ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2023-11-21

සීයා බලන්න යන්න ඕනී .





Martino හැම නිවාඩුවකටම දෙමව්පියන් සමග සීයා බලන්න කෝච්චියෙන් යනවා...

එයා තාත්තට කිව්වා..

"මේ පාර මට තනියෙන් සීයා බලන්න යන්න ඕනේ" කියලා...

තාත්තා කැමති උනා. ඉතිං පුංචි Martino ඇදගෙන බෑග් එකත් අරගෙන දුම්රිය පොලේ සිටියා කෝච්චිය එනතුරු...

"ඕනේ කමක් වුනොත් බලන්න.."

කියලා කොලයක් තාත්තා Martino ගෙ පොකට් එකට දැම්මා...

ඉතිං දුම්රියේ ටික දුරක් යද්දී මිනිස්සු හයියෙන් කෑගහන ගතිය චූටි Martinoට දරන්න බැරි වුනා....

මිනිස්සු අමුතු විදියට ඔහු දිහා බලනවා....

තනියෙන් යන්නේ ඇයි කියලා අහනවා....

ඉතිං පැටියට හරි දුකයි. ඇගට ලෙඩ ගතියක් දැනුනා....

කදුළු බිංදු වැටෙන්නට ඔන්න මෙන්න....

කලබල ගතියක් දැනුනා...

පුංචි Martinoට තාත්තා දාපු කොලේ මතක් වුණා...

Martino කලබලයෙන් වගේ සාක්කුවෙන් තාත්තා දාපු කොලේ අරන් කියෙව්වා...

ඒකේ තිබුනේ.....

"පුතේ මම අන්තිම පෙට්ටියේ ඉන්නවා"

කියලා...

අපි අපේ දරුවන් විශ්වාස කරන්න ඕනේ...

දරුවන්ට විශ්වාසයක් ඇති කරන්න ඕනි....

දරුවන්ට අවශ්‍යදේ කරන්න දෙන්න ඕනේ...

දෙමාපියෝ සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ...

ඔවුන්ට හමුවන බාධා, ඔවුන් මොනවා කරන්නද කියලා නොතේරෙන වෙලාවල් ගැන අවධානයෙන් ඉන්න ඕනේ...

දෙමාපියන් ජීවත් වෙනකම් දරුවන්ට ලංව සිටිය යුතුයි...

මතක තබා ගන්න...

" දෙමව්පියන් සැමවිටම අන්තිම පෙට්ටියේ ඉදන් බලාගෙන ඉන්න ඕනේ..."

මෙම සටහන මුණුපොතෙහි හුවමාරුවු බොහෝ ප්‍රසාදයට පත්වු සටහනක්. අපි දරුවන්ගේ පෞරුෂත්වය සංවර්ධණය කිරීම දරුවන්ට ඇති ආදරය නිසා නැති කරනවා.

උදේට පාසල් යන දරුවන්ගේ පොත් බෑගය කර තියාගෙන යන්නේ අම්මා . දරුවත් සමග පාසල් ගේට්ටුව දක්වා යන අම්මලා පාසල අවසන්වන තු රු ගේට්ටටුව ලග.

පාසල තුලට යන දරුවාට පංති කාමරය පිරිසිදු කර ගන්න ඕන නැහැ. එය පවිත්‍ර කරන්නේ සේවිකාවක හෝ සේවකයෙකු විසින්..

එතනින් ඉගන ගන්න ඕන ක්‍රියාකාරකම දරුවට ලැබෙන්නේ නැහැ.

ටීචර් දෙන පත පොතේ ගෙදර වැඩ ගෙදරදී සම්පුර්න කරලා දෙන්නේ අම්මලා.

මේ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් දරුවට ආදරේට අම්මලා කරලා දෙනවා.

සීයලගේ කාලෙට වඩා මුණුපුරු මිණිපිරියන්ගේ කාලය වෙනස්

සීයලාටට ආත්තම්මලාට අභියෝග වලට මුහුණ දෙන්න පෞරුෂත්වයක් ගොඩ නැගුවේ පුංචි කාලේ ඉදන්..

notes of imaginary

2023-11-20

පන්සල් බිම නිසලය .



මමත් අප දෙතුන් දෙනාත්  බුදු මැදුරේ  දෙ අත් වැද ගෙන පිරිත් නුල් පටත් පටලවා ගෙන එකත් පසව දැහැන් ගතව සිටිමි.  හිමිවරුන් කිහිප  නමකගෙ පිරිත් සජ්ජායනය පාලි වචන   සජ්ජායනයේ ඇත්තේ ගීතවත්   බවකි.

බුදුන් වහන්සේගේ සියලූ දේශනා මෙන් ම පිරිත් දේශනා ද වදාළා ඇත්තේ පාලි භාෂාවෙනි. අප අසන කියන සියලූ ගාථාවල කිසියම් රිද්මයානුකූල භාවයක් පෙන්නුම් කරනු ලබන්නේ ද  එබැවිණි.
‘‘
එවං මෙ සුතං, එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ කො අඤඤතරා දෙවතා අභික්‍කන්‍තාය රත්‍තියා අභික්‍කන්‍තවන්නා කෙවලකප්පං ජතෙවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඬ්කමි. උපසඬ්කමිත්‍වා භගවන්‍තං අභිවාදෙත්‍වාඒකමන්‍තං අට්ඪාසි.එකමන්‍තං ඪිතා ඛො සා දෙවතා භගවන්‍තංගාතාය අජ්ක්‍ඞභාසි :-’’

මුලින් දේශනා කල ගාථවේ සිංහල අරුත මෙසේය.

‘‘එක් කාලයක බුදුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටතුමාගේ දෙව්රම් වෙරෙහි වැඩ සිටියෝ ය. එවිට එක්තරා දෙවියෙක් රාත්‍රී පළමු යාමයේ  දී මුළු ජේතවනය ම ඒකාලෝක කරමින් බුදුන් වහන්සේ වැඩසිටි ස්ථානයට සැපත්  වූවේ ය. පැමිණ උන්වහන්සේට ගෞරවාපූර්වක ව වැඳ නමස්කාර කර සිටියේ ය. එසේ ගෞරවාපූර්වකව වැඩ සිටිමින් ඒ දෙවියන් බුදුන් වහන්සේට  මෙසේ කියා සිටියේ ය.’’

පිරිත් පටන් ගන්නේ එසේය. හැම පිරිතකටම නිදාන කතාවක් වෙති. අප නිතර අසන සෙත් පිරිතෙහි ඇත්තේ එදිනෙදා අපේ ජීවිතය පවත්වා ගෙන යාමේදී ඇවැසි වන උපදෙස් මාලාවකි.

 

 අප සියලූ දෙනා පුරුදු පුහුණු වී සිටින්නේ සංඝයාවහන්සේලා විසින් දේශනා කරනු ලබන පිරිත් ශ්‍රවණය කර සාධුකාර පිරිනැමීම පමණි. සැබෑ බෞද්ධයන් නම් කළ යුත්තේ අදාළ පිරිතෙහි වචනාර්ථය මැනවින් අවබෝධ කර ගෙන ඒ අනුව තම දිවි පෙවෙත සකසා ගැනීම යි

 

පිරිත් නුලක් අත බැදීමෙන් ආශිර්වාද ලැබු බවක් ප්‍රදර්ශණය වේ. එය වර්තමානය වන විට මෝස්තරයකි. තරාතිරම දක්වන හැදුනුම් පතකි.

කඹයක් තරම් නූල් බැද ඇති අත්ද  නැතිවා නොවේ

 

 පිරිත් සජ්ඞායනයේ දී පවත්නා රිද්මයානුකූල භාවය නොමැති වූයේ නම් එය ශ්‍රවණය කිරීම සඳහා මිනිසුන් නො පෙළඹෙන බව වෙසෙසින් සඳහන් කළ යුතු නොවේ. එහෙත් අප උකහා ගත යුත්තේ එහි ශබ්ද රසය හෝ රිද්මයානුකූල භාවය නොව අදාළ පිරිතෙහි අඩංගූ වචනාර්ථයයි. 

 නමුදු එදා සිට අද දක්වා කිසිදු බෞද්ධයෙක් මේ පිළිබඳ ව අවධානය යොමු කර ඇති බවක් දක්නට නොලැබේ. 

  

පැයක පමන සෙත් පිරිත් සජ්ජායනයේදී  එකිනෙක ගාථා පැහැදිලි කිරීම විසල් මෙහෙයුමක් නිසා මංගල සූත්‍රයේ මේ ගාථා දෙක උදාහරණයක් ලෙස දක්වමි.

 01. බහු දෙවා මනුස්සාච - මංඞලානි අචින්‍තයුං

      ආකක්‍කමානා සොත්‍ථානං - බ්‍රෑහි මඞගලමුත්‍තමං

 තම යහපත කැමති වන්නා වූ බොහෝ දෙවියෝ ද මංගල කරුණු ගැන සිතූහ. උතුම් මඟුල් කරුණු වදාළ මැනවි.“

මෙම ආරාධනයට බුදුන් වහන්සේ පිළිතුරු දෙන්නේ මෙසේය.

02. අසෙවනා ච බාලානං - පණ්ඩිතානඤ සෙවනා

      පූජාච පුජනියානං - එතං මඞගලමුත්‍තමං

“නුවණ මඳ බාලයන් ඇසුරු නො කිරීම, නුවණැති පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, යන මේවා උතුම් මඟුල් ය. 

 

පිරිත් ශ්‍රවණය කර ඉන් සෙත් ශාන්තියක් ලබා ගැණිමට නම් නුලක් අත බැද දිය පොදක් තොල ගා හිස පිරිමැදීමෙන් කල නොහැකි කටයුත්තකි. පිරිත්

දේශනයේ අන්තර්ගතය තේරුම් ගෙන ඒ අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීමෙන් පමනක් කල හැක්කකි.

 පැවිදි සමාජය ගතානුගතික බවින්  මිදි   වර්තමාන සමාජයට ගැලපෙන පරිද්දෙන්  විවෘතව දහම ගැන සාකච්චා කිරීමට කාලය පැමින තිබේ.  

එසේ හෙයින් සැබෑ බෞද්ධයන්ගේ යුතුකම සහ වගකීම වනුයේ උන්වහන්සේ පහදා දුන් කරුණු කාරණා පිළිබඳ නිවැරදි දෘෂ්ටි කොණයකින් බලා, ඒ සියල්ල නිවැරදි ව ග්‍රහණය කරගෙන තමාගේත් මතු පරම්පරාවේත් යහපත උදෙසා එකී සත්‍යය ලොවට හෙළිදරව් කිරීම ය.


notes of imaginary

2023-11-19

පාපියුම්..මග හැරුණේ ඇයි ....??





ලතා මඬුලු තුරු සෙවණැළි අතරින්
සන්සුන් ගමනින් හිමි වඩිනා සඳ
මාවත රලු තැන් මොළොක් වුණාවද
සිරි පතුලට වෙහෙසක් දැනුණාවද ?

පා ගමනින් වඩිනා සඳ හිමියනි
නො දුටුවේ ද දුක දෝත දරා ආ
සැඩොල් කුලේ ඉපදී සිටි මා රුව
හිස ඔසොවන්නට අවසර නැති වූ...

මාගන්දිය බමුණා දුටු අරුමැසි
පතුල් සටහනක් දුටුවා නම් මම
ගැබක් තුළ ට රිංගන්නේ නෑ යළි
හිමි පා පියුමේ සුවය ලබනු මිස.

සල්මල් සුවඳින් පරසතු කුසුමින්
සිරි පා පියුමේ රොන් සුණු තැවරී
මහ කරුණාවෙන් හිමි නෙත වැසුණේ
හිමියනි ඔබ ....මා නොදුටු නිසයි.

රෝ.සි

notes of imaginary

2023-11-18

නානත්ථ සංඥා.




දහසක් දෙන නිති යන එන
මාවත අයිනෙහි වැජඹුන
වනස්පතියකිය දුටු දන
පිනවන විශ්මය දනවන
 
සිප් හල වෙත යනෙන අතර
සිසුවන් පැතු පලෙහි මිහිර
කුහක අයෙකු මුවින් මැතිර
පලැති රුකකි ගසමි මුගුර

වඩුවෙක් ගස ළඟ නැවතී
වට අඩි මනසින් මනිතී
දොර උලුවහු ජනෙල් ඇතී
නිවෙස් හත අටක් හැදෙතී

පරිසරවේදියෙක් මෙදැක
සිතුවේ මෙය හරි පුදුමෙක
විදුලි කියත් නොදුටුව එක
දිවි හිමියෙන් ගමි ගස රැක
 
මෝලේ හිමිකරු දෑහේ
රුපියල් මල් වැහි වෑහේ
හැම අතු අඟලක් පාහේ
ලොරි දෙක තුනකට සෑහේ

තම විමනින් බැස වඩිනා
රුක් දෙවියකු ඇස ගැටුනා
කදිමයි විසුමට මෙතැනා
සිතුවිල්ලකි පැන නැඟෙනා
 
තරුණ ලියක් මල් වයසේ
පසුකර ගියෙමුත් බොහොසේ
හැගුමක් නොදැනුනි වෙසෙසේ
සිතිවිලි විය දුර අහසේ

පී. ජී. ආරියපාල
notes of imaginary

2023-11-17

මම උණුහුම්ම ප්‍රේමයෙනි



ගොරබිරුම් සද්ද මා වටකර
වියළි කර්කෂ සුළඟ හා සතුරුව
ඉරිතැලුන දිය සිඳුන පොළොවක
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම හරිත පැහැයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
අවනීතිය එතෙනවිට ගෙලෙහි රුවිතෙට
සිහිනය මේ රඟන්නේ ගිලිහෙනු පිණිසය
රහසින්වත් කළ නොහැකි විට රමණය
ප්රේමය රැගෙනවිත් අර අතන මරණය
මියෙන්නට මට ඇවැසි නැත
තවම මම උණුහුම්ම ප්රේමයෙනි
ඉතින්
එක ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
වනන විට නගුට බොහොම වෙිගෙට
නැමෙනවිට කොන්ද බිමට ගෑවෙන තරමට
රඟන හැටි බලන් මොනරකොළ ඕසෙට
බිඳෙනවලු සැණින් රජමැදුරු දොරගුල
නැමෙන්නැති පිටකොන්ද
වනන්නට නගුට කොහිවෙද
මහත්හොරුනි
තුවක්කුවේ ඔය සිදුර කුමකට
විසල් පපුවකට උණ්ඩයක් වුව මිතුරුය
මියෙන්නට මට ඇවැසි නැත
මේ හුස්ම වුව තවම උණුහුම්ය
ඉතින් ප්රේමණීයම වැළදගැනීමක් මට ඇවැසිය
......මම හරිිත පැහැයෙනි .....


notes of imaginary

2023-11-16

එකෙක් වත් කුඩයක් දුන්නේ නෑ .


කමල් මහත්තයා දකින දේවල්  ලියන කොට බලන්න  ආසයි. මේ කතාව ඉවර වෙන කොට සැදැහැත්බවේ සීමාවත්, තැනට සුදුසු නුවනත්  ඇදිලා තිබුනා.

මුණු පොතට කමල් පී අලහකෝන් මහත්තයා එක් කරලා තිබුන මේ වියමන කියවමුකෝ.

අපෙ සාලියගුණවර්ධන මහත්තයා ගෙ පාට පාට කුඩේ නැති වී ඇත.
එතුමා එය ප්රකාශ කළ ආකාරයයි මෙි.
කවියෙකු ලෙස සතතාභ්යාසයේ යෙදීමේ පලය විසින්
මෙම පුවතද උත්ප්රාසය දනවන අයුරින් ඉදිරිපත් කර ඇති ආකාරය මරු ය.
"මට කළ මෙහෙය ඔහුටද කරනු ඇත" අදහසෙහිදී
"ඔහු අතිනුත් කුඩය නැති වේවා!" යන්නද තිබේ.!
"වැහි,කාලයට කුඩ නැති වීම සාමාන්යය ය.
අපේ,වාඩියේ,කුඩයක්,ඇත.
එය කාගේදැයි තවමත් නොදන්නෙමු.
මේ අපේ තවත් මිතුයෙක්ගේ,අත්දැකීමකි.
එදා උදේ බිරිඳ කුඩේ දුන්නේ,
"මතක ඇතිව මේකවත්,ආපහු අරං එනවා!" කියමිනි.
නමුත් කුඩේ,අමතක විය.
බස්සෙකෙන්,බැස ගෙදරට යත්දී වැස්සා වූ වැස්ස නිසා
උදේ බිරිඳ ගේ අනතුරු,ඇගවීම මතක් විය.
දැන් ඉතින්,ගෝරනාඩුව අනිවාර්ය ය.
මිත්රයා කළේ මේක ය.
ඇය හොඳ ආගම්,භක්තිය ඇත්තියකි.
ගෙට ගොඩ වෙන ගමන් හේ,
"හරි අපූරු බෞද්ධයෝ තමයි. මෙහෙ ඉන්නෙ........!"
විස්සෝපයෙන් යුතුව කීවේ ය.
"ඇයි මොකද වෙලා තියෙන්නෙ?" බිරිඳ ඇසුවා ය.
"නෑ හාමුදුරු නමක් පට්ට වැස්සෙ තෙමි තෙමි වඩිනවා!"
"ඉතිං ?"
"ඉතිං....එකෙක්වත් කුඩයක් දුන්නෑ නෙ ?"
"ඉතිං?"
"මම ඔයාගෙ කුඩේ උන්නාන්සෙට පූජා කළා!"

notes of imaginary

2023-11-15

ගොඩ එන්න පුළුවන්..


දවසක් ගොවිපළක හිටපු බූරුවෙක් ගොවිපළේම තිබුණු තරමක් ගැඹුරු ළිඳකට වැටෙනවා... මේ සතා ගොඩට එන්න බැරුව පැය ගණනක් තිස්සේ හයියෙන් කෑගහනවා... මේක ඇහුණු ගොවිපළ අයිතිකාරයා දුවගෙන එනවා... පැය ගාණක් ඔහුත් මේ සතාව ගොඩට ගන්න දන්න හැම උත්සාහයක්ම ගන්නවා... ඒත් වැඩක් වෙන්නේ නෑ...

අන්තිමේදී ගොවියා තීරණයකට එනවා...
දැන් බූරුවාත් වයසට ගිහිල්ලයි ඉන්නේ... ඌගෙන් හරියට වැඩක් ගන්නවත් බෑ... ඒ වගේම තමයි මේ ළිඳත්... මේකෙත් දැන් වතුර හිඳිලා, වියළීලා ගිහිල්ලයි තියෙන්නේ... කරන්න දෙයක් නෑ... බූරුවා ඇතුළේ ඉද්දිම පස් දාලා මම මේ ළිඳ වහලා දානවා... ඇත්තටම බූරුවා ළිඳෙන් එළියට ඇදලා ගන්න වියදම් කරන එකෙයි, ඒකට මහන්සි වෙන එකෙයි තේරුමක් නෑ...
ඔහු ගමේ මිතුරන් කීප දෙනෙකුට විස්තරේ කියලා ළිද ගොඩ කරන්න ඔවුන්ගෙන් උදව් ඉල්ලනවා... ඔවුන් පැමිණ සවල් වළින් වටේ තිබෙන කුණුරොඩු, පස් අරගෙන ළිඳට දාලා ළිඳ ගොඩ කරන්න පටන් ගන්නවා...
දැන් ළිඳ ඇතුලේ ඉන්න බූරුවාට මේ සිද්ධවෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව ඇතුලේ ඉඳන් මහ හයියෙන් දරුණු විදියට කෑගහන්න පටන් ගන්නවා... කට්ටිය දුකෙන් උනත් වෙන කරන්න දෙයක් නැති නිසා, බූරුවාගේ සද්දෙත් ඉවසගෙන දිගටම ළිඳ කුණු සහ පස්වලින් පුරවන්න පටන් ගන්නවා... ටික වෙලාවකින් හැමෝම පුදුමයට පත් කරමින් මේ කෑගහපු බූරුවා නිහඬ වෙනවා... බුරුවා යටවෙලා මැරෙන්න ඇති කියලා හිතන මේ කට්ටිය ළිඳ දිහා බලන්නෙවත් නැතුව, ඒ ගැන තැකීමක් නොකර දිගටම ළිඳ වහන්න පටන් ගන්නවා...
දැන් මෙහෙම සෑහෙන වෙලාවක් ගියාට පස්සේ ළිඳ සෑහෙන ප්රමාණයක් ගොඩවෙලා තිබෙන බව ගොවියාට තේරෙනවා...
ඔහු ළිඳ අසළට ගිහින් බලනවා... කට ළඟටම පිරුණු ළිඳ ඇතුලේ දුටු දෙයින් ගොවියා පුදුමයට පත්වෙනවා...
මෙතරම් කාලයක් නිෂ්ශබ්දතාවයකින් හිටපු බූරුවා පිරුණු කුණු සහ පස් මතින් ළිඳේ කට ළඟටම ළඟාවෙලා හිටපු විදිය දැකපු සියළුම දෙනා පුදුමයට පත්වෙනවා...
මොලේ නැති බුරුවා කියලා කවුරු කිව්වත්, අවශ්යම වෙලාවේදී තමන්ගේ ජීවිතේ බේරගන්න මේ සතා මොලේ පාවිච්චි කරපු විදිය හරි අපූරුයි නේද..? මානසිකව වැටිලා ඉන්නකොට අපි හිතන්න ඕනී, ජීවිතය කියන්නේ හැම වෙලාවේම විවිධ වර්ගවල අපිරිසිදු කුණු එකතුවෙන තැනක්... කුණු නිසා එකතුවෙන අපේ හැම ප්රශ්ණයකින්ම අපි එක පියවරක් හරි උඩට එන්න ඕනි... එහෙම කරන ගමන් අපි අපේ ජීවිතය අත් නොහැර උඩටම ආවොත් අපිට අපි සිටින ගැඹුරුම තැනින් කොහොමහරි ගොඩ එන්න පුළුවන්...

- ධම්මික සමරතුංග -

notes of imaginary

2023-11-14

රාජාලි න්‍යාය.



අයවැය කතා ඉදිරිපත් වෙයි. මේවා  සුරංගනා කතාවන්  ද ? යැයි සිතන තරමට සුන්දරවේ. කල හැකිදේ වලින් සහ  නොකල හැකිදේ වලින්ද  මේ කතා පිරී තිබේ. පාර්ලිමේන්තුවේ නොයෙක් මාදිලියේ කතා කියවමින් කාලය නාස්ති කර අන්තිමේදී වැඩි පිරිසක් පක‍‍්ෂවද ඊට වා අඩු පිරිසක්  විපක්‍ෂවද ඡන්දය භාවිතයෙන් සම්මතවේ.

මෙය පාර්ලිමේන්තුව ඇතිවු දා සිට සිදුවන්නකි. 

මේ කතාව රාජාලියා සහ කපුටා ගැනය. රාජාලියා හා සටන් කිරීමට කපුටා  බිය නොවේ. 225ත් රාජාලියන් වගේයයි මීදුමට සිතේ . වෘත්තීය සමිති විකල්ප සංවිධාන  කපුටන් ගනයට පත්ව තිබේ.

 රාජාලියාට සුවිසල්  පියාපත් තිබේ. තියුණු දෙනෙතකි. හොටය මුවහත්ය. සිරුර ශක්තිමත්ය. ඌ ඉහල අහසේ නිදහසේ පියාසර කරයි.  මේ තේජාන්විත කුරුල්ලාට සටනක් දීමට  , කපුටා ඔහු තමා ගැන තබා ගෙන ඇති අධිතක්සේරු මානසිකත්‍වය නිසාවෙන් ඉදිරිපත්වේ.

කපුටා රාජාලියාගේ  පිට මතට පියාසර කර ලැගුම් ගනී. පිට මත ඉඳගෙන බෙල්ලට කොටමින් ප්‍රහාර එල්ල කරයි.

රාජාලියා ප්‍රතිචාර නොදක්වයි. ඔහු නිදහසේ අහසේ ඉහලට පියාසර කරයි. ඔහුගේ ඉලක්කය අහසේ ඉහලට පියාසර කිරීමයි. ඔහු කපුටා සමඟ සටන් නොකරයි, ඒ සදහා කාලය හෝ ශ්‍රමය නාස්ති නොකරයි. අහසේ තව තවත් ඉහලට පියාසර කරයි.

කපුටාද සටන අත්නොහැර පියාපත් මත ඉදගෙන රාජාලියාට හිරිහැර කරයි. අහසේ ඉහලට යන්න යන්න ඔක්සිජන් හිගවේ. කපුටාට හුස්ම ගන්න අපහසුවේ.  ඔක්සිජන් නොමැතිකම නිසා කපුටා අඩපනවේ. ඉහල අහසේ තමන් පාලන කර ගත නොහැකිව රාජාලියා හා කරන සටන නවතී කපුටා රාජාලියාගේ පිටමතින්  ඇද වැටේ.


notes of imaginary

2023-11-13

අපි අමුතු මිනිස්සු

මුතු ඇටයක ඉපදීලා
සාගරයෙන් වටවීලා
ඒරොප්පෙන් , සැමන් ගේන
පුදුම මිනිස්සු..
පුදුමයි වාගේ පෙනුනට, අමුතු මිනිස්සු..
☹️
ඔසරිය මැද පෙනෙන බඩම
ඩෙනිම මැදින් පෙන්නනකොට
සදාචාරෙ ඔලුවට ගෙන
බනින මිනිස්සු..
වෙලාවකට පුදුමයි, අපි අමුතු මිනිස්සු
☹️
තමන්ගෙ රෙදි ගැලවෙද්දිත්
හෙළුව අතින් වහගෙන හරි
අනුන්ගෙ රෙද්දේ ඇද කුද
හොයන මිනිස්සු..
වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සු
☹️
ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්,
ටැටූ එකෙන් කලර් එකෙන්
මිනිස්සුන්ට සහතික දෙන
අමුතු මිනිස්සු..
නිධානයක නිදන් ඉන්න , අරුම මිනිස්සු
☹️
රයිස් කොත්තු උඩ නැගගෙන
කෝක්‌ බෝතලෙන් සැනහෙන
බෙහෙත් පෙත්තෙ,Side effect
හොයන මිනිස්සු..
දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු
☹️
හොඳම කඩෙන් රෙදි ඇඳගෙන
හොඳම quality බඩු අරගෙන
හොඳම හොරුන් දියවන්නා
යවපු මිනිස්සු..
ඊට පස්සේ රට ඉවරයි , කියන මිනිස්සු
☹️
අනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු..
මුතු ඇටයේ ඉපදුන , අපි අමුතු මිනිස්සු
😔

අයුුලි නුගාරා - FB



















Note of imaginary

2023-11-12

සමාවෙනවද චන්දරේ...






පන්තියේ හැමදාම පළවෙනි
පුටුව මං වෙන් කරගෙන...
දිනෙන් දින හැඩ වෙච්ච රූපෙන්
ඔලුව ඉදිමුනෙ නොදැනිම...
පාරෙ යද්දිත් ගියේ අඩියක්
දෙකක් උඩිනුයි නිතරම...
පොළවෙ උන් අය දැක්කේ නෑ
ඇස් වැහිල තිබු හින්දා මම..
මග තොටේදී ආපු ඇරයුම්
නිමක් නෑ හැඩ හින්දම...
අඳුර ගන්නට එදා බැරිවුන
ලෙංගතුම වූ සෙනෙහස...
කාර් එකටයි සල්ලි වලටයි
ආදරේ කල හින්දම...
සැතපෙන්න උනෙ කඳුළු අතුරා
සයනයේ හැම රෑකම...
දරාගන්නට බැරුව ගුටිබැට
කොට්ටෙ පෙඟුනා කරුවලේ...
නිතර ඉදිමුනු ඇස් වලින් රුව
ගිලිහුනා නොදැනිම වගේ...
තෙල් ගාන්නත් බැරිම තරමට
තැලුම් ඇති හින්දා ඇඟේ...
බරකලා මං ඇඟෙ බර ඒ
බාල්කේ ලනුවේ කොනේ...
පෝස් මෝඩම් අරව මේවා
කපල කොටලා හැමතැනින්...
දුන්න ගෙල සිරවෙලා කියලා
තීන්දුවකුත් තේජසින්...
මල් සැලේ මගෙ මිනිය අතගා
වැටුන උණු කඳුලක බරින්...
අතීතයෙ එක් දිනක් මතකෙට
ආව වෙඩි සැරයක් ලෙසින්...
තාම මතකයි පන්තියේ අග
පේලියේ උන් චන්දරේ...
ආදරෙයි මට කිව්ව රහසින්
කවුරුවත් නැති වෙලාවේ...
රවා එදවස කනට ගැහුවේ
බකල හින්දා චන්දරේ...
කරපු වරදට සමා වෙනවද
අවසාන මොහොතෙදි මගේ...
දැනුන හදතුල තිබ්බ සෙනෙහස
නලල සිපගත් තත්පරේ..
රූපයෙන් මං අන්ධ වුණ මට
සමාවෙනවද චන්දරේ...
දැනුනනම් ඔය ආදරේ බර
දාල යන්නෑ ජීවිතේ...
සසරෙ දවසක් ආයි ලැබුනොත්
ඉඹිනවද නලලත මගේ ?

2023.11.11

notes of imaginary

2023-11-11

සබද ඔහු කන්දකි.





පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ මහත්තයා සහභාගි වුණු සංගීත ප්රසංගයක් පැවැත්වුණා.
ප්රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
“මොකද්ද ප්රශ්නෙ..?“ කපුගේ අහනවා.
“නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
ප්රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
“හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
“ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
“ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
“එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
කපුගේ ලියමින් සිටි ස්වර ප්රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
“එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
ප්රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
“සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
“කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
කපුගේ අහනවා.
අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
“කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
“නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
“කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
කපුගේ අත දිගු කරනවා.
අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
“ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්.
අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
“වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
“ලොකු දුවගෙ වළල්ල සර්. ප්රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“ අමරසිංහ කියනවා.
“වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
“නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
“දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
“සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
“හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“ කපුගේ ප්රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
“මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි.
😐
" සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන - සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන..."

Credits Due to the Original Writer.


notes of imaginary