තෙරුවන් සරණයි .
ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු
--- වේද ගීතයක්
අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.
ජීවිතය
සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.
විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි
ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.
රබීන්ද්‍රනාත් තාගෝර්
වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.
2024-10-25
මහ ගෙදර...
2024-10-21
දෙවොල් මඩු ශාන්තිකර්මය

සටහන - Ranga Pokura
පහතරට නැටුම් සම්ප්රදාය හා බැඳුනු අතීතයේ සිට පැවත එන්නා වූ දෙවොල් මඩු ශාන්තිකර්මය ජනී ජනයාගේ යහපත සහ සශ්‍රීකත්වය පතා දෙවියන් වෙනුවෙන් පවත්වන්නා වූ මඩු ශාන්ති කර්මයකි. පහතරට නර්තන සම්ප්රදායේ ප්‍රාදේශීය සම්ප්රදායක් ලෙස සලකනු ලබන රයිගම් නර්තන සම්ප්රදාය හා ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන හෙයින්, එකී නැටුම් සම්ප්රදාය ව්‍යාප්ත වී ඇති රයිගම් කෝරළය, සල්පිටි කෝරළය, හේවාගම් කෝරළය, පස්දුන් කෝරළය සහ සියනෑ කෝරළයෙහි මෙකී ශාන්තිකර්මය ව්‍යාප්තව ඇත. මීට අමතරව ගාල්ල, මාතර, ඇල්පිටිය, බෙන්තර, රයිගම වැනි පහතරට ප්‍රදේශවල දේවාශිර්වාද පතා දෙවොල්මඩු පවත්වනු ලැබේ.
පුරාවෘත්තය (කතා පුවත)
දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍ය සමයෙහි රජ කල සේරමාන් රජුගේ උයන පාළු කරමින් සිටි එක්තරා ගෝනෙකු මරා දමන ලෙස රජ තෙමේ තම සේවකයන්ට අණ කළේ ය. සේවකයන් විසින් ලුහුබඳිනු ලැබූ ගෝනා උයනේ පොකුණක වැටී මිය ගියේ ය.රජු කෙරෙහි වෛරයෙන් යුතුව මිය ගිය ගෝනා එම පොකුණෙහි ම මැඬියකු වී උපන්නේ ය. මුව දෝවනය සඳහා පොකුණට පැමිණි රජු නෙළුම් මලක් කඩා ආඝ්‍රහණය කරද්දී මලෙහි සැඟවී සිටි මැඬියා රජුගේ නාසය තුලට ඇදී ගියේ ය. මේ හේතුවෙන් රජුට හිස අමාරුවක් සෑදී රෝගාතුර විය. කොතෙකුත් ප්‍රතිකාර කලත් රජුගේ හිසරදය සුව නොවීය. මෙසේ කලක් ගත වන විට රජුට සිහිනයෙන් ඉතා රූමත් කාන්තාවක් පෙනුණි. ඒ බව දැන ගත් පුරෝහිත බමුණන්ගේ අදහස වූයේ, සිහිනෙන් පෙනී ඇත්තේ පත්තිනි දේවතාවිය බවත් ඇගේ සාපයක් රජුට ඇති බවත් ය. එහෙයින් බුද්ධාගම ස්ථාපිත රටකට ගොස් දේවතාවිය වෙනුවෙන් පින් පැමිණ විය යුතු බවත් ය. මීට සුදුසුම රට ලංකාව බව තීරණය කල රජු වත්තලින් දිවයිනට පැමිණ කැලණියට ගොස් බුදුන් වැඳ දෙවියන්ට පිං දී නවගමුවේදී ප්‍රථම දෙවොල් මඩුව කරවූ බවත් එදා පටන් රජුගේ හිසරදය දුරු වූ සේම ලංකාවේ දෙවොල් මඩුව ආරම්භ වූ බවත් පුරාවෘත්තවලින් කියවේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් දේව වන්දනය හා යක්ෂ වන්දනය ප්‍රධාන වේ. තම භව බෝග සම්පත් සශ්‍රීක කරනුයේ දෙවියන් යැයි විශ්වාස කරන ගැමියෝ තම බෝගයන්ගේ අග්‍ර ඵලය දෙවියන්ට පූජා කිරීමෙන් මීලඟ කන්නය වඩාත් සශ්‍රීක වේවා යැයි ප්‍රාර්ථනා කරති.කුඹුරට බැස නෙලා ගන්න මුල්ම කොටස නැතිනම් අක්යාල පේකොට තබා දෙවොල් මඩුවේදී දෙවියන්ට පුදා දෙවියන් සතුටු කරයි. ගම්තුලානෙ මිනිසුන් අතර විරසක ආරවුල් ඇති වීම,නිසි කල වැසි දිය නොලැබී යාම,බවබෝග සම්පත් පාලු වීම, ස්වභාවික විපත් ආපදා ඇති වීම,වසංගත රෝග බෝවීම දෙවියන්ගේ උදහස මත සිදු වෙතැයි විශ්වාස කරන ගැමියන් දෙවියන් කමා කර ගැනීමට, දෙවියන් සතුටු කිරීමට දෙවොල් මඩු නටනු ලබයි.
පත්තිනි දේවිය හා දෙවොල් සත් කට්ටුව ප්‍රධාන කොට, විශ්ණ, කතරගම, නා, ගම්භා, දොළහ දෙවියන්, වීරමුණ්ඩ දෙවියන්, මංගර දෙවියන්, වාහල දෙවියන් පුද ලබන අතර යකුන් ලෙස කඩවර යක්ෂයා, දෙවොල් කුරුම්බරයින්, ගරා යක්ෂයා, භූත ප්‍රේත කොටස් පුද ලබයි. පත්තිනි දෙවියන් හ දෙවොල් දෙවියන් වෙනුවෙන් දෙවොල්මඩු ශාන්තිකර්මයේ පත්තිනි භාගය හා දෙවොල් භාගට ලෙස කොටස් දෙකකට වෙන්කර දක්වන්නේ එකී පූජාර්ථය පදනම් කොට ගෙනය.
ප්‍රධාන කොට පුද ලබන පත්තිනි දේවීය සත් පත්තිනි නමින් ද දොලොස් පත්තිනි නමින් ද හඳුන්වයි. සත් පත්තිනි ලෙස හඳුන්වන්නේ ඇය දියෙන්, දලෙන්,ගලෙන්, මලෙන්, කුලෙන්, ගින්නෙන්, අඹෙන් යනාදී සත් ආකාරයට උපන් නිසාය. පත්තිනි දේවිය හා බැඳුණු ඇතැම් කවි, සන්න, ශ්ලෝක, ආදියෙහි දැක්වෙන තොරතුරු අනුව පත්තිනි දේවියගේ උපත හා බැඳුණු තවත් අවස්ථා ද ඇත.
ජලෙනි,දලෙනි,මලෙනි,සළඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයිකඳුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා
පත්තිනි දේවියගේ උපත් සංඛ්‍යාව දොළක් බව ඔඅහටහ් කවියෙන් කියැවේ.
සම්මා සම්බුදු බව පතා
රක්ෂා කළේ පතිදහම්
නම්මා සිත් ගෙන බව බැව්හි දැඩිව දුක්
වින්දේ අමා යැයි සිතා
දැන් මේ අප සැල කළ වදන්
නම්මා අසාල පෙමින්
අම්මා සාමිනි දොළහ පත්තිනි උතුම්
මල් යහනින් දිවස් ලා
මේ ආකාරයට පත්තිනි දේවියගේ උපත් කථා ගණනාවක් ව්‍යවහාරයේ පවතී. එයි වඩාත් ප්‍රචලිතම පුවත ලෙස සැලකෙන්නේ අඹෙන් උපන් කථා පුවතයි. එකී කතා පුවත දෙවොල් මඩුවේ අඹ විදමන නාට්‍යමය අවස්ථාවෙන් නිරූපනය වේ.
දෙවොල්මඩු ශාන්තිකර්මයත් සමඟ බද්ධ වී පවත්නා අනෙක් දේව සංකල්පය නම් දෙවොල් දේව සංකල්පය යි. දාර්මිශ්ටයන්ට යහපතෙහි පිහිටවන අධර්මිෂ්ඨයන්ට අච්චු කරන රුහුණට තෙද අණසක පතුරවන දෙවි කෙනෙකු ලෙස දෙවොල් දෙවියන් වන්දනාවට පාත්‍ර වේ. දෙවොල් දෙවියන් ද සත්කට්ටුවකි. එනම් හිරු රැස් සාමි, සඳ රැස් සාමි, තෙද රැස් සාමි, ගිනි රැස් සාමි, යස රැස් සාමි, මහා සාමි, දෙවොල් සාමි යන සත් දෙනාය.
1.අක්යාල වෙන් කිරීම
අක්යාල යනු අග්‍ර සශ්‍ය යන්නයි. අක්යාල, අකියොලය, අග්‍ර සශ්‍ය, අක්කියාල යන නම්වලින් මෙම චාරිත්‍රය හඳුන්වයි. කෘෂිකාර්මික පරිසරයක වාසය කරන පහතරට වැසියෝ ස්වකීය භව බෝගයන්ගෙන් අග්‍ර කොටස දෙවියන් වෙනුවෙන් වෙන් කිරීම නැතිනම් නිල කිරීම මෙහිදී සිදු වේ.මෙනිසා ඊලඟ කන්නය වඩාත් සශ්‍රීක වේ යැයි ගැමියන්ගේ විශ්වාසයක් තිබේ. කපා ගන්නා පළමු ගොයම් මිට සුදු පිරුවටයක ඔතා නිවසේ මුදුන් ලීයේ එල්ලා දෙවොල්මඩු පවත්වන කලට එය සහල් බවට පත් කර දේව දානය සකස් කිරීමට පුදනු ලැබේ. මෙම චාරිත්‍රය තුල සාමුහිකත්වය, කෘතගුණ දැක්වීම යන සමාජ සම්බන්ධතාව හා සාරධර්ම ප්‍රකීනමාන වේ.
2.කප් සිටුවීම
ප්‍රථම පූර්ව චාරිත්‍රය යි.නියමිත දින ගණනක් ඇතුලත දෙවොල් මඩුවක් පවත්වන බවට දෙවියන්ට ඇප කැප වීම මෙහිදී සිදු වේ. මේ සඳහා ශුභ දිනයක්, ශුභ නැකතක් නැකැති කුලයේ නැකැත් රාළ කෙනෙක් සකස් කරදෙන අතර ගව මඩු, කැසිකිළි වැසිකිළි, නාන තොට, රදාතොට ආදියෙන් තොර වූ ශුද්ධ භූමියක් තෝරාගෙන කප් සිටුවනු ලැබේ.මඩු භූමියට උතුරු දෙසින් පිහිටි නෑඹුල් කිරි ගසක උතුරු දිගට ගිය අත්තක් රන් කඩුවකින් කපා වෙන් කර ගනී.මෙම කප් ගස කැපීමට හේවිසි හොරණෑ මධ්‍යයේ පෙරහැරෙන් යනු ලබයි. වෙන් කර ගන්නා කප් කණුව සුදු පිරුවටයක ඔතා උඩුවියන් පාවඩ පිට හේවිසි හොරණෑ මධ්‍යයේ වැඩම කරවයි. වළක් කපා එයට ඇල් වී සත් මිටක් දමා මඟුල් බෙර මධ්‍යයේ කප් කණුව සිටුවයි. කප් ගසේ ස්වස්ථිකය සළකුණු කල පොල් ගෙඩි 2ක්, පොල්මලක් ගැටගසයි. ගොප් කොළවලින් දේවතෝඩු බැඳ සැරසිලි කරයි. ප්‍රධාන කපු පත්තිනි ඉස් සෝදා නා පිරිසිදු වී දෙවියන් වෙනුවෙන් යාතිකා කරයි. මෙහිදී කෙන්ඩි පාලිය, සළු පාලිය, දූප පාලිය, නර්තනය කර කප් ගසට පූජා පවත්වයි. අනතුරුව ගම් වැසියෝ සියලු දෙනා හා එක්ව තම බාරහාරවලට කප් ගසේ පඬුරු ගැට ගසයි. මෙම චාරිත්‍රය තුළින් ඇපවීම පොරොන්දු වීම සාමුහිකත්වය සමාජ සම්බන්ධතා ප්‍රකීනමාන වේ.
3.රුක් පේ කිරීම
දෙවොල්මඩුවට අවශ්‍ය ගස් වැල් නිලකිරීම හෙවත් වෙන් කිරීම රුක් පේ කිරීම නම් වේ. නිල කරන ලද වෘක්ෂයක් වටා පවිත්‍ර කොට සතර කොන ගොප් රැහැන් අදී.පසෙකින් මල් පහන් පැලක් තනයි.ප්‍රධාන කපු පත්තිනි ඇතුළු පිරිස නිල කරන ලද වෘක්ෂයන් වෙත ගොස් පැහැදුන් කඳක් වෘක්ෂයන්ට ඔප්පු කරයි.අනතුරුව දෙවියන් යකුන් වෙනුවෙන් කන්නලව්වක් කර මෙම විමාන අතහැර යන ලෙසට අයැද සිටී.මෙම චාරිත්‍රය රුක් පේ කිරීම නම් වේ.එදා දෙවොල් දෙවි සත් කට්ටුව ලක් බිමට ගොඩබසින තැනේදී පත්තිනිය විසින් අසළ වූ මිල්ල කැළෑවට ගිනි තබන ලද බවත් එම ගිනි මැඩගෙන දෙවොල් දෙවියන් මෙරටට පැමිණි ආකාරයත් සංකේතවත් කිරීමට ගිණි පෑගීම සිදු කරයි. ඒ සඳහා අවශ්‍ය දර සපයා ගැනීමට මිල්ල කැපීමේ චාරිත්‍රය සිදු කරයි. පංචතූර්ය වාදන මධ්‍යයේ මිල්ල ගස වෙත යන කපුපත්තිනිවරු මිල්ල ගසට පැහිදුන් කඳක් ඔප්පු කර අතු කැබැල්ලක් කපා ගනී.එය සුදු පිරුවටයක ඔතා උඩුවියන් පාවඩ මධ්‍යයේ මඩු භූමියට වැඩම කරවයි.මිල්ල අතු කැබැල්ල පත්තිනි තොරණේ තැම්පත් කර තබා ගිනි මැලය දල්වන කල්හි එයට දමනු ලැබේ.මෙම චාරිත්‍රය මිල්ල කැපීම ලෙසද හඳුන්වයි.
යාගය සඳහා අවශ්‍ය කරන ජලස්ථාන ගොප් රැහැන් ඇද වෙන් කර ගැනීම නැතිනම් නිල කර ගැනීමයි.තොට පේ කිරීමේදී භූමි දෙවියන්ට, පොළෝ මහී කාන්තාවට, බහිරව දෙවියන්ට පුද පූජා පවත්වයි. යාගය පවත්වන දින සියලු කපු පත්තිනිවරුන් දිය කළගෙඩි රැගෙන ජලස්ථානය වෙත ගොස් මල් පහන් දල්වා දෙවියන්ට නමස්කාර කර මුලින්ම ගන්නා නොඉඳුල් ජලයෙන් කළගෙඩි පුරවා ගනී. අනතුරුව අඳුන් සඳුන් දෙහි උලා පවිත්‍ර වේ.ඉන්පසු උඩුවියන් පාවඩ මධ්‍යයේ දිය කලගෙඩි ගෙනැවිත් පත්තිනි තොරණ ඉදිරිපිට තැන්පත් කරයි.මෙම බොළපැන් දෙවියන් නානුමුර කිරීමට, අඩුක්කු සැකසීමට, කහ දියර සකස් කිරීමට යොදා ගැනේ.
පතිනියගෙ උත්පත්තිය හා සම්බන්ධ වඳුරුමාල කතාව මෙයට සම්බන්ධ වේ. පත්තිනියගේ නාමයට ඔරුමාල පිදේනිය ඔප්පු කරයි. අලුත් නෑඹිලියකට රතු කැකුළු බත්, හත් මාළිව, පලතුරු ආදිය දමා විලක්කු තුනක් ගසා ප්‍රධාන කපු ඔඅත්තිනි විසින් ජලස්ථානට පා කර හරී. නොඑසේනම් කණුවක් සිටුව එහි තැන්පත් කරයි. මෙසේ ඔරුමාල පිදේනිය ඔප්පු කිරීමෙන් සියලු ෆ්රෝග දුරුවන බව විශ්වාස කෙරේ.
දිගින් සැට රියනක් ද, පළලින් තිස් රියනක් ද, උසින් පස් රියනක් ද සහිත මඩුවක් සකස් කෙරේ. බ්‍රහ්ම පාදයෙන් හෝ දේව පාදයෙන් මඩුව සකසන අතර උතුරට හෝ නැගෙනහිරට දොරටුව තබයි. වියන් සැරසිළි, ගොප් සැරසිළි ආදියෙන් මඩුව සැරසීමෙන් පසු මඩුව පේ කර ගනී.මෙහිදී පොලෝ මහී කන්තාවට, භූම දෙවියන්ට, බහිරවයින්ට පුද පූජා පවත්වයි. කෙණ්ඩි පාලිය, දූප පාලිය නටා පැන් ඉස සුවඳ දුමෙන් මඩුව සුවඳවත් කරයි.අනතුරුව දොරටු ආරක්ෂක නූල් දමා සිර කරනුලැබේ.මෙම චාරිත්‍රය මඩු පේ කිරීම නම් වේ
ගමේ දේවාලයේ සිට දෙවියන්ගේ මුර ආයුධ, ආභරණ මඩු භූමිය වෙත වැඩමවීමයි. ප්‍රධාන කපු පත්තිනිය ඇතුළු පිරිස දේවාලයට ගොස් නානු මුට්ටයකින් දේවාභරණ නානුමුර කරයි. අනතුරුව දෙවියන්ගේ ආභරණ හෙප්පුවක දමා උඩු වියන් පාවඩ පිට ඉතා ගෞරව සම්ප්රයුක්ව මඩු භූමිය වෙත වැඩම කෙරේ.
ශාන්තිකර්මය දිනයේ කරන චාරිත්‍ර වාරිත්‍ර
එදා සේරමාන් රජු ඇතුළු පිරිස නැව් නැඟ මෙරටට පැමිණෙන කල්හි බිසව විසින් රන් රිදී මුතු මැණිකෙන් සරසන ලද කප් ගසක් සිටුවන ලදී. එය බිසෝ කප නම් බේ. රජුගේ සිරස් රෝගය සුව වුව හොත් රජුගේ හිසේ ප්‍රමාණයට රන් අඹයක් පුදන බවට බිසව විසින් භාර වන ලදී. මෙම සිදු වීම සිහිපත් කිරීමට අදත් දෙවොල් මඩුවේ බිසෝ කප සිටුවයි. සවියත් සාඟුලක් දිගින් යුත් කෙසෙල් බඩයක් පවිත්‍ර කර විචිත්‍රවත් ලෙස සකසා ගොප්කොල කැටයමින් අලංකාර කරයි. මුදුනෙහි පොල් මලක් ගසනු ලැබේ. මෙම කප් ගස දෑතට ගෙන බිසෝ කප උපත් ගයා ආතුරයාට සෙත් ශාන්ති කරයි. අනතුරුව බිසෝ කප මඩු භූමියේ සිටුවනු ලැබේ. බිසෝ කප වූ කලී සරල වූ විචිත්‍රවත් සැරසිල්ලකි. මෙය ආතුරයාට භාවත්මක වින්දනයක් ඇති කරවීමට සමත් වේ.
සේරමාන් කතා පුවතට අනුව සේරමාන් රජුගේ නැවේ කුඹ ගස මුදුනෙහි මැණකක් වූ බවත් එහි ආලෝකයෙන් සියලු රෝග සුව වන බවටත් පුරාවෘත්තයේ සඳහන්වේ. ඒ අනුව රෝග දුරු කරවා සෙත් ශාන්තිට ආශිර්වාදය අපේක්ෂාවෙන් කාල පන්දම් පූජාව සිදු කරයි. මෙහිදී රියන් 11ක් උස පුවක් ගසක් තෝරා එය සුද්ද කර මුදුනේ පන්දමක් ගැට ගසයි. අනතුරුව ගොප් කොල දේව තෝඩු බැඳ කාල පන්දම් ගස සරසයි. පසුව ගොප් කොළ කනවැල් ආධාරයෙන් කාල පන්දම් ගස ඔසවනු ලැබේ. එහිදී අසූ කාලයක් ආලෝකය පවතීවා යැයි සියලු රෝග දුරු වේවා යැයි ප්‍රාර්ථනා කරයි. මෙම අවස්ථාවේ ගැමියන් විසින් ස්වකීය භාරහාර උදෙසා පඬුරු ගැට ගැසීම සිදු කරයි.
දෙවොල් මඩු යාගයේ නර්තන අංග
1.යහන් දැක්ම
දෙවොල් මඩු යාගයේ ඇදහිලි විශ්වාස හා සබැඳි සුවිශේෂ නර්තන අංගයක් ලෙස යහන්දැක්ම හැඳින්විය හැකිය. දෙවොල් මඩුවේ පුද ලබන සෑම දේව කොට්ඨාසයකටම යහන, පත්තිනි තොරණට වඩිනා ලෙස ආරාධනා කරමින් යහන්දැක්ම නර්තනය කෙරේ. මාතර සම්ප්රදායේ යහන් දැක්ම භාවිතයේ නොමැති වුව ද බෙන්තර හා රයිගම් සම්ප්රදායේ යහන් දැක්ම සුවිශේෂ කොට නර්තනය කරයි. සුදු අත් දිග බැනියම්, සුදු සේල ඇද ඉන පච්ච වඩමකින් වෙලනු ලැබේ. හිසට සුදු ලේන්සුවක් ගැට ගසයි. බෙන්තර සම්ප්රදායේ පපුවට සුවිශේෂී ආභරණයක් පළඳිනු ලැබේ. දෙවියන්ගේ නාමයට ආශිර්වාද කවි ගායනා කොට යහන් දැක්ම පුරනු ලැබේ. සියලු කපු පත්තිනිවරුන් ද සියලු බෙර වාදක ශිල්පීන් ද මෙම අවස්ථාවට සහභාගී වේ. භක්තිමත් විලාසයෙන් වැඳුම් අත් සහිතව නර්තනයේ යෙදේ. විලම්භ, මධ්‍ය, දෘත යන ලය මානයන්ට අනුව නර්තනය ඉදිරිපත් කරන අතර සෑම ලය මානයකටම වැඳුම් අතක් නර්තනය කරයි. අලංකාර ගමන් මාත්‍රා සහිත නර්තනයකි. අවසානයේ යහනට වැඳ නර්තනය හමාර කරයි.
ගායනය සහිත නර්තනාංගයන්කි. සේරමාන් රජු හට රන් රිදී මුතු මැණිකෙන් සරසවා සකස් කරන ලද තොරණ සිහිපත් කරමින් දෙවොල් මඩුවේ තොරණක් ඉදි කරයි. මෙම තොරණ මකර තොරණ, පත්තිනි තොරණ, පත්තිනි මාලිගාව ආදී නම්වලින් ව්‍යවහාර කරයි. මෙසේ මුදුන් කොත් 5ක් සහිතව සකස් කරන විචිත්‍රවත් වූ මකර තිරණ පිළිබඳ විස්තරයක් තොරන් යාගයෙන් ඉදිරිපත් කෙරේ. විවිධ කවි ගායනා කරමින් අදාළ තිත් රූප අනුව අලංකාර පද මෝසම් පද නර්තනය කරයි. අවසානයේ තොරණට වැඳ නමස්කාර කර කඩතුරා කවි කියා කඩතුරාව ඉවත් කරයි. විචිත්‍රවත් අලංකාර මාත්‍රා මෙහි කැපී පෙනේ.
තෙල්මේ යනු තෙල් සහ මල් යන්නයි. දොළහ දෙවියන්ට තෙල් හා මල් පූජා කිරීමෙ අභිලාෂයෙන් තෙල්මෙ නර්තනය කරයි. දොළහ දෙවියන්ගේ ඇඳුම් කට්ටලය ලෙස සැලකෙන තෙල්මෙ ඇඳුමෙන් සැරසී කපු පත්තිනිවරුන් 7 දෙනෙකු විසින් තෙල්මෙ නර්තනය කරයි. මෙහිදී බෙර වාදකයෝ මඟුල් බෙර වයයි. නර්තකයෝ මඟුල් බෙර අවසානයේ තෙල්මෙ නැටුම ආරම්භ කරයි. ශාස්ත්‍රීය නැටුමක් වූ මෙහි දී නේරංගම හා තෙල්මෙ පද හතක් නටනු ලැබේ. මෙහිදී තෙල්මෙ තටුව රඟ බිමේ මැද තබා නළුවත් එය වටේට නටන සිරිතක් ඇත.සෑම තෙල්මෙ පදයක්ම විලම්භ, මධ්‍ය, ධෘත ලයට නර්තනය කරන අතර මෝසම් පද අලංකාර පද නටා රංගනය කරයි. බර කඩිනම් මෝසම් පද නර්තනය කරන අතර ගමන් මාත්‍ර මඟින් නර්තනයේ විචිත්‍ර භාවය ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් ස්වකීය ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරනු වස් මාලක්කම්, බඹර වළල්ල, පතා විස්ස, කෙටෙල කැපීම යන ශිල්පීය දක්ෂතා ප්‍රදර්ශනය කරයි. නර්තනය තාණ්ඩව ස්වරූපයක් ගන්නා අතර තේජවන්ත භාවයක් නර්තනයෙන් ප්‍රදර්ශනය වේ.
මෙය වාහල දෙවියන්ට පූජා පිණිස කෙරෙන නර්තනකි. ප්‍රධාන කපු පත්තිනි හෝ ජ්‍යෙෂ්ඨ ශිපියෙකු සම්බන්ධ වේ. මෙය වරමකින් සිදු කෙරෙන්නක් බව ඇදුරන්ගේ මතයයි. දුම්මලවලට මතුරා වරම් ගන්නා ශිල්පියා පේ කරන ලද පොල් ගස්වලින් කපා ගත් පොල් මල් සුවඳ දුම් අල්ලා දෑතට ගෙන වාහල පද හතක් නටනු ලැබේ. නර්තනය අවසානයේ මල වේගවත්ව පරල වූ විලාශයෙන් හිසේ ගසා සුනු විසුණු කරයි.පොල් මල් 7ක් හිසේ ගසා ගැනීමෙන් ඉතුරු වූ හනස්ස කප් ගසට තබා බැද තබයි.
දෙවොල් මඩුවේදී සශ්‍රීකත්ව, සෞභාග්‍යය, වර්ශාව, රෝග නිවාරණය අපේක්ෂාවෙන් සෙත ශාන්තිය අපේක්ෂාවෙන් පත්තිනි නටනු ලැබේ. මේ සඳහා ප්‍රධාන කපු පත්තිනි සම්බන්ධ වන අතර සත් දිනක් පේ වීම සම්ප්‍රදායික පිළිවෙතයි. පත්තිනි නැටීමට පෙර ජීවමාන පත්තිනය ලෙස සමාරෝපය වේ. පත්තිනි කවි ගායනා කරමින් උඩුවියන් පාවඩ මධ්‍යයේ ලාලිත්‍යවත් ගමනින් පැමිණ ශෘංගාරාත්මක භාව චලන ඉදිරිපත් කරමින් පත්තිනි නර්තනය සබයේ රඟ දෙයි. මෙහිදී පත්තිනි පද 7ක්, සුරල් පද 7ක්, කරඬු පද 7ක් නර්තනය කරයි.අවසානයේ පත්තිනි තොරණට වැඳ හළං සළු කරකවා සෙත් ශාන්ති කර සැමට ආශිර්වාද කරයි.
උඩින් සළුව සලන් පතිනි
බිමින් සළුව සලන් පතිනි
වටතිර සළු සලන් පතිනි
ආතුර දොස් හරින් පතිනි
6.දෙවොල් නර්තනය
මෙය දෙවොල් දෙවියන් ලංකාවට ගොඩ බැසීම නාට්‍යාකාරයෙන් රඟ දැක්වීමකි. බුදුන්ට දන් කඨිනයක් පුදා දේවත්වය ප්‍රාර්ථනා කල දෙවොල් දෙවි සත් කට්ටුව එදා පත්තිනිය විසින් මවනලද ගිණි වැට සිසිල් කර සීනිගමට ගොඩ බසින ලදී. එතැන් පටන් සීනිගම මහ දෙවොලේ පුද ලබන මහා දෙවියෝ මුළු රුහුණටම තෙද අණසක පාති. සීනිග මහා දේවාලයේ විරාජමාන වන දෙවොල් දෙවි සත් කට්ටුව යහපත් මිනිසුන්ට යහපත ද, අයහපත් මිනිසුන්ට අයහපත ද උදා කර දෙන දෙවි කෙනෙකි. දෙවොල් දෙවියන්ගේ සෙත් ශාන්තිය පතා දෙවොල් මඩුවේ දෙවොල් නර්තනය සිදු කරයි.මෙයට දෙවොල් ඇඳුමෙන් සැරසුණු ශිල්පීන් 7 දෙනෙකු සහභාගී වේ. රංග වස්ත්රාභරණ සඳහා ජ්‍යාමිතික හැඩතල යොදා ගැනෙන අතර ත්‍රිකෝණාකාර හැඩතල බහුලව යොදා ගනී. දෙවොල් නර්තනය අතරතුර සිදු කෙරෙන දෙවොල් ගොඩ බැසීම නාට්‍යමය ස්වරූපයක් ගනී. දෙවොල් දෙවි සත් කට්ටුව ලක්දිවට ගොඩබට ආකාරය එමඟින් නිරූපනය කෙරේ. අනතුරුව දෙවොල් පද පුරනු ලැබේ. එහිදී දෙවොල් පද 7ක්, සුරල් 7ක්, කාඟුල් වට්ටම් නටනු ලැබේ. සෑම දෙවොල් පදයක්ම ලය තුනට නර්තනය කරයි. බර, කඩිනම්, ගමන් මාත්‍රය නර්තනය කරන අතර තාණ්ඩව නර්තන ලක්ෂණ ප්‍රදර්ශනය කරයි. ශිල්පීන් සිය දක්ෂතා ඉදිරිපත් කරනු වස් මාලක්කම, බඹර වළල්ල, පතාවිස්ස ආදිය ඉදිරිපත් කරයි. අවසානයේ ගිනි පාගා නර්තනය හමාර කරයි.1.අඹ විදමන
දෙවොල් මඩු යාගයේ එන අඹ විදමන පත්තිනියගෙ එක් උත්පත්තියක චරිත විස්තර විදහා පාන අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. නාට්‍යමය ලක්ෂණවලින් සුපෝෂිත අන්තර්රංගමය පෙළපාලියක් ලෙස අඹ විදමන ඉදිරිපත් වේ. පඬි රජුගේ ඔද තෙද සිඳිනු වස් පත්තිනිය මවිත අඹයක්ව උපන් අතර පඬි රජු මෙය කැඩීමට උත්සාහ කරද එය ව්‍යාර්ථ විය. අවසානයේ මහළු වෙස් ගත් සක් දෙව් රජ පැමිණ අඹය කඩා දමයි අඹයේ කිරි බිංදුවක් රජුගේ ඇසට වැටී දෙනෙත් අඳ වේ. මෙම අඹ ගෙඩිය රන් කරඬුවක බහා කාවේරි නදියේ පාකර හරී.මෙය වෙළඳ කුමාරයෙකුට හසුව වැලි මළුවේ සඟවා තබයි. දින කීපයකින් ඉන් රූමත් කුමරියක උපත ලබා සිටිනු දකී. ඇය පත්තිනයයි. මෙම කතා පුවත නාට්‍යානුසාරයෙන් රඟ දැක්වීම මෙහෙදී සිදු වේ. මෙහි එන දෙබස් සංවාද හාස්‍ය රසයෙන් යුක්තය. වචන වරද්දවා කීම, වචන කනපිට පෙරළා කීම, අසභ්‍ය වචන ප්‍රකාශ කිරීම, ග්‍රාම්‍ය ඕලාරික දෙබස් සංවාද වල යෙදීම, දෙබස් සංවාද ගැටුමක ස්වරූපයක් ගැනීම මඟින් හාස්‍ය ප්‍රභලව ඉස්මතු කරයි.
දොළහ දෙවියන්ගේ නාමයට දොළහ පෙළපාලිය නටනු ලැබේ.පූජා භාණ්ඩ 12ක් මෙහිදී දොළහ දෙවියන්ගේ නාමයට කැප කර පූජා කරනු ලැබේ. උඩුවියන්, පාවාඩ, කුඩ, කොඩි ,සේසත්, චාමර, දවුල්, තම්මැට්ටම, නලාව, හොරණෑව, හක්ගෙඩිය හා වීණාව එම භාණ්ඩ 12යි. මේ එක් එක් පූජා භාණ්ඩය ඊට අදාල ක්‍රියාකාරකම් සහිතව රංගනයෙන් ඉදිරිපත් කර දොළහ දෙවියන්ට පූජා කරයි. මෙය හාස්‍ය රසයෙන් අනූන නාට්‍යමය පෙළපාලියක් වන අතර අනුකරණය, අනුරූපණය, දෙබස් සංවාද භාවිතය පැහැදිලිව කැපී පෙනේ.
දොළහ දෙවියන්ට කරන පූජාවකි. දොළහ දෙවියන්ගේ නාමයට ඇතෙකු අල්ලා දළ කපා දොළහ දෙවියන්ට ඔප්පු කිරීම අනුරූප මාධ්‍යයෙන් මෙහිදී ඉදිරිපත් කෙරේ. මෙහිදී එක් කපු පත්තිනි වරයෙකු ඇතෙකු ඇල්ලීමට හෙණ්ඩුව රැගෙන සැරසෙනු ලබයි. අනතුරුව ඇතෙකු ඇල්ලීමට දඩයමේ යන ආකාරය රංගනයෙන් දක්වමින් නර්තන පද තාල අනුව යාග පොළ වටා ගමන් කරයි. දෙබස් සංවාදවල නිරත වීමෙන් අනතුරුව ඇතෙකු අල්ලා ගනී. එක් පුද්ගලයෙකු සුදු රෙද්දකින් ශරීරය ආවරණය කර කෙසෙල් පතුරෙන් තනා ගත් ඇත් මුහුණක් පළඳවා ඇතෙකු ලෙස වෙස් ගන්වයි. අනතුරුව ඇතා වට කොට අල්ලාගෙන දොළහ දෙවියන්ගේ නාමයට දල කපන ආකාරයට නර්තනය කරයි. මෙහිදී ඇතා ඇල්ලීමට යන අයුරු, ඇතා වට කොට ගන්නා අයුරු, දල කපා පූජා කරන අයුරු බෙරවල තාලයට අනුව නර්තනය කරයි. රංග භාණ්ඩ වශයෙන් හෙණ්ඩුව යොදා ගනී. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහි ගැඹුරින් දක්නට ලැබේ.4.මී බන්ධනය
දොළහ දෙවියන්ගේ හ මංගර දෙවියන්ගේ නාමයට මීමෙකු අල්ලා අං කපා පූජා කිරීම මී බන්ධනයෙන් සිදු කෙරේ.මෙහිදී කපු පත්තිනවරයෙකු මීමෙකු ඇල්ලීමට කෙවිටක් හා මන්දයක් (ලණුවක්) රැගෙන යන අයුරු රංගනයෙන් පෙන්වයි. පෙර පරිදිම පුද්ගලයෙකු මීමෙකු සේ සමාරෝපණය වේ. සුදු රෙද්දකින් ශරීරය වසා සතර ගාත් දැක්වීමට කෙසෙල් කොට දෙකක් ද වලිගයක් හා කෙසෙල් පතුරු හිසක්ද පළඳී. මීම සොයා යන අයුරු, මීමා වට කොට අල්ලා ගන්නා අයුරු, අං කපා ගන්නා අයුරු බෙර පද තාලයට අනුව නර්තනයෙන් පෙන්වයි. දෙබස් හා සංවාද හාස්‍ය රසෙන් යුක්තයි. අනුකරණය , අනුරූපණය, සමාරෝපණය, දෙබස් සංවාද භාවිතය,රංග භාණ්ඩ, අභිනය භාවිතය මෙහිදී ද දක්නට තිබේ. රංග භාණ්ඩ ලෙස කෙවිට හා මන්ද යොදා ගනී.
එදා පඬි රජුගේ බිසවගේ සළඹ සොරා ගත්තා යැයි සිතා කෝවලන්ව මරා දැමූ අතර කෝවල සොයා යන පත්තිනිය වෙල්ලිය අම්බලමට පැමිණි අතර එහි දී යකෙකු දමනය කරයි.පසුව කාවේරි නදියෙන් එතෙර වීමට තොටියාගෙන් උදව් ඉල්ලූ විට ඔහු එය ප්‍රතික්ෂේප කිරීම නිසා තොටියා සමඟ වෛර බැඳ ගන්නා පත්තිනිය තම පේරැස් මුදුව ගලවා ගඟට දමා ගඟ දෙබෑකොට ගඟෙන් එතෙරව ගොස් එම තොටියාගේ හත්මුතු පරම්පරාවටම වදුරු වසංගත ඇති කරයි. පසුව සිය සැමියාගෙ මෘත දේහය වැළඳ ශාප කරමින් අඬා වැළපෙන පත්තිනිය සිය වම් පියයුර කඩා පොලොවේ ගසා පඬි රට ගිණි බත් කළ බවත්, පසුව මල් වැසි වස්සවා සශ්‍රීක කල බවත් කියයි.මෙන්න මෙකී කතාන්දරය අනුරූපණයෙන්, අනුකරණයෙන් යුතු භාවාතිශය රංගනයකින් යුතුව ඉදිරිපත් කිරීම මරා ඉපැද්දීම තුළින් සිදු වේ. මෙහිදී එක් කපු පත්තිනිවරයෙකු පත්තිනි දෙවිය ලෙස සමාරෝපණය වේ. රංග භාණ්ඩ වශයෙන් කාවේරි නදිය නිරූපණය කරන දිය කොරහ හා පේරැස් මුදුව භාවිත වේ.
පත්තිනි වෙනුවෙන් කරන සෙත් ශාන්තිවලදී විශේෂයෙන් මඩු තෝත්රවල දී යාග අවසානයේ ගරා යක්ෂයා වෙනුවෙන් නැටීම සිරිතයි. ඇති වූ ඇස්වහ කටවහ හෝවහ දෝස දුරු කරවා ගැනීම මෙහි අභිප්‍රායයි. කපු පත්තිනවරු දෙදෙනෙකු ගරා යක්ෂයා ලෙස සමාරෝපණය වී ගර වෙස් මුහුණක් පළඳී. මෙහිදී සුවිශේෂී සැරසිල්ලක් ලෙස ගරා අයිලයක් සාදයි. මෙම අයිලය මත නැඟී පද්දෙමින් හාස්‍ය මතු වෙන ලෙස රංගනය කරයි. අවසානයේ සෙත් ශාන්ති කර පිටව යයි.
2024-10-20
"හුම්"
විවාහවු පසු වගකීම් සහිත ජීවිත ගමනක් ඇරඹීමට සිදුවේ.
දරුවන් ලොකු මහත්වේ. ඔවුන් අආරරක්‍ෂා කල යුතුවේ . ගෙවල් වතුපිටි දරුවන්ගේ දරුවෝ බලාගන්න වෙයි.“තාත්තා නැත්නම් අම්මා ගෙදර ඉන්න“ තහංචි දැමෙයි. අන්තිමට නිදාගන්නේත් දෙමහල්ලෝය මුලින්ම අවදි වන්නේත් දෙමහල්යන්ය. ගෙදර සිදුවන සියළු අතපසුවීම් වලට වැරදිකරු වන්නේත් .බැනුම් අහන්න වෙන්නේත් දෙමහල්ලන්ය. දැන් දැන් බල්ලාගේ රාජකාරිය දෙමහල්ලන් අතට පත්වී ඇත.
අන්තිමට එළඹෙන්නේ බකමුණු අවධියයි.
තාත්තා බත් කෑවද? අම්මා බත් කෑවාද ? .
අද නානවද ?
බෙහෙත් බිව්වද?
ඕනම දෙයක් ඇහුවම ප්‍රති උත්තරය -
වෙනත් උත්තර දීලා ලැබුන උත්තර වලට දැන් ජීවිතය පදම් වෙලා.
ඒ නිසා හැමදේටම "හුම්" කියුවම ප්‍රශ්න ඇත්තේ නැත.
"හුම්"
2024-10-19
සත්‍යය.
වරෙක ඔබ සිත බඳනා
රකුසු වෙස් ගෙන මොහොතකින්
නුබ ගැබම කළුවෙන් වැසෙනා .
දෙකම්මුල් සිප හාදු පුදමින්
මඳනල ක් සේ හමනා
කුණාටුව වී අසුරු සැණෙකින්
සැඩ සුළං බිය ගෙනෙනා .
වනස්පතියකි මලින් සුවඳින්
පිරී සෙවනක් සදනා
ගිම්හානයට නුඹේ සියොළඟ
දිරාගිය අතු සැලෙනා .
වෙනස්වන හැම නිමේෂයකම
ජීවිතය සළු කරනා
බිය නො වන්නෙමි පියාපත් වල
සවිය තනිකම මකනා .
2024 .10.22.
2024-10-18
රතු දත්ත පොතට ගිය හල්.
2024-10-17
වප් පුන් පොහෝ දිනය
වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.
පෙරවස් පවාරණය
වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු ලැබේ. එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි. එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දීය. භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමිනි. ‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි. සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනිති. පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.
සංකස්සපුර දේවාවරෝහණය
භාග්‍යවතුන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනක සැවැත් නුවර ගණ්ඩබ්බ රුක්ඛ මූලයේදී තීර්ථකයන්ගේ මානය මර්ධනය කරනු පිණිස, යමක මහා ප්රාතිහාර්යය දක්වා සත්වෙනි වස් කාලය ගත කරනු පිණිස තව්තිසා දෙව්ලොවට වැඩම කළ සේක. සක්දෙව් රජුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයෙහි වස් වැස මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙව් පිරිසට අභිධර්මය දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් අවබෝධ කළහ. මාතෘ දිව්‍ය රාජයා ද සෝවාන් විය.
වප් පුර පසළොස්වක පොහෝ දිනය එළැඹියේය. පුරා තුන් මසක් මුළුල්ලෙහි තව්තිසාවෙහි වස් විසූ බුදුරජාණන් වහන්සේ වස් පවාරණය කොට දිව්‍ය බ්‍රහ්ම මහා හරසර මැදින් තව්තිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස පුරයට මහ පෙළහර පාමින් වැඩි සේක. සම්බුද්ධ ශරීරයෙන් සවණක් ඝණ බුද්ධ රශ්මි මාලා විහිදුවමින් දෙව් බඹුන් පිරිවරා අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස පුරයට වැඩි ඒ අසිරිමත් සම්බුදු මහිමය සිදුවූයේ වප් පුන් පොහෝ දිනයකදීය. ඒ විස්මය දුටු අග්‍රශ්‍රාවක ධර්ම සේනාධිපති සාරිපුත්තයන් වහන්සේ, සර්වඥයන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරමින්, මෙවැනි බුද්ධශ්‍රීයක් දුටු ප්‍රථම වාරය මේ යැයි පවසමින්, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවෙන් සමලංකෘත වූ බුද්ධ ශ්‍රී දේහය දෙස බලමින් බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සම්බුදු ගුණ වර්ණනා කළ සේක.
ඉක්බිති සර්වඥයන් වහන්සේ තමන් වහන්සේගේ විස්මිත පෙළහර නිමිති කරගෙන රැස්වූ දෙව් මිනිස් සමාගමයට ධර්මය දේශනා කරමින් මෙසේ වදාළ සේක.
“යේ ඣානපසුතා ධීරා – නෙක්ඛම්මූපසමේ රතා
දේවාපි තේසං පිහයන්ති – සම්බුද්ධානං සතීමතං”
(ධම්ම පදය – බුද්ධ වග්ගය)
ඒ ගාථා කෙළවර බොහෝ දෙනෙක් මගඵල ලැබූහ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියයක් පමණ භික්ෂූන් අරහත්වයට පත්වූ සේක. මෙහිදී බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දුන් න්‍යාය ක්‍රමයක් අනුව තථාගතයන් වහන්සේ විසින් නගන ලද ප්‍රශ්න මාලාවක් මහාප්‍රාඥ සාරිපුත්තයන් වහන්සේ විසඳන ලදී. එවිට ඒ මහා ජන සන්නිපාතය මධ්‍යයේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර ප්‍රඥාවෙන් අගතැන්පත් ශ්රාවකයා ලෙස සම්බුදු මුවින් සාරිපුත්ත මාහිමියන් ප්‍රශංසාවට ලක් විය.
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගෞතම සසුනේ පැවිදි බව ලැබීම
දේවාවරෝහණ මහා පෙළහර දැකීමෙන් අතිශයින් ප්‍රමුදිත සිත් ඇති බොහෝ දෙනෙක් එදින සම්බුදු සසුනේ පැවිදි බව ලැබූහ. සුර, නර මහා සංගමයේදී බුදුරජාණන් වහන්සේ හා සාරිපුත්තයන් වහන්සේ අතර ඇති වූ රමණීය දහම් සංවාදයට සවන් දුන් මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ද ඉමහත් ප්‍රසාදයට පත්ව ගෞතම සසුනේ පැවිදි විය. මේ මහා භද්‍ර කල්පයෙහි, මිනිස් ආයුෂ අවුරුදු අසූ දහසක් වූ කල, සම්බුද්ධත්වය සාක්ෂාත් කරනා, මෛත්‍රී බෝසතුන් එලෙස පැවිදි වූයේ ද වප් පුන් පොහෝ දින දී ම ය.
විනය සංගායනාව
සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා උදාර සේවාවක් සිදුකළ දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මාහිමියන්ගෙන් ‘ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටියේදැයි“ විචාලේය. ‘එම්බා මහරජ, ශාසනය පිහිටියේය. එහෙත් තවම මුල් බැසගෙන නැත“ යනුවෙන් උන්වහන්සේ පිළිතුරු දුන් සේක. ‘ශාසනය මුල් බැස ගන්නේ කෙසේදැයි?“ තව දුරටත් රජු විසින් විචාරන ලදුව “යම් කලෙක මේ හෙළ දිවයිනෙහි සිංහල මව්පියන් හට දාව උපන් දරුවෙක් මෙහි දී ම පැවිදිව විනය පිටකය ඉගෙනගෙන මේ දිවයිනෙහි ම විනය සංගායනා කරයිද එකල්හී බුද්ධ ශාසනය මුල් බැසගත්තා වන්නේය“ යැයි මිහිඳු මහරහතන් වහන්සේ පැහැදිලි කළහ. ප්‍රථම සිංහල රහතන් වහන්සේ වන මහා අරිට්ඨ මාහිමියන්ට මේ සුදුසුකම් සියල්ලම පිහිටා තිබුනි. එබැවින් මිහිඳු මහරහතන් වහන්සේගේ අනුශාසනා පිරිදි ථූපාරාමය සෑ මළුවේදී අරිට්ඨ මහරහතන් වහන්සේ ප්රමුඛ සිංහල මහරහතන් වහන්සේලා වප් පුන්පොහෝ දින විනය පිටකය සංගායනා කළ සේක. ඒ මොහොතෙහි ලක්දිව සම්බුදු සසුන මුල්බැස ගත් ප්‍රීතියෙන් මිහිකත කම්පිත විය.
ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම
ලංකාද්වීපයේ රාජ්‍යය පාලනය කළ දේවානම්පිය තිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය අසා බුදු සසුනේ බොහෝ සේ පහන් වූ සිත් ඇත්තේ දිවමන් මුනි රජාණන් බඳු වූ ඒ ජය ශ්‍රී මහා බෝ රජාණන් වහන්සේගේ ශාඛාවක් වැඩම කරවාගෙන ඒම පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ කතිකා කරන්නට විය. ඒ අනුව අරිට්ඨ මහා අමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිවරක් දඹදිව ධර්මාශෝක අධිරාජයා වෙත් පිටත් කරවා යැවීය.
එහි ප්‍රතිඵලයක් ලෙස මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ සමඟ කරුණු පැහැදිලි කරගත් ධර්මාශෝක නරේන්ද්‍රයන් මහා බෝධි ශාඛාවක් වැඩම කරවීමට සියල්ල සංවිධානය කරවන්නට වූහ. විජය ශ්‍රී ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ මනාකොට සරසා පුද පූජාවන් පවත්වා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වෙන් කරගැනීමට ධර්මාශෝක රජු රන් තෙලිතුඩක් ගෙන මහා බෝධීන් වහන්සේත් දක්ෂිණ ශාඛාවත් වෙන් වන පරිදි රේඛාවක් ඇන්දේ ය.
සැබැවින් ම ආශ්චර්යයකි! රැස් ව සිටි පිරිසගේ සාධුකාර මැද දක්ෂිණ ශාඛාව තෙමේ ම වෙන් වී පිළියෙළ කොට තිබූ රන් කටාරමේ පිහිටන්නට වූ සේක. කටාරමේ පිහිටි බෝධි ශාඛාව එයත් සමඟ ම ඍද්ධියෙන් අහසට පැන නැඟ වළා අතර නොපෙනී ගිය සේක. මේ මහා අසිරිය සිදු වූයේ උතුම් වූ වප් පුන් පොහෝ දිනයක දී ය.
මෙවන් උතුම් ශාසනික සංසිද්ධීන්ගෙන් අනූන වූ වප් පුන් පොහෝ දිනයේ දී අපි සියලු දෙනා ම දානාදී පින්කම් සිදුකරමින්, සීලාදී කරුණා මෛත්‍රීයාදී ගුණධර්මයන් දියුණු කර ගනිමින්, භාවනාදී ප්රතිපත්තීන්හි නියැලෙමින් සේඛ බල ධර්මයන් දියුණු කර ගනිමු. මේ ගෞතම බුදු සසුනේදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මේ බියකරු දුක්ඛිත සසරින් එතෙර වන්නට වෙර දරමු. ඒ පිණිස උතුම් තිසරණය ම පිළිසරණ කරගනිමු!
තෙරුවන් සරණයි!
ඇසුර – පොහොය වර්ණනාව – මාපලගම සෝමිස්සර හිමි)
2024-10-15
කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ
පන්සල් යන පල්ලි යන ආගමික කටයුතු වලට ලැදි විශ්‍රාමිකයෝ
මෙන්ම විශ්‍රාම වැටුප් දා පුංචි සොමියක් දා විසිර යන විශ්රාමිකයෝද සිටිති.
මොවුන් තම විශ්‍රාම වැටුප තමන් පදිංචි නිවෙස් අසල බැංකුවකින් හෝ තැපල් කාර්යාලයකින් ලබා ගත හැකිව තිබියදී කණ්ඩායම මුණ ගැහෙන රැස්වීමට පහසුකම් ඇති නගරයකදී බැංකු පහසුකම් සලස්වා ගනී.
මට මේ කතාන්දරය සිහිපත් වුයේ පසුුගිය දිනක මට මුණ ගැසුන මිතුරන් තිදෙනකෙු නිසාවෙනි. ඔවුුන් මගේ වයසින් නම් මට අයියලා විනි. සියල්ලන්ටම සුදු වු හිසකෙස් තිබිනි. කළු කර ගන්නට උවමනාවක් නැති බවක් කතා බහින්ම හිතා ගත හැකිවිනි.මා හැර මේ තිදෙනාම පරිපාලන සේවයේ සිට විශ්‍රාම ගොස් අඩුුම තරමින් අවුරුදු විසිපහකට ආසන්න විය හැකි “ නාකි පප්පලාය “ .
මේ තුන් දෙනා ස්වාමීන් වහන්සේ නමකට බණකට ආරාධනා කරනු පිණීස කිමි.150 ක් පමණ දුර ගෙවා පැමිණි ගමනක මාද මුණ ගැසී ආගිය තොරතුරු කතා කිරීම මටද සතුටට හේතුවක් විනි. අහම්බයෙන් වන මෙවැනි අතීත මිත්‍රත්වයන් අළුත්වැඩියා වීම නිතරම ඇතිවීම මට ඇති එක් භාග්‍යවත් බවකි.
මේ කතා අතර දහමට ලැදි මිතුරන් ගේ කතා බහ අතරින් මතුවු එක් කවක් මෙසේ විනි.
දිරන ගෙවල් උඹ කුමකටදැයි හදන්නේ
ගෙයක් ඇර ගෙයක් නොතකා ඉදින්නේ
ගන් ගියදා ගෙට ගීණි ගති බොලන්නේ...........,”
කන්දේ ගෙදර - රුප. වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ
නයිදේ - තෘෂ්නාව
ගෙයක් අත නොහැර ගෙයින් ගෙට යන - නයිදේ
එක් ගෙයක් ගිණි ගත් පසු තවත් ගෙයක් සදයි.
සසර කෙළවරක් නැත/ නැවත නැවතත් ඉපිදේ.
ගන් ගිය දා
- මියගියපසු
ගෙට ගිණි තියති
- මළවුන්ගේ සිරුර පුළුස්සති.
මම තෘෂ්නාවෙන් යුතුව ගිණි ගන්නා සිරුර අත් හැර
තවත් ගෙයක් හදන්න කරුණු කාරනා එකතු කරමින් සීටිමි.
මගේ මිත්‍රයෝ මේ සියල්ල අත්හැර නැවතත් ගෙවල් හදන්න නොසිතති.
එයත් පහසු කටයුත්තක් නොවේ.












