ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww

2026-04-30

මියනපලාවේ අලි වෙදකම .


අලි – ඇතුන් බැලීම, අලින්ගෙ නිල ශාස්ත්‍රය, අලි මන්තර, අලි වෙදකම ආදී අලි – ඇතුන්ට සම්බන්ධ සියලු අංශයන්ගෙ දැනුමක් ඇති පුද්ගලයන් සැබැවින්ම දක්ෂයන් ය. අලි – ඇතුන් සම්බන්ධ එවැනි දැනුම් සහිත පුද්ගලයන් මෙකල විරල ය. එහෙත් අලි පිළිබඳ විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෙක් අපට හමු විය. හේ, දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ප්‍රදීප් මියනපලාව මහතා ය.
අලි වෙද පරම්පරාවකින් පැවතෙන ‘ප්‍රදීප් මියනපලාව’ අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන වෙද මහත්මයෙකි. අලිහිමිකරුවෙකි. ඇත් පන්ති භාරකරුවෙකි. ඇත්ගොව්වෙකි. කුඩා වියේ සිට අලි – ඇතුන් සමග ම ජීවත් වන ඔහුට දැන් වයස අවුරුදු 46 කි. කාලයක සිට දළදා මාලිගාවේ ඇත් පන්ති භාරකරු ලෙස කටයුතු කරන හේ, අතිශය කාර්යබහුල ය. එහෙත් අපි ඔහුව කතාවට සම්බන්ධ කර ගත්තෙමු. අලි – ඇතුන්ට පමණක් නොව, මිනිසුන් සමග ද සුහදශීලීව කටයුතු කරගෙන යන ඔහුට කතා කිරීමට ඉඩහැර අපි අසා සිටියෙමු.
“අපේ රටේ රජ කාලේ ඉඳල අලි වෙදකම් පරම්පරා දෙකක් තිබිලා තියෙනවා. එකක් ‘හත්පොතේ’ පරම්පරාව. අනික ‘මියනපලාව’ අපේ පරම්පරාව. හත්පොතේ පරම්පරාවේ වර්තමාන සාමාජිකයො වෙදකම කරන්නෙ නෑ. ඒත් ඔවුන් සතුව වෙදකම තවම තියෙනවා. වෙද පොත්පත්, පුස්කොළ ලියවිලි තවම තියෙන බව හත්පොතේ ඥාතියෙක් මෑතකත් මට කතා කරල කිව්වා. හත්පොතේ පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් කරගෙන යන ‘කපුගොඩ’ පරම්පරාවක් ඉන්නවා. මේ වෙනකොට වෙදකම කරගෙන යන්නෙ කපුගොඩ වෙද මහත්තයාගෙ පුතා. අලි – ඇතුන්ට විතරක් නෙමෙයි, මිනිසුන්ටත් වෙදකම් කරන දක්ෂ සිංහල වෛද්‍යවරයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඒ වගේම හත්පොතේ පරම්පරාවෙන් සහ මියනපලාව පරම්පරාවෙන් අලි වෙදකම ඉගෙනගෙන අදටත් ප්‍රතිකාර කරන වෙද මහත්වරු කිහිපදෙනෙක් ඉන්නවා…”
හත්පොතේ පරපුර ජීවත්වන ගම රඹුක්කන ය. මියනපලාව පරපුර ජීවත් වනුයේ, මාවනැල්ලේ ය. ගම් දෙක අතර වැඩි දුරක් නැත. මියනපලාව පරපුරේ මහගෙදර පිහිටා ඇත්තේ මා ඔය ආසන්නයේ ය. මා ඔය හරහා වැටුණු සංගිලි පාලමෙන් එගොඩ වී මා ඔය සහ කුඹුරු යාය අතරින් වැටුණු පොල්වේල්ල දිගේ මීටර් දෙසීයක දුරින් මියනපලාව මහගෙදර පිහිටා තිබේ. සංගිලි පාලමෙන් එගොඩ වී පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන මිනිසුන්ට අලි – ඇතුන්ව ඈත සිටම මියනපලාව මහගෙදරට පෙනේ. එය අතිශය සුන්දර, නිදහස් පරිසරයකි. එම පරිසරයේදී ගතට, සිතට දැනෙන සුවදායක බව ශරීරයට ඔසුවකි. රෝගී අලි – ඇතුන්ව එම පරිසරයට රැගෙන ඒම ම ප්‍රතිකාරයකි. අලි – ඇතුන් සියයකට වුවද නිදහසේ ජීවත්වීමට තරම් එහි වත්ත ද විශාල ය.
“අපේ මුත්තගෙ කාලය තමයි අලි වෙදකමේ ස්වර්ණමය යුගය. ඒ කාලේ විස්මිත වෙදකම් සිද්ධවෙලා තියෙනවා. පොල්වේල්ල දිගේ ඇවිදගෙන එන අලි – ඇතුන් නිරීක්‍ෂණය කර වෙදකම් කරන්න පුළුවන්ද? බැරිද? කියලා මුත්තා තීරණය කරනවලු…” ප්‍රදීප් මියනපලාවගේ මුත්තා මියනපලාව රාළලාගේ මියනපලාව ය. සීයා පියසේන මියනපලාව ය. පියා සුගතරත්න මියනපලාව ය. මුතතගේ කාලයේ සිට ප්‍රදීප් මියනපලාව පරපුරේ හතරවැනි අලි වෙදැදුරු ය. මුත්තාගෙ කාලයට පෙර සිට මියනපලාව පරපුර අලි වෙදකම කර ඇති බවද සැබෑ ය. එහෙත් මියනපලාව වෙද පරපුරේ ස්වර්ණමය යුගය ප්‍රදීප්ගෙ මුත්තාගෙ කාලය ලෙස ප්‍රසිද්ධ ය. එකල සෑම දිනකම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අලි – ඇතුන් තිහකට ආසන්න සංඛ්‍යාවක් මියනපලාව මහගෙදර වත්තෙ බැඳ සිටි බව ප්‍රදීප් අප සමග පැවසුවේ ය.
“දළදා මාලිගාවේ රාජා ඇතා එක්ක හිටිය කන්ද ඇතා මැරිල තියෙන්නෙත් අපේ මහගෙදර වත්තේදී. ඒ කාලේ අලි හාම්පුතුන් මුත්තා එක්ක ගනුදෙනු කරල තියෙන්නෙ ලියුම් හුවමාරුවෙන්. අලි – ඇතුන්ට අසනීපයක් හැදුණු හැටියේ හාම්පුතුන් ලියුමක් ලියල දීලා ඇත්ගොව්ව සමග මියනපලාව වෙද ගෙදරට එවනවා. ඒ සතුන් සනීප වෙලා යනකොට හාම්පුතුන්ට දෙන්න කියල, මුත්තා ඇත්ගොව්වට ලියුමක් දෙනවා. ප්‍රතිකාරවලට මුදල් අය කරල නෑ. මුත්තා අරගෙන තියෙන්නෙ බුලත් අතක් විතරයි. ඒත් අසනීප අලි – ඇතුන් අරගෙන එනකොට ඇත්ගොව්වො කදමලු බැඳගෙන ඇවිත් තියෙනවා. ඒ කාලේ ඇත්ගොව්වො අලි – ඇතුන් එක්ක කිලෝමීටර් සිය ගණන් පයින් ඇවිත් තියෙනවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරල ඉවර වෙනකම් ඇත්ගොව්වත් වෙදගෙදර නතර වෙලා. ඇත්ගොව්වන්ටත් කෑම බීම දීලා තියෙන්නෙ වෙදගෙදරින්. දවසකට තිහ – හතළිහකට කෑමට අවශ්‍ය එළවළු මහගෙදර වත්තෙ වගා කරගෙන තියෙනවා. වත්ත පහළ කුඹුරෙන් කන්නයකට සෑහෙන්න වී අස්වැන්නක් ලැබිල තියෙනවා. වෙදගෙදර නතර වෙලා ඉන්න ඇත්ගොව්වො සේරම ගොවිතැන් වැඩවලට සහභාගි කරගැනීම මුත්තගෙ සිරිතක් වෙලා. ගොවිතැන් වැඩවලට සහභාගි නොවෙන ඇත්ගොව්වන්ව අලි – ඇතුන් එක්කම වෙදගෙදරින් පිටමං කරල. මුත්තගෙ දරදඬු පාලනයක් තිබිල තියෙනවා…” ප්‍රදීප් මියනපලාව අතීතය රස කරනවිට මම පැනයක් යොමු කළෙමි.
අලි – ඇතුන්ට වැඩිපුර හැදෙන රෝග මොනවද?
“මිනිසුන්ට හැදෙන සෑම රෝගයක්ම අලි – ඇතුන්ටත් හැදෙනවා. ඒ වගේම පාදවල හැදෙන කුර රෝගය අලි – ඇතුන්ට විශේෂ රෝගයක්. උෂ්ණ ගතිය වැඩිකමට සමහර අලි – ඇතුන්ගෙ පාදවල යටිපතුල් පැළෙනවා. ඒ පැළීම්වල ජරාව තැන්පත් වෙනකොට කුර රෝගය හැදෙනවා. යටිපතුල් පැළුනෙ නැති වුණත් අපිරිසිදුකමට ඉන්නකොට කුර රෝගය හැදෙනවා. ඇස්වල සුද මතුවීමේ රෝගයත් අලි – ඇතුන්ට බහුලව තියෙනවා. ඒ වගේම අලි – ඇතුන් නිදාගන්නකොට බර වැඩිකමට තැළීම් ඇති වෙලා, ඒ ස්ථානවල ගෙඩි හටගෙන තුවාල බවට පත් වෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන්නෙ මියනපලාව වෙද පරපුර විතරයි. රෝගය හඳුනාගෙන දින කිහිපයක් ප්‍රතිකාර කර, ගෙඩිය පුලුස්සා විවෘත කරගෙන, අනවශ්‍ය කොටස් පුච්චලා ඉවත් කරල පිරිසිදු තුවාලයක් බවට පත් කරගෙන ප්‍රතිකාර කරනවා. ඒ ශල්‍යකර්මයට අවශ්‍ය පාරම්පරික උපකරණ අදටත් අපි ළඟ තියෙනවා. බෙහෙත් වතුරේ දාලා, පණ පොවල ඒ උපකරණ පාවිච්චියට ගන්නවා. ඒ වගේම ගෙඩි වෙදකමට විශේෂ බෙහෙත් වට්ටෝරුවකුත් තියෙනවා. පොල්ගෙඩියක් තරම් ගෙඩියක් වුණත් පුච්චල ප්‍රතිකාර කරල, කැළලක්වත් නැති වෙන්න සනීප කරන්න පුළුවන්…” නැවතත් ප්‍රදීප් දුරකථන ඇමතුමකට සම්බන්ධ විය.
මේ වන විට මෙරට ජීවත්වන හීලෑ අලි – ඇතුන් සංඛ්‍යාව අනූදෙකකි. එම සංඛ්‍යාවෙන් හැත්තෑපස් දෙනෙක්ට ප්‍රදීප් මියනපලාව ප්‍රතිකාර කර තිබේ. ගෙඩි පිලිස්සීම් ද පහළොවකට වැඩි සංඛ්‍යාවක් සිදු කර ඇත. ආරියසේන මුදලාලිගේ ‘කොටා අලියා’ගෙ හටගෙන තිබුණු විශාල ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර සුවපත් කිරීමට ප්‍රදීප් සමත් වී ඇත. දළදා මාලිගාවේ ඇත් පන්තියේ ‘තායි රාජාගේ’ සද්දන්ත ශරීරයේ තිබුණු ගෙඩිය පුලුස්සා ප්‍රතිකාර කර තිබේ. මීරිගම ‘කුමර අලියා’ගෙ ශරීරියේ හටගෙන තිබුණු ගෙඩිය ද පිලිස්සීම් ශල්‍යකර්මයකින් සුවපත් කර තිබේ. එම ශල්‍යකර්මය පහසුවෙන් සිදු කළ නොහැකි බව ද ප්‍රදීප් පැවසුවේ ය.
“අලි – ඇතුන්ට පහසුවෙන් ප්‍රතිකාර කරන්න බෑ. ඒ සතුන් පහසුවෙන් ප්‍රතිකාර කරන්න දෙන්නෙත් නෑ. වෛද්‍යවරයෙක් කිට්ටු වෙනකොට ප්‍රතිකාරයක් කරන්න හදන බව අලි – ඇතුන්ට දැනෙනවා. සමහර අලි – ඇතුන් අපි කිට්ටු වෙනවටත් අකැමැතියි. අල්ලන්නවත් දෙන්නෙ නෑ. වෛද්‍ය දංගොල්ල ඇවිත් ඉන්නකොට නිදාගන්නෙ නැති අලි – ඇතුන් ඉන්නවා. ඒ, ඉන්ජෙක්ෂන් ගහයි කියන බයට. තුවාලයකට ප්‍රතිකාරයක් කළත් ගානකට ගන්නෙ නැති අලි – ඇතුනුත් ඉන්නවා. මීරිගම කුමර ඇතාගෙ ගෙඩියට ප්‍රතිකාර කරන්න කකුල පුච්චනකොට එයා කෑම කෑවා. අපි දිහා බැලුවේ නෑ. කිසිම ගානක් නෑ. මොරැවත්තෙ වලව්වේ ‘දන්නොරුව අලියා’ගෙ ගෙඩිය පුලුස්සල ප්‍රතිකාර කරන්න කිහිප සැරයක් අපිට යන්න වුණා. ඇත්ගොව්ව එකතු වෙලා අලියව අවශ්‍ය විදිහට බැඳගෙන තමයි අපිට එන්නෙ කිව්වේ. ඒත් අපි ළඟට ගිහම පළාතම දෙවනත් වෙන්න කෑගහල දැඟලුවා. එහෙම දඟලනකොට පිලිස්සීම් ප්‍රතිකාර කරන්න බෑ. දවස් ගාණක් ගිහින් පිලිස්සීම් ප්‍රතිකාර කරල අලියව සුවපත් කළා. ඒ විදිහට ප්‍රතිකාර කරල මැරෙන්න ගිය අලි – ඇතුන්ගෙ ජීවිත බේරල තියෙනවා. ඒත් මගෙ තාත්තගෙ ජීවිතය බේරගන්න බැරි වුණා…” ප්‍රදීප් සංවේදී විය.
පියසේන මියනපලාව අකාලයේ මියපරලොව ගොස් ඇත්තේ ප්‍රතිකාර කරමින් සිටි අලියෙක් පහරදීම නිසා ය. එම පහරදීම සිදු වී ඇත්තේ 2002 වර්ෂයේදී ය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 56 කි. පහරදීම සිදු කර ඇත්තේ නුවර කතරගම දේවාලයේ ‘උදය’ අලියා ය. කම්මුල්වල මද හිරවී ගෙඩි හටගෙන දැඩි වේදනාවෙන් පසු වූ උදය අලියා කාලයක්ම මියනපලාව වෙදගෙදර බැඳගෙන ප්‍රතිකාර කර ඇත. පියසේන මියනපලාවට පහරදී ඇත්තේ අලියාව වතුරේ දාගෙන සිටියදී ය. නැවතත් ප්‍රදීප් කතාවට සම්බන්ධ විය.
“අපේ අත්ත, තාත්තට වෙදකම පුරුදු කළා. අලි – ඇතුන් පරීක්‍ෂා කරන්න යන හැම අවස්ථාවකදීම තාත්තාව එක්කරගෙන ගියා. ප්‍රතිකාර කරන අවස්ථාවලදී ළඟින් තියාගෙන පුරුදු පුහුණු කළා. පුතාට වඩා වෙදකම පුරුදු කළේ මුනුපුරාට. ඒත් තාත්ත අපිට වෙදකම පුරුදු කළේ නෑ. අයියවයි මාවයි ළඟින් තියාගෙන බලහත්කාරයෙන් වැඩ ගත්තා. අත්උදව්කරුවන්ට රහසිගත බෙහෙත් හදන්න දුන්නෙ නෑ. තාත්ත කියන බෙහෙත් පැළෑටි ඇත්ගොව්වො සොයාගෙන ආවාට පස්සෙ, බෙහෙත් කෙටෙව්වෙ අපි දෙන්නට කියල. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන සෑම අවස්ථාවකම අත්උදව්වට ළඟින් තියාගත්තෙ අපිව. ඒක තමයි මගෙ පුහුණුව. හැම බෙහෙතක්ම හැදුවේ මමයි, අයියයි. ඒත් අලි වෙදකම පුරුදු වෙනවට වඩා මගෙ ආසාව වුණේ අලි බලන්න. ඇත්ගොව්වෙක් වෙන්න. අයියා බෙහෙත් හදන එකට මුල් තැන දීලා ඒ වැඩ කරගෙන ගියා. අලි පස්සෙ වැඩිය ගියේ නෑ. මම තාත්ත එක්ක අලින්ගෙ පස්සෙ ගියා. සමහර අවස්ථාවල තාත්ත එපා කියද්දී මම අලි පස්සෙ ගියා. එහෙම ගිහින් තමයි අලි බලන්න ඉගෙනගත්තෙ…” දිප්පිටිය රාජකීය මහා විද්‍යාලයේ 1 වසර පන්තියෙන් අධ්‍යාපනය ආරම්භ කර ඇති ප්‍රදීප් මියනපලාව 6 වසර පන්තියේදී අරණායක රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වී ඇත. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී ඇති ප්‍රදීප්, එම පාසලේම කලා අංශයෙන් උසස් පෙළ විභාගය ද සමත් වී ඇත.
“හය වසර පන්තියේ ඉගෙනගන්න කාලේ ඉඳල තාත්තා මාව වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තා. සමහර දවස්වලට ඉස්කෝලෙ ඇරිල ඇවිත් බත් කාලා අත හෝදනකොට තාත්තා කතා කරල බෙහෙත් කොටන්න භාර දෙනවා. ඒ වෙලාවට නම් කේන්තිත් යනවා. ලොකු අසනීපයක් තියෙන අලියෙක් ගෙදර හිටියොත් අපි ඉස්කෝලේ ඇරිල ගෙදර එන්න ප්‍රමාද වෙනවා. එහෙම කට් කරනකොට තාත්තට තේරෙනවා. එතකොට ෆනිස්මන්ට් එකටත් එක්ක රෑ වෙනකම් බෙහෙත් කොටන්න දෙනවා. අයියවයි මාවයි අලි වෙද හෙදකම්වලට සම්බන්ධ කරගත්තට අක්කාව සම්බන්ධ කරගත්තෙ අඩුවෙන්. ඒත් අපේ අම්මා අලි වෙදකම හොඳට ඉගෙනගෙන තියෙනවා.
ගෙදර හැමෝම වෙදකම දැනගෙන හිටියත් අලි තුන් හතරදෙනෙක්ට බෙහෙත් හදනව කියන එක ලේසි නෑ. අලි – ඇතුන්ට බෙහෙත් කොටන තරම් අමාරු වැඩක් තවත් නෑ. බේසම්, තඹ හැළි පිරෙන්න බෙහෙත් කොටන්න ඕනෑ. අලියෙක්ට පත්තුවක් හදනකොට තඹ හැළියක් පිරෙන්න හදන්න ඕනෑ. එච්චර ගොඩක් හදලත් දවස් තුනක් පත්තුව බඳිනකොට ඉවර වෙනවා. බෙහෙත් වර්ග හොයන්න නම් ඇත්ගොව්වො වගේම ගමේ වැඩිහිටියොත් අපිට උදව් කළා. අදටත් මට බෙහෙත් හොයල දෙන්නෙ තාත්තාට බෙහෙත් හොයා දුන්න පරණ කෙනෙක්. ඒ මිනිස්සු කැලේ හැදෙන බෙහෙත් වර්ග හොඳට හඳුනනවා. බෙහෙතෙ නම කියනකොට කැලේ කොතැනද තියන්නෙ කියල දන්නවා. අලි – ඇතුන්ට ප්‍රතිකාර කරන්න ගන්නෙත් මිනිසුන්ගෙ ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් වර්ගමයි. ප්‍රතිකාර සඳහා ගන්න බෙහෙත් ප්‍රමාණය, පිළියෙල කරන ක්‍රමය වෙනස්. ඒ වගේම අලි ප්‍රතිකාරවලදී බෙහෙත්වල සැර වැඩි වෙන්න ඕනෑ…”
රෝගී අලි – ඇතුන්ගෙ ජීවිත බේරාගැනීමට අතිශය අවදානම්සහගත මෙහෙවරක නිරත වී සිටින ප්‍රදීප් මීයනපලාවට ද ‘අලි වෙදකම’ එපා වූ අවස්ථාවක් තිබේ. ඒ අලියෙක් පහරදීමකින් පියා මියගිය අවස්ථාවේදී ය. පියාගෙ අභාවයත් සමග වනජීවී දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි ප්‍රදීප්ගෙ සහෝදරයා ද රැකියාවෙන් සමුගැනීමට තීරණය කර ඇත. එහෙත් පියාගෙ මියයෑමෙන් පසු මාස හතරකට වැඩි කාලයක් වෙද වෘත්තියෙන් ඉවත් වී සිටීමට ප්‍රදීප්ලට ඉඩ ලැබී නැත. හෙම්මාතගම ගනේගෙදර ඇතින්නට අසනීප වී ප්‍රතිකාර ලබාගැනීමට අලි අයිතිකරුම මියනපලාව මහගෙදරට පැමිණ ප්‍රදීප්ට බුලත් හුරුලක් දී වෙද මහත්තයා කියා ආමන්ත්‍රණය කර ඇතින්නට ප්‍රතිකාර කරන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඉල්ලීමට ප්‍රතිචාරයක් දැක්වීමට නොහැකිව අසරණ වූ ප්‍රදීප් අසල පුටුවක හිඳගෙන සිටි මව දෙස බලා තිබේ.
“මේ මහත්තෙලාගෙ ඉල්ලීම අහක දාන්නත් බෑ නෙවැ. ගිහින් ඇතින්න බලලා ඕක විතරක් කරල නතර කරමු…” ප්‍රදීප්ගේ මව එසේ උපදෙස් ලබා දී ඇත. ඇය චන්ද්‍රලතා ය. රෝගී අලි – ඇතුන්ට වෙදකම් කරන ඇතැම් අවස්ථාවලදී අදටත් ප්‍රදීප් මවගෙන් උපදෙස් ලබා ගන්නා බව අප සමග පැවසුවේ ය.
අලි වෙදකම අවසාන නැත…
තරංග රත්නවීර

A day in the life 
ජීවිතයෙන් දවසක් .

0 ප්‍රතිචාර: