මගේ පිළිතුර -
ක්‍රිස්තියානි රජවරු ලංකාවෙ නෑ. ඉතිහාසය විතරක් නෙවෙයි පුරාවිද්‍යාත්මක සාධක පවා නෑ. තියෙන්නෙ නෙස්ටෝරියන් කුරුසය දැමූ ගල් කුලුනක්. ඒක ගැන තවම නිශ්චිත නිගමනයකට එන්න බෑ. මොකද ඒක හම්බුනේ කොහොමද කියලා තාම කාටවත් දන්නේ නෑ. ලංකාවේ ක්‍රිස්තියානි ආගම අදහන අය හිටියේ පිටරටින් ආපු වෙළෙඳ ප්‍රජාව තමයි. ස්වදේශීය ජනතාව ක්‍රිස්තියානි උනේ 16වන සියවසේ පස්සේ
- උපුටා ගැනීම Don supun
තේවත්ත පල්ලියේ මුගලන් කෙනෙක්ව ඇඳගෙන දැන් කාලයක් තිස්සේ චාටර් වෙනවා. මේක පහලොස්වන සියවසේ වීදිය බණ්ඩාරගෙයි සමුද්‍ර දේවියගෙයි පුතා වෙන ධර්මපාලවල බෞතීස්ම කරලා පෘතුගීසින් නටපු නාඩගමට දෙවනි නෑ. මේ සියල්ලම ඔය අයතනගත ආගම් රාජ්‍යට ඈඳලා අපිට ඒ කාලේ ඉඳන්ම කිරීටය සම්බන්ධවත් සුජාත අයිතියක් තියෙනවා කියලා පෙන්නන්න දරන උත්සහයන්.
මුගලන් කියන්නේ කාශ්යපගෙම අර්ධ සොහොයුරා. ධාතුසේන රජතුමාට හිටපු පුත්තු දෙන්නා ගැන කියද්දි මහවංසය කියන්නේ
'භින්නමාතෘක කසුප්ය සමාන මාතෘක මහබල ඇති මුගලනැයි උහු පුතුන් දෙදෙනෙක් වුහ'
භින්නමාතෘක සමාන මාතෘක කිව්වම මේ දෙන්නාගේ මව්වරුන් දෙදෙනෙක් සහ මව්වරුන් දෙදෙනා රාජවංශික ධුරාවලිය අනුව දෙයාකාරයක පිළිගැනීම් ලැබුනු දෙදෙනෙක්. කලින් ලිව්ව ලංකාවේ නිකාය බේදය ගැන ලිපි පෙලෙත් සටහන් කරා ධාතුසේන කියන්නේ මහාවිහාරීක නිර්මාණයක් කියලා. මහාවිහාර ලේඛනය වන මහාවංසයේ පරිඡ්ජේද ගනනාවක් දුටුගැමුණු රජතුමා ගැන ලිව්වට මහාවිහාරයට poster boy වෙන්නේ ධාතුසේන. එහෙම කියන්නෙ ඇයි ? මහාවංසය ලියන රාජ ලැයිස්තුවෙන්ම ධර්මාශෝක අධිරාජ්‍යාට සමාන කරන්නේ ධාතුසේනව විතරයි.
"සිවුපසයෙන් භික්ෂුන් තුටු කරවා ධර්මාශෝක මහරජහු සෙයින් තුන් පිටකයෙහිද සංග්‍රහ කලේය"
ධාතුසේනගේ ඇවෑමෙන් පස්සේ රජකම ගන්න කාශ්‍යප එක්ක මහා විහාරය දුරස්තවයි කටයුතු කරන්නේ. මහා විහාරිකයො කාශ්‍යපට පත්තනික්කුජ්ජන කර්මය සිදුකල බව මහාවංසය කියනවා. පත්තනික්කුජ්ජන විනය ගැන කලින් ආර්ටිකල් වල ලියලා තියෙනවා. මේ නිසා කාශ්‍යප යම්කිසි ආකාරයකින් ධම්මරුචිකයන්/අභයගිරි නිකාය එක්ක සමීපව කටයුතු කල බව හැඟවෙනවා
මුගලන්ගේ ක්‍රිස්තියානි කියන කතාව ගේන්නේ මහාචාර්ය සෙනරත් පරණවිතාන. පුරාවිද්‍යාවට කල සේවයට එතුමාට තිබෙන ගෞරවය ඒ විදිහටම තියෙද්දි මේ මුගලන් කතාව ගැන කියන්න තියෙන්නෙනන් මේ පිළිබඳව පරණවිතාන කිව්වට ඒවා ගැන සාක්ෂි දැකලා තියෙන්නෙ පරණවිතානම පමණයි. සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්නෙ එතුමා සියැසින් දුටුවැයි කියන අන්තරාලීන ලිපි. අන්තරාලීන සෙල්ලිපි. අන්තරාලීන සෙල්ලපි කියන්නේ පරණවිතාන කියන විදිහට පේන්න තියෙන සෙල්ලිපියක අකුරු අතරේ කොටා ඇති අතුරු ලිපි. එහෙම ඒවා ඇත්තටම කියෙව්වා කියන්නේ පරණවිතාන විතරයි. වෙන කවුරුත්ම එහෙම එකක් දැකලාත් නෑ, පිටපත් වෙලත් නෑ. කියෙව්වානන් යම් ආකාරයකින් පිටපත් කිරීම සිදුකල යුතුයි. නමුත් එහෙම වෙලත් නෑ.
ලංකාවේ ක්‍රිස්තියානි දහම පෘතුගීසීන් මේ දිවයිනට එන්න කලින් තිබුනේ නෑ කියලා කවුරුහරි තර්ක කරනවානන් ඒ ඉතිහාසය නොදන්න කෙනෙක් විය යුතුයි. ග්‍රීක, පර්සියානු, අරාබි, චීන නෞකා අනාදිමත් කාලයක් තිස්සේ නැංගුරම්ලු වරායන් තියෙන රටක් විදිහට ඉතාමත් ඈත යුගයේ සිට ක්‍රිස්තියානින් පවා පැමිණි බව අනුමාන කරන්න පුළුවන්. ඒ ඇරෙන්න ආසන්න රටවන ඉන්දියාවේ කේරළයේ ප්‍රථම ක්‍රිස්තියානි සභාව පිහිටවන්නේ ක්‍රි.ව 52 වගේ කාලයේදි සාන්ත තෝමස් විසින්. සමකාලීන ලක්දිව සංදර්භය සලකා බැලුවොත් මෞර්ය පෙළපතේ අවසාන රජු වෙන යසලාලකතිස්ස ලංකාවේ රජකරන සමයේදි තමයි කේරළයට ක්‍රිස්තියානි දහම එන්නේ.
අපි වර්තමානයේදි නොමනා ක්‍රියා සිදුකරන පුද්ගලයන් හඳුන්වන්න "නසරානියා" කියන වචනය පාවිච්චි කරනවනෙ. නසරානි වචනයේ ආරම්භය තියෙන්නෙ මෑත පෙරදිග ක්‍රිස්තියානිය වැලඳගත් සිරියානුවන්ගේ. ඇත්තටම මේ වචනේ එන්නේ නාසරෙත් නමින්. නාසරෙත්හි ජේසුස් වැනි පදය තමයි පසුව නස්රීන් = නස්රානි වෙන්නේ. මේ සිරියැක් සම්භවය සහිත ක්‍රිස්තියානිය තමයි මලබාරය නොහොත් වර්තමාන කේරළයට එන්නේ. කේරළයේ මලන්කාර් නස්රානි කාණ්ඩය මේ නමින් හඳුන්වනවා. හින්දු සමභවයක් තිබුනු කලාපයක ක්‍රිස්තියානිය විහිදීමත් එක්ක හින්දුන්ගේ සහ ක්‍රිස්තියානින්ගේ ගැටුම්වලින් නස්රානි වචනයට එන්නේ එච්චර හොඳ පිලිගැනීමක් නෙවෙයි. කාලයකට කලින් ශුද්ධවු අර්ථයක් තිබුනු නස්රානි පදය පස්සේ එන්නේ විශමාකාර ක්‍රියාවන්වල යෙදෙන්නන් හඳුන්වන්න. ලංකාවට නසරානි වචනේ එන්නේ එහෙම.
මේ මලබාර් නස්රාන් බලපෑම අනාදිමත් කාලයක පටන් ලංකාවට එන්න යන්න ඇති. අනුරාධපුරයෙන් හමුවෙන නෙස්ටෝරියානු කුරුසය ඒකට සාක්ෂියක්. නෙස්ටෝරියන් කුරුසය කියන්නේ ඉන්දියාවේ සාන්ත තෝමස් විසින් පිහටවපු ක්‍රිස්තියානින්ගේ ලාංඡනය. මේකේ තියෙන්නෙ නෙළුම් මලක් උඩින් පැන නගින කුරුසය. මර් තෝමා ස්ලීවා කියලා හඳුන්වනවා සාන්ත තෝමසුවන්ගේ කුරුසය ලෙස. ඉන්දියාවේ කෙරළයේ ඉඳන් තක්ෂිලාව, බල්ටිස්ටානය වෙනකම්ම මේවා හම්බෙනවා. එහෙම එකක් තමයි ඔය අනුරාධපුරයෙනුත් ලැබෙන්නේ. ලංකාවේ කතෝලික සභා කොඩියේ තියෙන්නෙත් මේ නෙස්ටොරියන් කුරුසය. තක්ෂිලාව (වර්තමාන පකිස්තානය) දක්වාම මේ නෙස්ටෝරියන් කුරුස තිබ්බානන් අනුරාධපුරයේ මේවා හමුවීම එතරම් දෙයක් නෙවෙයි.











