Success is getting what you want. Happiness is wanting what you get.>

සාර්ථකත්වය යනු ඔබ කැමති දේ ලබා ගැනීමයි. සතුට යනු ඔබට ලැබෙන දෙය රැක ගැනීමයි.

Mind precedes all knowables, mind’s their chief, mind-made are they. If with a corrupted mind one should either speak or act dukkha follows caused by that, as does the wheel the ox’s hoof.

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. නොහැර කැටුව යන සෙවණැල්ල මෙනි.

I think nature’s imagination is so much greater than man’s, she’s never going to let us relax.

ස්වභාවධර්මයේ පරිකල්පනය මිනිසාගේ පරිකල්පනයට වඩා බෙහෙවින් වැඩි ය, ඇය කිසි විටෙකත් අපට විවේකීව සිටීමට ඉඩ නොදේ.

But I say to you, Love your enemies and pray for those who persecute you, so that you may be sons of your Father who is in heaven; for he makes his sun rise on the evil and on the good, and sends rain on the just and on the unjust.

නමුත් මම ඔබට කියමි, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න, එවිට ඔබ ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද ඔහු නපුරටද යහපත් අයටද තම හිරු උදා කරවනසේක.

“….so whenever guidance comes to you from Me, then whoever follows my guidance, then there will neither be any fear on them nor will they grieve.” Ayat 38

"....එබැවින් මා වෙතින් ඔබට මගපෙන්වීම පැමිණෙන විට, කවුරුන් හෝ මාගේ මඟ පෙන්වීම අනුගමනය කරයිද, එවිට ඔවුන් කෙරෙහි කිසිඳු බියක් හෝ ශෝකයක් ඇති නොවේ." ආයට් 38.

Monday, September 16, 2024

මීලාද් අන් නබි උත්සවය






ඉස්ලාම් ධර්මයේ ශ්‍රාස්තෘවරයා වන මුහම්මද් නබි නායක තුමාණන්ගේ උපත යෙදෙන මීලාද් අන් නබි උත්සවය අදට (16 වැනිදාට) යෙදී තිබේ. ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබි උනිල් අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමාණෝ උපත ලැබූහ. සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ‍ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙස පිළිගැනේ.

මුහම්මද් නබි නායකතුමන් ක්‍රි.ව.570 දී සෞදි අරාබියේ මක්කා නගරයේදී උපත ලැබූ අතර එතුමන් ක්‍රි.ව. 632 දී සෞදි අරාබියේ මදීනා නගරයේදී අභාවප්‍රාප්ත විය.

මුහම්මද් නබි නායකතුමාණෝ මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් ඉස්ලාම් දහම මගින් ලොවට දායාද කළහ. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරති
කුඩා කල නිසි අධ්‍යාපනයක් නොලද ඔහු තරුණ වියේදී එඩේර ජීවිතයක් ගත කළ අතර පසුව ව්‍යාපාරිකයෙකු ලෙස විවිධ ‍ප්‍ර දේශ වල    සංචාරය කළේ ය.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණ.

අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරදි මගට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ඉස්ලාම් ධර්මය ලොවට හදුන්වා දිමේ අවසාන නබිවරයා වේ. මුස්ලිම්වරුන් සලකන පරිදි මොහු ඉස්ලාම් දහමේ නිර්මාතෘවරයා නොවන අතර මොහු එම දේව විශ්වාසය ආදම් නබි තුමාගෙන් පැවතගෙන එන ඉස්ලාම් දහමේ මුලිකයෙක් මෙන්ම ප්‍රතිසංස්කාරකවරයෙක් ලෙස සලකයි.

A day in the life

Sunday, September 15, 2024

හයිපේශියා


සටහන පාඨලී  මොටාවෙන්.

ඇලෙක්සැන්ඩ්රියාවේ මහා ප්රාඥවරිය, හයිපේශියා
_______________________
ක්රි. ව. 415ත් 416ත් අතර සමයේ එක් දිනෙක ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නුවර මාවතකදී ක්රිස්තියානි ආගමික අන්තවාදීන් පිරිසක් විසින් අශ්ව කරත්තයකින් ගමන් ගනිමින් සිටි කාන්තාවක ඉන් ඉවතට බලහත්කාරයෙන්ම ඇදගනු ලැබුවා. බලහත්කාරයෙන්ම ඇයව ඇලෙක්සැන්ඩ්රියාවේ වූ දෙවස්ථානයකට ඇදගෙන ගිය ඔවුහු එහිදී මෙම කාන්තාවට මිය යනතුරු පහර දුන්නේ අමානුෂික ලෙසිනුයි. මියගිය ඇගේ සිරුර කැබලි වලට ඉරා දැමූ මේ ක්රිස්තියානි භක්තිකයෝ ඉන් අනතුරුව ඇගේ සිරුරේ කොටස් ගින්නට දමා අළු කර දැමුවා. මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑ කාන්තාව කවුද? ඇයට එසේ වීමට හේතුව කුමක්ද?
ඇය නමින් “හයිපේශියා” (Hypatia) නම් වූ අතර, එකල ඇලෙක්සැන්ඩ්රියාවේ විසූ අවසන් මහා ප්රාඥයින් අතුරින් කෙනෙකුද වූවාය. ගණිතය, තාරකා විද්යාව, දර්ශනය සහ තර්ක ශාස්ත්රය යනාදී විෂයන් උගත් ප්රථම කාන්තාවන් අතුරින් කෙනෙක් වූ ඇය එම විෂයයන් ඉගැන්වීමෙහි ද නිරත වූවාය. ඇගේ බුද්ධිය සහ දැනුම් සම්භාරය නිසා පමණක් නොව, ඇයගේ අමානුෂික ඝාතනය නිසාවෙන් ඇය ඉතිහාසගත වුවද, ඇගේ ජීවිත අන්දරය දෙස බැලීමේදී, එම යුගය තුළ විද්යාත්මක චින්තනය හිමි වූ තැන මෙන්ම, ආගමික අන්තවාදීන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් සහ කිසිදු ආගමකට ප්රමුඛත්වය දීමට අකමැති වූ අනාගමික (Secular) කණ්ඩායම් අතර සිදු වූ ඝට්ටනය පිළිබඳවත් මනා චිත්රයක් ගොඩනගාගත හැකියි. මේ ලිපියෙන් ඔබ වෙත දිගහැරෙන්නේ ඒ කතාවයි.
ඇලෙක්සැන්ඩ්රියාවේ “හදවත”
ක්රි. පූ. 331වන සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්යයා විසින් ගොඩනගනු ලැබූ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ හදවත බඳු වූයේ එහි වූ කෞතුකාගාරයයි. එක්තරා ආකාරයක විශ්වවිද්යාලයක් බඳු වූ මෙහි තිබූ පුස්තකාලයෙහි වටිනා දැනුම් සම්භාරයක් රැගත් ආවර්තිත ලිපි ලේඛන (Scrolls) ලක්ෂ පහක් පමණ ගබඩා කොට තිබී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරනවා. නමුත් ක්රි. පූ. 48වන සියවසේදී ජූලියස් සීසර් විසින් ඇලෙක්සැන්ඩ්රියාව ආක්රමණය කිරීමෙන් අනතුරුව මෙම කෞතුකාරය ගිනිබත් කොට දැමූ අතර කලක් පෞරාණික ලෝකයේ දැනුම් සහ සංස්කෘතිකමය සන්ධිස්ථානය ලෙසින් නම් දැරූ ඇලෙක්සැන්ඩ්රියා නගරය කඩා වැටෙන්නට වුණා. ඉන් අනතුරුව එළඹි ශතක හතර පුරාවටම යුදෙව්වන්, ක්රිස්තියානි බැතිමතුන් සහ විවිධ මිථ්යාදෘෂ්ටික කණ්ඩායම් අතර ඇතිවුණු සිවිල් යුදමය තත්වයන්ට මුහුණ දුන් ඇලෙක්සැන්ඩ්රියාවේ ඉතිරිව තිබුණු අවසන් ආවර්තිත ලිපි රැසද විනාශ කෙරුණේ රෝමානු පාලකයින්ගේ අණ පරිදි එම ලිපි සඟවා තිබූ සෙරපීස් නැමති දෙවියන්ට කැපකොට තිබුණු දෙවොල කඩා බිඳ දමා එතැන දෙවස්ථානයක් සෑදීමට පියවර ගත් නිසාවෙනුයි.
පිය ආභාසයෙන් දැනුම ලැබූ හැටි
මහා ඇලෙක්සැන්ඩ්රියානු කෞතුකාගාරයේ සාමාජිකයින් අතුරින් ඉතිරිව සිටි අවසන් සාමාජිකයා වූයේ තියෝන් (Theon) නැමැත්තායි. ගණිතඥයෙකු මෙන්ම තාරකා විද්යාඥයෙකු වූ ඔහුගේ දියණිය වූ හයිපේශියා සිය පියාගෙන් එම විෂයයන් ද්විත්වයම මනා ලෙස උගත්තාය. තියෝන්ගේ පොත්පත් ලිවීම් වලටද උපකාර දුන් ඈ තියෝන් ලියූ විචාරයන්ටද කරුණු සැපයුවාය. තියෝන් විසින් ලියූ බව කියැවෙන ඇතැම් පොත් සැබවින්ම ලිවූයේ හයිපේශියා බවටද කියැවෙනවා.
ස්ව කැමැත්තෙන්ම මෙම විෂයයන් උගත් හයිපේශියා සිය නිවසෙහි සිට මෙම විෂයයන් ඉගැන්වීමෙහිද නිරත වූවා. තම පියාගෙන් ලද ආභාසයෙන් දර්ශන විෂය කරාද යොමු වූ ඈ දාර්ශනිකයකු ලෙසද ප්රසිද්ධ වූ අතර, ඇය විසින් පවත්වන ලද දේශනා ඉතා ජනප්රිය වී තිබෙනවා. බොහෝ දෙනා ඇගේ දේශනාවන්ට සවන් දීමට පැමිණ ඇති බවට ඓතිහාසික වාර්තාවන් පවතිනවා. විශේෂයෙන්ම ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ගුරු ගෝල දාර්ශනික දෙපළගේ ඉගැන්වීම් අර්ථ නිරූපණය කෙරෙන දේශනා ඇය විසින් පවත්වන්නට යෙදුණු බව ඇගේ මරණයෙන් අනතුරුව ඈ පිළිබඳව ලිඛිත සටහන් තැබූ ඩැමැස්කියස් (Damascius) නැති දාර්ශනිකයාගේ ලේඛන වල සටහන්ව තිබෙනවා.
රුව – ගුණ වරුණ
ඓතිහාසික ලේඛනයන් තුළ හයිපේශියාගේ නැණ ගුණය පිළිබඳව පමණක් නොව, ඇගේ රුව ගුණය පිළිබඳව වර්ණනාවන්ද නොමදව දක්නට ලැබෙනවා. ඒවාට අනුව “මනා පෞරුෂත්වයකින් සහ ආකර්ෂණීය කථා විලාශයකින්” පමණක් නොව, “අතිශය ආකර්ෂණීය රුවකින් සහ දිදුලන ඡවි කල්යානයකින් හෙබි මේ රුවැති තරුණිය” කිසි දිනෙක විවාහ වීමේ අදහසක් ඇත්තියක් නොවූ බවද පැවසෙනවා. එකල ඇලෙක්සැන්ඩ්රියාවේ ආණ්ඩුකාරවරයා වූ ඔරෙස්ටස්ගේ (Orestes) සිත ඇය වෙත ඇදී ගියෙ නිතැතින්මයි. නමුත් පසු කලෙක හයිපේශියා වෙත අකාලයේ මරු කැඳවූයේද එම සිත් ඇද ගැනීමමයි.
පෙර සඳහන් කළ රෝමානු පාලකයින්ගේ අණ පරිදි ඇලෙක්සැන්ඩ්රියාවේ පිහිටි අනෙකුත් ආගමික ස්ථානයන් කඩා බිඳ දැමීමේ වගකීම භාරව සිටි තියෝෆිලස් (Theophilus) නැමති ආච්බිශොප්වරයාගෙන් අනතුරුව එම තනතුර හිමි වූයේ ඔහුගේ ඥාති පුත්රයකු වූ සිරිල් (Cyril) නැමැත්තා හටයි. ක්රි. ව. 412දී එම තනතුරට පත් වූ ඔහුද ඔහුගේ මාමා මෙන්ම අන්යාගම් කෙරෙහි දැක්වූයේ මහත් අරුචියක්. ඔහු පත්වූ විගසම ක්රිස්තියානි ආගමේ අනෙකුත් නිකායන්ට අයත් දෙවස්ථාන පවා කඩා බිඳ දැමූ අතර, ඉන් අනතුරුව ඔහුගේ ඉලක්කය වූයේ ඇලෙක්සැන්ඩ්රියාවේ විසූ යුදෙව්වන් ඉන් පිටමං කොට නගරයේ පාලන බලය තමන් අතට ගැනීමටයි.
නගරයේ පාලකයා වූ ඔරෙස්ටස්ද ක්රිස්තියානි බැතිමතෙකු වුවත්, ඔහු පල්ලියට වැඩි පාලන බලයක් ලබා දීමට කැමැත්තක් දැක්වූයේ නෑ. මෙම බල අරගලයේදී යුදෙව් අන්තවාදීන් පිරිසක් විසින් ක්රිස්තියානි බැතිමතුන් විශාල ප්රමාණයක් මරා දැමුණු අතර, ඉන් කිපුණු සිරිල් විසින් උසි ගන්වන ලද ක්රිස්තියානි බැතිමතුන් ඇලෙක්සැන්ඩ්රියාවේ විසූ යුදෙව්වන් ඉන් පලවා හැර ඔවුන්ගේ නිවාස සහ දෙවස්ථාන කොල්ලකෑමට ලක් කළා. ඔරෙස්ටස් විසින් මේ ක්රියාවට තමාගේ විරුද්ධත්වය ප්රකාශ කරමින් එම සිදුවීම පිළිබඳව රෝම අධිරාජ්යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයෙහි රෝමානු පාලන තන්ත්රය වෙත මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.
ඉන් අනතුරුව සිරිල් විසින් සංහිඳියාවෙන් කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබුවද ඔරෙස්ටට් ඊට අවසර ලබා දුන්නේ නෑ. මින් කෝපයට පත් සිරිල් හා සමීප පූජකයින් විසින් ඔරෙස්ටස්ව මරා දැමීමට උත්සාහ කළද එම උත්සාහයන් සියල්ලක්ම ව්යර්ථ වුණා. ඒ ඔරෙස්ටස් වටා විශාල ආරක්ෂකයින් ප්රමාණයක් සිටි හෙයින්. ඉන් අනතුරුව මෙම පූජකයින්ගේ ඉලක්කය වූයේ හයිපේශියාවයි.
මරණයෙන් කෙළවර වූ බල තණ්හාව
ක්රිස්තියානි ආගමික චින්තනයකින් තොර දර්ශනයක් පිළිබඳව පොදු දේශනාවන් පැවැත්වූ හයිපේශියා වටා ආරක්ෂකයින්ද නොමැති වීම යන කරුණු දෙකම උපයෝගී කරගත් ක්රිස්තියානි ආගමික නායකයකු වූ පීටර් නැමැති දේශකයා තම අනුගාමිකයින් පිරිසක් හයිපේශියාගේ ජීවිතය අවසන් කිරීම සඳහා මෙහෙය වූයේ ඉන් අනතුරුවයි.
කෙසේ වෙතත්, හයිපේශියාගේ අකල් සහ අමානුෂික මරණය කෙරෙහි ඔරෙස්ටස්ගේ සබඳතාවය පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණ වී නැහැ. ඔහුගේ මතකයන්ට ගරු කරන්නන් පවසන්නේ ඔහු ඊට වගකිව යුත්තෙකු නොවන බවයි. නමුත් ක්රිස්තියානි පල්ලියට එරෙහි පුද්ගලයින් පවසන්නේ හයිපේශියාව බේරා ගැනීමට හැකියාවක් තිබූ නමුත් ඔහු ඊට නිසි පියවර නොගත් බවයි. ඉතා දුලබ ගණයේ චරිතයක් වූ හයිපේශියාගේ මරණය ඈ සොයා ආවේ එලෙසයි.
අන්තවාදී ආගමික චින්තනයන්ගේ ගොදුරක් වූ හයිපේශියා අද වන විට ලොව පුරා ස්ත්රීවාදීන්ගේ මෙන්ම අනාගමිකයින්ගේද නොමද ආදරයට සහ ගෞරවයට චරිතයක් බවට පත්ව හමාරයි. හයිපේශියාගේ චරිතය ඇසුරින් 2009 වසරේදී “අගෝරා” (Agora) නමින් ස්පාඤ්ඤ-ඉංග්රීසි චිත්රපටයක්ද නිපදවා තිබෙනවා. (නමුත් චිත්රපටයේ පිටපතට පාදක වී ඇත්තේ මනඃකල්පිත සිදුවීමක්).
බුද්ධිමය වටිනාකම්, නව සොයාගැනීම් සහ තුන්වෙනි සියවසේ නැගී ආ චින්තන දාමයන් වෙනුවෙන් පෙනී සිටි හයිපේශියා නම් වූ අනභිභවනීය ස්ත්රී චරිතය වර්තමානයේදීත් බොහෝ දෙනාට ආදර්ශමත් චරිතයක් ලෙසින් ගෞරවයට පාත්ර වී අවසන්.

A day in the life

Saturday, September 14, 2024

Horreos



horreo යනු ස්පාඤ්ඤයේ වයඹ දිග ප්‍රදේශයේ, විශේෂයෙන් Galicia, Asturias සහ Cantabria හි බහුලව දක්නට ලැබෙන සම්ප්‍රදායික ධාන්‍යාගාරයක් හෝ ගබඩා ගොඩනැගිල්ලකි. ගබඩා කර ඇති ධාන්‍ය හෝ ආහාර තෙතමනය හා පළිබෝධකයන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මෙම ව්‍යුහයන් සාමාන්‍යයෙන් කුළුණු හෝ කණු මත බිමෙන් ඔසවනු ලැබේ. Horreos ඔවුන්ගේ අද්විතීය වාස්තුවිද්‍යාත්මක සැලසුම මගින් සංලක්ෂිත වේ, වායු සංසරණයට ඉඩ සලසන බිත්ති හෝ විවරයන් සහිත සෘජුකෝණාස්‍රාකාර හෝ දිගටි හැඩයක් දක්වයි.
horreos ගොඩනැගීම සියවස් ගණනාවක් ඈතට දිව යයි, සමහර උදාහරණ මධ්‍යතන යුගය තරම් ඈතට දිව යයි. ඉරිඟු, තිරිඟු සහ අනෙකුත් ධාන්‍ය වැනි බෝග මෙන්ම අර්තාපල් සහ බෝංචි වැනි අනෙකුත් ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා ඒවා මුලින් භාවිතා කරන ලදී. Horreos හි උස් මෝස්තරය ගබඩා කර ඇති භාණ්ඩ වියළි හා මීයන් සහ කෘමීන්ගෙන් ආරක්ෂා කර ගැනීමට උපකාරී වේ.
Horreos යනු ක්‍රියාකාරී ව්‍යුහයන් පමණක් නොව ඒවා බහුලව පවතින කලාපවල සංස්කෘතික වැදගත්කමක් දරයි. ඒවා බොහෝ විට සංකීර්ණ කැටයම්, සංකේත හෝ රටා වලින් සරසා ඇති අතර, දේශීය ශිල්ප හා සම්ප්‍රදායන් පිළිබිඹු කරයි. ආහාර ගබඩා කිරීම සඳහා ඔවුන්ගේ ප්‍රායෝගික භාවිතයට අමතරව, horreos ස්පාඤ්ඤයේ ග්‍රාමීය ජීවිතයේ සංකේතයක් බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ඓතිහාසික හා වාස්තුවිද්‍යාත්මක වටිනාකම අගය කරන සංචාරකයින් සහ අමුත්තන් ආකර්ෂණය කර ඇත.
A day in the life

Friday, September 13, 2024

දාහක්.




මේ දහස සම්පුර්ණ කරන සටහනයි. අපි ගත කරන්නේ මැතිවරණ සමයකයි. තිදෙනෙකු පෙරට එන්න වලි කන මේ දිනවල මෙටාවට ඇත්තේ බරපතල කාර්ය භාරයකි.

එය සැප්තැම්බර් විසි එක්වෙනිදා විසදී යලිත් සන්සුන්වනු ඇති. එතෙක් ඒ කාලගෝට්ය කරදරයකි.

කවියක් ගීතයක් අසා යහපත් සාමිචීයක යෙදෙමින්  සිටි කාලය කටුක වදන් වලින් පුරවාගෙන විදවන්න සිදුවීමත් පවක් ගෙවීමකි.

මීදුම පටන් ගත් කාලයේ සොදුරු සිතිවිලි මෙන්ම සංචාරයේ යෙදෙමින් ලද තොරතුරු එක් කරමින් පලකල වියමන් මගේ අතින් අද වියමන් වන්නේ නැති තරම්. එයට හේතුව මානසික විවේකය මෙන්ම සන්සුන් බව නැති කමදැයි හිතාගන්න බැහැ.

එදත් අදත් කාලය වෙනස් 2008 ජුලි ඉදන් මේ දක්වා 2024 සැප්තැම්බර් 14 වෙනිදා කියන්නෙත් අවුරුදු  දහසයක් නේ. පුංචි එකෙක් නම් තරුන කාලේ. මම හැටේ ඉදලා හැත්තෑ හයට ඇවිත්.රටත් වෙනස් වෙලා. චන්ද්‍රිකා , මහින්ද , සිරිසේන ගෝඨාභය යුගයන් එවර වෙලා  රනිල්……….ඇවිත් යන්න සුදානම් වෙනවා. අනුර යුුගයක් එන්න බලා ගෙන ඉන්නවා . තව දවස් කීයද ?

එහෙම වුනොත් ලාංකීය දේශපාලනයේ නියම වෙනස් වීමක්. ඩී.එස් අත්තිවාරම් දමලා සර් ජෝන් ,ඩඩ්ලි හදා ගෙන ආපු ගොඩනැගිල්ල බණ්ඩාරනායක , සිරිමාවෝ දොර ජනේල් දාලා සිවිලිම ගහපු ජේ. ආර්  වැහිපීලි දාලා තීන්ත ගාලා ලස්සන  කරපු ගොඩනැගිල්ල ප්‍රේමදාසලා. චන්ද්‍රිකා මහින්දලා ගෘහ භාණ්ඩ වලින් පුරවපු  අද පරණ වෙලා දියමලන් කාලා දිරාපත් වෙලා. අනුරලාට මේක කොහොමවත් ගැලපෙන්නේ නැහැ. ගෙදර ඉන්න අයත් කෑ මොර දෙන්නේ අළුත් ගෙයක් ඉල්ලලා.

අනුර මේක කඩා බිද දාලා සමතලා කරයි. ඊට පස්සේ අළුත් ගොඩනැගිල්ලක් හදන්න පටන් ගනියි.  එතකම් වැස්සට තෙමෙයි. අව්වට වේලෙයි. අවුරුදු පහකින් අත්තිවාරම විතරක් වෙයිද ? අවුරුදු හැත්තෑහයක් බාස් උන්නැහේලා රොත්තක් කරපු වැඩක් නැහැ කියලා නේ කියන්නේ. අපේ සිහින බොද කරපු ඒ ඇත්තෝ නොසිටින්න දැන් දකින හිනෙවත් බලන්න වෙන්නේ නෑ කියලා හිතෙනවා.

මේ කතා දිරවන්නත් පුළුවන් නොදිරවන්නත් පුුළුවන්.  අපි හෙට එක් දහස් එකෙන් අළුත් ආරකින් කතාව පටන් ගනිමු.



A day in the life

Thursday, September 12, 2024

මා ලුණු කැටයක්...




මා
ලුණු කැටයක්...
ඕනෑම මට දිය වෙන්න...
පතුළක්
නැති තරම්
ගැඹුරු මහ මුහුඳට...
විසල්
මහපොළොවේ
සිනිඳු දුහුවිලි අතරට.....
දිය වෙලා සැඟවෙන්න....
මහා වෘක්ෂයන්ගෙන්
සුසැදි
වනන්තරයෙක
පස යටින් සැඟවුණු
මුදුන් මුල්
කේෂ මූලයන්
පසාරු කොට ඇවිදින්
ළපැටි දළු දක්වාම
විසිරෙන්න...
මලක් පැහැ ගන්වන්න..
රසැති පළයක දියවී
ඔබේ සිරුරට එන්න...
ඔබේ සියොළඟ සතපා
යළිත් පොළොවට යන්න...
වැසි දියේ සේදී
මහා මුහුඳට පිවිසෙන්න...
වෙළී වා තලයේ
වළාකුළු තුළ සැතපෙන්න...
අනෝරා වැස්සක
යළිත් පොළොවට පිවිසෙන්න...
ඕනෑම මට දිය වෙන්න...
වියළි ලේවායක
ලවණ දියවර කොටු කර
ගිණියම්
හිරු රැසින්
යළිත් ඔබ මා දැව්වොත්...
සුදුපාට
රළු පරළු
කැටයකට
යළි යළිත්
ඔබ මාව පෙරළුවොත්...
ඒත්
මට ඕනෑම
යළි යළිත්
ඔබ නමින්
දිය වෙන්න...
මා
ලුණු කැටයක්...
ඕනෑම මට දිය වෙන්න....
- විජිතමාලි ආනන්දකුමාර

A day in the life

Wednesday, September 11, 2024

සව් Sago



මොනවද මේ " සව් " ?
සව් බිව්වට මොකද ගොඩක් දෙනා දන්නේ නැහැ මේ "සව් " කියන්නේ මොනවද කියලා ...
" සව් " වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියනවා.
එකක් තමයි Sago Palms (Metroxylon Sagu) ගස් වල කඳෙන් ලබා ගන්නා පිටි වලින් හදන සව් ...
අපි ලංකාවේ කිතුල් පිටි හදන විදිහට තමයි සාගෝ පිටි හදන්නේ .



මීට අමතරව තවත් Plams වර්ගයේ ගස් වලින් " සව් " හදනවා ... ( Metroxylon salomonense , Metroxylon amicarum )

නිව්ගීනියා රටේ ප්‍රධාන ආහාරය සැකසෙන්නේ මේ Sago Palms ගස් වලින් සකස් කරගන්නා පිටි වලින් ...
ඉන්දුනීසියාව හා මැලේසියාව තමයි ලෝකේ ප්‍රධානතම " සව් " පිටි නිෂ්පාදකයින් වෙන්නේ ...
සාමාන්‍ය Sago Plams ගහක් පිටි ගන්න තත්වයට පත්වෙන්න අවුරුදු 8 -10 පමණ කාලයක් ගතවෙනවා ..
හොඳින් වැඩුනු ගහකින් එකවරකට කිලෝ 150 - 300 ක් විතර ගන්න පුළුවන් ...

මේ ගස්වල මල පීදෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ තමයි වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ ...

මීට අමතරව " සව්" හදන්න භාවිතා කරන තවත් ගස් වර්ගයක් වෙන්නේ " සයිකස්" (Cycas revoluta ) ...
මේ ගස බොහෝම හෙමින් තමයි හැදෙන්නේ ...
මේ ගසේ කඳෙන් වගේම මුල් සහ ගෙඩි වල මදයෙනුත් " සව් " පිටි නිෂ්පාදනය කරන්න පුළුවන් ...
නමුත් මේ සමහර සයිකස් වර්ග ඉතා විෂ සහිතයි ...
" සව් " නිෂ්පාදනය කරන ඊළඟ වඩා ප්‍රසිද්ධ ක්‍රමය තමයි මඤ්ඤොක්කා පිටි භාවිතා කිරීම...
මෙය අඩු වියදමින් " සව් " නිෂ්පාදනය කරන විකල්ප ක්‍රමයක් ...
නියම " සව් " මිලදී ගන්න අවශ්‍ය නම් නිෂ්පාදකයාගේ විස්තර හොඳට කියවල බලල තමයි මිලදී ගතයුතු වන්නේ ...
ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ඉන්දියාව, යන රටවල ප්‍රධාන වශයෙන් මේ මඤ්ඤොක්කා පිටි තමයි භාවිතා කරන්නේ ...

ඉඳලා හිටලා සව් කැඳ එකක් බොන අපිටනම් මේ දෙක වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙන එකක නෑ ...

හැබැයි ඉතින් " සව් " කැඳ විතරක් නොබී අනිත් රටවල් වල වගේම කෑම බීම හැදුවොත් දන්සැල් වලට සීමා නොවී Healthy and Posh " සව් " නිෂ්පාදන අපේ රටේ තරු පන්තියේ අවන්හල් වලත් දැකගන්න පුළුවන් වේවි ...
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ
ඩී. එච්. ජේ. කේ. කීර්තිරත්න මහතා ගොවිකම් සඟරාවට ලියූ ලිපියක් උපුටා පල කරමි ...
උපුටා පලකිරීම,
එච්. ඒ. එල්. සමිත්‍රී,
ව්‍යාප්ති නිලධාරී
(1920 කෘෂි උපදේශන සේවාව ),
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
A day in the life

Tuesday, September 10, 2024

පැරණි හෙළ ගොවියා.



හේන් ගොවිතැන.

ඉපැරණි ශිෂ්ටාචාර විමසීමෙදි ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වුයේ කෘෂිකර්මාන්තයයි. හේන් ගොවිතැන මූලිකම අංශයයි. මිනිසා දියුණු තාක්ෂණික ලොවකට පියමං කර සිටින මේ මොහොත වන විට පවා ගැමි ආර්ථිකයේ හේන් ගොවිතැනට ප්‍රධාන තැනක් හිමි වේ. ස්වයංපෝෂිත අර්ථික ක්‍රමය වෙනස් වීමත් සමගම පැරණි හේන් ගොවිතැනේ තිබු ඇතැම් අංග ක්‍ෂය වී යාමක් දැකිය හැකිය. එම නිසා අතීතයේ මේ හා බැඳුනු අංගෝපාංග විමසීම වටී.
ශ්‍රී ලංකාවේ පැරණි සිංහල ජනාවාස වැව් හෝ ජලාශ ආශ්‍රිතව ස්ථානගත විය. ගොවිතැන් කටයුතු සඳහා වැසි වැටෙන කාලය අනුව
• යල කන්නය
• මහ කන්නය
යනුවෙන් ප්‍රධාන කන්න දෙකකි. ඔවුන් ඉදිරි කන්න සඳහා ලැබෙන වැසි ප්‍රමාණය දැන ගත්තේ පාරිසරික වෙනස්කම් අනුවයි.
* සුළං වේගය
* හමන දිශාව
* වළාකුලළු වල වර්ණය
* විදුලි කෙටීම
* වාතයේ තෙත්බව
* ශාකයන්හි පත්‍ර වර්ධනය
* පොතුවල ඝනකම
* ඒවායේ මල් පිපෙන ගෙඩි හටගන්නා කාලය හා ප්‍රමාණය අනුවයි.
පලු හා වීර ගස්වල යහමින් මල් හා ගෙඩි හට ගැනිම අඩු වර්ෂාපතනයක ලක්ෂණය.
අවිච්චියා, කුඹුරු හා දියකඩිති අසල හඬ තලයි නම් එයද නියඟයක ලක්ෂණයකි.
ගෙවත්තක තල මලක් පිපිම ආපදාවක පෙර නිමිතිය.
දිවුල්, කටු කෑලිය, එරමිණිය, දඹ හා මොර අධික ලෙස ඵල ගැනිම දුර්වල මෝසම් වැස්සක ලක්ෂණය.
උකුස්සා, වැහිලිහිණියා හඬ නඟමින් අහසේ පියාසර කිරිම වැසි ලැබෙන ලකුණකි.
වියළි ඉරිතලා ගිය වැව් පොළොව මත කක්කුට්ටන් වලවල් හෑරිම වැසි ලැබෙන ලකුණකි.
කුහුඹින් ගුල් වලින් එලියට පොකුරු වශයෙන් පැමිණ සිටීම වැසි ලැබීමේ ලක්ෂණයකි.
ගොවියන් මෙවැනි පාරිසරික වෙනස්කම් වලින් ලබා ගන්නා වැසි ලකුණු මත තම වගාව කුමක්දැයි තීරණය කරයි. වී වගාවට ප්‍රමාණවත් වැසි නොලැබේ නම් එහි වී වෙනුවට අඩු වර්ෂාපතනයට ඔරොත්තු දෙන වෙනත් බෝග මුං, කවුපි, බඩඉරිගු වැනි බෝග වගා කරයි. මෙවැනි මිශ්‍රබෝග වගාවකට යොමු වන්නේ යම් කිසි උවදුරකින් බෝගයකට හානි වුවහොත් වෙනත් බෝග හේනේ ඉතුරුවන නිසාය.
~හේන යනු.
වී ගොවිතැන හැරුනු විට උස්බිමෙහි කරනු ලබන සියලු වගාවන් හේන් ගොවිතැන යන නාමයෙන් ආවරණය විය.එබැවින් එයට ගොඩ ගොවිතැන යයි නමක් ද විය.
පැහැදිලි ඒකීය හේන් ගොවිතැනක් හදුනා ගත හැක්කේ වියළි කළාපයේය.තෙත් කලාපයේ තිබුනු හේන් වල විවිධත්වය වැඩි නිසා ඒකීය රටාවක් එහි හදුනා ගත නොහැක. එමේන්ම වියළි කලාපිය හේන අනීවාර්යෙන්ම බහු බෝග වු අතර තෙත් කළාපිය හේන ඒක බෝග හෝ බෝග දෙක තුනකට සීමා විය. වර්ෂා කාලය හා ඉන් අනතුරුව එන වියළි කාලය ඇති නිසා බහු බෝග හේන වැව් බැදි රාජ්ය යට ගැළපුනි. ඉංග්‍රීසින් විසින් වියළි කලාපය ලෙස හදුනා ගත් වැව් බැදි රට 19 වැනි සියවස ට පෙර වියළි කලාපයක් ද නොවිය.
~හේන් ක්‍රියාවලිය.
හේන් බිම ඇත්තේ ගම තුලය. ගම ඇත්තේ දිය බෙත්ම නොහොත් ජලය දෙපසට බෙදි යන පොලෙන් රැලි සීමා කර ගනිමිනි. දිය බෙත්මෙන් දෙපස එකම ගමක් පැවතීම මෙරට ජනාවාස ගොඩනැංවිමේ සම්ප්‍රදාය නොවීය. ගම තුළ ඇති වනාන්තරය එළි කර ගොවිතැනට යොදා ගත් බිම ‘’ලදු කැළෑව ‘’ නම් ‍වෙයි. වරක් හේනක් කොටා අස්වැන්න ලබා ගෙන එය පුරන් වීම සදහා අත්හැර දැමු පසු නැවත කෙටිමට නිර්දේශ කරන්නේ හය අවුරුද්දකට පසුවය. ලදු කැළෑව වැවෙන්නේ මෙම කාළය තුලදීය.
හය අවුරුද්දක් නිර්දේශ කලද අවුරුදු 3-4 ට නැවතත් පළමු තිබු සාරය පොළොවට ලැබේ. මෙසේ පුරන්වීමට හැරීමේ හේතුව නම් අක්කරයක හේනක් තුල බෝග 08ක් වගා කළොත් අවස්ථා 08 ක දි ලැබෙන අස්වැන්න අක්කර අටක අස්වැන්නට සමානය. මෙහි දි පොළවේ සම්පුර්ණ සාරය බහු-බෝග හේන විසින් උරා ගනු ලැබේ. එබැවින් නැවතත් ඊට සාරවත් බව ඇති කර ගැනීම සදහා විරාම කාළයක් මෙසේ අවශ්ය ය. මෙසේ සෑම ගමකම ඇති ලදු කැළෑ ප්‍රමාණය අවුරුද්දකට වගා වන බිම් ප්‍රමාණය මෙන් 5-6 ගුණයක් විශාලය. මෙම විශාල බිම් ප්‍රමාණය ගමේ පොදු තණ බිම විය.
තණකොල හැරුණු විට නොයෙක් ආකාරයේ පැළෑටි හා පදුරු වර්ග ද ඒ තුල තිබුණි. ගැමියන් ට අවශ්ය ය බෙහෙත් සදහා අමුද්‍රව්‍ය ද මෙම ලඳු කැළෑව තුලින් ලබා ගත හැකි විය. ඖෂධ සදහා මහ වනාන්තරයට යාමට අවශ්‍ය වුනේ අඩුවෙනි. මෙසේ ස්වභාවික සරුවීම සිදුවුයේ සුර්යාලෝකය හා වර්ෂාව ලැබීමෙන් හා ශාඛයන්හි දිරා ගිය කොටස් පොළවට එකතු වීමෙනි. මෙවිට බෝවන ක්ෂුද්රස ජීවින් විසින් ද පස තුලට වාතය ගෙන යාමෙන් හා යටි පස උඩට මතු කිරිමෙන් ද අප්‍රමාණ ‍සේවයක් කළේය.
තෙත් කලාපයෙහි පස සරුවිම වේගවත් වුවත් වැසි කාල හා වියළි කාල මාරුවෙන් මාරුවට ඒමක් වැව් බැදි රටේ මෙන් මෙහි නැති නිසා හේන් වලින් ලැබෙන අස්වැන්නේ අඩුවක් පවති. ධාන්‍ය එළවළු හා පළතුරු පැසීමට වියළ බව අවශ්‍ය ය. එබදු වියළි කාළයක් මෙම වැහි කළාපය තුල නොවීම අස්වැන්න අඩුවීමට හේතු වේ. වර්ෂාව අවශ්‍ය වන්නේ ශාඛයේ වැඩීමටය. ඵල හට ගැනිමට වර්ෂාව රහිත උණුසුම් කාළය අවශ්‍ය ය. හේන ලංකාවට ආවේණික වීමට හේතුව නම් මෝසම් සුළං දෙකකින් වර්ෂාව ලබන ලොව එකම රට ලංකාව වීමය. දකුනු හා අග්නිදිග ආසියාව මෝසම් රටවල් වන්නේ ඒවාට බලපාන නිරිත දිග මෝසම් නොහොත් ‘’යල් වැස්ස ‘’මගිනි. නමුත් ලංකාවේ හේන් ගොවිතැන යනු මුළික වශයෙන් ම වප් මාසයේ සිට බක් මාසය දක්වා (ඔක්තෝම්බර්-අප්‍රේල් ) ක්‍රියාත්මක වන ගොඩ ගොවිතැන් ක්‍රමයයි. මීට පාදක වන්නේ ආසියාවේ සෙසු රට වලට බල නොපාන ඊසාන දිග මෝසම නොහොත් මහ වැස්සයි.
~හේන් වර්ග.
භුමීය යොදා ගැනීමේ රටාවන්ට අනුව හේන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට අයත් වේ.
01. මුල්කැටා හේන
02. ඉරවලි හේන
මුල් කැටා හේන යනු එක් කේන්ද්‍රයක සිට පිටට විහිදි යන වෘත්තයක කොටසක් කොටස් වලට බෙදා ගැනීමෙන් සැදුනු හේන් යායකි.
ඉරවලි හේන යනු චතුරශ්‍රාකාර භුමිභාගයක් කුඩා චතුරශ්‍රාකාර බිම්වලට බෙදි යන ආකාරයේ හේන් යායකි.
~හේනක ව්‍යුහය.
ස්වභාවික පරිසරය ඇසුරින් සියලු අවශ්‍යතා සපුරාගත් අතීත මිනිසා තම අවශ්‍යතාවලට ප්‍රමාණවත් ලෙස පමණක් අවට පරිසරය යොදා ගත්තහ. පැරණි වැව්ගම්මානවල ජීවත් වූවන් තම වගාවන් සඳහා මහ කැලෑ එළි කර විනාශ නොකළහ. තම අවශ්‍යතා සපුරා ගැනිමට වනයට ඇතුල්වීමට පෙර වනාන්තරය දෙවියන් ලෙස සලකා, ගසක කොළ අත්තක් කඩා එල්ලීම සාම්ප්‍රධායික සිරිතකි.මහ වනයට ඇතුල් වී සම්පූර්ණ වනයම එළි නොකර වනය කොටස්වලට බෙදා ගත්තහ.
*පිල්ලෑව
*අත්තඬු හේන
*මූකලාන යනුවෙනි.
හේන් ගොවියා මුලින්ම පිවිසෙන්නේ පිල්ලෑව නම් වන ප්‍රදේශයටයි.අත්දඬු හේන යනු මිනිස් අතක් තරමට ගස් වැවුනු හේනයි. මූකලාන මහවනයයි. හේන් ගොවියා තම හේනේ එදිනදා ප්‍රයෝජනයට අවශ්‍යවන එළවළු,ධාන්‍ය,පලතුරු වගා කරයි.කුරක්කන්, මෙනේරි, තල, මුං, කවුපි ආදි ධාන්‍ය ද කැකිරි, පුහුල්, කරිවිල, මෑ, වට්ටක්කා වැනි එළවලළු ද කොමඬු, පැපොල්, දොඩම්, පේර, අන්නාසි වැනි පලතුරු ද ඒ අතරවේ. ගමේ සියලු වගාවන්ට පොහොර වනුයේ දිරාපත් වන කොළ රොඩු සත්ව අපද්‍රව්‍ය ආදියයි. ඒනිසා හේන් වගාවේදි කෘමි උවදුරු අවම විය.
බොහෝ හේන්වල දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයක් වන්නේ කුරුල්ලන් සඳහා වෙන් වු "කුරුලු පාලුව" නම් වන කොටසයි.කුරුල්ලන් සඳහා මෙය වෙන් කර තිබිණ.ඔවුන් හේන්වල කෘමීන් අහුලා කෑම නිසා ගොවීන්ට කුරුල්ලන්ගෙන් ප්‍රයෝජනලබා ගත හැකි විය. කෘමිනාශක භාවිතා නොකරන නිසා හේනෙන් ලබා ගන්නා ආහාර වර්ග ඉතා පිරිසිදු ඒවාය.කන්න ආරම්භයේ සිට අස්වනු නෙලා ගන්නා තෙක් ආගම හා සම්බන්ධ වු වත්පිලිවෙත් සිරිත්විරිත් ඉටු කරයි. අලුත්අස්වැන්නෙන් බුදුන්ට දෙවියන්ට බාරහාර ඔප්පු කරයි. පැරණි වැව් ගම්මාන වල සෑම කටයුත්තකදීම සාමුහික ශ්‍රමය යොදාගනී.
හේනේ ඇති පැල හේන් ගොවිතැනේදි අනිවාර්ය අංගයකි.රාත්‍රි කාලයේ හේනට එන වන සතුන් පලවාහැරීමට ගැමියන්ට සිදු වේ. ශක්තිමත් උස් ගසක මුදුනේ පැල තනා ගනි.පැල් රැකීම ලෙහෙසි පහසු කාර්යක් නම් නොව්.
~පසු අස්වනු තාක්ෂණය.
හේනෙන් නෙලා ගන්නා ධාන්‍ය වර්ග සෑහෙන කාලයක් තබා ගනී.නිවෙස් අසල තනා ගත් අටුව හෝ වී බිස්ස මේ සඳහා යොදා ගත්තහ.ලී,මැටි,පිදුරු වැනි සරල ද්‍රව්‍ය වලින් මෙය තනා ගනියි. වී බිස්ස යනු මීටර් 2-3ක් උස ගෙතුල තබා තිබු ,වේවැල් වලින් තනන ලද උපකරණයකි. වී අටුව යනු ගෙමිදුලේ පොළොවට මීටරයක් පමණ ඉහලින් තැනු වී බුසල් 50-60ක් අතර ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථානයකි.
~වර්තමාන ස්වභාවය.
බ්‍රිතාන්‍ය යුගයට පෙර හේන යනු හුදේකලා හේනක් නොව කුඹුරු යාය මෙන්ම පැවති හේන් යායක් බව පැරැන්නන් කළ විස්තර අනුව පෙනේ. ගම් සභාව මගින් මෙම හේන් යාය ක්‍රමය පරිපාලනය කරන ලදි. 1832 දි ගම්සභා තහනම් කිරිම හා පොදු ඉඩම් පරිහරණ කිරීම ද ඒ සමග ම තහනම් වී ඉඩම් ඔප්පු ක්‍රමය ඇති විම නිසා හේන අභාවයට ගියේය. ඉන්පසු තැනින් තැන පුද්ගල මුළික හේන් ඇති වුයේ ඒ ඒ අය බලපත්‍ර ලබා හෝ තම ඔප්පු සහිත ඉඩම් වල හේන් වගා කරන්නට වු නිසාය. ලඳු කැළෑව නැමැති රටාව අතුරුදහන් විය. ක්‍රමයෙන් අභාවයට යමින් පවතින සාම්ප්‍රධායික ජීවනමාර්ග කාලානුරූපිව වෙනස් වී ඇත. නාගරීකරණය නිසා ගම නගරය ඇසුරින් වෙනස්වීම් වලට ලක්වනු දැකිය හැකිය. හේන් වගා කිරිමට තරුණ පිරිස් මැලි වේ. එම නිසා දැව කැපිම වැනි දේවලින් පරිසර පද්ධතිය විනාශ වේ. හේන් ගොවිතැන විරැකියාවට මනා පිළියමකි. නමුත් හේන් ගොවියාට සමාජයේ අඩු සැලකිල්ලක් දක්වයි. මේ නිසා අද වන විට ගමෙන් නගරයට ඇදෙන ශ්‍රමිකයන් පිරිස වැඩිවෙමින් පවතී.
උපුටාගැනීම 'හෙළ බොදු උරුමයන් රැකගනිමු' වෙතින්
ස්තුතියි මුල් හිමිකරුට

A day in the life

Monday, September 09, 2024

අක්මාවේ තෙල් Fatty liver



Fatty liver කියන රෝගය අද ඉතා සුලභ රෝගයක් වෙලා .1980 දශකයේ පලමු වතාවට සොයා ගත් මේ රෝගය ඇමරිකාවේ 25%කට තියෙනවා .එංගලන්තයේ 2007 සිට 2013 දක්වා 10 ගුණයකින් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා .දෙගුණයකින් අක්මා බද්ධ කිරීම් වැඩිවෙලා.ලංකාවෙත් හුග දෙනෙක්ට මේ රෝගය තියෙනවා .කොහොමද මේ රෝගය එක පාරටම මේ තරම් ව්‍යාප්ත වන්නේ???

....................................................................................
Fatty liver disease කියන්නේ අක්ක්මාවේ අධික ලෙස මේදය තැම්පත් වීම .මෙය grade 1,2,3,4 ලෙස බෙදා තියෙනවා .grade 1 හිදී ඔබගේ බඩ පෙදෙස ඉදිරියට නෙරා ඒම,SGOT /PT අගයන් ඉහළ යාම,ක්ලාන්ත ගතිය,රුධිර ගත කොලෙස්ටෙරෝල් මට්ටම ඉහළ යාම වැනි ලක්ෂණ පෙන්නුම් කරනවා.මෙම රෝග ලක්ෂණ ක්‍රමයෙන් වැඩි වී අවසානයේ grade 4 වන විට අක්මාවේ සෛල විනාශ වී සිරෝසිස් හෙවත් අක්මා පිලිකා තත්ත්වය දක්වා වර්ධනය වෙනවා.එවිට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට්/අක්මාව බද්ධ කිරීම සිදු කල යුතුයි .එය කෝටි ගණනක් වියදම් වන ශල්‍යකර්මයක්.
අක්මාවේ මේදය තැම්පත් වන්නේ කෙසේද?ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් හැදෙන්නේ මද්‍යසාරය පානය කිරීමෙන්.නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඇතිවන්නෙ අධික ලෙස සීනි හා පිශ්ඨය ආහාරයට ගැනීමෙන් .2019 සිදු කරන ලද ෆැටී ලිවර් ඇති තරුණ පිරිමි ලමයි යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයකින් මෙය තහවුරු කරගෙන තියෙනවා .ඉන් කොටසකට සාමාන්‍ය ආහාරය සහ ඉතුරු කොටසකට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ලබා දී තියෙනවා .ඉන් කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ගත් ලමයින්ගේ අක්මාවේ මේදය අඩුවීමක් පෙන්නුම් කල අතර සාමාන්‍ය පරිදි ආහාර ගත් ලමයින්ගේ වෙනසක් සිදුවී නොමැත.
තවත් පරීක්ෂණයක් 2021 සිදුකර ඇති අතර එහිදී කාණ්ඩ තුනක් වෙන්කරගෙන ඉන් පලමු කාණ්ඩයට සාමාන්‍ය ආහාරද,දෙවන කාණ්ඩයට කඩින්කඩ නිරාහාරයද තෙවන කාණ්ඩයට කාබෝහයිඩ්‍රේට් අඩු ආහාර ද නිර්දේශ කර තියෙනවා .ඉන් දෙවන හා තෙවන කාණ්ඩ වල ෆැටි ලිවර් තත්ත්වය සීඝ්‍රයෙන් පහවගොස් තියෙනවා .
ඉන්සුලින් ලබා දී ෆැටි ලිවර් වැඩිවෙන ආකාරය තවත් පරීක්ෂණයක් මගින් සොයාබලා තියෙනවා .ඉන්සුලින් ගන්නා ප්‍රමාණය වැඩි වීමත් සමග අක්මාවේ මේදය තැන්පත්වීම සීඝ්‍රයෙන් වැඩිවෙන බව ඔවුන් නිරීක්ෂණය කර තිබෙනවා .non alcoholic fatty liver disease හැදෙන්නේ අප ගන්නා ආහාර වල ඇති glucose හා fructose වලින් .ෆෘක්ටෝස් මගින් ශක්තිය නිපදවීම සිදු කරන්න පුළුවන් එකම අවයවය අක්මාව පමණයි.අප ආහාරයට ගන්නා fructose අක්මාවේදී trygliceride (මේදය )බවට පත් වී අක්මාවේ තැම්පත් වී අක්මාව ඉදිමී ප්‍රමාණයෙන් විශාල වේ.ග්ලූකෝස් ෆෘක්ටෝස් මෙන් නොව ශරීරයේ විවිධ ස්ථාන වල ශක්තිය නිපදවීම සදුදා යොදාගනී.නමුත් වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගැනීමෙන් ඒවා ඉන්සියුලින් හෝර්මෝනය ආධාරයෙන් මේදය බවට පත්වීම සිදුකොට අක්මාවේ හා අනෙකුත් පටකවල තැම්පත් වීම සිදුවේ.මෙසේ අක්මාව මගින් සීනි මේදය බවට පත් කිරීම de novo lipogenesis(අලුත් මේදය නිෂ්පාදනය )නම් වේ.රාත්‍රි ආහාරයෙන් 5% මේදය අක්මාවේ තැම්පත් වන අතර රුධිර ගත මේද අම්ල මගින් හා de novo lipogenesis ක්‍රියාවලිය මගින් ඉතුරු මේදය අක්මාවේ තැම්පත් වීම සිදුවෙනවා
ඔබට ෆැටි ලිවර් තියෙනවා නම් කලයුත්තේ කුමක්දැයි ඔබට දැන් වැටහෙනවා ඇති .පිශ්ඨය සහිත ආහාර ,පලතුරු වර්ග සීමා කිරීම හා intermittent fasting කඩින්කඩ නිරාහාරව සිටීම මගින් ඔබට ඉතා කෙටි කාලයක් තුල මෙම රෝගයෙන් මිදීමට හැකිය .
-----Dr. දනුක දිසානායක
අද කාලේ ක්ෂණික ආහාර සහ ප්‍රෝටීන් බහුල ආහාර නිසා වගේම
නිසි ලෙස ව්‍යායාමයක් නොමැති වීම,නිසා අක්මා රෝග බහුලයි.
මං ඒක අත්දැකීමෙන් දකිනවා.
ප්‍රෝටීන් අඩංගු ආහාර නවත්වන්න
මුන් ඇට පැල කරලා දිනපතා ආහාර යට ගන්න
මොනරකුඩුම්බිය කැද හෝ ඉස්ම කෝප්ප භාගයක් උනුවතුර භාජනයක ඒ කෝප්පය දමා රත් කර හිස් බඩ බීමෙන් සහ
නිසි ව්‍යායාම කිරීමෙන්
එලවලු පලතුරු ආහාරය ට එක් කර ගැනීමෙන් මාස 3කදී සුව කරගන්න පුලුවන් .

තියෙන ප්‍රමානය අනුව වෛද්‍ය උපදෙස් ලබාගන්න, සමහරවිට බෙහෙත් බොන්නත් ඕන වෙනවා

 ආයුර්වේද වෛද්‍ය    Sujee Liyanaarachchi

මම ඇගෙන් නැවතත් විමසුවා විටමින් ඊ ගැන ඇගේ මතය . ඈ මෙහෙම කියනවා. 

ස්තුතියි අන්කල්, විටමින් E ගත්ත ට කමක් නෑ හැබැයි හොද නිශ්පාදන ඒවා. අපිට ගොඩක් වෙලාවට ලැබෙන්නේ බාල බෙහෙත්.

හොදට වතුර ටිකක් බීලා පලා ටිකක් කාලා ඉන්නවනම් ලෙඩ නෑ ඒත් කාර්‍ය බහුල ජීවිතේ මිනිස්සුන් ට නිදහසක් නෑ මානසික ආතතිය වැඩියි. නැත්නම් ආයුර්වේද යට අනුව අක්මා රෝග සුව කරන්න පුලුවන්. හැබැයි කියන විදියටම පාලනය වෙන්න ඕනි. මූලික අවස්ථාව තුළම සුව කරගන්න ඕනි.
කායික මානසික විවේකය සහ ආදරය කරුනාව ඕනි.
අද නැත්තේම ඒක.
ඒ වගේම සමහර නිසා අද තවත් රෝග වැඩියි.


A day in the life

Sunday, September 08, 2024

සෙනෙහස .





කොහොමද අද දවස?
මහන්සිද?
වැඩ වල තත්වය කොහොමද?
ඔයා හොඳින්ද?
ඔයාට පුලුවන්.
හිමින් හිමින් කරන්නකෝ.
මං ඉන්නවා ඔයා ළඟ.
සමහර වෙලාවට මේ වගේ වචන ටිකක් ඇති මනුස්සයෙක්ව cheer up කරන්න.
දවස පුරාවටම ගතෙන්, හිතෙන් මහන්සි වෙන මිනිස්සු
තනියම හැමදේම කරගන්න මිනිස්සු
හීන වෙනුවෙන් නිදිමරන මිනිස්සු
බැරිමර ගාතේම හරි තමන්ට තේ එකක් හදාගෙන ආයෙත් වැඩ කරන මිනිස්සු
පීඩනයෙන් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සු
පාලුවෙන් හුදකලාවෙන් දවස් ගෙවන මිනිස්සු
තනිකම සාංකාව දරාගන්න මිනිස්සු
දාහක් ප්‍රශ්න ඔලුවේ තියන් ඉන්න මිනිස්සු
පවුලෙම බර කර ගහන මිනිස්සු
දරුවෝ වෙනුවෙන්ම නැහෙන මිනිස්සු.......
මේ සමහර විට ඔයාගේ සහකරු/ සහකාරිය වෙන්න පුලුවන්. සහෝදරයා/ සහෝදරිය වෙන්න පුලුවන්, අම්මා තාත්තා වෙන්න පුලුවන්, යාලුවෙක් වෙන්න පුලුවන්. වැඩ කරන තැන කෙනෙක් වෙන්න පුලුවන්. මග තෝටේ හමුවෙන දන්න කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාම වෙන්නත් පුලුවන්.
කවුරු වුණත් මෙහෙම මිනිස්සු ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. එයාලව සනසවන්න පොඩි වචන ටිකක් හොඳටම ඇති. එයාලා ඔයාට මුකුත්ම කරන්න කියන්නෙත් නෑ. එයාලට ඕනා පොඩි තල්ලුවක් විතරයි. කවුරුම හරි කෙනෙක් එයාලා ගැන හොයනවා කියලා එයාලට දැනෙන්නයි ඕනා.
ඉතිං ඔයාගේ ආදරණීයන්ගෙන් අහන්න එයාලාට මහන්සිද කියලා. පොඩි msg එකක් දාලා check කරන්න. Random call එකක් අරං check කරන්න.
කෙනෙක් "මට මහන්සියි" කියලා ඔයාට කියනවා නම් ඒ එයා ඔයාව විශ්වාස කරන නිසයි. ඔයාගෙන් එයාට පොඩි energy එකක් ලැබෙයි කියලා එයා හිතන නිසයි. මොකද මිනිස්සු එහෙම ලේසියෙන් තමන්ට දැනෙන දේවල් කියන්නේ නැති නිසා.
සමහර විට ඔයත් මහන්සියෙන් ඇත්තේ. ඒත් එහෙම වෙලාවට ඔයාගේ මහන්සිය ගැනම නොකියා "ඉතිං මං මොකක් කරන්නද?" කියලා පෙරලා ප්‍රශ්න කරන්නේ නැතුව එයාට cheer එකක් දෙන්න. අඩුම තරමේ අහන් ඉන්න. පිටට තට්ටුවක් හරි දාන්න. කර වටේ අතක් දාගන්න. අත තදින් අල්ලගන්න. එයාගේ වටිනාකම මතක් කරලා දෙන්න. එයා වෙනුවෙන් status එකක් දාන්න. Image එකක් send කරන්න. සිංදුවක link එකක් යවන්න.
ලඟම ඉන්නවා නම් උණු තේ එකක් හදලා ගිහින් දෙන්න. Stress එක නිසාම බර වෙලා ගල් වෙලා තියෙන උරහිස් දෙක ටිකක් massage කරන්න. ඔලුව පොඩ්ඩක් අතගාන්න. "මං ඔයා ගැන ආඩම්බරයි" කියලා පොඩි kiss එකක් දෙන්න.
මේවා සුරංගනා කතා කියලා හිතෙයි. ඒත් විඩාපත් වෙච්ච මනුස්සයෙක්ට මේ හොඳටම ඇති එයාගේ මහන්සිය නිවාගන්න. එයාට ඕනමත් එහෙම දෙයක්මයි.
හැමදාම අන්තිම නරකම දෙයක් වුණාම විතරක් කෙනෙක් ගැන "අනේ" කියලා දුක් වෙලා වැඩක් නෑ. මිනිස්සුන්ට ඕනා අනුකම්පාව නෙවෙයි. සංවේදි බවයි.
ජීවිතේ හරි මහන්සියි තමයි. ඒ නිසාම ආදරණීයන්ට ආදරේ වෙන්න. එකිනෙකාගේ අමාරු කාල වලදි එකිනෙකාව බලාගන්නවා කියන්නේ ඒකටයි.
Copied
Credits Goes To First Author ( Unknown )

A day in the life

Saturday, September 07, 2024

අම්මා






මීදුමට සිහිපත්වෙන්නේ මීට තෙවසරකට පෙර තම දු දරුවන්ට මුණුපුරු මිණිපිරියන්ට මී මුණුපුරු මිණිපිරියන්ට සහ මට සමුදුන්න මගේ අම්මව.
ඈ අද අපත් සමග හිටියානම් අවුරුදු සීයයක් ......…
අපේ අම්මයි මේ අම්මයි සමකාලීනයෝ වෙන්න ඇති.
ඈ නමින් සෝමාවතී පොඩිහාමිනේ නම් විය.

Minimalist Living වෙත Ruvi Samaraajeea කල වියමනක්.

උපුටා පළකරනවා. මීදුම කියවන්නන්හට.
“මීට අවුරුදු විසි පහකට කලින් කතාවක් ...............”
මේ .අත්තම්මා කෙනෙක් හිටියා අපි ට
මැනික්හාමි තමයි නම .අත්තම්මා අපි ට තේ දෙන්නෙ වීදුරු වල .ඒවා හෝදලා උනු වතුර ට දානවා .ඉගුරු කෑල්ලක් තලලා තේ කොල තම්බලා රස ට තේ හදලා අර වීදුරු වලට දාලා දෙනවා .උනුම උනු තේ එක ට එක හේතුවක් තමයි කෝප්ප උනුවතුරෙ දාලා ගත්ත එක .ඒ කාලෙ මට ඕක තේරුම් ගන්න බැරි වුනා .අද උනු තේකක් බොන හැම මොහොතකම මට ඒක මතක් වෙනවා .
අත්තම්මා හීනියට අමුමිරිස් ලොකු ලූනු නැත්නම් රතුලූනු ලියලා ලුනු ගම්මිරිස් දාලා එවෙලෙම ගහෙන් කඩලා ගන්න දෙහි
ගෙඩ්යක් හිල් කරලා මේස හැන්දෙ මිටදෙහි ගෙඩ්ය ඇතුලට දාලා කරකවලා දෙහි ඉස්ම දාගන්නවා .ඊට පස්සෙ දර ලිපේ දාලාපුච්චලා ගත්ත කරවල කෑල්ලක් මේ සම්බෝලෙට දාලා හොදට කලවම් කරලා පොල් ටිකක් දාලා ගන්නවා .උනුම උනු පාන් කන්න තමයි මේ විදියට සම්බෝල හැදුවෙ .
කටට කෙල උනනවා වගේම ඇහැට කදුලු උනනවා අද අතීතය මතක් වෙලා .
පොල් සම්බෝල හදනවා නම් දර ලිපේ අලු යට දාලා තක්කාලි ගෙඩ්යක් අරන් පොඩි කරලා සම්බෝලෙට දානවා .දෙහි ඇඹුල් දාලා දෙහි ලෙල්ලත් පොල් සම්බෝලෙට දාලා හොදට කලවම් කරනවා .
පොල් පුච්චලා අරගෙන මිරිස් බැදලා අරන් හදන පොල් සම්බෝලෙත් අමුතුම රසක් .
අත්තම්මා ගේ වටේටම නොයෙකුත් දේවල් හිටවලා සාත්තු කරා .එක එක වර්ගයේ කොච්චි තිබුනා .
කොච්චි සම්බෝල එක්ක තම්බපු කොස් පිගානක් කන්න පුලුවන් .
අත්තම්මා ගෙදර කුරහන් ගලේ කුරක්කන් ඇට පිටි කරලා කුරහන් තලප හැදුවා .උනු වතුර ට කුරක්කන් පිටි ටික ටික දාලා පිටි තැම්බීගෙන එද්දී හැදි මිට උදව් කරගෙන ලස්සන ට බෝල කරන හැටි බලාගෙන ඉන්න ආසයි .
තලප ගිලින්න ආනමක් හැදුවා .මුං ඇට ආනමක් කොරළි හොද්දක් එක්ක ලොකු තලප ගුලියක් ගිලින එක ගමේ මිනිස්සුන්ට නම් මහ කජ්ජක් නෙමෙයි .ඒත් ....මට නම් තාමත් තලප ගිලින්න බැහැ .මම තලප කනවා .

අත්තම්මා කලවම් පලා මැල්ලුමක් හදන වෙලාවට පොල් එක්කම පොල් කිරි ටිකක් දානවා .හරිම රසයි .
මාලු හොද්දක් හදනවා නම් හාල් ඇට ටිකක් පොල් පොඩ්ඩක් එක්ක අඹරලා හොද්දට දානවා .ඒ හොද්ද උකු වෙන්න ත් රස වෙන්නත් කියලා අත්තම්මා කිව්වෙ නැහැ ඒත් මට හිතෙන්නෙ ඒක තමයි රහස .

කැකිරි ,පුහුල් ,පිපිඤ්ඤා වගේ දේවල් උයද්දි ත් හාල් පොල් අබ ගම්මිරිස් අඹරලා මිටිකිරි එක්ක දානවා .හරි ම රසයි 
උෂ්ණ දේවල් උයද්දි ( ඉස්සො / කකුළුවන් ) මුරුංගා කොල දැම්මා උෂ්ණ නැති වෙන්න .
අද ජීවතුන් අතර හිටියා නම් අත්තම්මා ගෙන් කොයිතරම් රස රහස් අහගන්න තිබුනා ද ? අදටත් අත්තම්මා මගේ හිතේ ගැඹුරුම තැනක ජීවත් වෙනවා 
අත්තම්මා ගේ රෙදි පෙට්ටියෙ අලුත් චීත්තතියෙනවා .ලස්සනට නවලා කපුරු දාලා තියෙනවා .ඒත් නිතරම අදින්නෙ එකම චීත්ත  .
.ලෝභකම කියලා හිතන්න ත් බැහැ .දූලා ට දරුවෝ ලැබෙන්න ඉස්පිරිතාලෙ යද්දි අලුත් චීත්ත දෙනවා මට මතකයි .
මගේ බුදු ගෙයි මම පුන්චි බුදු පිලිමයක් තියා තිබුනෙ .අත්තම්මා ගෙදර තිබුන ලොකු බුදු පිළිම ය මට ගෙනැත් දුන්නා .
වත්තෙ වැටෙන පොල් අතු වල ඉරටු සුද්ධ කරලා ඉරටු මිටි බැන්දා .කෝපි ටික ගම්මිරිස් ටික වෙලාවට කඩලා විකුණන අත්තම්මා අඹ ,පේර ,දෙහි කඩලා පොලට අරන් ගිහින් විකුන්නා .කොයි වෙලාවකවත් නිකම් හිටියෙ ම නැහැ .
ලස්සන ට මිදුල උදලුගානවා .වැහි වතුර ටික පවා ටැංකිය කට එකතු කරා .අත පය හයිය තියෙන තාක් කිසිම දරුවෙක් ට කරදර කරන්න කැමති වුනේ නැහැ . 
අත්තම්මා ගෙන් ඉගෙන ගත්ත කඩිසරකම අරපිරිමැස්ම ඉවසීම වගේ දේවල් මගේ ජීවිතය ට හුගක් වටිනවා .සමහර මිනිස්සු මැරුනත් ජීවත් වෙනවා වගේ .මහ පොළොව ට බරක් නැතුව ජීවත් වුන ඒ වටිනා මිනිස්සු කියලා තමයි මට හිතෙන්නෙ .
යාලුවන්ටත් මේ වගේ අය ඇති නේද ?

A day in the life

Friday, September 06, 2024

ඡායාරූපකරණය - ජූලියා මාග්‍රට් කැමරන්



ජූලියා මාග්‍රට් කැමරන්, ඔබ සමහර විට මේ නම අහලා ඇති. උපතින් ඉන්දියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය කාන්තාවක් වුණු ජූලියා තමන්ගේ කුඩා කාලය ගත කරන්නේ බෙංගාලයේ. ඇය බෙංගාලයේ ඉහළ ධනපති පන්තියේ කාන්තාවක් විදියට ඉපදිලා පසුකාලයක බ්‍රිතාන්‍යයට යනවා. ඒ ඇගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. එහිදී තමයි ඇය මුල්වරට ඡායාරූපකරණය පිළිබඳව ඉගෙන ගන්නේ.
19 වන සියවසේ සිටි, වඩාත් සිත් ඇදගන්නා සුළු ඡායාරූප සිය කැමරා කාචයේ සටහන් කරගන්නියක් ලෙස එකල ඇය එංගල්නතයේ නම් දරා සිටියා. ජූලියා ගේ ප්‍රධානම විශේෂත්වය වුණේ අගේ සියලුම ඡායාරූප ඉතා සමීප ඡායාරූප එහෙමත් නැත්නම් Close up වීම හා ඒවා ඉතාම සුන්දර ඡායාරූප වීමයි.
ඒ වගේම ඡායාරූපකරණය ඉගෙන ගැනීමෙන් පසු ඇය වසර 12 ක් තුළ ඡායාරූප 900 ක් පමණ සිය කැමරා කාචයට හසුකරගෙනා තිබුණා. එයින් බොහොමයක් එකල බ්‍රිතාන්‍යයේ ප්‍රෞඪත්වය විදහාපාන ඡායාරූප වුණු අතර බහුතරයක් වික්ටෝරියා රැජිනගේ ඡායාරූප වීම ද විශේෂත්වයක් වනවා.
ජූලියා හොදින් සිය අධ්‍යාපනය අවසන් කළ කාන්තාවක් වුණු අතර ඇය ක්‍රිස්තියානි ආගම කෙරෙහි ඉතාම භක්තිමත් කාන්තාවක්. ඒ නිසාම ජූලියා ඡායාරූපයට නැගී බොහෝ සිදුවීම් සිය ආගමික නැඹුරුව පෙන්වාදෙන ඒවා බවට පත්වුණා.
වර්ෂ 1838 දී ජූලියා චාර්ල්ස් හේයි කැමරන් සමග විවාහ වනවා. දරුවන් 11 දෙනෙකුට ආදරණීය මවක් වන ඇයගේ දරුවන් 6 දෙනෙක්ම හදාගැනීමට ගත් දරුවන් වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ජූලියා අපට විශේෂ වන්නේ ඇය මෙරට පළමු කාන්තා ජායාරූප ශිල්පිනිය වීම නිසයි. බ්‍රිතාන්‍ය යුගයේ මෙරටට පැමිණෙන ජූලියා සිය ජීවිතයේ අවසන් කාල සීමාවා ගෙවා දමන්නේ ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ යි. වර්ෂ 1879 දී එනම් 65 වන වියේ දී කළුතර දී මියයන ඇය මෙරට බොහෝ පැරණි ඡායාරූප වල උරුමකාරිය ද වනවා.
- චාපා -

 

Tharunie


A day in the life