මහබඹා කෝලම සමන් දේවාල පෙරහැරේ එන සුවිශේෂී ම අංගයකි. මිනිසුන් එය "මහබඹා, මහබබා, මහබඹා කෝලම, මහ පඹයා" යනුවෙන් ද හදුන්වයි.
මහබඹා කෝලමට මුහුණු දෙකකි. එක් පැත්තක පියකරු, පැහැපත් මුහුණකි. එය දෙවිකෙනෙක් බදු ය. අනෙක් පැත්ත බියකරු පෙනුමැති යක්ෂ මුහුණකි. එහි නයි පෙන ද ඇත. දකුණතින් අමෝරා ගත් කඩුවකි. වමතින් ඉණට තබාගත් මල් කළඹකි.
මහබඹා කෝලම අඩි අටක් පමණ උස ය. මේ රූපය පෙරහැරෙහි ගෙන යන්නේ උණ ලී සැකිල්ල ඇතුළට රිංගා ගන්නා පුද්ගලයෙක් විසිනි. හේ යක්ෂ මුහුණ සහ පියකරු මුහුණ සැමට ම පෙනෙනා සේ කැරකි කැරකී ගමන් කරයි.
1852 වර්ෂයේ පළකර ඇති Illustrated London News සගරාවේ පළ වූ චිත්‍රයක දැක්වෙන්නේ එකල සමන් දේවාලය පෙරහැරේ මහබඹාගේ මූර්තීන් දෙකක් රැගෙන ගොස් ඇති බවයි. එමෙන්ම රාජසිංහ රජ දවස ද පෙරහැරේ මහබඹුන් දෙදෙනෙකු ගමන් කළ බව සදහන් වේ.
සමන් දෙවොල ආශ්‍රිත කතාපුවත්වලට අනුව, මහබඹා කෝලම පෙරහැරට එක් වී ඇත්තේ පෙරහැර ආරම්භ වූ සීතාවක රාජසිංහ රජ සමයේදී ම ය. රජතුමා පෙරහැරට සහභාගි නොවන අවස්ථාවල රජු සංකේතවත් කිරීම සදහා මහබඹා කෝලම ගෙනගිය බව එක් මතයකින් කියැවේ.
එහෙත් රජතුමා නියෝජනය කරමින් පෙරහැරේ ගමන් කරන්නේ බස්නායක නිලමේ වරයා ය. මහබඹාගෙන් නිරූපණය වන්නේ සීතාවක රාජසිංහ රජුගේ පාලන තන්ත්‍රයේ ගති ස්වභාවය හෙවත් හොඳ නරක බව සහ රාජ්‍ය පාලන ප්‍රතිපත්තිය වර්ෂයක් පාසා මහජනයාට මතක් කරදීම බව ද ප්‍රකට මතයකි.
සමන් දේවාලයේ දිය කැපීමෙන් අනතුරුව පැවැත්වෙන දිවා පෙරහැරේ ද මහබඹා රුව පෙරහැරේ ඉදිරියෙන් ම ගෙනයයි. මෙසේ මහබඹා කෝලම ඉදිරියෙන් ම ගෙනයාම තුළින් පෙරහැරේ සිත් ඇදගන්නා නිර්මාණ, නර්තන කෙරෙහි ඇති විය හැකි වස්දොස් මග හැරීමට අදහස් කළා විය හැකිය.
මූලාශ්රය - සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල, එච්.එම්. ජයන්ත විජේරත්න
0 comments:
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.