2026-04-10

4/10/2026 08:00:00 pm



වර්ෂ 1815 දී බ්‍රිතාන්‍යයින් විසින් ශ්‍රී ලංකාව යටත් කරගැනීමේන් පසුව ඔවුන් ශ්‍රී ලංකාව ඔවුන්ට උපරිම ලාභ ලැබිය හැකි දිවයිනක් බවට පත්කිරීමට කටයුතු කළහ.
ඒ අනුව බ්‍රිතාන්‍යයින් විසින් ශ්‍රී ලංකාවට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දුන් අතර රත්නපුර ප්‍රදේශයේ ද වැවිලි භෝග වගා කිරීම ආරම්භ කරන ලදී. එ අනුව තේ, රබර් සහ කෝපි වැනි වගාවන් රත්නපුර ප්‍රදේශය ආශ්‍රිතව බහුලව වගා කළ අතර ඔවුන්ගේ එම වගාවන්හි ඵලදාවන් කොළඹට රැගෙන ඒම සඳහා ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වූ අතර ඔවුන් එ සඳහා යොදාගනු ලැබුවේ දුම්රිය මාර්ග පද්ධතිය යි.

බ්‍රිතාන්‍යයින් විසින් රත්නපුර ප්‍රදේශය මුල්කරගනිමින් දුම්රිය මාර්ගයක් හඳුන්වා දුන් අතර එය කොළඹ කොටුවේ සිට යටියන්තොට දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන අනුශාඛාවක් ලෙසිනි.
මෙම දුම්රිය ගමන් මාර්ගය කැළණිවැලි ගංගා මිටියාවතේ ගමන් කළ බැවින් කැළණිවැලි දුමරිය මාර්ගය ලෙස නම් කළ අතර එමෙන්ම මෙම දුම්රිය මගේ පීලි දෙකක් අතර වූ දුර ප්‍රමාණය අඩු වූ හෙයින් මෙය කැළණිවැලි පටු අමාන දුම්රිය මාර්ගය ලෙස හැඳින්විය.

වර්ෂ 1900 මාර්තු මස 22වන දින සුබ මොහොතින් ආරම්භ කරනු ලැබූ කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා ඉදිකිරීම් සිදු කළ අතර එහි ප්‍රධාන අතු මාර්ගය වූ රත්නපුර දක්වා දුම්රිය පැමිණ ඇත්තේ වර්ෂ 1912 අප්‍රෙල් මස 18 වන දී ය.

ත්නපුර දක්වා පැමිණී මෙම දුම්රිය මාර්ගය ඉන් අනතුරුව තිරිවනාකැටිය, දෑල, වටාපත සහ කහවත්ත යන දුම්රිය නැවතුම්පොළවල් පසු කරමින් එහි ගමනාන්තය වූ ඕපනායක දක්වා පැමිණි අතර එය සිදුවූයේ වර්ෂ 1919 මැයි මස 02වන දින යි.

ඒ අනුව අද මාගේ කතා මාතෘකාව වන්නේ කැළණිවැලි පටු අමාන දුම්රිය මාර්ගයේ ප්‍රධාන නැවතුම්පොළක් වූ කහවත්ත දුම්රිය නැවතුම්පොළ හෙවත් වර්තමාන කහවත්ත බස් නැවතුම්පොළ පිළිබඳවයි .

කොළඹ කොටුවේ සිට ඕපනායක දක්වා ගමන් ආරම්භ කළ දුම්රිය මාර්ගය ආරම්භ කාලවකවානුවේ දී භාණ්ඩ ප්‍රවාහනය මුල්කරගෙන ක්‍රියාත්මක විය. එ අනුව රත්නපුර ප්‍රදේශය ආශ්‍රිත වැවිලි භෝග ඵලදාවන් කොළඹ දක්වා ප්‍රවාහනය ද කොළඹ සිට රත්නපුර හා ඕපනායක දක්වා පොහොර, කෘෂි ද්‍රව්‍ය හා උපකරණ ද රැගෙන ඒමට යොදාගන්නා ලදී.

මෙලෙස පැවති දුම්රිය ගමනාගමනය පොදු ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු කරනු ලැබූවේ වර්ෂ 1937 සිට ය. එපමණක් නොව රේල් කාර් සේවාවන් ද, තැපැල් සේවාවන් මෙන්ම තවත් බොහෝ සේවාවන් රැසක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මෙම කැළණිවැලි දුමරිය කටයුතු කරන ලදී.

ඒ අනුව කැළණිවැලි දුමරිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය නැවතුම්පොළක් වූ කහවත්ත දුම්රිය නැවතුම්පොළද අතීතයේ දී ඉතාමත් කාර්යබහුල නැවතුමක් වන්නට ඇත.⁣මේ අනුව අතීතයේ දී කහවත්ත ප්‍රාදේශය හා අවට ප්‍රාදේශීය ජනතාවගේ ජන ජීවිතයට ඉතාමත් සමීප කේන්ද්‍රස්ථානයක් බවට කහවත්ත දුම්රිය නැවතුම්පොළ පත්වූ බවට සැකයක් නැත.

නවීන ලෝකයේ දියුණුවත් සමග නව ප්‍රවාහන පහසුකම් ලංකාවට ලැබුණු අතර පටුඅමාන දුම්රිය මාර්ගය ඉතාමත් මන්දගාමී දුර්වල සේවාවක් ලෙස හැඳින්වූ එවකට බලයට පත්වී සිටි රජය නම් කළ අතර එහි අවසන් ප්‍රථිපලය වූ කැළණිවැලි දුම්රිය මාර්ගය යටියන්තොට සිට අවිස්සාවේල්ල දක්වා මෙන්ම ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා ගලවා ඉවත් කිරීමයි.ඒ 1970 දශකයේ දී ය.

එලෙස දුම්රිය මාර්ගය ගලවා දැමීමත් සමග ඕපනායක සිට අවිස්සාවේල්ල දක්වා ⁣ඉදිකර තිබූ ගොඩනැගිලි සහ සියලුම ඉදිකිරීම් වෙනත් අවස්ථාවන් සඳහා භාවිත කිරීමට එවකට රජය කටයුතු කරන ලදී. එ අනුව එලෙස අතහැර දැමු ගොඩනැගිලි අතරින් මුලින්ම භාවිතයට ගනු ලැබූවේ කහවත්ත දුම්රිය නැවතුම්පොළයි. ඒ එවකට ලංකා ගමනාගමන බල බණ්ඩලය යටතේ බලංගොඩ බස් ඩිපෝවට අයත් උප බස් ඩිපෝවක් ලෙසිනි.
පසුකාලීනව මෙම ගොඩනැගිල්ල ගොඩකවෙල බස් ඩිපෝව යටතේ ද පසුව කහවත්ත ඩිපෝව ලෙස ද අද දක්වාම ලංකා ගමනාගමන බල මණ්ඩලය විසින් භාවිත කරනු ලබයි.
මෙම ගොඩනැගිල්ල වර්තමානයේ දී රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව කහවත්ත නගරයේ කෙළවරට වන්නට පිහිටා ඇත.එය මුහුදු මට්ටමේ සිට මීටර් 400ක් තරම් උසකිනි.
මෙම ගොඩනැගිල්ල තුළ අතීතයේ දී දුම්රිය නැවතුම්පොළ මෙන්ම දුම්රිය ස්ථානාධිපති කාර්යාලය හා ස්ථානාධිපති නිල නිවස ද පැවතී ඇත. එ මෙම ගොඩනැගිල්ලේ උඩු මහලේ ය.මෙම සියලුම ඉදිකිරීම් වර්තමානයේ දී භාවිත වන්නේ බස් නැවතුම්පොළ රාජකාරි සඳහා පමණි. අතීතයේ දී දුම්රිය ප්‍රවේශපත් නිකුත් කළ කවුළුව ද අදටත් එහි පැමිණෙන මගීන්ට දැක ගත හැකිය. එපමණක් නොව අතීතයේ දුම්රිය නැවැත්වීම සඳහා භාවිත කළ අංගනය බස් නැවතීම සඳහා ද භාවිත කරනු ලැබේ.
මෙම දුම්රිය නැවතුම්පොළ ආසන්නව අතීතයේ ඉදිකළ බඩු ගබඩා ගොඩනැගිල්ල වර්තමානයේ දී විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිත කළ ද මෙම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නොවීමද රටේ අභාග්‍යකි.
එමෙන්ම දුම්රිය නැවතුම්පොළ සතුව දුම්රිය හැරවීම සඳහා යොදාගනු ලැබන හැරවුම් තැටියක් තිබු බවද සඳහන් වන අතර එය පස්වලින් වසා දමා ඇති බවද වර්තමානිකයන්ගේ මතයකි.
වසර 100කට වඩා දිගු ඉතිහාසයකට නෑකම් කියන මෙවන් නිර්මාණයන් අනාගත පරම්පරාවන් වෙනුවෙන් සුරක්ෂිතව රැකගනීම රජයේ වගකිය යුතු පාලකයින්ගෙන් ද වගකීමකි.
සටහන - දිලුෂ චතුරංග කුමාරසිරි

A day in the life ජීවිතයෙන් දවසක් .
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: