Saturday, June 08, 2024

පොඩ්ඩිගේ කථාව - නවවෙනි දිගහැරුම.








අම්මාට අනුුව නම් සමීර සම්බන්ධව මෙනෙහි කරමින් සිටීම නතර කරන්න කාලයයි.

ඒත් රබර් බෝලයක් දියේ ඔබා ගෙන ඉන්නා තාක් දිය යට තිබී එය අත හැරිය විට යලිත් උඩ එන්නාක් මෙන් ඉපිද ඉපිද මියයන සිතිවිලිද පාලනය කරගත නොහැකිව යලි යලි මතුවෙයි.

සේපාලි කීවාක් මෙන් අපි කාලයට ඉඩ දිය යුතුව තිබේ .

මම සාමාන්‍ය පරිදි දවසේ වැඩ කටයුතු කරගෙන යාම පටන් ගෙන තිබිනි. පරිගණක තිරය මගේ විවේකය උදුරා ගෙන ඇත. පස්වරු පහ පමන තෙක් එක දිගට වැඩ කරන මට කලාතුරකින් කාර්ය බහුලවේ. එසේ නොවුන හොත් පහෙන් පසු පරිගණකය මා මුදවා හරියි.

දිනපතා කාර්යාලයට යනවාට වඩා මගේ කාලය , විවේකය ඉතිරිව තිබේ. මගට ඇතිවන ගමන් බිමන් තෙහෙට්ටු ව නිසා ඇතිවන පීඩාවද දැන් නැත.

ජල,විදුලි, ගෙවල්කුලී වැනි ජීවන වියදම්ද නොමැති නිසා සෑහෙන මුදලක් තැන්පත් මුදල් බවට පත්වේ.

ජීවිතය මුදල් පමනක් නම් මා තෘප්තිමත් ජීවිතයක් ගත කරන්නියකි.

සමීරගෙන් කිසිදු හැලහොල්මනක් නැත.මා බලාපොරොත්තුවු කිසිදු ප්‍රතිචාරයක් මේ වනතුරු ඔහුු දක්වා තිබුනේ නැත.මට ඔහුගේ පැවත්ම පුදුමයකි.නීතිමය බැදීම් වලින් නිදහස් විය යුතුව ඇතත් , මා එයට පෙරමුණ ගත යුතු නැතැයි අම්මාගේ අදහසයි.

අම්මා සමග ඒ ගැන කතාබහක් ඇතිවු විටක “ උඹ දැන්මම වෙන කසාදයක් කරගන්නයයැ “ සමීර කරන දෙයක් බලමු. යයි කීවා මිසක මා ඒ පිලිබදව උනන්දු නොකලාය.

පහසු විටක නීතී උපදෙස් ගත යුතුයැයයි මම සිතුවෙමි.

මගේ දවස වෙනස් වෙමින් නැවුම් වෙමින් පැවතිනි. සමහරක් දිනවල අම්මාගේ වැඩ කටයුතු නිසා ද දවස වෙනස් විනි. පෝය දාට අම්මා සිල් සමාදන්වීමට පන්සල් යයි. ඈ සමග තනියට පන්සල් යාමට මට පුුරුද්දක් ඇතිවිනි.අම්මා අට සිල් සමාදන්ව උපාසිකාවෝ සමග එක්වු විට පන්සල් බිම පිරිසිදු කිරීමේ කටයුතු වලට දායකවී පෙරවරුවේම මම ආපසු එමි.

මෙසේ පන්සල හුරුවන විට තව තවත් සමාජ සම්බන්ධතාද ගොඩනැගෙන්නට විනි. විහාරස්ථානයේ නේවාසික ස්වාමීන් වහන්සේලා පනහක් පමන සිටි. පිටතින් පැමිනෙන ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිරිවෙන පවත්වන දිනවලට පැමිනේ. ලොකු හාමුදුරුවන්ගේ ආගමික ජීවිතයට වඩා වැඩිසමාජ මෙහෙවරක් මගේ අවධානය ලබා ගනිමින් තිබිනි.

ලොකු හාමුදුරුවන් හා කල කතාබහකදී හතලිහක් පමන සාමනේර හාමුදුරුවන් පිලිබදව හෙලිවු කරුනු අනුවේදීනිය වුවාය. කෙනෙක් පියවරු නොමැතිව අසරනවු පවුලකය. තවකෙනෙක් මව සහ පියා දෙදෙනම නැත. තවත් කෙනෙක් නඩත්තු කර ගත නොහැකිව හාමුදුරුවන්ට බාර දුන් කෙනෙක්ය. සියල්ලටම පොදුවු එක් කරුනක් වුයේ දරිද්‍රතාවය නිසා නඩත්තු කර ගත නොහැකි දරුවන්ය. මේ සියල්ලෝ ලොකු හාමුදුරුවන් බාරයට පත්වී තිබීනි.

ලොකු හාමුදුරුවන්ගේ සුවිශේෂ ගුණයක් වුුයේ තම දායකයින්ට කරදර නොකරමින් මේ පිරිස නඩත්තු කිරීමය. පන්සල සතු කුඹුරු බත සැපයීමට තරම් ප්‍රමානවත් විනි. එළවළු සෑහෙන ප්‍රමානයක වගා බිමක් විය. ඉඩකඩම් බදු දීමෙන් මුදල්ද ලැබිනි.හාමුදුරුවන්ට ගෝල බාල පිරිස නඩත්තු කිරීමට ප්‍රමානවත් ආදායමක් ලැබිනි.

පියානන් සිටින අවධියේ පන්සලට උදව් උපකාර කරන පුරුද්දක් තිබිනි. එහෙත් ඔහුගේ වියෝවෙන් පසුව අප අතින් එම කටයුත්ත මග හැරී ඇති බව සිහිපත්වීනි.

අම්මා සමග කතා බහ කර හාමුදුරුවන්ගේ සමාජ සත්කාරකයට හවුල්වීම ඇරඹුවෙමි.

මේ සත්කාරයට මාසිකව හවුල්වීමෙන් පන්සල් සමාජයත් මාත් අතර නව සම්බන්ධතාවයක් ඇතිවිනි.

A day in the life