1 කුඹුකේ ලිඳ (වියලි කලාපය)
අහල තිබ්බට දැකල නෑනේ. ඔන්න බලන්න මේ කුඹුක් ගස් හෙවනේ ලිඳට තමා ඉස්සර මුතුන් මිත්තන් කුඹුකේ ලිඳ කියලා කිව්වේ.
ගහ යට හෙවන නිසා වතුර සීතලයි. ඒක නිසා නෑමට ගන්නත් පුලුවන්. නමුත් මේ වතුර ඊට වඩා හොඳ බීමටයි. කුඹුක් ගස්වලට වියලි කලාපයේ භූගත ජලයේ තියෙන ඛණිජ හා ලවණ වර්ග උරාගැනීම නිසා සාමාන්‍ය ජලයට වඩා බීමට සුදුසුයි.
ඒකාලෙ මිනිස්සු හුණු වෙනුවට කුඹුක් පොතු පුච්චලා අඟුරු අරන් තියෙනවා බුලත්විටට.
කුඹුක් ගහ යට ලිං හාරල වගේම ලිඳ ලඟ කුඹුක් ගහක් හිටවලත් මේ ලිං හදාගත්තා. වැඩිපුර තිබ්බෙ වියලි කලාපෙ උනත් අපේ වත්තෙත් තිබ්බා මේ වගේ ලිඳක්. ඒකෙ ලිඳේ ගල්බැම්ම අස්සෙන් කුඹුක් මුල් කැරලි කැරලි ලිඳ ඇතුලට ඇදිල තිබ්බා.
2 ඌරාකැට ලිඳ (තෙත් කලාපය)
මේ ලිං තෙත් කලාපයේ තමයි දකින්න පුලුවන්. මේවා විවිධ නම්වලින් හැඳින්වුණා.
ඌරුකැටේ , ඌරුකොටේ , ඌරාකැට වගේ. මෙතෙන්දි ඌරු කියන්නෙ ඌරන්ට සම්බන්ධ වචනයක් නෙවෙයි . ඒකෙන් කියන්නෙ විශාල කියන එක.
උදා:- ඌරුමීයා= ලොකු මීයා, ඌරු හතු = ලොකු හතු, ඌරු සිටාණෝ = මහ සිටාණෝ වගේ
මේව හැදුවෙ සමහර වෙලාවට විශාල ගසක මුල කොටසේ මැද ඉවත්කරල වලල්ලක හැඩේට ලිඳට බස්සල. ලිඳ ඒතරම් ගැඹුරු නෑ.
මේක අමුතු ක්‍රමයක්. මේකට කියන්නෙ ලිං බස්සනවා කියල මිසක් ලිං හාරනව කියලා නෙවෙයි.හොඳ උල්පතක් තියෙන තැනක් හොයාගෙන එතන ටිකක් යටට හාරනවා. අර කිව්ව කොටේ ලිඳ හාරන තැන තියල යට පස් අයින්කරනවා. එතකොට වලල්ල වටේටම ගානට ගිලා බහිනවා උස මදිනම් තව වලලු තියනවා.
ලොකු මැටිගඩොල් වර්ගයක් තියෙනවා ලිං ගඩොල් කියල. ඒව තමා ලීකොටේ වෙනුවට සමහර පැතිවල දාන්නෙ.
ලිඳ හාරල අර ගඩොල් වලල්ලක හැඩේකට ලිඳේ පහල ඉඳන් තියාගෙන එනවා. මේ ගඩොල් වලල්ලක හැඩේට හැදුවම ඉබේම හිරවෙන විදියට පිට රවුම් පැත්තට ලොකුවටත් ඇතුලෙ රවුම් පැත්තට කුඩාවටත් හදන්නේ.
ඉතින් මේ විශාල කොටේ එහෙම නැත්නම් විශාල කැට නිසා මේ ලිං වලට ඌරාකැට ලිං , ඌරා ලිං, ඌරුකොටේ ලිං කියල කිව්වා.
සමහර ලිංවල ඒක වහල තියෙන්න පියනක් පවා හදල තිබුණු බව කියනවා...
ජීවිතය……..
මට හිතුනා තාත්තගෙන් පටන් ගන්න.
ගම්පෙරලියේ ජිනදාස "මලය රටට" යනවා.ඒ කියන්නේ වියලි කලාපයට. ජිනදාස අසාර්ථක වෙනවා.
පියල් කොළඹට සේන්දු වෙලා සාර්ථක වෙනවා.
ගම්පෙරලිය සිදුවන කාලේ දකුනේ උදවිය රැකියා සොයාගෙන දිවයිනේ සී සී කඩ වෙනවා.
දකුනේ නතරවුන අයට ප්‍රශ්න ,ගැටලු විසදා ගන්න දහ අතේ කල්පනා කර කර ඉන්න කොට මේ සී සී කඩ ගිය පරපුර එක එකතැන්වල සාර්ථක වෙනවා.
අසාර්ථකවුනා නම් චූටිම චුටී දෙනෙක්.
දිවයිනේ හැම ගම්පියසකම මාතර වැලිගම අහංගම ගාල්ල නමින් ස්ටෝර්ස් , හෝටල් ,බේකරි.ග්‍රොසරීස් , ටෙක්ස්ටයිල් ව්‍යාපාර ඇරඹෙනවා. මේවා පුංචියට පටන් අරන් ස්ථාවර වෙනවා.
මේවායේ අර්ථපතීන් “ මුදලාලි “ ලා වුනා. වැලිගම මුදලාලි ඉන්නේ හැටන් වල. ඒ වගේ හැම නගරයකම වැලිගම , අහංගම ගාල්ලේ මුදලාලිලා හිටියා.
අන්තිමට කතාවක් හැදුනා “ බෙන්තර ගගෙන් එහා ඉදන් ඇස් ඇරුන පූස් පැටියෙක් වත් මෙගොඩට ගේන්න එපා “ කියලා
මාර්ග පද්ධතිය අද වගේ නොදියුණු ඒ කාලේ කොළඹට නැත්නම් පානදුරේට ඇවිල්ලා තමයි දකුනේ උදවිය සී සී කඩ වුනේ .ඒක කරන්න බෙන්තර ගගෙන් එගොඩ වෙන්න එපාය.
අපේ තාත්තත් ගැටවරකාලේ දකුණට ආයුබොවන් කිව්වා. දැන් වගේ ලොකුවට අඩුම කුඩුම ගොඩක් පොදි බැදගෙන නෙමෙයි.
තාත්තා අබිමානෙට කියන්නේ “ මම ගෙනාවේ සරමයි බැනියමයි විතරයි බන් “ කියලා.
ඒ ඇවිල්ලා නුවරඑළියේ , දික්ඔයේ., තලවාකැලේ තැනින් තැන කලින් කල පලින් පල ඉදලා හපුතලේට ඇවිල්ලා
අහංගම ව්‍යාපාරිකයෙක් ගාවා වැඩ කරලා .
හපුතලේ ව්‍යාපාරිකයාට විවිධ තැන්වල ව්‍යාපාරික ස්ථාන කිහිපයක් තිබිලා .අවසානයේ බෙලිහුල්ඔය තිබුන එතුමාගේ ව්‍යාපාරක ස්ථානයේ කටයුතු කරමින් ඉන්න ගමන්.
.පුංචි කාමරයක් කුලියට අරන් බුලත් දුම්කොල පුවක් වගේ පුංචි පුංචි දේවල් අළවි කරන්න පටන් ගත්තා.
එතන තමයි තාත්තගේ ඇරඹුම.
අපේ උපත. තාත්තාට අම්මා මුණ ගැහුනා. ගෙවල් දොරවල් හැදුවා වතුපිටි උරුම කරගත්තා අහංගමින් සහෝදරයෝ එක් කරගනවිත් එයාලා ව්‍යාපාරිකයෝ කලා.
අවුරුදු අසු අටක් ආයු විද මිය පරලොව ගියා.
අද තාත්තගේ දරුවෝ රත්නපුර දිස්ත්‍රික්කයේ සී සී කඩ ගිහින් පැල වෙලා. සමහරු ඇමරිකාවේ. තවත් සමහරු ඔස්ට්‍රේලියාවේ.ජාතික තලයේ සමාජ සේවකයෝ ,රාජ්‍ය නිළදාරින් ව්‍යාපාරිකයෝ..
තාත්තට සමවෙන්න අපිට කවදාමවත් බැහැ. තාත්තා විශිෂ්ඨයෙක්.
කාලය ගෙවෙනවා ..වසරින් වසරට
දැන් මම ජීවිතය සැදෑසමයේ.
!doctype>!doctype>
0 comments:
Post a Comment