2026-04-07

4/07/2026 10:00:00 pm


වෙනත් තැනක දැකිය නොහැකි, කෞරව වාංශික අවමංගල්‍යයකදී විතරක් දැකිය හැකි කුල සිරිත්.
මාගේ පියා වූ මාධ්‍යවේදී සිරිසේන ගලප්පත්ති මහතා පසුගිය මාර්තු මාසයේ අභාවප්‍රාප්ත වුණා. ඔහුගේ අවමගුල් පෙරහැරට අදාළ ඡායාරූප මාගේ ෆේස්බුක් අඩවියේ මවිසින් පළ කළා. සාමාන්‍ය අවමංගල්‍ය පෙරහැරක නොමැති අංග රැසක් එකී අවමගුල් පෙරහැරට එක්ව තිබුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබුණා. සෑහෙන පිරිසක් මගෙන් මේ ගැන විමසමින් ඇමතුම් ලබා දුන්නා. මේ ලිපිය ලිවීමට මා අදහස් කළේ ඒ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන්...
එදා මගේ පියාගේ දේහයේ හිස පැත්තට ‘මුතු කුඩයක්’ ඉහළා තිබුණා. ඒ වගේම දේහය දෙපසින් ‘කඩු දෙකක්’ රැඟත් දෙදෙනෙක් ගමන් කළා. දේහය රැඟත් අවමංගල්‍ය පෙරහැර ඉදිරියෙන්ම ‘සන්නස් කොඩිය’, ‘මකර කොඩිය’, ‘සඳ කොඩිය’, ‘ඉර කොඩිය’, ‘සේසත් දෙකක්’, ‘හෙල්ලවල් දෙකක්’, ‘ත්‍රිශූල දෙකක්’ සහ දේහය දෙපසින් මැදට වන්නට ‘චාමර දෙකක්’ රැඟත් පිරිසක් ගමන් කළා. දේහය රැඟෙන යන්නේ ‘පාවාඩ’ මතයි.
මෙම චාරිත්‍රය සිදු කෙරෙන්නේ ‘කෞරව වංශය’ එසේත් නැතිනම් ‘කරාව කුලයේ’ පුද්ගලයෙකුගේ අවමගුල් පෙරහැරකදී පමණයි. ඒ කියන්නෙ මේක කුල චාරිත්‍රයක්. මේක රජ දවස, සන්නස් පත්‍රයකින් ලබාදීපු ගෞරවයක්...
කෞරව වාංශිකයන්ට ගෞරව පිණිස පරාක්‍රමබාහු මහ රජතුමන් විසින් ශ්‍රී ජයවර්ධනපුරයේදී මෙම ආලවට්ටම් සහ මුරායුද සහිත දෑ මෙන්ම රජුගේ කොඩියද සිය උත්සව අවස්ථාවන්හි භාවිතා කිරීමට අවසර ලබාදී ඇති බව එම සන්නස් පත්‍රයේ දැක්වෙනවා. මේවා ලබාදීමේදී රජතුමා සැලකිල්ලට අරන් තියෙන්නෙ, කෞරව වාංශිකයින් විසින් දකුණු ඉන්දීය ආක්‍රමණ වලදී ඔවුන් පරාජය කිරීමත්, රටේ සමුද්‍රීය ආරක්ෂාව ඒ කියන්නෙ නාවුක හමුදාව හැටියට ඔවුන් කළ සේවයත් ඇතුළු තවත් විවිධ වීරක්‍රියා නිසාවෙන්.

මේ මුතුකුඩ, සේසත් සහ ආලවට්ටම් ගෙන යාම ආවාට ගියාට කරන දෙයක් නොවෙයි. කෞරව වංශ කුල පරම්පරානුගත චාරිත්‍ර අනුව මෙම උපකරණ අත දැරිය හැකි අය කවුරුන්දැයි සන්නස් පත්‍රයකින් පරාක්‍රමබාහු රජතුමා විසින් නියම කර තිබෙනවා. ඒ අනුව මෙම උපකරණ ගෙන යාමට හිමිකම පහත පරිදි වෙනවා...,
1. මුතු කුඩය - මිය ගිය අයගේ බෑණා විසින්.
2. කඩු දෙක - මියගිය අයගේ මස්සිනාවරුන් දෙදෙනෙකු විසින්.
3. සන්නස් කොඩිය - මියගිය අයගේ පවුලේ ප්‍රභූවරයෙකු විසින්
4. මකර කොඩිය - මියගිය අයගේ පිය පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙකු විසින්
5. සඳ කොඩිය - මියගිය අයගේ මව් පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙතු විසින්
6. ඉර කොඩිය - මියගිය අයගේ මව් පාර්ශ්වයේ වැඩිහිටි කෙනෙතු විසින්
7. සේසත් දෙක - මියගිය අයගේ පිය පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
8. හෙල්ල දෙක - මියගිය අයගේ මව් පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
9. ත්‍රිශූල දෙක - මියගිය අයගේ පිය පාර්ශ්වයේ දෙදෙනෙකු විසින්
10. චාමර දෙක - මියගිය අයගේ පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු විසින්
මීට අමතරව ‘පොරි ඉසීමට’ ගැහැණු දරුවන් දෙදෙනෙක් යොදවන අතර, දේහය පිටුපසින් ‘තුවක්කු කරුවන්’ දෙදෙනෙක්ද ගමන් කරනවා. තුවක්කු කරුවන් විසින් අවමගුල් පෙරහැර පිටුපසින් ගමන් කරමින් ඉහළට වෙඩි තබමින් තමයි දේහය සමඟ ගමන් කරන්නෙ. (1988/89 සමයෙන් පසු මෙම චාරිත්‍රය වියැකී ගියේ ආරක්ෂක හේතූන් මත වගේම නිවෙස් වල තිබූ ලයිෂන් තුවක්කු ජවිපෙ විසින් ඔවුන් සතු කර ගත් නිසා. පසුව තුවක්කු වෙනුවට රතිඤ්ඤා පත්තු කිරීම කළා. දැන් නැවතත් එම කටයුත්ත සිදුකරන අවස්ථා විරළව දැකගත හැකියි. මගේ පියා තුවක්කු භාවිතය ප්‍රතික්ෂේප කළ අයෙක් නිසා එම චාරිත්‍රය ඉටු කිරීමට අප උනන්දු වුණේ නෑ.) ඒත් මීට පෙර මියගිට මාගේ මවගේ මෑණියන් වූ ජයසේකර පටබැඳිගේ කරුණාවතී (මාගේ මිත්තනිය) ගේ සහ පටබැඳි මද්දුමාගේ මනිමෙල් සිල්වා සීයාගේ දේහය පිටුපස සිට බෝර 12 තුවක්කුවකින් වෙඩිමුර පැවැත්වුවා. ඒ කාර්යය එදා ඉටුකළේ යුද හමුදාවේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ සේවය කළ, මේජර් සේනක ගලප්පත්ති විසින්. මම කොලු කාලයේ හම්බන්තොට සීයා (ඔලොක්කු පටබැඳිගේ සමන් රෝහණ හෙවත් හම්බන්තොට මාමාගේ පියා) ගේ අභාවය වෙලාවේ දේහය පිටුපස යමින් වෙඩි තබා ඉවත ලන පතුරම් කොපු එකතු කළා මතකයි.
ඒ අනුව මගේ පියා, සිරිසේන ගලප්පත්ති මහතාගේ දේහය සහිත අවමංගල්‍ය පෙරහැරේ මුරායුද සහ ආලවට්ටම් රැඟෙන ගමන් කළ දෙපාර්ශ්වයේ කෞරව වාංශික පරපුර මතු දැනගැනීම සඳහා මා මෙසේ සටහන් කරන්නම්.
1. මුතු කුඩය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් කමල් සෙල්ලාහැන්නදි යන බෑණා විසින්.
2. කඩු දෙක - දඔගස්ආර ඥාති පරපුරට අයත් සෝමදාස පටබැඳි මද්දුම සහ පටබැඳි මද්දුමාගේ ලලිත් ඔස්මන් යන මස්සිනා වරු දෙදෙනා විසින්.
3. සන්නස් කොඩිය - දඹගස්ආර ඥාති පරපුරට අයත් ලොකු යද්දෙහිගේ සරත් යන පවුලේ ප්‍රභූවරයා විසින්.
4. මකර කොඩිය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් මානික්ක බදුගේ නලින්ද යන ඥාතිවරයා විසින්.
5. සඳ කොඩිය - බෙලිඅත්ත ඥාති පරපුරට අයත් නිමල් එදිරිවීර යන ඥාතිවරයා විසින්.
6. ඉර කොඩිය - දික්වැල්ල අලුත්ගොඩ ඥාති පරපුරට අයත් ෂෙල්ටන් එදිරිවීර යන ඥාතිවරයා විසින්.
7. සේසත් දෙක - අම්බලන්තොට ඥාති පරපුරට අයත් ජයසේකර පටබැඳිගේ ප්‍රේමසිරි සහ බඳගිරිය ඥාති පරපුරට අයත් හැන්නදි ගමගේ ගාමිණී යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
8. හෙල්ල දෙක - දික්වැල්ල අලුත්ගොඩ ඥාති පරපුරට අයත් නුවන් එදිරිවීර සහ කොළඹ ඥාති පරපුරට අයත් මනුමිත සත්නද ගලප්පත්ති යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
9. ත්‍රිශූල දෙක - හක්මණ ඥාති පරපුරට අයත් අනිල් රත්නවීර පටබැඳිගේ සහ දඹගස්ආර ඥාති පරපුරට අයත් ලොකු හැන්නදිගේ රුවන් චාමර යන ඥාතිවරුන් දෙදෙනා විසින්.
10. චාමර දෙක - කොළඹ ඥාති පරපුරට අයත් යුත්මි යුදඟනා ගලප්පත්ති සහ බෙලිඅත්ත ඥාති පරපුරට අයත් කවිනි සෙල්ලහේවා යන ඥාති දියනියන් දෙදෙනා විසින්.
11. පොරි ඉසීම - කොළඹ ඥාති පරපුරට අයත් රිත්මි රනුජනා ගලප්පත්ති සහ දික්වැල්ල ඥාති පරපුරට අයත් චමිති ගලප්පත්ති යන ඥාති දියනියන් දෙදෙනා විසින්.
ගලප්පත්ති පරපුරේ මෙම කුල චාරිත්‍ර ඉටු කිරීම මාගේ පියා වන සිරිසේන ගලප්පත්ති මහතා විසින් මා වෙත භාර කළේ මීට වසර ගණනාවකට ඉහතදී බව මම සඳහන් කරන්න කැමතියි. ඒ සඳහා උපකාර කරගැනීමට ‘කෞරව වංශය’ නමැති පොත ඔහු විසින් මා වෙත පිරිණමමින් මෙම චාරිත්‍ර ඉදිරියට ගෙන යන ලෙස මට නියම කරනු ලැබුවා. මාගේ පියා වූ සිරිසේන ගලප්පත්ති මහතාට එම වගකීම පවර තිබුණේ ඔහුගේ පියා වූ (මාගේ සීයා වූ) ජෝන් ද සිල්වා ගලප්පත්ති මහතා විසින්. කෙදිනක හෝ මෙම වගකීම් පවුලේ සුදුසු අයෙකු වෙත භාරදීම මා විසින්ද ඉටුකළ යුතු වගකීමක් බව කියන්න අවශ්‍යයි. එසේ වගකීම පැවරෙන්නාට මා සන්තකයේ ඇති කෞරව වංශය පාරම්පරික පොත මා පිරිනමනු ඇති...
මෙය කුලවාදය කරපින්නාගෙන යාමක් ලෙස යම් කෙනෙකුට සිතෙන්නට පුළුවන්. එහෙත් පරම්පරා කුල සිරිත් ආරක්ෂා කිරීම අපි වගකීමක් ලෙස සලකනවා. ඒ වගේම මම වෙනත් කුල පරම්පරාවල් වල පවතින මෙවැනි කුල සිරිත් අධ්‍යනය කරනවා. ඒවාට ගරු කරනවා. ඒ පිළිබඳ ඇති ලේඛන සංරක්ෂණය කරනවා.
ඔබ කුමන කුලයට අයත් වුවත්, පටු කුල භේදය කරපින්නාගෙන යාම වෙනුවට, පැරණි කුල සිරිත් ආරක්ෂා කළ යුතුයි කියලයි මගේ විශ්වාසය සහ ඉල්ලීම.
මෙහි දැක්වෙන්නේ මාගේ පියාගේ අවමගුල් පෙරහැරේදී මෙම චාරිත්‍ර ඉටුකළ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයකි.


_උපුටා ගැනීම උපුල් ගලප්පත්ති ගෙනි
A day in the life 
ජීවිතයෙන් දවසක් .
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: