Monday, September 02, 2024

ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති දේ යථාර්ථයක්ද?


ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීම ආරම්භ කර තිබේ. ප්‍රධාන අපේක්ෂකයන් අතුරින් මුලින්ම ප්‍රකාශයට පත් වූයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. එය නම් කර ඇත්තේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ වශයෙනි. මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නම් කර ඇත්තේ ‘පස් වසරක මෙහෙයුම – පුළුවන් ශ්‍රී ලංකා’ නමිනි. එසේම සමගි ජන සන්ධානයේ අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට එළිදක්වා ඇත. එහි තේමාව ‘සැමට ජයක්’ යන්නයි. එහෙත් මේ ලිපිය ලියන මොහොත වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වා නැත. අනුව එය සැප්තැම්බර් 02 වැනිදා එළිදැක්වීමට නියමිතය. සර්වජන බලයේ ජනපති අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාද ‘එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්’ යන තේමාවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළිදක්වා ඇත. ජනාධිපතිවරණයට ඇත්තේ තවත් ඉතා සීමිත දින ගණනකි. හැමදෙනාම සිය ඡන්දය භාවිතා කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන කියවාම නොවේ. එහෙත් අවශ්‍ය අයට එක් එක් පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති කියවා, ඒවා කිරා මැන බැලීමට දේශපාලන වේදිකාවේ කියන දේවල්වලට වඩා වැදගත් වනු ඇත්තේ මේ නිල ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති කරුණුය.


මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයකම බොහෝ සුන්දර දේවල් සඳහන්ව තිබිය හැකිය. එහෙත් ඒවායේ කවර සුන්දර දේ සඳහන්ව තිබුණත් රටට සහ මහජනයාට වඩාත් වැදගත් වන්නේ ඔවුන් බලයට පත් වූ පසුව ඇත්තවශයෙන්ම ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළයි. පසුගිය ජනාධිපතිවරණයේ ලක්ෂ 69 ක ඡන්දයෙන් ජයගත් ගෝඨාභය රාජපක්ෂට අන්තිමට සිදු වූයේ කුමක් ද? රට ද බංකොලොත් වී (ඒ සඳහා ඔහුගේ පාලන කාලයට අයත් ආසන්න හේතු මෙන්ම දිගුකාලීන හේතු බලපා ඇත.) ඔහුට එරෙහිව මතු වූ ජනතා විරෝධතාවලට මුහුණ දී ගත නොහැකිව රටින් පලා යෑමටයි. රට පාලනයට අසමත් වූ ඔහු රටින් පැන ගොස් අන්තිමේ ඔහුට ලැබුණු 69 ලක්ෂයේ ජනවරමට පටහැණිව රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ද පත් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික ජනයා ගෝඨාභය රාජපක්ෂගේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය බලා ඡන්දය දුන්නේ නම් පාක්ෂික ජනයාගේ එම අසීමිත අපේක්ෂා ඉටු වූයේ ද? මම තමයි හොඳටම කරේ කීවත් ඔහුට තම ධුර කාලයේ පවා රට පාලනය කරගත නොහැකි විය. එම අසාර්ථක ඉතා කෙටි පාලන කාලය තුළ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ‘සෞභාග්‍ය’ කෙසේ වෙතත් අන්තිමට රටට ණය ටික ගෙවාගෙන යෑමටවත් නොහැකිව රට බංකොලොත් විය. මේ නිසා ජනපති අපේක්ෂකයන්ගේ හෝ ඔවුන් නියෝජනය කරන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල කවර දේ සඳහන්ව තිබුණත් අන්තිමේ දී රටට සහ ජනතාවට වඩාත් වැදගත් වන්නේ එම බලයට පත්වන රජයේ ක්‍රියාත්මක වැඩපිළිවෙළයි.
මේ පසුබිම තුළ අපට මේ සෑම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගැනම සැලකීමට සිදුව ඇත. කෙසේ වෙතත් මේ මොහොතේ අප සිතන්නේ රට තිබෙන්නේ ඉතාමත් තීරණාත්මක මොහොතක බවයි. 2022 වසරේ රට බංකොලොත් වීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ද ඇතිව මේ වන විට රට කිසියම් ස්ථාවර තත්ත්වයකට පැමිණ ඇති බව සත්‍යයකි. එහෙත් අප සිතන්නේ තවමත් රට දෙපයින් නැගිට නැති බවයි. එනම් ආර්ථිකය මුළුමනින්ම යථා තත්ත්වයට පත්ව නැත. පවතින ආර්ථික ස්ථායිතාව ස්ථිර ස්ථායිතාවක් බවට පත්කරගත යුතු වේ. රටේ ජනතාව මේ වන විට විඳිමින් සිටින ආර්ථික පීඩනය සමනය කරගත හැකි වන්නේ එවිටය. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව අනුගමනය කරමින් තවත් කාලයක් ගත කිරීමට අපට සිදු වනු ඇත. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ක්‍රියාත්මක වැඩසටහන අනුගමනය කරමින් එම ආර්ථික ප්‍රතිපත්ති දිශානතියේ අඛණ්ඩව රටට ගමන් කිරීමට සිදුවනු ඇත. මේ ප්‍රතිපත්ති දිශානතිය ලෙස අප විශ්වාස කරන්නේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා අයිඑම්එෆ් සහාය ඇතිව ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මිස රජයේ ආර්ථික වැඩපිළිවෙළම නොවේ. මේ නිසා ප්‍රතිපත්ති දිශානතියේ අඛණ්ඩව ගමන් කිරීමට සිදුවනු ඇතිය යන්න දේශපාලන කතාවක් නොවේ. එහෙත් මේ දෙකේ සම්බන්ධයක් ඇති බව වෙනම කතාවකි. අයිඑම්එෆ් එකඟතා අනුව බදු ඉලක්ක සපුරාගත යුතු බව ඇත්තය. එහෙත් එම බදු ඉලක්ක සපුරා ගැනීම සඳහා බදු අය කර ගන්නේ කවර මාර්ගවලින් ද යන්න පවතින රජයට අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟතා ඇති කරගත හැකිය. මේ නිසා අප සිතන්නේ ඉදිරි ජනාධිපතිවරණයෙන් කවරෙකු බලයට පත් වුවත් මේ ප්‍රතිපත්ති දිශානතියේ ඉදිරියට ගමන් කිරීමට හැකිවනු ඇති බවයි. නව ජනපතිවරයෙක් සහ රජයක් බලයට පත් වූ පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑම ගැන එම රජය සමග ඔවුන් සාකච්ඡා කරනු ඇත.



ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති දේ යථාර්ථයක්ද?
මේ පසුබිම තුළ අප දකින වඩාත්ම ප්‍රමුඛම කාරණය දැනට ක්‍රියාත්මක අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් අනාගත රජය අනුගමනය ප්‍රතිපත්තියයි. සෑම ප්‍රධාන ජනපති අපේක්ෂකයෙක් පාහේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැනට ක්‍රියාත්මක වැඩසටහන ගැන අදහස් දක්වා ඇත. මේ අතරින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය ගැන නම් අදහස් ඕනෑ තරම් ප්‍රකාශයට පත්ව ඇත. ඔවුන් එම වැඩසටහන දැනට ඇති එකඟතා ප්‍රකාරව ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත. එනම් සැලසුම් කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇත. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් මේ ගැන වඩාත්ම අදහස් දක්වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. ඔහු ප්‍රකාශ කර ඇත්තේ අයිඑම්එෆ් සමග සාකච්ඡා කර යම් වෙනස්කම් සහිතව අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කරන බවටයි. එය ද බැරි දෙයක් නොවේ. සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුවහොත් එම නව රජයේ ප්‍රතිපත්ති වෙනස්කම් අනුව අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කළ හැකිය. එසේම අයිඑම්එෆ් එක ද කටයුතු කරන්නේ යම් රටක පවතින රජය සමග මිස දේශපාලන කණ්ඩායමක් සමග නොවේ. මේ නිසා ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජනපති වුවත් එම රජය සමග ද ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් සමග අයිඑම්එෆ් එක සාකච්ඡා කරනු ඇත. එහිදී අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් එකඟතා ඇතිකරගත හැකි නම් ප්‍රශ්නයක් ඇති නොවේ. ප්‍රශ්නයක් ඇති වන්නේ සහ අයිඑම්එෆ් වැඩසටහන අපට අහිමි වනු ඇත්තේ අනාගත රජය අයිඑම්එෆ් සංවිධානය සමග සාකච්ඡා එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත්ය.
මේ අනුව ජාතික ජනබලවේගය විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන’ මැයෙන් යුතුව මේ පිළිබඳව ප්‍රකාශයට පත්කර ඇත. එහි මෙසේ ප්‍රධාන කරුණු පහක් සඳහන් වේ.
දුප්පත් හා අසරණභාවයට පත් කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා නිවැරදි වැඩපිළිවෙළක අඩංගුව හා එය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීම
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති අදායම් පාදක වියදම් කළමනාකරණ (Revenue based fiscal consolidation) යෝජනා නැවත සමාලෝචනය කිරීම සඳහා කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය පිළිබඳ නව යෝජනා ඉදිරිපත් කිරීම
ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කරගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචන කටයුතුවලදී භාවිත කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙල කිරීම (DSA)
රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය සහ ආණ්ඩුවේ වගවීම සහතික කිරීමට හා ණය අවභාවිතය සිදු කළ පුද්ගලයින්ට එරෙහි නීතිමය පියවර ගැනීම සඳහා ආණ්ඩු විසින් ලබා ගත් විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් (Debt Audit) කඩිනමින් සිදුකිරීම
රටේ සහ බැංකු පද්ධතියේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය විනය වැඩි දියුණු කිරීම’
මූලිකවම සඳහන් කළ යුතු වැදගත්ම දෙය නම් ජාතික ජනබලවේගය ද අයිඑම්එෆ් වැඩසටහන සමග ඉදිරියට ගමන් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණය කර ඇති බවයි. එහෙත් එහිදී ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් අනුව අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර නව එකඟතා ඇති කර ගැනීමට එම පක්ෂය අපේක්ෂා කරන බව මේ සඳහන් කරුණුවලින් අපට වැටහෙන දෙයයි. එහි වරදක් නැත. එහිදී අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා අනිවාර්යෙන්ම දෙපාර්ශ්වයම එකඟ විය යුතු වේ. එය මූලිකම දෙයයි. මූල්‍ය අරමුදලේ සහ නව රජයේ එකඟතාවකින් එනම් දෙපාර්ශ්වයේ එකඟතාවකින් තොරව මේ වැඩසටහන ඉදිරියට ගෙනයෑමට ඉඩක් නැත. මෙහි කරුණුවලින් පළමු කරුණ ගැන කිසිම ප්‍රශ්නයක් නැත. දෙවෙනි කරුණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ආදායම් පාදක වියදම් කළමනාකරණ යෝජනා නැවත සමාලෝචනය කිරීම ගැන ද අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කළ හැකිය. එහෙත් මේ කියන කාර්යක්ෂම බදු පරිපාලනය හා ආණ්ඩුවේ වියදම් කළමනාකරණය ගැන ජාතික ජනබලවේගය වචනවලින් කියන දේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ප්‍රතිඵල උදාකරගත ඒවා විය යුතු බව අපගේ අදහසයි. ඕනෑම ජනපති අපේක්ෂකයෙකුට හෝ දේශපාලන පක්ෂයකට ඕනෑම දෙයක් ගැන නව යෝජනා ඉදිරිපත් කළ හැකිය. එහෙත් ප්‍රශ්නය වන්නේ එම යෝජනා මොනවා ද යන්නයි. එසේම ඒවා කොතෙක් දුරට ප්‍රතිඵලදායී ඒවා ද යන්නයි. එහෙත් ඒ ගැන කිසිවක් මෙහි සඳහන් නොවේ. එසේම ඔවුන්ගේ එම නව යෝජනා ගැන අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟතා ඇති කරගත යුතු ද වේ. මෙහි සඳහන් විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය ගැන ද කිව යුතු වන්නේ එය කුමක් ද යන්න තවමත් අප දන්නේ නැති බවයි. එසේම එය ද අයිඑම්එෆ් එක සමග සාකච්ඡා කර එකඟ විය යුතු වේ. විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක ණය විගණනයක් කිරීමේ කරුණ අප ද සිතන්නේ හොඳ දෙයක් බවයි. ආණ්ඩුවලට ඇති තරම් විදේශ ණය ගෙන රටට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය ව්‍යාපෘති ද ක්‍රියාත්මක කළ හැකිය. ඒ හරහා ණයකරුවන් බවට පත්වන්නේ රට සහ ජනතාවයි. එසේම ණය ගෙවීමේ හැකියාව නොසලකා විදේශ ණය ගැනීම ද රටේ ණය තිරසරභාවය නැති වීමට හේතුවක් වූවා විය හැකිය. මූල්‍ය විනය වැඩි දියුණු කිරීම ද රට පවතින ආර්ථික අර්බුදයෙන් තවදුරටත් ගොඩ ගැනීම සඳහා අවශ්‍යම දෙයකි. එහෙත් ප්‍රශ්නය එය කරන්නේ කෙසේ ද යන්නයි. වචනවලින් ඕන කෙනෙකුට මෙවැනි දේ කිව හැකිය. එහෙත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රමවේදය කුමක් ද යන්න තවමත් පැහැදිලි නැත. සියලු ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇති සියලු දේ එකවර සාකච්ඡා කිරීම දුෂ්කර කරුණකි. ඒ නිසා අප මෙහිදී වඩාත්ම අවධානය යොමු කළේ දැනට තරමක් දුරට ස්ථාවර කරගෙන ඇති ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගෙන යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා අයිඑම්එෆ් වැඩසටහන ඉදිරියට ගෙනයෑමේ ප්‍රමුඛ කාරණයයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

A day in the life

0 comments: