මේ දහස සම්පුර්ණ කරන සටහනයි. අපි ගත කරන්නේ මැතිවරණ සමයකයි. තිදෙනෙකු පෙරට එන්න වලි කන මේ දිනවල මෙටාවට ඇත්තේ බරපතල කාර්ය භාරයකි.
එය සැප්තැම්බර් විසි එක්වෙනිදා විසදී යලිත් සන්සුන්වනු ඇති. එතෙක් ඒ කාලගෝට්ය කරදරයකි.
කවියක් ගීතයක් අසා යහපත් සාමිචීයක යෙදෙමින් සිටි කාලය කටුක වදන් වලින් පුරවාගෙන විදවන්න සිදුවීමත් පවක් ගෙවීමකි.
මීදුම පටන් ගත් කාලයේ සොදුරු සිතිවිලි මෙන්ම සංචාරයේ යෙදෙමින් ලද තොරතුරු එක් කරමින් පලකල වියමන් මගේ අතින් අද වියමන් වන්නේ නැති තරම්. එයට හේතුව මානසික විවේකය මෙන්ම සන්සුන් බව නැති කමදැයි හිතාගන්න බැහැ.
එදත් අදත් කාලය වෙනස් 2008 ජුලි ඉදන් මේ දක්වා 2024 සැප්තැම්බර් 14 වෙනිදා කියන්නෙත් අවුරුදු දහසයක් නේ. පුංචි එකෙක් නම් තරුන කාලේ. මම හැටේ ඉදලා හැත්තෑ හයට ඇවිත්.රටත් වෙනස් වෙලා. චන්ද්‍රිකා , මහින්ද , සිරිසේන ගෝඨාභය යුගයන් එවර වෙලා රනිල්……….ඇවිත් යන්න සුදානම් වෙනවා. අනුර යුුගයක් එන්න බලා ගෙන ඉන්නවා . තව දවස් කීයද ?
එහෙම වුනොත් ලාංකීය දේශපාලනයේ නියම වෙනස් වීමක්. ඩී.එස් අත්තිවාරම් දමලා සර් ජෝන් ,ඩඩ්ලි හදා ගෙන ආපු ගොඩනැගිල්ල බණ්ඩාරනායක , සිරිමාවෝ දොර ජනේල් දාලා සිවිලිම ගහපු ජේ. ආර් වැහිපීලි දාලා තීන්ත ගාලා ලස්සන කරපු ගොඩනැගිල්ල ප්‍රේමදාසලා. චන්ද්‍රිකා මහින්දලා ගෘහ භාණ්ඩ වලින් පුරවපු අද පරණ වෙලා දියමලන් කාලා දිරාපත් වෙලා. අනුරලාට මේක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. ගෙදර ඉන්න අයත් කෑ මොර දෙන්නේ අළුත් ගෙයක් ඉල්ලලා.
අනුර මේක කඩා බිද දාලා සමතලා කරයි. ඊට පස්සේ අළුත් ගොඩනැගිල්ලක් හදන්න පටන් ගනියි. එතකම් වැස්සට තෙමෙයි. අව්වට වේලෙයි. අවුරුදු පහකින් අත්තිවාරම විතරක් වෙයිද ? අවුරුදු හැත්තෑහයක් බාස් උන්නැහේලා රොත්තක් කරපු වැඩක් නැහැ කියලා නේ කියන්නේ. අපේ සිහින බොද කරපු ඒ ඇත්තෝ නොසිටින්න දැන් දකින හිනෙවත් බලන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා.
මේ කතා දිරවන්නත් පුළුවන් නොදිරවන්නත් පුුළුවන්. අපි හෙට එක් දහස් එකෙන් අළුත් ආරකින් කතාව පටන් ගනිමු.
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment