පැරණි ගම්වල හිටිය මිනිස්සු දුර ගැන ඒතරම් හිතුවෙ නැතිවුණාට දුර මනින්න තමන්ගෙම කියල ක්‍ර්‍රමයක් හදාගෙන තිබ්බ. අද මේ කියන්නෙ ඒ වගේ කීපයක් !
1 දඬුබස්නාමානය- :
මෙතෙන්දි මානය කියන්නෙ දුරට කියන තවත් වචනයක් . දඬුබස්නා එහෙම නැත්නම් දුන්නෙන් ගිලිහුණු ඊතලයක් වැටෙන දුර දඬුබස්නාමානයයි!
2 බෙරහඬක්/ සක් හඬක් ඇසෙන මානය-:
මේ මැනීම කලින් එකට වඩා ටිකක් අමාරුයි . හුගාක් පන්සල්වලට ඉඩම් පූජාකරල තියෙන්නෙ මේ විදියට . ප්‍රසිද්ධම එකක් තමා උඩවලවට කිට්ටුව තියෙන සංඛපාල විහාරය . සක් හඬක් ඇහෙන දුරට තියෙන ඉඩම් ඒ පන්සලට පූජා කරල තියෙනවා.
හූවක දුර කියන්නෙත් මේ වගේ හූ හඬක් ඇහෙන දුරකට
3 පේන්තෙක් මානෙ/ ඇස් දිස්ටියක් මානෙ-:
' පේනතෙක් මානෙ එකයායට කුඹුරු ' අපේ ඇහැට පේන තරම් දුරටම කුඹුරු තියෙනවනම් මෙහෙම කියන්න පුලුවන් ! ඇස් දිස්ටියක් මානෙ කියලත් සමහර ගැමියන් කිව්වෙත් මේකටමයි.
4 ඇස් මානෙ/ පේනමානෙ -:
මේක කලින් කිව්ව එකට වඩා වෙනස්! මෙතෙන්දි අදහස් කරන්නෙ යමෙක් හෝ යමක් හොඳට පේන ආසන්නම දුරක්!
' මයේ ඇස් මානෙන් ඈතට යන්න එපා' අම්මෙක් කුඩා දරුවෙකුට කියන්නෙ හොඳට පේනදුරින් ආසන්නයේම ඉන්න කියල !
' කෝ අම්මෙ අප්පච්චි ? පේනමානෙක නෑනෙ !' කියන්නෙත් මේ වගේ ලඟපාත නැතිබවයි.
5 කතුස්ම-:
පැරැන්නො බඩුමුට්ටු ගෙනියන්න කද පාවිච්චි කලා. මේ කදක් එකදිගටම උස්සන් යන්න බෑ. ටිකක් දුර ගිහින් බිමතියල මහන්සි අරින්න වෙනව. ආන්න ඒ වගේ කදක් එක හුස්මට ගෙනියන්න පුලුවන් දුර කියන තේරුමෙන් තමයි කත්+ හුස්ම කතුස්ම වෙලා තියෙන්නෙ !
6 හැතැප්ම-:
තවමත් සැතපුම් / හැතැක්ම / හැතැම්ම වලින් දුර මනින දුර කියන අය ඉන්නව.
ඒ කාලෙ මිනිස්සු ගියේ පයින් . එකදිගටම පයින් එහෙම යනකොට මගදි විඩා නිවාගන්න ඕන . ආන්න ඒ වගේ විඩා නිවාගන්න තරම් දුරක් ආවම හැතැප්මක් ඇවිත් ( සැතපීම- සැතැප්ම)
අපේ ගමේ තියෙනව හැතැක්ම කියල තැනක්. එහෙම කියන හේතුව ගමේ හුඟදෙනෙක් දන්නෙ නෑ. තව හොයනකොට තමයි එක වැඩිහිටියෙක් කිව්වෙ
' ඒ කාලෙ ගාල්ලෙ ඉඳල පයින් උඩුගමට ගිය මිනිස්සු අතරමග ගමන්මහන්සිය නිවන්න නතරවුන නිසා තමයි හැතැම්ම කියන්නෙ . ඒකත් දුරමැන්න ක්‍ර්‍රමයක් '
වන්නි හැතැක්ම :
ඔය වන්නි පැතිවල ඇවිදින්න ගිහින් දුර ඇහුවොත් හැතැම්මක් විතර ඇති කියන්නෙ අනිවාර්යයෙන් සැතැපුම් දෙකතුනක් දුර!!. ඉතින් අපේ අය ඒවට කියන්නෙ වන්නි හැතැප්ම!
7 නුවර යුගයේ සැතපුම හා බණ්ඩාර බඹය -:
නුවර යුගයේ සැතපුමක් ගැන සඳහන් වෙන්නෙ බණ්ඩාර බඹය සමග. බණ්ඩාර බඹය කියන්නෙ කෙනෙක් අත උඩට ඉස්සුවම පාදයේ සිට අතේ කෙලවර දක්වා දුර . සාමාන්‍යයෙන් අඩි8-9 අතරෙ වගේ. ඒ වගේ බඹ 500 ක් සැතැපුමක් විදියට අරන් තියෙනවා.
8 අසනිපාතය-:
අසනිපාතය කියන්නෙ අකුණුගහනවට! මෙතන ඒකෙ තේරුම සඳහන් වෙන්නෙ යම් ශක්තිමත් පුරුෂයෙකුට ගලක් විසිකලහැකි උපරිම දුර විදියට !!
9 පියවර-:
මේක කෙටිදුරක් මනින්නයි යොදාගත්තෙ. අපි ඔයි කැලේ ඇවිදින්න යනකොට පියවරක් කියන්නෙ කකුලක් උස්සල ආයෙත් බිම තියන දුරට ( කැලේ සංචාරය කරණ අය ලේසියෙන් දුර මනින්නෙ එහෙමයි )
ඒක එහෙම උනාට මෙතෙන්දි කකුලෙ විලුඹේ අග ඉඳල මාපටඇඟිල්ල අගට තියෙන දුර තමා පියවරක් වෙන්නෙ. ඔය නිදන්වස්තු තියෙන බවට ලාංඡන තියෙන තැන්වල එතැන ඉඳල නිදානෙ තියෙන දුර කියන්නෙ පියවරවලින්! .
10 ගව්ව / යොදුන -:
ගව් 4= යොදුන් 1
මේක තමයි අතීතයේ මාර්ගවල දුර මැන්න නිල ක්‍ර්‍රමය . නිශ්ශංකමල්ල රජතුමා රටේ ප්‍රධාන මාර්ග මැනල ගව්කණු පිහිටුවල තියෙනවා . ඒ ගව්වලට කිව්වෙ නිශ්ශංක ගව්ව කියල !! . ඒ ගව්ව කොපමණ දුරක්ද කියන්න විස්තර හොයාගන්න නෑ.
ගව්ව ගැන විස්තර ගොඩක් තියෙනවා
දුනු 500= ගව් 1( මෙතෙන්දි දුනු එක කියන්නෙ දුන්නක දිග ( මීටර් 2) නම් මේ විදියට ගව්වක ආසන්න දුර
2 x 500= 1000 යි. මීටර් 1000 ක් විතර
මේ තව විදියක්
අංගුලි 9= වියත් 1
වියත් 2 = රියන්. 1
රියන් 7 = යෂ්ටි 1
යෂ්ටි 20 = ඉස්බ. 1
ඉස්බ 80 = ගව් 1
මෙතන අංගුලි කියන්නෙ මැදඟිල්ලෙ පිටපැත්තෙන් මැද පුරුකෙ දිගට
රියන් 1= අඟල් 18 කියල ගත්තොත් ගව්වක් රියන් 11200 ක් වෙනව (7*20*80 ) . අඩිවලින් නම් 16800ක් . ආසන්න වශයෙන් මීටර් 5000 ක් විතර .
රියනක් කියන්නෙ අඟල් 32 වඩුරියනක් විදියට ගත්තොත් මේ දුර මීටර් 9100 කට ආසන්න වෙනව.
ගව්වක් සැතැපුම් 4ක් ( මීටර් 6500 ක් පමණ ) කියල බොහෝතැන්වල සඳහන් උනත් ඒක ආපු විදිය නම් හොයාගන්න බැරිවුණා .
( ගව්ව යොදුන ඇරුණම අනිත් ඒව ඔක්කොම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙනව. දුර ගැන අදහසක් ඇතිකරගැනීමට විතරයි ඒ කාලෙ අයට අවශ්‍ය වුණේ )
24 Jul 2021
Channa Withana
--Keerthi Deshappriya
2 comments:
සමහර වචන නොදන්නා ඒවා . කස්තුම වගේ
පැරැන්නො බඩුමුට්ටු ගෙනියන්න කද පාවිච්චි කලා. මේ කදක් එකදිගටම උස්සන් යන්න බෑ. ටිකක් දුර ගිහින් බිමතියල මහන්සි අරින්න වෙනව. ආන්න ඒ වගේ කදක් එක හුස්මට ගෙනියන්න පුලුවන් දුර කියන තේරුමෙන් තමයි කත්+ හුස්ම කතුස්ම වෙලා තියෙන්නෙ !
***මහන්සි වෙන තෙක් කද රැගෙන ගොස් කද බිම තියලා ගිමන් හරිනවා. මේ අතර දුර ප්‍රමාණය.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.