Chamila Shyamalie Gamage
එයා මුලින්ම පාසල් ගියේ 2009 වසරේ..
එතකොට එයාට කථන ආබාධ තිබුණා ..
එයා කතා කරපු වචන බොහොමයක් අනිත් අයට පහසුවෙන් තේරුම් ගන්න බැරි වුණා ..එයා නිවැරදිව උච්චාරණය කළේ අම්මා කියන වචනය විතරයි ..
පියවරෙන් පියවර කාලය අරගෙන සැකසිය යුතු උපත් දෝෂයක් එක්ක එයා ගොඩක් පීඩා වින්ඳා..
ඒ වෙද්දි එයාගෙ සැත්කම් තුනක් විතර තමයි අවසාන කරලා තිබුණෙ ..
ඉතිං , මේ කරදර එක්ක ගැටෙන එයාට අධ්‍යාපනය ගිලිහෙමින් තිබුණා ..පාසලේ එක ,දෙක වසර වල එයාගෙ ගුරුතුමිය ගෙන් එයාට උදව්වක් ලැබුණෙම නෑ..
පාසල් යන්න බෑ කියලා එයා බොහෝ දිනවල උදේට ඇඬුවා..
ඒ කාලෙ තමයි මටත් ,එයාගෙ තාත්තා ටත් ජීවිතේ ගෙවුණු නරකම දවස් ගෙවුණෙ ..
එයාගෙ පංතිය වෙනස් කරලා දෙන්න කියලා ඒ කාලෙ හිටපු විදුහල්පති ගෙන් ඉල්ලුවට වැඩක් වුණේ නෑ...
බොහොම ඉවසීමෙන් තමයි එයාගෙ පාසලේ ඒ වසර දෙක අපි ගෙවාගත්තෙ..
එයා ඉගෙනීමට දුර්වල දරුවෙක් විදියට ඒ ටීච එයාව හංවඩු ගැහුවා..
ඇත්තටම එයා හිටියෙ පංතියෙ අන්තිම වෙනියො පස්දෙනා අතරෙ..
සමහරවිට පංතියෙ ළමයි 47 ක් නම් එයා 46 වෙනියා වුණු වෙලාවල් තිබුණා ...
ලොකු පුතා ඉතාම හොඳින් තමන්ගෙ අධ්‍යාපන ප්‍රගතිය පෙන්වද්දි ,දෙවනි පුතා ගෙ ඒ තත්වය එක්ක එයාගෙ තාත්තා යි මම යි නොසෑහෙන්න දුක් වුණා ..
ඒත් අපි ඒ තත්වයට මුහුණ දෙන්න හිත හදාගත්තා ..
එයාගෙ සැත්කම් ටික හරියකට අවසාන කරලා අඩුපාඩු ටික හදලා හොඳ මනුස්සයෙක් විදියට එයාව සමාජගත කරන අරමුණ විතරයි අපි දෙන්නට තිබුණෙ ..
මාසෙකට වතාවක් හෝ දෙකක් රෝහල් සායන වල, අවුරුද්දකට වතාවක් මුහුණ දෙන සැත්කමක්,
ඒ විතරක් නෙවෙයි , වයස අවුරුදු නවයෙ විතර ඉඳන් දත් වලට කම්බි දැම්මා..
මේ වගේ බොහොමයක් කරදර විඳින එයාට ඉගෙනීම හොඳින් කරන්න කියලා බල කරන්න අපිට හිත හදාගන්න බැරි වුණා..
එයා පාඩම් කළේ නෑ..වාර විභාග වල ලැබෙන අඩු ලකුණු ගැන එයාට ගානක් වත් තිබුණෙ නෑ..
හැමදාම අඩු ලකුණු ..
ලොකු පුතා ගෙ දෙමව්පිය රැස්වීම් වලට ගිහින් ආඩම්බරෙන් ඔලුව උස්සගෙන සිංහ ධේනුවක් වගේ ඉන්න මම , එයාගෙ දෙමව්පිය රැස්වීම් වලට ගිහිං කොණකට වෙලා ඉඳලා එයාගෙ රිපෝට් එක බෑග් එකේ දාගෙන ගෙදර ආවා...
හැබැයි , කවදාවත් එයාගෙ ගුරුවරු එයාට දොසක් කියලා නෑ..එයාගෙ විෂයන් වල තියෙන දුර්වලතා කතා කරන්න මම ගුරුවරු හමුවෙන්න ගියාම ඒ ගුරුවරු කිවුවෙ එයාගෙ හොඳ ගතිගුණ ගැන විතරයි ..
"හරිම හොඳ දරුවා, ඕනෙ වැඩක් කිවුවොත් කවදාවත් නොකර ඉන්නෙ නෑ..ඉගෙනීමෙ වැඩ ටිකත් උනන්දුවෙන් කරනවා නම් කොච්චර හොඳද.."
එහෙම තමයි එයා ගැන ගුරුවරු කිවුවෙ..
ඇත්තටම කියනවා නම් ඒ කාලෙ එයා පණහට වැඩිය ලකුණු ගත්තෙ දෙමළ විෂයට විතරයි ...
"මේකා ගිය ආත්මෙ වෙඩි වැදිලා මැරිච්ච කොටියෙක්ද මංදා..."
එයාගෙ ප්‍රගති වාර්තා පොත බල බල මම තරහින් එහෙම කියපු දවස් පවා තිබුණා ..
නවයෙ පංතියට ආවට පස්සෙ එයාට අධ්‍යාපනය ගැන උනන්දුව ඇති වෙන්න ගත්තා ...
ඒත් මූලික දැනුම හරියට අරගෙන තිබුණෙ නැති නිසා ලොකු ප්‍රගතියක් පෙන්වන්න තරම් ඒ උනන්දුව ප්‍රමාණවත් වුණේ නෑ..
ඒත් එයා අතහැරියෙත් නෑ..එයාම ගුරුවරු හොයාගෙන සමහර විෂයන් වලට ටියුෂන් යන්න ගත්තා ..මට ලොකු විශ්වාසයක් නොතිබුණත් ඒ උනන්දුව වෙනුවෙන් මට දෙන්න පුළුවන් වුණු හැම සහයෝගයක් ම දුන්නා..
ගණිතය උගන්වපු Indika Rathnayaka සර් සහ දහයෙදි කොමස් උගන්වපු Rathnayaka Gunasekara සර් ගෙ හමුවීම තමයි එයාගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ වුණේ..
රත්නායක සර් ටික ටික එයාගෙ ගණිතය දුර්වලතා මගහැරෙන්න ඉගැන්වුවා..නවය වසරෙදි ගණිතය ට ලකුණු 36 ගත්ත එයා රත්නායක සර්ට පින්සිදු වෙන්න 11 වසරෙ අන්තිම වාර විභාගයට ලකුණු 91 ක් ගත්තා..
සාමාන්‍ය පෙල විභාගයට එයා සූදානම් වෙද්දි තමයි ලොකු පුතා උසස් පෙල සමත් වෙලා කැම්පස් යන්න සුදුසුකම් ලබන්නෙ..
"මටත් කැම්පස් යන්න ම ඕනෙ "
එයා දවසක් මට කිවුවා..
"හරි, ඔයා ලේස්ති නම් මම ලේස්ති යි.."
එයා ගැන එවෙලෙ ලොකු විශ්වාසයක් නොතිබුණත් මම එහෙම කිවුවා..
එයා සා පෙල විභාගයට ලේස්ති වෙන ගමන් තමයි උසස් පෙල කරන විදිය සැලසුම් කළේ..
උසස් පෙලට කොමස් කරන්න එයාට ඕනෙ කිවුවා..එකවුන්ටින් වලට රත්නායක සර් ට කියලා ගෲප් ක්ලාස් එකක් දාගන්න ඕනෙ කිවුවා..
අනිත් විෂයන් වලට හොඳ ගුරුවරු රත්නායක සර් ට කියලා හොයාගමු කිවුවා..
Ruwan Prasanga සර් BS වලටත්
නන්දසේන ලියනාරච්චි සර් ඉකෝන් වලටත් අපි තෝරාගත්තේ එකවුන්ටින් කරන රත්නායක සර් ගෙ උපදෙස් අනුව..
විභාගය කිට්ටු වෙද්දී පළවෙනි ප්‍රශ්න පත්‍රය කරන්න ඉකෝන් උගන්වන Kumara Rathnayake සර් තව දුරටත් උදව් කළා..(මේ ගුරුවරුන්ගේ නම් අහගෙන ලොකු පිරිසක් ඉන්බොක්ස් එනවා..ඒකයි මම නම් දැම්මෙ)
සා පෙල ඉවර වෙලා මාසයක් ඇතුළත අපි එයාගෙ උසස් පෙල පටන් ගත්තා ...විෂයන් තුනටම ගෲප් ක්ලාස් කළේ, ගාල්ලෙ වාණිජ විෂයන් උගන්වන හොඳම ගුරුවරු තුන්දෙනාගෙ තමයි එයා අමතර පංති ගියේ..
සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵල එද්දී එයා උසස් පෙල විෂය නිර්දේශයේ සැලකිය යුතු ප්‍රමාණයක් කරලා ඉවරයි..
සා පෙල ප්‍රතිඵල ත් නරකම නැහැ.A 3, B 4 , C 2 ක් තිබුණා ..ගණිතය ට A තිබුණා ..
උසස් පෙල පංතිය ට ගියාට පස්සෙ පළවෙනි වාර විභාගයෙන්ම එයා පළවෙනියා වුණා ..
BS 100%,
Accounting 92% ,
Econ 88%
ඊට පස්සෙ මට එයා ගැන විශ්වාසය ඇතිවෙන්න පටන් ගත්තා..හැම වාර විභාගයකම ඉහලම ලකුණු තිබුණා ..කැපවීම කියන වචනය ට එයා උපරිම සාධාරණය කළා..
වෙලාව අවෙලාව නොබලා මහන්සි වුණා..පාඩම් කළා..මා එක්ක හැමදෙයක්ම සාකච්ඡා කළා..මම එයාගෙ හෙවනැල්ල වගේ ලඟින්ම හිටියා..ප්‍රශ්න නොතිබුණා නෙවෙයි ...ඒත් ඒ ප්‍රශ්න වලට එයාගෙ අරමුණ වට්ටන්න අපි ඉඩ දුන්නෙ නෑ..එයාගෙ ජීවිත කාලෙට කරපු ලොකුම සැත්කමට එයා මුහුණ දුන්නෙත් උසස් පෙල කරන කාල සීමාවෙමයි...
මගේ ජීවිතේ මට හමුවුණු සුන්දරම මිනිස්සු මම අඳුනගන්නෙ එයා නිසයි..එයාගෙ පාසලේ සහ අමතර පංති කළ ගුරුවරු , එයාගෙ පාසලේ එවකට විදුහල්පතිතුමා සහ උසස් පෙල අංශ භාර සහකාර විදුහල්පතිතුමිය, අපේ පවුලේ යහළු යෙහෙලියන් , එයාගෙ යහළුවො සහ ඒ යහළුවන්ගෙ දෙමාපියන් ..මේ වගේ දිග ලිස්ට් එකක් එයාට හදවතින්ම ආශිර්වාද කළ අය අතරෙ හිටියා..
මම පුතා ලා තුන්දෙනෙක් හැදුවා..ලොකු පුතා කැම්පස් අවුට් වෙන්න ලඟයි..එයා දැන් රැකියාවක..
බාලයා තවම නවයෙ.. මට එයා ගැන පොඩ්ඩක් වත් බය නෑ..එයා තමයි පවුලෙන් දක්ෂම..
අම්මා කෙනෙක් විදියට මට ලොකුම අභිමානයක් දැනෙන්නෙ මලිඳු (දෙවනියා) ලඟ ඉද්දි..හේතුව මොකක්ද කියන්න මම දන්නෙ නෑ..සාමාන්‍යයෙන් හැම අම්මා කෙනෙක් ම තමන්ගෙ දරුවන් හොඳින් ඇතිදැඩි කරනවා..ඔවුන්ගේ ජීවිත හදනවා..
ඒත් මලිඳු කියන්නෙ මම අමාරුවෙන් මහන්සි වෙලා පාස් කළ විභාගයක්...
මලිඳු තමයි මගේ දරුවන් අතරින් අති විශේෂම දරුවා... දරාගැනීමේ ශක්තිය මම තරමටම තිබුණු , උත්සාහවන්තම දරුවා..
දැන් ඇයි මම මේක ලිව්වෙ...??
ඔව්..තව දවස් කිහිපයක් ඇතුළත උසස් පෙල ප්‍රතිඵල එනවා..(2024.06.02 ලියමි)
එයාගෙ ප්‍රතිඵල ගැන අහලා මැසේජ් 100 ක් විතර ආවා.
ඒ නිසා අවසානයට මම ඒක මෙහි ලියන්නම්..
A 3 යි
දිස්ත්‍රික් රෑන්ක් එක 203 )
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.