බංගලාවෙ ලොකු හාමුට
අසනීපයි කිව්ව හන්ද
එයා තමයි ,මාව ගෙනැත්
පංගාර්තු කළේ එහෙට .
පෙරිය දොරේ කළු උනාට
හතර රියන් මනුස්සයා
ලැයිමෙ එවුන් පද හැදුවට
හොර බැල්මක් දැක්කෙම නෑ .
රෝදපුටුව තල්ලු කරන්
ඉස්තෝප්පුවට ආවම
මලක් ඉඹිනවා වාගේ
ලොකු හාමුගෙ මූණ ඉඹල
පැට්ටේරියෙ වැඩට යන්න
පඩිපෙළ බහිනව අගේට.
හැන්දැජාමෙ බලන්නෙපැයි
කුරුළු ජෝඩුවක් වාගේ
ලොකු හාමුට තේ පොවනව...
ඔළුවත් අතගෑවානේ .
මං හිටියට ගානක් නෑ
මට නම් මහ මොකද්ද වගෙ.
ඒත් එකට අපෙ මිනිහා
මහ රෑ කරුවලේ ඇවිත්
ගෙට එනකොට බීඩි ගඳයි
පෙරිය දොරේ මතක් වෙලා
මට හරියට දුක හිතෙනව.
ළඟින් යද්දි හරි පුසුඹයි
ආසාවෙන් පපුව ගැහෙයි.
ආයකටුව නැතුව ගියත්
ඇහැක් ඇරල බලනව බොරු .
මූණෙන් පැත්තක් පිච්චුණු
ලොකු හාමුව මල් මසුරං!
අනේ එහෙවු ආදරයක්
මට කවදාවත් ලැබුණද?
අපේ එකාලට ඕනෑ
ජීවිතේම එකම දෙයයි.
පොඩ්ඩක් හුරතල් කරලා
මූණ ඉඹින්නවත් බැරිද?
බංගලාව ඔළුවෙ තියං
ලැයිමේ ඉන්නෙ කෝමද?
ලොකු හාමුට වගේ නැතත්
මාදිහාව බැළුවොත් ඇති
මට පුළුවන් ඊට පස්සෙ
ළඟින් ඉඳන් සලකන්නට .
හැම දාකම ගෙදර ඇවිත්
හූල්ලලා මං මැරේවි .
කන්දෙන් පහළට ලිස්සල
රෝද පුටුව පෙරළුනොතින්
හදිසි අනතුරක් කියාවි
වෙන මොනවද උන් කියන්නෙ ...
එතකොටවත් .........................
පෙරිය දොරේ වෙනස් වෙයිද?
රෝ.සි. notes of imaginary
1 comments:
පෙරියදොරේ ගෙනාවාට,
මමයි ඔත්තුව දුන්නේ තිතට
දළුකඩන සිත්ති හොදයි ගෙදර වැඩට
උබ නොදන්නවට
හීනෙන් දවස් දෙකතුනක් ගත්ත මං උබ ඇඳට
බලන්හිටිය ජනේලෙන්පැද්දී පැද්දී යන අපුරුවට
මමයි දරපලන පලනි මේ වලව්වට.
Post a Comment