නෙ ඇවිත් පාසල ඇරිල

නංගීට මල්ලීට මම තාත්තෙක් වීල

 

සෙනසුරාදා ඉරිද අත්වැඩට මම යනව

හැමදාම හවස්කරෙ වත්තෙ පොල් ඇහිඳිනව

ලැබෙන සොච්චම අරන් රෑට ගෙදරට එනව

තාත්තෙකුගේ අඩුව පුරවන්න වෙහෙසෙනව

 

මෙහෙම දහදුක් විඳල උදේ පාසල් යනව

පෑන් පැන්සල් නැතත්,පංතියේ පළවෙනිය

රූල්වල ලිව්වොතින් පොතේ ඉඩ මදිවෙනව

රූල් තිබුනත් පොතේ ඒව අමතක වෙනව

 

උපෙළට හිටියේම ගුරුවරුන් තුන් දෙනයි

අපි කැමති මුත් නැතත් ඉගැන්නුවෙ එච්චරයි

ඉතිහාසෙ භූගෝලෙ අකමැතිම සිංහලයි

ටියුෂනුත් ගියෙ නැත්තෙ සල්ලි නැති හින්දමයි

 

තිබුනේම අඳින්නට එකමඑක කළිසමයි

ඒක හේදුව දාට ඇන්දෙ තෙත පිටින්මයි

යාළුවන් ගේන බත් දෙකටකින් බඩ පිරෙයි

වැවේ මඩ වතුර සමහරදාට හරි රහයි

 

තෙල්ටිකක් නැති දාටකුප්පි පහනත් නිදයි

වැඩපලක් නැතිදාට කුසේ ගිණිබඩ දවයි

වැස්ස වැස්සොත් එහෙම ගේ ඇතුළ දෝර යයි

ගම් වදින අලින්ටත් පේන්නේ අපිමමයි

 

ආනන්දෙ,ට්රිනිටියේ අච්චරයි මෙච්චරයි

සිරිමාවො සෙන්ට්බ්රිජට් අච්චරට මෙච්චරයි

අපට ඉතිරිව තිබුනෙ F අකුරු විතරමයි

මගේ පාසල් දිවිය මහතුනේ හෙට නිමයි

 

නුඹළාගෙ රජපැටව් හෙට ඉඳන් රට යවයි

සෑම සරසවියේම දොරටු නුඹලට ඇරෙයි

හෙට ඉඳන් මගේ අත්වලත් කරගැට පිපෙයි

මහත්වරුනේ අපිත් මේ රටේ දරු පැටව්






notes of imaginary

Tuesday, August 30, 2022

උසස් පෙල ප්‍රතිපල.

උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් තියෙන වෙලාවක්.

සමත් වු අය අගයන ගමන් දෙවෙනි පෙලත් අගයන්න දෙමව්පියෝ ගුරුවරුන් වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕන. කොරෝනාවක්, දේශපාලන ආර්ථික අර්බුදත් පිරුණ සමයක මේ දරුවෝ විභාගයට පෙනී සිටියේ. දෙමව්පියන්ට තදින් බල පෑ අර්බූද දරුවන්ට බල නොපෑවයි කියලා හිතන්න හොද නැහැ.

සාමාන්‍ය පෙල , උසස්පෙල එකවර සමත් නොවුන එහෙත් නැවත නැවත උත්සහා දරා අධ්‍යාපපනයෙන් ඉහලටම ගිය චරිත අපිට ඕන තරම් හමු වෙනවා. ඒ වගේම උසස් පෙලින් පසු තමන්ගේ ගමන් මග වෙනස් කර ගෙන ජීවිතය ජයගත් චරිත ඕන තරම් ඉන්නවා.  

උත්සහායයි වැදගත් වෙන්නේ.

මට වතපොතෙයි පලකර තිබු එවන් චරිතයක් ගැන කියවන්න ලැබුනා. ඔහුගේ ගමන් මග පුරන්න පටන් අරන් තියෙන්නේ පලමු බිදවැටිම ජයග්‍රහණයක් කර ගැණීමෙන්.



  උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා. හැබැයි ඔහුගේ විශ්ව විද්‍යාලයක ඉගෙණීමේ සිහිනයට උසස් පෙළ ප්‍රථිපළය බාදාවක් වන්නේ නැහැ. එන්ගලන්තයේදී ප්‍රථම උපාධියක් ලබා ගන්නවා. ඉන් නවතින්නේ නැතිව පශ්චාත් උපාධි දෙකක් ලබා ගන්නවා. ඒ පාරේම තවදුරටත් ගමන් කර ආචාර්‍ය උපාධි දෙකක් ලබා ගන්නවා. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වරයා බවට පත්වෙනවා. ඉන්ජීනේරුවා කියන්නේ අනාගතය දකින්නෙක් බව සනාත කරමින් ඔහු මොරටු විශ්ව විදාලයේ උප කුලපති තුමන් ලෙස දෙවතාවක්ම තෝරා ගන්නවා. මේ මහාචාර්‍ය දයන්ත විජේසේකර නම් ශ්‍රේෂට අධ්‍යාපන වේදියායි. එතුමා අද දවසේත් ගෞරවනීයම කුලපති තුමෙක්.
 උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන් 
දයන්තා කිසිවෙකු කිසිදා නොබිඳී ය හෑකි වාර්තාව ක් තියලා තියෙනවා. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ අවුරුදු 9 ක්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක්ද ලෙස අවුරුදු 15ක් උපකුලපති ධූරය දරමින්. ඔහු තමයි විශ්ව විද්‍යාල දොකක උපකුලපති වරයා වූ පළමු වැන්නා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ට අයත් විශ්ව විද්‍යාල වල එසේ විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වූවන් ඉන්නේ තව දෙන්නයි. එමෙන්ම දයන්තා තමයි කොළඹ වාහන තදබදය ට පිළියමක් ලෙස ගාලු පාර, රොනී ද මැල් මාවත වගේ සමහර පාරවල one way ක්‍රමය හදුන්වා දුන්නේ. ඒ ත් ඔහු කියූ දේම කලා නම් මෙම ක්‍රමය වඩාත් සාර්ථක වීමට තිබූ බව ඔහු මා සමග වරක් කීවා.
ඔහු vocational education පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක්. ඔබට චිරං ජයතු දයන්තා

උපුටා ගැනිමකි...

 

notes of imaginary

 


Monday, August 29, 2022

රන්ජන් ගේ පාඩම





අපේ රටේ දේශපාලනය වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.

වරෙක දුමින්ද සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන් එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක් ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.

වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.

ධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.

 මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී දේ සත්ය බවත් එය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.

 එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.

රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.

කවුරුත් ජීවිතය අවබෝධයෙන් හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.


notes of imaginary

Wednesday, August 24, 2022

තණ්හාව (The Lust)




බංගලාවෙ ලොකු හාමුට 
අසනීපයි කිව්ව හන්ද 
එයා තමයි ,මාව ගෙනැත් 
පංගාර්තු කළේ එහෙට .

පෙරිය දොරේ කළු උනාට 
හතර රියන් මනුස්සයා 
ලැයිමෙ එවුන් පද හැදුවට 
හොර බැල්මක් දැක්කෙම නෑ .

රෝදපුටුව තල්ලු කරන් 
ඉස්තෝප්පුවට ආවම 
මලක් ඉඹිනවා වාගේ 
ලොකු හාමුගෙ මූණ ඉඹල 
පැට්ටේරියෙ වැඩට යන්න 
පඩිපෙළ බහිනව අගේට.

හැන්දැජාමෙ බලන්නෙපැයි 
කුරුළු ජෝඩුවක් වාගේ 
ලොකු හාමුට තේ පොවනව...
ඔළුවත් අතගෑවානේ .
මං හිටියට ගානක් නෑ 
මට නම් මහ මොකද්ද වගෙ.

ඒත් එකට අපෙ මිනිහා 
මහ රෑ කරුවලේ ඇවිත් 
ගෙට එනකොට බීඩි ගඳයි 
පෙරිය දොරේ මතක් වෙලා 
මට හරියට දුක හිතෙනව.

ළඟින් යද්දි හරි පුසුඹයි 
ආසාවෙන් පපුව ගැහෙයි.
ආයකටුව නැතුව ගියත් 
ඇහැක් ඇරල බලනව බොරු .

මූණෙන් පැත්තක් පිච්චුණු 
ලොකු හාමුව මල් මසුරං! 
අනේ එහෙවු ආදරයක් 
මට කවදාවත් ලැබුණද?

අපේ එකාලට ඕනෑ
ජීවිතේම එකම දෙයයි.
පොඩ්ඩක් හුරතල් කරලා 
මූණ ඉඹින්නවත් බැරිද?

බංගලාව ඔළුවෙ තියං 
ලැයිමේ ඉන්නෙ කෝමද?
ලොකු හාමුට වගේ නැතත් 
මාදිහාව බැළුවොත් ඇති 
මට පුළුවන් ඊට පස්සෙ 
ළඟින් ඉඳන් සලකන්නට . 

හැම දාකම ගෙදර ඇවිත් 
හූල්ලලා මං මැරේවි .
කන්දෙන් පහළට ලිස්සල 
රෝද පුටුව පෙරළුනොතින් 
හදිසි අනතුරක් කියාවි 
වෙන මොනවද උන් කියන්නෙ ...
එතකොටවත් .........................
පෙරිය දොරේ වෙනස් වෙයිද?

රෝ.සි.                                                                      notes of imaginary

Tuesday, August 23, 2022

නිලාවරෙයි පතුළක් නැති ළිඳ - යාපනය


බිත්ති නිර්මාණය වෙලා තිබෙන්නේ හිරිගල්වලින්  
ළිඳේ යටම තිබෙන්නේ මුහුදු වතුර...



සොබා දහම තැන තැන අපූරු නිර්මාණ බිහිකරයි. ඉන්දියානු උප මහද්වීපයේ දකුණු කෙළවර පිහිටා ඇති ශ්‍රී ලංකාව යනු සොබා දහමේ තවත් අපූර්වතම නිර්මාණයක් බව නොරහසකි.   

දූපතක් ලෙස පිහිටා ඇති ශ්‍රී ලංකාවේ උතුරේ පිහිටි යාපනය අර්ධද්වීපය මෙහි අපූර්වත්වය තවත් තීව්‍ර කරයි. වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ හුණුගල් ස්ථරයකින් යාපනය අර්ධද්වීපය නිර්මාණය වී තිබේ.   
මේ භූමි නිර්මාණය තුළ හිරිගල් ආවාට හා ඛාදනය හේතුවෙන් නිර්මාණය වූ ගුහා හෝ දෝනා තිබිය හැකි බව භූ විද්‍යාඥයෝ විශ්වාස කරති.   

බොහෝ දෙනකුගේ මතය වන්නේ යාපනයේ නීලාවරෙයි හන්දියට ආසන්නයේ පිහිටා ඇති සුවිසල් ළිඳ පතුළක් නොමැති මහ කුහරයක් බවයි. ඒ නිසා එය පතුළක් නොමැති ළිඳ යැයි හැඳින්වීමට ශ්‍රී ලාංකිකයෝ පුරුදුව සිටිති. 
 
ඉතා දැඩි සංචාරක ආකර්ශනයක් දිනා ඇති මේ පතුළක් නැති ළිඳ ගැන ඇති කතාවකින් කියවන්නේ සටන් විරාම කාලයේ මේ ළිඳට වැටුණු පුද්ගලයකුගේ සිරුරක් සොයාගත නොහැකි වූ බවයි. දින ගණනකට පසු ඔහුගේ සිරුර කන්කසන්තුරේ මුහුදේ පාවෙමින් තිබිය දී හමුවූ බව ද පැවසේ.   

“එක වතාවක් මෙතැනට ආපු තරුණයෝ වගයක් මේ ළිඳේ වතුර කොතැනට සම්බන්ධ වෙලා තියෙනවා ද කියා බලන්න දෙහි ගෝනියක් මේකට දැම්මා. මේ දෙහි මතුවුණේ කීරමලෙයි මුහුදෙන්” ගැමියකු එසේ කීවේය.   

ඔවුන් පවසන්නේ මෙහි පතුල සෙවීමට ගත් සියලු‍ උත්සාහයන් ව්‍යර්ථ වී ඇති බවයි. ඇතැමුන් පවසන්නේ මෙය කිලෝ මීටර 04ක් දුරින් ඇති කීරමලේ පොකුණ හා සම්බන්ධ බවයි. තවත් පිරිසක් කියන්නේ මේ ළිඳට ජලය ලැබෙන්නේ මාතලේ ප්‍රදේශයේ උල්පත්වලින් බවයි.   

මෙහි සත්‍ය අසත්‍යතාව සෙවීමේ ගවේෂණයකට මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා කණ්ඩායම අත ගැසූහ. 
 
ඔවුන් පවසන්නේ මෙය ළිඳක් ලෙස හැඳින් වුව ද බැලූ බැල්මටම එය හුණුගල් ආවාටයක් බව පැහැදිලි වෙන බවයි. ඉතාමත් පිරිසිදු නිල්වන් ජලයෙන් පිරී ඇති මෙම ළිඳ ඉතාමත් ගැඹුරු බව මතුපිට සිට බලන්නකුට පවා අවබෝධ වන කරුණකි. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාව වසර සිය ගණනක් පුරා සපුරමින් පැවැති මේ ළිඳ අසල පැරණි දාගැබක නටඹුන් හා හින්දු කෝවිල් කිහිපයක් දක්නට ලැබේ. දාගැබේ නටඹුන් හේතුවෙන් මේ ස්ථානය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇත. මීටර 14.5ක් දිගැති හා පළල මීටර් 10.7ක් වන මේ ළිඳ වටා සිමෙන්ති යොදා ළිං බැම්මක් සකසා තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත දැලක් ද ඉදිකර තිබේ.   

මෙම ගවේෂණය සඳහා හිරිගල් ගුහා සහ දෝනා ආශ්‍රිත කිමිදුම් කටයුතු කිරීමේ ප්‍රවීණයකු වන රුසියානු ජාතික වයිලි කෂ්කිනොව් මහතාගේ සහ ප්‍රවීණ කිමිදුම් ශිල්පියකු වන හික්කඩුවේ එම්.ජී. ප්‍රියන්ත මහතාගේ සහය ලබාගෙන තිබේ.   

වයිලි මහතා වසර ගණනාවක සිටම ජලාශ්‍රිත උමං හා හිරිගල් ගුහා තුළට කිමිදුම් කටයුතු කිරීමේ පළපුරුද්දක් ඇති එවැනි කිමිදුම් සඳහා උපදේශකයකු මෙන්ම තාක්ෂණික කිමිදුම් කටයුතු පිළිබඳ පුහුණුව ලද අයෙකි.   

වයිලි මහතා සහ ප්‍රියන්ත මහතා පළමුව මේ ළිඳට බැස්සහ. සියලු‍ ම ආරක්ෂිත ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මේ කටයුත්තට පිළිපන් දෙදෙනාගේ පළමු ඉලක්කය වූයේ ළිඳට බැස එහි වටේ පරීක්ෂා කිරීමයි. දෝනාවක් තිබේ නම් ඒ තුළින් ගමන් කිරීම දෙවැනි අදියරේ සිදුකිරීම අපේක්ෂාව විය.   

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුහුදු පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා මෙසේ කීවේය.   
“මේ සැලැස්මට අනුව කිමිදුම් කටයුතු ආරම්භ කරලා මිනිත්තු අටක් වැනි කෙටි කාලයකින් ළිඳේ පහළට ගොස් තත්ත්වය පරීක්ෂා කර මතුපිටට ආපු වයිලි මහතා කීවා ළිඳෙහි වතුර නිශ්චලව පවතින බව. ඒ වගේම මීටර 10-20ත් අතර ගැඹුරේ දී ජලය අපහැදිලි බවත් එම ජලයේ මඩ අංශු පවතින බවත් ඔහු කීවා. ඉන්පසු පතුලේ ඇති ජලය ඉතා පැහැදිලි නමුත් මැද ස්ථරයේ මඩ අංශු නිසා හිරු එළිය නොවැටීමෙන් පතුළ අඳුරු බවත් කීවා.”   

ඉන්පසු මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්. දයානන්ද, එස්.එම්. නන්දදාස සහ රසික මුතුකුමාරණ යන තිදෙනා ද වයිලි සහ ප්‍රියන්ත සමඟ ළිඳ තුළට බැස කිමිදෙමින් පරීක්ෂා කරන්නට වූහ.   

මෙහි ජලය මදක් කිවුල් ස්වභාවයෙන් යුක්තය. එසේ වුව ද ජලය පිරිසිදුය. මීටර 10-20 පමණ ගැඹුරට යන විට ජලයේ ලා දුඹුරු පැහැති මඩ අංශු මිශ්‍රවී තිබේ. එමෙන්ම ජලයේ කිවුල් ස්වභාවය මතුපිටට වඩා වැඩි බව ද මුතුකුමාරණ මහතා පවසයි.   

තවත් ගැඹුරට යමින් මීටර 20 ගැඹුර පසුකරන විට ජලයේ පැහැදිලි බව යළි වැඩිවෙයි. මීටර 23-25ත් අතර ප්‍රමාණයේ දී ජලය ඉතා පැහැදිලි තත්ත්වයක පවතින බවත් එකවරම ජලයේ ලවණ ගතිය අතිශය ඉහළ යන බවත් ඔහු කීවේය. මුතුකුමාරණ මහතා පවසන්නේ මීටර 25න් පසු ජලය සම්පූර්ණයෙන්ම මුහුදු ජලය හා සමාන බවයි. එතැන් සිට ළිඳ පතුළට යනතුරුම දැඩි අන්ධකාරයක් පවතින අතර විදුලි පන්දම් නොමැතිව කිමිඳුම් කටයුතු කිරීම අපහසු කාර්යක් බව ද ඔහු පවසයි.   

“මේ ළිඳේ ජලය සැලකූ විට ඉතාමත් අපූරු දසුනක් දක්නට ලැබුණා. ඝනත්වයෙන් වැඩි පතුලේ අැති මුහුදු ජලයත් ඉහළින් ඇති ඝනත්වයෙන් අඩු මිරිදියත් වෙන්වන මායිම මෙහි පැහැදිලිව දකින්නට ලැබෙනවා. එම ස්ථානයේ විදුලි පන්දම් ආලෝකයෙන් ලවණ අංශු භ්‍රමණය වන ආකාරය ඉතා ආකර්ශනීය දර්ශනයක්. ඒ වගේම ළිඳට වැටී තිබුණු ප්ලාස්ටික් වතුර බෝතල් සහ පොලිතීන් මලු‍ කිහිපයක් මේ ස්ථර දෙක වෙන්වන සීමාවේ ඉහළටත් පහළටත් ගමන් නොකර ස්ථාවරව පතින ආකාරය දක්නට ලැබුණා.”   

පර්යේෂකයන් පවසන්නේ මෙහි ජලය ඉතා නිශ්චල බවයි. මතුපිට ජල මට්ටමේ සිට මීටර 40ක් පමණ ගැඹුරට ගිය විට ළිඳේ පත්ල හමුවී ඇත. වසර සිය ගණනක් පුරා ළිඳට වැටුණු ඇතැම් අපද්‍රව්‍ය මෙහි මැද එකතුවී තිබෙන්නේ කුණු ගොඩැල්ලක් ගැසූ ආකාරයෙනි. මේ අතර අසල ඇති බෝගසින් සහ අවට ශාකවලින් වැටුණු පත්‍ර හා රිකිලි රැසක් ඇති බව ඔවුහු කියති. ඒ අනුව ළිඳේ ගැඹුර අඩුම ස්ථානය ළිඳේ මැද බවට පත්ව ඇත.   
ගවේෂකයන් වසන්නේ ළිඳෙහි කට ප්‍රදේශයට වඩා පතුළට යනවිට වට ප්‍රමාණය වැඩි වන බයි. ඒ අනුව පතුළට යන විට ගුහාවක් තුළට යන ආකාරයක් දක්නට ලැබෙන අතර මීටර 15ක් පමණ ගමන් කරන විට පහළට ලැබෙන ආලෝකය අඩු වෙයි. මෙහි බිත්ති නිර්මාණය වී ඇත්තේ හිරිගල්වලිනි. ඒ මත ඉතා සියුම් දුහුවිලි වැනි අංශු රැඳී තිබේ. ඉතා සුළු කැළඹීමකින් වුව ද ඒවා ලිහිල් වෙයි. 
 
හුණුගල් ස්ථරයේ ස්වභාවය හා සැකැස්ම පරීක්ෂා කරමින් ගවේෂණ කණ්ඩායම ළිඳ පැති බිත්ති පවා ඡායාරූප හා වීඩියෝ ගතකර තිබේ. ළිඳෙහි බටහිර මායිමේ පතුලෙහි ගැඹුර මීටර 55කි. ජලයේ උෂණත්වය සෙල්සියස් අංශක 28-30ත් අතර ප්‍රමාණයක් බව ද ඔවුහු කියති.   

“අපි මේ හිරිගල් බිත්තියේ සාම්පල කිහිපයක් ගත්තා. ඒවා පරීක්ෂා කිරීමේ දී මේ හිරිගල් ස්ථරය මයෝසීන යුගයට අයත් බව හඳුනාගත හැකි වුණා. ඒ හිරිගල් සාම්පල අතර කවච සහිත මුහුදු බෙල්ලන්ගේ ෆොසිල අවශේෂ දක්නට ලැබුණා” යැයි මුතුකුමාරණ මහතා කීවේය.   

ගවේෂණය අවසන් කළ පර්යේෂකයන් පවසන්නේ මේ පතුලක් නොමැති බව පවසන ළිඳට හිරිගල්වලින් සෑදුණු පතුලක් තිබෙන බවයි. එමෙන්ම අවට ගම්වැසියන් සහ සංචාරක මඟ පෙන්වන්නන් පැවසුවාට මේ ළිඳ මුහුද හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ද අනාවරණය වී තිබේ. 
 
මෙම පර්යේෂණය සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරි ඩබ්ලිව්.එම්. චන්ද්‍රරත්න මහතා, සමුද්‍ර පුරාවිද්‍යාඥයන් වන රසික මුතුකුමාරණ මහතා, චමල් කේ. ගමගේ මහතා, සමීර ප්‍රසංග කරුණාරත්න මහතා, නදීකා කුමාරි මහ්තමිය, මහින්ද කරුණාරත්න මහතා සහ චමිලා කුමාරි මහත්මිය යන කණ්ඩායම සහභාගි වූහ. 
 
ඔවුන්ගේ ගවේෂණයෙන් යාපනය අර්ධද්වීපයේ පතුලක් නැති ළිඳේ අභිරහස විසඳී ඇත.   
 
 
සජීව විජේවීර
ඉරිදා ලංකාදීප                                                                  notes of imaginary

Friday, August 19, 2022

ගමුකෝ රෙද්දක් අමුඩේ ගහන්න.



දේශපාලනය සමහරුන්ට උණකි. දේශපාලනය දන්නා එවුන් නොව ගොම රිටි දේශපාලනඥයන් වු විට අම්බරුවන් විලස හැසිරෙන අන්දම  දකින කතාන්දර අපි ඕනා තරම් අසා ඇත්තෙමු. මෙයත් එවැනි එක් කතාවකි.

 මේ රණිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවු සමයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ එතුමා ගේ රජයේ මංත්‍රීවරයෙකුගේ හැසිරීමකි.

නන්දසේන මහතා පොලොන්නරුව අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ බොහෝ දෙනා දන්නා කියන ජනප්‍රිය විදුහල්පති වරයෙකි.  

මේ කතාන්දරය දිග හැරෙන සමයේ ඔහු නගරයට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කලාය. ජනප්‍රිය විදුහලක විදුහල්පතිවරයෙක් ලෙස කටයුතු කිරීම අසීරු කටයුත්තකි. 

පන්තියක සිටිය යුතු උපරීම ශිෂ්‍ය සංඛ්‍යාව එකල සීමාවුයේ හතලිහකටය.මේ සීමාව ඉක්මවා කටයුතු කිරීමට ඔහුට බාදා ඇත. සිසුන් සංඛ්‍යාව වැඩිවු විට ගුරුවරුන්හට තම සිසුන්ගේ ක්‍රීයාකාරකම් අගයමින් ඉගැන්වීමේ කටයුතු සිදුකිරීම අසීරුය. ගුරුවරුන්ගේ මේ දුෂ්කරතා දෙමව්පියන් අදහන්නේ නැත.

තම විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් මුල්තැන ලා සලකන දඩබ්බර පන්නයේ ප්‍රතිපත්ති දරන  විදුහල්පතිතුමා යකාටවත් තම අදහස් වෙනස් කරන්නට කැමතිවුයේ නැත.

 

මේ කියන වකවානුවේ පොලොන්නරුව ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ  ගෝල බාලයෙකුට තම දරුවා මේ විදුහලට ඇතුලත් කර ගැණිමට අවශ්‍ය විය. විදුහල්පති වරයා හමුවු ගෝල බාල තුමා  තම අදහස සාකච්ඡා කලද විදුහල්පති තුමාට අනුව පංති කාමරයේ ඉඩ නැති පදනම මත දරුවා පාසලට ඇතුලත් කර ගැනීමට නොහැකි බව පවසා යෝජනාව ප්‍රතික්‍ෂෙප විය. එතනින් නොවැතුන ඔහු තමන්ගේ මංත්‍රීරයාවු   උත්තමයා වෙත අදහසත් විදුහල්පතිවරයාගේ තීරනයත් සැලකර සිටියේය.

මංත්‍රීවරයා  විසින් ලීඛිත ඉල්ලීම් විදුහල්පතිවරයාගේ කුණු කූඩයට විසි වුන බැවින්  ගෝලයා මංත්‍රීතුමා වෙත නිතර පැමිණිලි කරන්න විය. ඇතිවු මදි පුංචි කම නිසා මංත්‍රීතුමා  කෝප පයට පත්ව පසු දිනක තම පැජරෝවට මංත්‍රී ගෝලයාද නන්වා  ගෙන පාසලට පැමිණ විදුහල්පතිවරයා සොයා  කාර්යාලයට කඩා වැදුනේය.

 

💢💢💢💢💢💢💢එතැන් සිට   එදා සිදුවු  කතා බහ මෙලෙස විය  “කෝ මේකේ විදුහල්පති ?. 

ආයුබොවන් ! 

වාඩිවෙන්න මංත්‍රීතුමා.

වාඩිවෙන්න නෙමෙයි මොනවද තමුසේ කරන මේ වැඩ?

මෙයාගේ ළමයා අදම පාසලට ඇතුලත් කර ගන්න ඕනි .

මංත්‍රීතුමා ,  පන්ති කාමරවල ඉඩ නැහැ පන්තියේ ලමයි හතලිහකට වැඩියි. 

 නිසා තවත් බරක් වෙන්න ලමයි බාරගන්න බැහැ. 

තමුසේගේ කතා වලින් වැඩක් නැහැ  මේ ලමයා ගන්න ඔනී.

මට නම්  වැඩේ කරන්න බැහැ.  

මන්ත්‍රී  උත්තමයාට අන්තිමේදී මල පැන්නේය.

තමුසේ අමුඩයක් ගස්සලා මේ ස්කොලෙන් පන්නන්නේ තේරුනාද ? 

තමුසේ කතා කරන්නේ කා එක්කද ?💢💢💢

 

💣💣💣💣💣මෙච්චර වෙලානම් මංත්‍රීතුමාත් එක්ක.

මංත්‍රීතුමා ,  මම මෙහේට ආවේ දකුණු පලාතේ ඉදන් . 

මගේඅප්පච්චි ගොවියෙක්. කුඹුරු පිටි වගේම හරකා බාන අප්පච්චිගේ උරුමේ. අප්පච්චි වැඩපලට ඇන්දේ අමුඩේ. මාත්මෙහේට ( උතුරුමැද පලාතට ) එන්න ඉස්සෙල්ලා 

අප්පච්චීගේවැඩපලට උදව් උනේ අමුඩේ ගහගෙන.

ඉතින් ඔබතුමාට අරුමයක් උන මේ අමුඩේ මට නම්  අරුමයක්නැහැ. ගම්මුකෝ රෙදිකෑල්ලක් දැන් අමුඩයක් ගහන්න !.💣💣💣💣💣

 මේ වනවිට මංත්‍රීතුමාගේ ගෝරණාඩුවට වටාපිටාවේ ගුරුවරුන්ද කාර්යාලයට රොක්වෙලාය. විදුහල්පතිවරයාගේ දේශණාවට  මන්ත්‍රී උත්තමයාට කට උත්තර තිබුනේ නැත.    

පිරිස මැද මංත්‍රීතුමා කරකවලා අතහැරියාක් මෙන් විය.

ඔහු ගෝලයාත් නන්වා ගෙන මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නම්යයි සිතා  පලාත් අධ්‍යාපන කාර්යාලය දක්වා පසුබැස්සේය.

මෙකල කොන්ද පණ නැති විදුහල්පතිවරු , නියෝජ්‍ය  විදුහල්පතිවරුතමන් දුන් සාක්‍ෂි කට උත්තර පවා  දිවුරුම් පෙත්සම් මගින් අස්කර ගන්නා රටක මේ විදුහල්පතිවරයාට  තිබුනේ නොනැමෙන කෂේරුවක් වීම නිසා උතුරු මැද පලාතේ සිට මධ්‍යම පලාතට ක්‍ෂණික මාරුවක් ලැබ කොට්ට මෙට්ට අකුලාගෙන යාමට එදා සිදුවිය. 

රනිල්ගේ දෙවර්ෂ පුර්ණය අවසානයේ   මන්ත්‍රී උත්තමයාට පාර්ලිමේන්තුව අත්හැර ගෙදර නතරවන්න සිදුවිය. 

විදුහල්පතිවරයා  මධ්‍යම පලාතේ සිට නැවත එම පාසලටම විදුහල්පතිවරයා ලෙස  පත්ව  පසු කාලයේ අධ්‍යාපන නිලධාරියෙක්ව විශ්‍රාම ගියේය.










notes of imaginary