ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-12-04

කුණාටුවේ විද්‍යාව



බෙංගාල බොක්ක කියන්නේ ලෝකේ ලොකුම මුහුදු බොක්ක. ලෝකේ තුන් වෙනියට ලොකුම බොක්ක තමයි මේ ගල්ග් ඔෆ් මෙක්සිකෝ (දැන් ගල්ෆ් ඔෆ් ඇමරිකා). මේ දෙකම කුණාටු ක්‍රියාකාරිත්වය ඉහළ තැන් දෙකක්. මේ දෙකම තියෙන්නෙ උතුරු අර්ධ ගෝලයේ.
මේ දෙතැනම හැදෙන කුණාටුවල පොදු ලක්ෂණයක් තියෙනවා. 
උත්තර අර්ධ ගෝලයේ සියළු කුණාටු කැරකෙන්නේ වාමාවර්තව. ඒවා ගමන් කරන්නේ ලෝක සිතියමේ පහළ සිට ඉහළට C අකුරේ හැඩය ගත් වක්‍රයක. කුණාටුවක ලෙවල් තුනයි; අවපාතය (D), කුණාටුව (S), හරිකේන් (H). අපිට කාලෙකින් ආව කුණාටුව මේක වුනාට; ඔය ගල්ෆ් බොක්කෙ තියෙන ෆ්ලොරිඩා, හූස්ටන්, නිව් ඔර්ලන්ස් වගේ ප්‍රදේශවලට හරිකේන් මට්ටමේ කුණාටු අවුරුද්දකට දෙක තුනක් එනවා. 
හරිකේන් එකක වැස්සට වඩා හුළගෙන් වෙන හානිය වැඩියි. කුණාටුව ගොඩ බිමට ආව ගමන් ශක්තිය හීන වෙනවා. කුණාටුව ජවය ලබන්නේ උෂ්ණත්වයෙන් වැඩි මුහුදු ජලය මතින් ගමන් කරද්දී. කුණාටුව බිහි වෙන්නේ මුහුදේ උෂ්ණත්වය අවට ගොඩ බිමට සාපේක්ෂව වැඩිවීම නිසා හටගන්නා වායු ධාරවලින්. 
සෘතු බේදය නිසා උත්තර අර්ධ ගෝලයට එහෙම උෂ්ණත්ව වෙනස ඇතිවෙන්නේ වසරේ අවසන් මාස කිහිපයෙයි. ඒ කියන්නේ හැම වසරෙම මේ කාලේ කුණාටුවක් බලාපොරොත්තු විය හැකියි.
 
හැබැයි ඉතින් කුණාටුවක් හටගෙන ඔය පෙන්වන වක්‍රයේ යන්න දින කිහිපයක් ගතවෙන නිසා ඉවත්වෙන්න ඕන තරම් කල් තියෙනවා. අනික හුඟක් කුණාටු මුහුදෙ හටගෙන මුහුදෙම වියැකිලා යනවා. ඒත් එකම ප්‍රන්තෙට එකම අවුරුද්දේ කුණාටු දෙක තුන වැදිච්ච අවාසනාවන්ත කාලත් තියෙනවා. ඔය ලංකාවේ වැදුන දිත්වා කුණාටුවත් එහෙම අවාසනාවන්ත එකක්. 
කුණාටුවක් ලංකාවේ වැදුනොත් වැස්සෙන් වෙන හානිය වැඩියි. හේතුව කුණාටුව වාමාවර්තව කැරකෙන නිසා බෙංගාල බොක්කේ ජල වාශ්ප අරන් එන කුණාටුවේ උතුරු කොටසේ හුලං ධාරාව කැරකිලා ඇවිත් වදින්නේ මධ්‍යම කඳුකරයේ ඊසානදිග බෑවුමේ. ඒකයි ඒ බෑවුමේ ඇති නුවර, බදුල්ල, මාතලේ දිස්ත්‍රික්කවලට තදින් වැස්සේ. නිරිතදිග බෑවුම කඳුකරයෙන් කවර් වෙනවා; කළුතර, ගාල්ල, මාතර අය බේරුනේ එකයි. 
අනික් කාරනය; ස්ටොර්ම් එකක් හරිකේන් එකක් තරම් වේගයෙන් ගමන් කරන්නෙ නෑ; ඒ නිසා එක තැන කැරකි කැරකි වැඩි වැස්සක් ගෙනත් දෙනවා!

day in the life

2025-12-03

පෘථිවියේ මුහුදු එන්ජිම බිද වැටෙයි .



ලංකාවෙ අපි හුරුවෙලා හිටියේ මෝසම් වැහි රටාවකට . ජනවාරි මැයි අතර කාලය ඊසාන දිග මෝසමෙන් ලංකාවේ ඉහළ කොටසට වැස්ස ලැබෙනවා . ඒ වගේම මැයි සිට දෙසැම්බර් කාලය නිරිත දිග මෝසම් සුළඟ හරහා ලංකාවේ පහළ කලාපයට වැස්ස ලැබෙනවා . සිරිපාදේ අවාරය නිර්මාණය වෙන්නේ මෙන්න මේ නිරිතදිග මෝසමත් එක්ක . ඊට අමතරව තෙත් කලාපය තුළ සවස් කාලයේ කෙටි වැසි ඇතිවුණා .

බෙංගාල බොක්කේ ඇතිවන අව පීඩන කලාප යක් හරහා ඇතිවන වැඩි වැස්ස වගේම සාමාන්‍ය සුලි කුණාටු ලංකාවට අලුත් දෙයක් නෙවෙයි . ඒත් වසර දෙකක පමණ ඉඳන් මේ රටාව වෙනස් වෙමින් පවතිනවා . නියමිත කාලය තුළ මෝසම් සුළං ප්‍රවාහ සක්‍රිය වෙන්නේ නැහැ . ඒ හින්ද බලාපොරොත්තු වෙන කාලෙදි වැස්ස ලැබෙන්නේ නැහැ .වැස්සට වඩා ප්‍රබල සුළි කුණාටු නිර්මාණය වෙමින් ඇතිවන හානිය වැඩිවෙනවා . පොළොවට දරන්න බැරි තරම් ජල ප්‍රමාණයක් කෙටි කාලයක් තුළ ඇදහැලෙනවා .
 
මේක අපිට විතරක් පොදු කාරණාවක් නෙවෙයි . මෑත වසර දෙක දිහා බැලුවම ලෝකෙ හැම රටක්ම මේ කාලගුණික විපර්යාසයන්ට මැදිවන බව පේනවා . එක පාරම මොකක්ද මේ වෙන්නේ? මම කලින් ලියපු ලිපිවලට කිහිපදෙනෙක් ලියල තිබුණා . මේ වැස්ස ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. මේ කාලයට කොහොමත් වහිනවා කියලා ... ඔව් සාමාන්‍ය විදිහට නිරිත දිග මෝසමේ අවසන් කාලය හා ඊසාන දිග මෝසමේ මුල් කාලය තමයි මේ ගතවෙමින් තියෙන්නේ . හැබැයි ළඟ ළඟ ලංකාව වටා කැරකෙනා සුලි තත්ත්වයන් ලංකාවට අලුත් තත්වයක් .. ලංකාවේ පැති තුනකින් එකවර ඇති වෙන අව පීඩන කලාප අලුත් තත්වයක් ... මේ අලුත් අත්දැකීමත් එක්කම දින පහක් වගේ කාලයක් තුළ ලංකාවේ වැඩි ප්‍රදේශ වලට හිතාගන්න බැරි ජල කදකට මැදි වෙන්න සිදු වුනා. ( මෙම ලිපිය ලියන මොහොත තුලත් තවමත් එය සක්‍රීය වෙමින් පවතිනවා )

මේ සිද්ධිවලට අමතරව ලෝකයෙන් ඇහෙන්න ලැබෙන තවත් වචන ටිකක් තියෙනවා අසාමාන්‍ය අවපීඩන කලාප, සූර්ය ක්‍රියාකාරකම්, එක පෙළට සිදුවෙන භූ කම්පන මේවා වෙන් වෙන් වශයෙන් ඇතිවෙන දේවල්ද ? එහෙම නැත්නම් එකට බැඳුණු එක ක්‍රියාදාමයක පුරුක්ද ? ඇයි මේවා ඇතිවෙන්නේ? මේ ලිපිය තුළින් උත්සාහ කරන්නේ මෙන්න මේක පැහැදිලි කරන්න.

පෘථිවියේ ගැඹුරු මෙන් ම සැඟවුණු විශාලම පාලක පද්ධතියක් තියෙනවා , මේකට කියන්නේ Ocean Engine කියලා. මෙය අපේ ඇස්වලට නොපෙනුනාට පෘතුවියේ ජීවනාලිය නැතිනම් පෘථිවියේ ස්නායු පද්ධතිය කියලා කිව්වත් වරදක් නෑ .
මේ පද්ධතිය හදුන්වන්නේ AMOC (Atlantic Meridional Overturning Circulation) කියලා .. මිනිස් හදවතක මහා ධමනියක් හා ශිරාවක් ඒ පුද්ගලයාගේ ජීවිතය පවත්වාගෙන යෑමට කොතරම් වැදගත් වෙනවද එලෙසම පෘථිවියේ පැවැත්මට මෙම හෘදමය වාහිනිය වැදගත් වෙනවා . මෙම පද්ධතිය මගින් සිදුකෙරෙන කාර්යයන් ගණනාවක් තියෙනවා . මෙම කාර්යයන් අපි සරලව අවබෝධ කර ගැනීමට උත්සාහ දරමු .
 
පෘථිවියේ උෂ්ණත්වය හා සීතල උත්තර ධ්‍රුවය හා දක්ෂිණත් ධ්‍රුවය අතර සමතුලිතව පවත්වා ගැනීම සිදුකරන්නේ මෙම පද්ධතිය මුල්කරගෙන , එ කියන්නේ
උතුර හා දකුණ සම්බන්ධ කරමින්, උණුසුම් සුළං සහ සීතල සුළං රටාවත් ජල රටාවත් පාලනය කිරීම සිදු කරනවා .
පෘතුවිය තුළ කාලගුණික රටා පවත්වාගෙන යාම සිදුවෙන්නේත් මෙම පද්ධතිය මගිනුයි . එ කියන්නේ සෑම ගොඩබිම් පද්ධතියකම මෝසම්, නිවර්තන කුණාටු, නියඟ, ( Monsoon, tropical storms, droughts, frontal systems ) — සියල්ල Ocean Engine එකේ රිද්ම මත ක්‍රියා කරනවා .
මේ දිනවල ලෝකයටම බලපාපු සුළි කුණාටු මාර්ග සහ ඒවයෙන් ඇතිවන බලපෑම් ( Cyclone pathways, intensification, rapid deepening ) තීරණය කිරීම 80% ක්ම සාගර තාප ප්‍රවාහය ( Ocean Heat Transport ) මත තීරණය වෙනවා . මේකත් AMCO පද්ධතියෙම කොටසක් ..
සමුද්‍රයේ ජීවීබව පවත්වා ගැනීම උදෙසා සමුදුරු ජලය ඉහළ පහළ මාරු පද්ධති පවත්වා ගැනීම ( Deep upwelling ) මේ හරහා පෝෂණීය ජලපදාර්ථයන් ඉහළට රැගෙන ඒමත් ඔක්සිජන් මිශ්‍ර වූ ජලය පහළට ගෙන යෑම සිදුවෙනවා . ඒ හරහා තමයි සමාජය තුළ ජීවත්වෙන සත්වයන්ගේ බව පවත්වාගන්නේ ...
වායුගෝලය තුල තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) අවශෝෂණය කරගන්නවා කියලා අපිට ඉස්කෝලෙදි උගන්නලා තියෙන්නේ පරිසරයේ තියෙන ශාක වලින් කියලා .. ඒක වරදක් නැහැ . නමුත් ශාක වලින් ගන්න ප්‍රතිශතය ගොඩක් අඩුයි . පෘථිවියේ තියෙන කාබන්ඩයොක්සයිඩ් ( CO₂ ) 90% අවශෝෂණය කරගන්න මුලික පද්ධතිය තමයි Ocean Engine එක .

වායුගෝලය සහ සමුද්‍රය අතර ශක්ති හුවමාරුව එ කියන්නේ සුළං පද්ධති, ජෙට් ප්‍රවාහ, වායුගෝලීය පීඩනය ( Wind systems, jet streams, atmospheric pressure belts ) මේ දේවල් සක්‍රීයව පවත්වාගෙන යාමේ කාර්යයත් සිදු කරන්නේ මෙම Ocean Engine එක මගින්මයි ...
.
ධ්‍රැවීය අයිස් ස්ථායිතාව එ කියන්නේ දැනට අපිට උගන්නලා තියෙන විදියට අංශක 23.5 ඇලය තුළ ගොඩනැගිලා තියෙන අයිස් කඳු පවත්වාගෙන යෑම ( Polar Ice Stability ) පාලනය කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .එ කියන්නේ සීතල පද්ධති Ocean Engine එකෙන් පෝෂණය නොවුවොත් ධ්‍රැවීය දියවීම වේගවත් වෙනවා . මම මෙන්න මේ පැහැදිලි කිරීම කරපු ගමන් මෙතෙක් කල් මගේ පිටුවේ හිටපු අයට මතක් වෙන දේවල් බොහොමයක් තියෙනවා . වසර දොළහකට විතර කලින් ඉඳන් මම කියපු පෘථිවි ඇලය වෙනස්වීම හා නව හිම කඳු බිහිවීම කියන එක සක්‍රීය වෙමින් පවතින අවස්ථාවක් මේක .... තවත් දෙයක් කලින් කියපු අයිස් කඳු දිය වෙලා නව ගොඩබිම් මතුවීම කියන කාරණාවත් මෙතනට අදාලයි .

පාරිසරික ශක්ති ක්‍රමවත් භාවය සකස් කිරීම උදෙසා සුළි කුණාටු, මෝසම් වැසි, එල් නිනෝ-ලා නිනා චක්‍රය ( Hurricanes, monsoons, El Niño–La Niña cycle ) ඇතිකිරීම හා ඒවා නිසි අයුරින් පවත්වා ගැනීම කරන්නෙත් මෙම පද්ධතිය මගින්මයි .
පෘථිවියේ චුම්භක ජාලය පවත්වාගෙන යෑම වගේම ශක්ති ජාලය ජාලය ස්ථාවරව පවත්වාගෙන යෑම ( Magnetic + Energetic Grid Stabilization ) පැරණි ග්‍රන්ථවල සමුද්‍ර නාඩිය ලෙස සඳහන් වන්නේද මෙයයි .
සරලව කිව්වොත් පෘතුවියේ ජීවන රිද්මය ( Ocean Circulation ) රැඳිල තියෙන්නෙ මේ පද්ධතිය මතයි . පුරාණ ග්‍රන්ථවල සමුද්‍ර ප්‍රහාණය කියලා හඳුන්වල තියෙන්නෙ මෙන්න මේ ප්‍රාණ ශක්තියට .

දැන් ඔබට තේරෙනවා මෙන්න මේ පද්ධතිය තුළින් කොච්චර කාර්යභාරයක් ඉටු කෙරෙනවද කියන එක . ඒත් මේ දිනවල මේ පද්ධතිය කෙමෙන් බිඳ වැටෙමින් පවතිනවා . මේක බිඳවැටෙමින් පවතිනවා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් යම් පිරිසකගේ උවමනාව මත මේක ඕන කමින් බිඳ වට්ටනවා වෙන්නත් පුළුවන්.
 
මගේ අදහස නම් වසර හතරක සිට පෘතුවිය තුන්වන මානයේ සිට සිව්වන මානයට ඔසවා තැබීමට අවශ්‍ය තාක්ෂණික කාර්යභාරයක් තමයි මෙතනදි කෙරෙන්නේ . ( තව දෙයක් කියන්න ඕනේ පෘථිවිය සිව්වන මානයේ නතර වෙන්නේ නැහැ . මොකද දැනට නිගමනය කෙරිලා තියෙන විදියට පස්වන මානය දක්වා රැගෙන යන ගමනක් තියෙන්නේ . සිව් වන මානය කියලා කියන්නේ අතරමැද තත්ත්වයක් විතරයි )

මෙම පද්ධතිය බිඳී යන්න හේතු වෙන්නේ අභ්‍යන්තරව ඇතිවන ක්‍රියාවලියක් පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑමත් සමගම මෙම පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා . හැබැයි අපිට පරිබාහිරව බැලුවම තේරෙනවා මේකට හදිස්සියේ හේතු උනේ මිනිස් ක්‍රියාකාරකම් මත පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යෑම පමණක්ම නෙවෙයි කියලා... එක දිගට ඇති වෙච්ච සූර්ය කුනාටු මේකට හේතු වෙනවා ... ( මෑත කාලීනව ඇති වෙච්ච ප්‍රබල සූර්ය කුණාටු වලට කලින් හඳුනා නොගත් යම් වස්තු සූර්යයාට ලං වුණ බවට විවිධ ඉඟි තියෙනවා )

විද්‍යාත්මකව මේ උදෙසා දෙන අර්ථකථනය තමයි මුද්‍රයට දරාගන්න පුළුවන් තරම් කාබන් ඩයොක්සයිඩ් දරා ගැනීමෙන් පසුව ඒවා යළි මුදා හැරීමක් තමයි මෙතන දිවෙන්නේ. ... ඒ කියන්නේ ධාරිතාවේ ඉක්මවා යෑම ...
මේ දිනවල ඇතිවන ‘අසාමාන්‍ය අවපීඩන කලාප’ හා සුලි කුණාටු
Ocean Engine බිදවැටීමට සෘජු සම්බන්ධයක් තියෙනවා. මුහුදෙන් නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් මගින් අවට වාතයේ උෂ්ණත්වයක් නිර්මාණය කරනවා . අපි දන්නවා එතකොට වාතය රත් වෙලා ඉහළ යනවා . ඊට පස්සේ එහි අව පීඩන කලාපයක් නිර්මාණය වෙනවා . අවපීඩන කලාප මාරු වීමෙන් සාමාන්‍ය රටාවට පිටින් වර්ෂා තද සුළං ඇතිවනවා . උතුරු–දකුණු ජෙට් ස්ට්‍රිම් අස්ථාවරවීම සිදු වෙනවා.
පෘථිවියට එන සූර්ය කුණාටු මගින් ඇතිවන චුම්බක පීඩනය හරහා මෙම තත්ත්වය තවත් වර්ධනය වෙනවා .

තවත් ප්‍රධාන කාරණාවක් තියෙනවා . මේ මොහොතේ එක පෙලට සාමාන්‍ය ලෙස ප්‍රබල සුළි කුණාට තුනක් නිර්මාණය වෙලා තියෙනවා කියලා . මේකට සමගාමීව අසාමාන්‍ය මුහුදු ප්‍රවාහ පෙල ගැස්මක්ද දැකිය හැකියි . ( Ocean Currents visualization )
ඒ කියන්නේ මේ මොහොත තුළ මුහුදේ සාමාන්‍ය සුළං–ජල ප්‍රවාහ රටාව නොවෙයි පවතින්නේ. ... ඒක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා . මම පෙර සටහන් කළ මෙම ශක්තිය පෘතුවිය වටා ගෙන යන ජල ගමන් මාර්ග, තරංග රටා, මෙතෙක් පැවතියේ ක්‍රමානුකූල රිද්මයකට . මේ මොහොත තුළ එම රිද්මය ( swirl pattern ) වෙනුවට සරල වලාකුළු නොවෙයි. උෂ්ණ ජලය සහ සීතල ජලය ගැටෙන ( friction corridors ) ආකාරයකින් ගමන් කිරීම ආරම්භ වෙලා තියෙනවා . ඒ කියන්නේ එක එල්ලේ සමකය හරහා ගමන් කිරීමක් වගේ දෙයක් .
 
අපේ පුරාණ ග්‍රන්ථවල “සමුද්‍ර ප්‍රහාණය” ලෙස සඳහන් වූ ප්‍රවාහශක්තිය අසමතුලිත වන විට අසමතුලිත කාලගුණික තත්ත්වය නිර්මාණය වීම සිදුවේ .
එ කියන්නේ Ocean Engine එක බිදවැටීමට සූර්ය කුණාටු බලපෑම් පූර්ණ ලෙසම සම්බන්ධ වෙනවා . එ කියන්නේ 2019 ආරම්භ වුණු 25 වන සූර්ය චක්‍රයේ ( Solar Cycle 25 ) සමඟ පරිපූර්ණ සම්බන්ධයකින් යුක්තයි. සූර්ය කුනාටු , ආරෝපිත අංශු, ධ්‍රැවීය උණුසුම ආදී තත්වයන් මෙම පද්ධතිය බිදවැටීමට හේතු වෙනවා.

මෙම සිදුවීම් හරහා පෘථිවිය තුළ විශාල යාන්ත්‍රික පරිවර්තනයක් සිදුවෙමින් පවතිවා . අපට මතුපිටින් පේන්නේ ඉහල පහළ පීඩන සීරුමාරු , හදිසි වලාකුළු ගොඩගැසීම් , වේගවත් වායු ධාරා , සංවාහන ධාරා වෙනස්වීම් , අඩු පීඩන කලාප, අමුතු වලාකුළු රටා, වේගවත් සුලං හා කඩා වැටෙන මහා ජල කඳ පමණයි .

ටිකක් හිතන්න, ලංකාවම යට වෙන්න මේ මහා ජලකද වලාකුළු වලට ආවේ කොහොමද? ඒකත් මේ පද්ධතියම ප්‍රතිඵලයක් තමයි . එ කියන්නේ ඒ වතුර මුහුදෙන් වලාකුළු වලට ගිය ජලය . අපිට සාමාන්‍යයෙන් කියලා දීලා තියෙන වාශ්ප වීම ගනීබවනය වීම කියන සිද්ධාන්තයට එහා ගිය සිද්ධාන්තයක් මෙතන තියෙනවා . ඕක හොඳටම බලන්න පුළුවන් ... මෙහෙට මහා වතුර කදක් හලලා හෙට ඉංදියාවට ඇතුල් වෙද්දී දවසක කාලය තුළ ඊට වඩා වැඩි ජල කඳක් පුරෝගන්න විදිය අවබෝධ කරගත්තම .
අවසානයට කියන්න තියෙන්නේ මේ සිදුවීම් භූ විද්‍යාත්මක සිදුවීම් පෙළක් පමණක් නෙවෙයි . සාගර එන්ජින් එක බිඳවැටීම ,

සූර්ය ක්‍රියාකාරකම් , චුම්බක ධ්‍රැව දුර්වල වීම, පෘථිවි පීඩන වෙනස් වීම , භූ කම්පන රැල්ල පෘථිවිය නව මානයකට රැගෙන යෑමට සූදානම් කිරීමක් උදෙසා සිදුවන සිදුවීම් පෙළකි . මා වසර ගණනාවක් තිස්සේ පැවසූ මාන පරිවර්තනය උදෙසා පෘථිවියේ ගැඹුරු මුහුදු හදවත පෘථිවියේ මව් දේහය පවත්නා ආකාරයෙන් වෙනස් තත්ත්වයකට රැගෙන යෑම උදෙසා පරිසරය සකස් කරමින් සිටි යි.

https://rishiarana.lk/arrival-of-alien/ocean-engine/
( මෙම ලිපිය උපුටා පළ කරන්නේ නම් කර්තෘ නාමය හා වෙබ් අඩවිය සඳහන් කරන්න )
දීක්ෂා ගුරු
කාංචන මනමේන්ද්‍ර
A day in the life

2025-12-02

නෝවාගේ ගංවතුර .




මේ සිදුවෙමින් පවත්නා ස්වභාවික ව්‍යසනය විඥානවාදී ප්‍රවේශයකින් සහ භෞතිකවාදී ප්‍රවේශයකින් අර්ථනිරූපණය කිරීමට පුළුවන. විඥානවාදී අර්ථනිරූපණයට අනුව ශ්‍රී මහා බෝධියේ කපුවා ස්වකීය ගෙදර ෆ්‍රිජ් එකේ දඩ මස් තබාගැනීම, උපයා ගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රත්‍රන් තොගයක් තබාගැනීම, රට පුරා සිදුවන මිනීමැරුම් මේ විනාශයට හේතුවී ඇත්තේ කෙනෙකුට කිව හැකිය. 

එහෙත් භෞතිකවාදී ප්‍රවේශයකින් මේ ප්‍රශ්නය විග්‍රහ කිරීමේ දී මෙහි සම්පූර්ණ වරදකරු බෙංගාල බොක්ක බව පැහැදිලි වන්නේ ය. අපේ රටේ ජනයා ස්වකීය බොක්කටත් වඩා හොඳින් බෙංගාල බොක්ක ගැන දනී. නිරන්තරයෙන් අඩුපීඩන කලාප සහ වැඩිපීඩන කලාප හටගැනීම නිසා බෙංගාල බොක්ක ඉතාම දුෂ්ට සහ ප්‍රචණ්ඩ කාලගුණික කලාපයක් බවට පත්ව තිබේ. ලංකාවට එන තරමක් හදිසි වැසි ආපදා සහ ගංවතුර ව්‍යසනවලට බෙංගාල බොක්ක ආශ්‍රිත කාලගුණික කලාපය වගකිව යුතුය. මෙවර හටගෙන ඇති පීඩන තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විශාල වපසරියක් විනාශයට පත්ව තිබේ. 
මේ කතුවැකිය ලියන අවස්ථාව වන විට අඩුම ගණනේ පුද්ගලයන් පනහක්වත් මේ ව්‍යසනය නිසා මරණයට පත්ව සිටියහ. කුඹුරු අක්කර ලක්ෂ ගණනක් ද වෙනත් ගොවිබිම් අක්කර ලක්ෂ ගණනක් ද ගංවතුරෙන් විනාශයට පත්ව තිබේ. මේ විනාශය අවසන් වන විට අඩුම ගණනේ ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වනවා ඇත. ගංගාවල තිබී මියගිය මඟීන් සහිත මෝටර් රථ හමුවීමත්, ජනතාවගේ දේපළ මෙන්ම පොදු දේපළ ද ගංගාවල ගසාගෙන යෑමත් බහුලව අසන්නට ලැබිණ. දැනට පෙනී යන පරිදි සුනාමි ව්‍යසනයෙන් පසු ජලය ආශ්‍රිතව හටගත් විශාලතම ව්‍යසනය මෙවර ගංවතුර විය හැකිය. 

ආණ්ඩුවට සහ ජනතාවට මෙහි සැබෑ පරිප්පුව කෑමට සිදුවන්නේ අද හෙට නොවේ. මීළඟ ගොයම් කපන වාරයේ දී කපන්නට ගොයමක් නැතිවීමත් වෙනත් භවබෝග නෙළන අවස්ථාවේ දී එසේ කරන්නට දෙයක් නැති වීමත් නිසා ලංකාව කිසියම් ආකාරයකට ආහාර හිඟයකට මුහුණ දීමට ඉඩ තිබේ. එහෙත් මිත්‍රවරුනි, මේ බෞද්ධ රට පුදුමාකාර රටකි. අවසන් මොහොතේ දී අපගේ ගැලවීම වෙනුවෙන් කවුරු හෝ ඉදිරිපත් වීමට ඉඩ තිබේ. එසේ ඉදිරිපත්වන්නා ඉන්දියාව විය හැකිය. නැත්නම් චීනය විය හැකිය. එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය විය හැකිය. අපට ඇති එකම එෂුවරන්ස් එක වන්නේ ආහාර හිඟයක දී ආණ්ඩුව ගේමක් ගසා මිනිසුන්ගේ බඩගෙඩි නිවාදමන බවය.

ගංවතුර යනු ඉතිහාසගත ව්‍යසනයකි. මෙයට අවුරුදු දසදහස් ගණනකට ඉහතදී ලෝකය බෙහෙවින් නරක් වූ සමයක දී දෙවියන් වහන්සේ විශාල ගංවතුරක් මවා නරක මිනිසුන් එහි ගිල්ලවා පළාතම සුද්ද කළ බව දැනගැනීමට තිබේ. මෙතැනදී දෙවියන් වහන්සේ යනු විඥානවාදී සාධකයකි. දෙවියන්ගේ පැවැත්ම පිළිගැනීමට අකමැති අයට මේ සම්බන්ධයෙන් කළ හැකි දෙයක් තිබේ. එනම් එකී අතිවිශාල ගංවතුර ස්වභාවධර්මය විසින් ඇති කරන ලද ගංවතුරක් සේ සලකා කටයුතු කිරීම ය. 

මෙහිදී තවත් වැදගත් යමක් කිවයුතු වේ. රුසියාවේ සාර් රජ පෙළපතට විරුද්ධව කටයුතු කළ මහා ලේඛකයකු වූ ලියෝ ටෝල්ස්ටෝයි පවා සිය ජීවිතයේ අවසාන කාලයේ දී දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගත් බවය. ඒ කතාව පසෙක තිබියේවා. 

මෙයට අවුරුදු දහස් ගණනකට පෙර සිදුවූයේ යැයි කියන ගංවතුර මිථ්‍යාවක් නොව සැබෑවක් බව මේ වනවිට පර්යේෂකයන් විසින් සොයාගනු ලැබ ඇත. එම ගංවතුරේ ප්‍රධාන චරිත තුනක් තිබේ. ඉන් පළමුවැන්නා දෙවියන් වහන්සේ ය. දෙවැන්නා දෙවියන් වහන්සේගේ පෞද්ගලික මිත්‍රයකු වූ නෝවා නමැති යහපත් මනුෂ්‍යයෙකි. තුන්වැන්නා යක්ෂයා හෙවත් සාතන් ය. තමන් වහන්සේ විසින් ළඟදීම ගංවතුරක් මවා පොළෝ තලය සුද්ධ පවිත්‍ර කරන බැවින් විශාල නැවක් හදාගෙන සිය පවුල සමග එහි නැඟී ජීවිත බේරා ගන්නා ලෙස දෙවියන් වහන්සේ නෝවාට දැනුම් දීමක් කර තිබිණ. ඉන් පසු නෝවා ලෑලි සොයාගෙනවිත් විශාල නැවක් සෑදූ බවත්, ඔහු සිය පවුල ද විවිධාකාර සතුන් ද සමග එම නැවට නැඟී ගංවතුර ගැලූ විට ජීවිත බේරාගත් බවත් සඳහන් ය. 

නෝවාගේ නැවේ නටබුන් මේවනවිට මැදපෙරදිගින් සොයාගෙන ඇත. මෙය නෝවාගේ නැවම යැයි කියන්නේ කෙසේද? නෝවාගේ ගංවතුර සිදුවී යැයි කියන්නේ මෙයට අවුරුදු අටදහසකට පමණ පෙරය. සොයාගත් නටබුන්වල තිබූ ලී කැබලිවල කාබන් කාලනිර්ණයට අනුව එම ලී කැබලි අවුරුදු අටදහසක් පමණ පැරණි බව හෙළි විය. මේ නැවේ නටබුන් ඇත්තේ කන්දක් මුදුනේ ය. ඒ නිසා පෙර කී ඉතිහාසගත ගංවතුර අඩි දහසක් පමණ උසට නැඟෙන්නට ඇතැයි සිතනු ලැබේ.

දැනට මේ රටේ පවතින ව්‍යසනකාරී අවස්ථාව සම්බන්ධයෙන් රජය සහ ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් විශාල කැපවීමකින් ක්‍රියාකරන බව පෙනේ. අනතුරට පත්වූ අය බේරාගැනීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් සේවයේ යෙදී සිටින අයුරු අපි රූපවාහිනියෙන් දුටුවෙමු. එසේම සාමාන්‍ය ජනතාව ද හැකි උපරිම අයුරින් විපතට පත්වූවන් බේරාගන්නා හැටි අපි රූපවාහිනියෙන් දුටුවෙමු. 
මිනිසාට උපකාර කිරීමට මිනිසා හැර ඉදිරිපත් වන කෙනෙක් ඇත්නම් ඒ බල්ලා පමණි. වතුරේ ගසාගෙන යන බල්ලන් පවා බේරාගෙන යන උතුම් මනුෂ්‍යයන් අපි දුටුවෙමු. මේ සියලුදෙනාම සිය මතු ජීවිත සඳහා එක්රැස් කරන පුණ්‍ය ධනය අතිවිශාල ය. නෝවාගේ ගංවතුරේ දී එය කර ගැනීමට බැරි විය. 
එහිදී බේරුණේ නෝවාගේ පවුල පමණි.

30.11.2025 දිවයින කතුවැකිය.

A day in the life

2025-12-01

ඉළුඹකන්ඳ - සූරියකන්ඳ මාර්ගය සහ පරිසරය.




ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය


සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව  සැලැසුමක් සකස් කර තිබේ. 

එම සැලැසුමට අනුව කලවාන ප්‍රාදේශීය සභාවේ හා කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් එක් ව මාර්ගය සකස් කිරීමට යෝජිත ප්‍රදේශය මැණීම් කර ඇස්තමේන්තු සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 220 ක මුදලක් වෙන් කර ගැනීමට කටයුතු කර තිබේ.

මෙම සැලැසුම සඳහා වන අනුමැතිය 2025 අගෝස්තු මස 28 වන දින කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටුවේ දී ලබා ගෙන තිබේ. ඒ මත පදනම් ව ඉළුබකන්ඳ ප්‍රදේශවාසීන් විසින් මාර්ගය සකස් කිරීමට යෝජිත සිංහරාජ වන රක්ෂිතයේ වනාන්තර එළි කිරීම  මේ වන විට ආරම්භ කර තිබේ. 
පොතුපිටිය ප්‍රදේශයේ ජනතාවට පොරොන්දු දී ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් පසුව උප කඳුකර වනාන්තරයේ යටි ස්ථරයේ එනසාල් වගා කිරීමට ඉඩම් බෙදා දීම සිදු කරන බව ය. මේ අනුව ප්‍රදේශවාසීන් විසින් බාහිර පුද්ගලයන්ට මෙම ප්‍රදේශයට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදී මාර්ගය සකස් කිරීම සඳහා වනාන්තර එළි කිරීම ආරම්භ කර තිබේ.

වසර 14 කට පෙර නාමල් රාජපක්ෂ ගේ සැලැසුම

2019 වසරේ දී සිංහරාජ වන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට යටතේ පාලනය වූ ඉළුඹකන්ඳ හා සූරියකන්ඳ ප්‍රදේශයේ පිහිටි විශාල වනාන්තර ප්‍රදේශයක් අත්පත් කර ගැනීමේ අරමුණින් 2011 වසරේ දී හිටපු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර හා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ එක් ව මහා මාර්ග අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ 65 ක මුදලක් වෙන් කර ගෙන මෙම මාර්ගය ඉදි කිරීමට සූදානම් විය. එහි දී ඔවුන් ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම මාර්ගය ඉදි කිරීමෙන් අනතුරු ව සිංහරාජ අඩවියට අයත් මෙම ප්‍රදේශයේ පිහිටි වනාන්තර ඉඩම් හෙක්ටයාර එක බැගින් ජනතාව අතර බෙදා දීමට කටයුතු කරන බව ය. ඊට අමතර ව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් විශාල වනාන්තර ප්‍රදේශයක් රක්ෂිත තත්ත්වයට පත් කිරීම නතර කර නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා විසින් අත්පත් කර ගැනීමට ද සූදානම් විය. නමුත් එම සැලැසුම පරාජය කර සිංහරාජ වන රක්ෂිතයට එම වනාන්තර එක් කර ගැනීමට අපට හැකි විය.

නමුත් ඉන් වසර 14 කට පසු ව නැවත වරක් වත්මන් රජය යටතේ එම හානි කර සැලැසුම වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක කරමින් තිබේ. මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දමමින් සිදු කරන නීති විරෝධී සැලැසුමකි.

නීති විරෝධී සැලැසුම


2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3 වන වගන්තියට අනුව 2019 නොවැම්බර් මස 20 වන දින අංක 2150/31 දරන ගැසට් නිවේදනය මගින් කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක හතරට අයත් හෙක්ටයාර 36474.93 ක් වන වනාන්තර භූමි ප්‍රමාණයක් සිංහරාජ රක්ෂිත වනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එම පනතේ 7(1) උප වගන්තිය යටතේ සිංහරාජ රක්ෂිත වනය තුළ තහනම් ක්‍රියා සියල්ල දක්වා තිබේ. ඒ අනුව මෙම රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු වීම හා රැඳී සිටීම, ගස් කැපීම, දියපහරවල් අවහිර කිරීම, ඉඩම් එළි කිරීම, පස් කැපීම, පාරවල් සකස් කිරීම, සකස් කරන ලද පාරවල් භාවිත කිරීම යන සියලූ ම ක්‍රියා තහනම් වේ.
එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 5 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000 ත් ලක්ෂයත් අතර දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේඛ ව රක්ෂිත වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.

පනතේ 7(2) උප වගන්තියට අනුව රක්ෂිත වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද මෙම දඬුවම්වලට ම යටත් කළ හැකි ය. පනතේ 48(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව මෙවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු අත් අඩංගුවට ගෙන පනතේ 53 වන වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැකි ය.

ඒ අනුව සිංහරාජ වන රක්ෂිතය තුළ කිසිදු වනාන්තර විනාශයක් හෝ මාර්ග සකස් කිරීමක් සිදු කළ නොහැකි ය. ඒ සඳහා සැලැසුම් සැකසීම ද නීති විරෝධී ක්‍රියාවකි. මේ නිසා වන සංරක්ෂණ ආඥා පනත ක්‍රියාවේ යොදවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට  පුද්ගලයන් හා රක්ෂිත වනාන්තර එළි කිරීමේ නිරත ඉළුඹකන්ඳ ප්‍රදේශවාසීන් ව ද අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි ය.

මෙවන් නීතිමය තත්ත්වයක් යටතේ මෙම වනාන්තර පද්ධතිය පාලනය වන්නේ එහි පවතින පාරිසරික, ජෛව විද්‍යාත්මක හා දේශගුණික වටිනාකම් නිසා ය. මේ හේතුවෙන් සිංහරාජ අඩවියේ විශාල වනාන්තර ප්‍රදේශයක් ජාත්‍යන්තර ව වැදගත් වන මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසත් ලෝක උරුම වන රක්ෂිතයක් ලෙසත් නම් කර ඇත. නමුත් සිංහරාජය අවට ගම්මානවල ඉපදී හැදීවැඩුණු අයවලුන් හට මේ සියල්ල පිළිබඳ ව අවබෝධයක් නොමැති වීම කණගාටුවට කරුණකි.

මාර්ග ඉදි කර වනසන සිංහරාජ අඩවියේ ජෛව උරුමය

සිංහරාජ වන රක්ෂිතය මුහුදු මට්ටමේ සිට මීටර 100 ත් 1385 ත් අතර උච්චත්ව පරාසය තුළ ව්‍යාප්ත ව ඇත. මේ නිසා සිංහරාජ වන රක්ෂිතය පහතරට තෙත් කලාපීය වනාන්තර හා උප කඳුකර වැසි වනාන්තරවලින් ආවරණය වී පවතී. සිංහරාජ වන රක්ෂිතය වැඩි වශයෙන් ආවරණය වී ඇත්තේ පහතරට තෙත් කලාපීය වනාන්තරවලිනි. එය සිංහරාජයේ මුළු භූමි ප්‍රමාණයෙන් 80% ක් පමණ වන අතර හෙක්ටයාර 29180 ක් පමණ වන වනාන්තර ප්‍රමාණයකි. උප කඳුකර වැසි වනාන්තර සිංහරාජ වන රක්ෂිතයේ ඊසාන හා නැගෙනහිර කලාපයේ මීටර 900 ට වඩා ඉහළින් පිහිටි කලාපයේ පමණක් ව්‍යාප්ත ව ඇත. එය සිංහරාජ අඩවියේ මුළු භූමි ප්‍රමාණයෙන් 20% ක් පමණ වන අතර වනාන්තර භූමි ප්‍රමාණය හෙක්ටයාර 7295 ක් පමණ වේ.

2010 වසරේ ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්ම පිළිබඳ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසන් වාර්තාවට අනුව පහතරට වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,23,302 කි. උප කඳුකර වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 28,513 කි. ඒ අනුව ලංකාවේ පහතරට වැසි වනාන්තරවලින් 24% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතයට ඇතුළත් වේ. උප කඳුකර වැසි වනාන්තර අතුරෙන් 25% ක් නැතහොත් 1/4 ක් පමණ සිංහරාජ වන රක්ෂිතය තුළ පිහිටා තිබේ.

වර්ග කිලෝමීටර 65610 ක් පමණ වන ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 0.6 ක් පමණ ආවරණය වන සිංහරාජ රක්ෂිත වනයේ මෙරට ගොඩබිම් පරිසරවල ජීවත් වන සත්ත්ව විශේෂ අතරින් 40% ක් වාර්තා වේ. ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව විශේෂ අතරින් 41% ක් හා මෙරටට ආවේණික ශාක විශේෂ වලින් 54% ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වෙයි.

මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ 38 ක් මේ වන විට පර්යේෂකයන් විසින් සොයා ගෙන ඇත. ඉන් විශේෂ 15 ක් සපුෂ්ප ශාක වන අතර ඉතිරි විශේෂ 23 සත්ත්ව විශේෂ වේ. මේ අතර උරග විශේෂ 9 ක්, උභයජීවී විශේෂ 9 ක්, මිරිදිය කකුළුවන් විශේෂ 3 ක්, මකුළුවන් හා ක්ෂීරපායීන් විශේෂය බැගින් වෙයි.

ලංකාවට ආවේණික සපුෂ්ප ශාක විශේෂ 911 අතුරෙන් 54% ක් නැතහොත් විශේෂ 495 ක් සිංහරාජ අඩවියෙන් වාර්තා වේ. ලංකාවට ආවේණික ශාක ගණ 25 අතුරෙන් 13 ක් ම සිංහරාජ අඩවියෙන් වාර්තා වන අතර, මුළු ලොවින් ම සිංහරාජ අඩවියේ පමණක් දැක ගත හැකි ශාක විශේෂ 15 ක් පමණ වෙයි. දැවමය ශාක විශේෂ 340 ක් පමණ සිංහරාජ අඩවියෙන් හඳුනාගෙන ඇති අතර, ඉන් විශේෂ 192 ක් නැතහොත් 56% ක් පමණ ලංකාවට ආවේණික වේ.

සිංහරාජ අඩවියට ආවේණික උභයජීවීන් විශේෂ නවය ජාතික රතු දත්ත ලේඛණයට අනුව වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. එනම් සිංහරාජ පඳුරු මැඬියා (Pseudophilautus simba), කම්මුලේ පැල්ලමැති පඳුරු මැඬියා (Pseudophilautus procax), පොපීගේ පඳුරු මැඬියා (Pseudophilautus poppiae), දිවේ ගැටිති පඳුරු මැඬියා (Pseudophilautus papillosus), හඳපාන් ඇල්ල පඳුරු මැඬියා (Pseudophilautus lunatus), රන්වන් ඇස් ඇති පඳුරු මැඬියා (Pseudophilautus ocularis), භූෂණ පඳුරු මැඬියා (Pseudophilautus decoris), කැලෑ පඳුරු මැඩියා (Pseudophilautus silvaticus) හා එන්සල්වත්ත පඳුරු මැඬියා (Taruga fastigo) ය. මුළු ලොවින් ම සිංහරාජ අඩවියට පමණක් ආවේණික උභයජීවීන් අතුරෙන් කැලෑ පඳුරු මැඩියා හැර අනෙක් සියලු විශේෂ වාර්තා වන්නේ සිංහරාජ අඩවියේ උප කඳුකර වනාන්තර ව්‍යාප්ත ව ඇති මෙම මාර්ගය සකස් කර විනාශ කිරීමට සූදානම් වන ප්‍රදේශවල පමණි.

සිංහරාජ අඩවියට ආවේණික උරග විශේෂ නවය ම වඳවීමේ තර්ජනයට දැඩි ලෙස ලක් වූ විශේෂ වෙයි. ඒ අතුරෙන් පාංශුවාසී සර්ප විශේෂයන් වන එරංග විරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji), සිව්පා උරගුන් වන අර්ඩලන් ගේ අඟ කටුස්සා (Ceratophora erdeleni), කරු ගේ අඟ කටුස්සා (Ceratophora karu), මෝර්නින් සයිඩ් සිව්රුවන්ලන කටුස්සා (Calotes dersilvai), මෝර්නින්සයිඩ් මහකැලෑ හූනා (Cyrtodactylus cresenes), ගොඩගෙදරගේ දිවාසැරි හූනා (Cnemaspis godagedarai), අලංකාර දිවාසැරි හූනා (Cnemaspis pulchra), මෙරිල්ගේ සිඟිති හිකනලා (Lankascincus merrill) හා සමීරගේ සිඟිති හිකනලා (Lanakascincus sameerai) යන විශේෂ වේ. මේ උරග විශේෂ අතුරෙන් වැඩි ප්‍රමාණයක් මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරන ඉතා ම කුඩා ව්‍යාප්තියක් සහිත සිංහරාජයේ උප කඳුකර වනාන්තරවල පමණක් ජීවත් වේ. මෙම ජීවීන් සියල්ල ම වනසා දැමීමට මෙම නීති විරෝධී හා හානි කර සැලැසුම හේතු වනු ඇත.


මීට අමතර ව මාර්ගය සකස් කිරීම හේතුවෙන් නිරාවරණය වන ප්‍රදේශයේ දරුණු ආක්‍රමණික ශාකයක් ලෙස වැසි වනාන්තරවල යටි ස්ථරයේ පැතිරෙන කටකළු බෝවිටියා ශාකය ව්‍යාප්ත වනු ඇත. ඒ හේතුවෙන් මෙම සංවේදී ජෛව ප්‍රජාව ගේ භෞමික ක්ෂුද්‍ර වාසස්ථාන බොහොමයක් විනාශ වීම සිදු වී එම ජීවීන් ගේ පැවැත්මට ද බලපෑම් එල්ල වනු ඇත. එපමණක් නොව ඉදි කරන මාර්ගය දෙපස වනාන්තරය තුළට සිදු වන මායිම් බලපෑම හා මාර්ග අනතුරු හේතුවෙන් දුර්ලභ ජීවීන් ගේ පැවැත්මට එල්ල වන බලපෑම් වර්ධනය විය හැකි ය. මේ සියල්ල ම සංවේදී පරිසර පද්ධති තුළ මාර්ග ඉදි කිරීම හේතුවෙන් අප ලද ප්‍රායෝගික අද්දැකීම් ය. නමුත් මැදිහත් වන පාර්ශවයන්ට මේ පිළිබඳ ව පරිසර සාක්ෂරතාවක් නොමැති වීම ගැන කණගාටු වෙමු. රටක ප්‍රතිපත්තිමය තීරණ ගන්නා පුද්ගලයන් ගේ අවබෝධය මෙතරම් සීමා සහිත වීමෙන් පෙනී යන්නේ බුද්ධිමතුන් පාර්ලිමේන්තු යැවීමෙන් හෝ පළාත් පාලන ආයතනවලට පත් කර යැවීමෙන් පමණක් ස්වාභාවික සම්පත් ආරක්ෂා කර ගැනීමට හෝ රටේ අනාගතය ගොඩ නැගීමට නොහැකි බව ය.

මිහිකත පරිසර ප්‍රතිපත්තිය හා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අහිමි කිරීම


පසුගිය ඉතිහාසය තුළ බලයට පත් වූ ආණ්ඩු විසින් සිදු කළ දැවැන්ත ස්වාභාවික සම්පත් විනාශය හා ඊට එරෙහිව ගොඩ නැගුණු ප්‍රතිවිරෝධය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පදනම සකස් විය. මේ නිසා ම ජාතික ජන බලවේගය විසින් මිහිකත පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ජනතා ව සමඟ පාරිසරික සම්මුතිය ඇති කර ගැනිණ. එහි ප්‍රධාන මූලධර්ම වූයේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය මෙන් ම පාරිසරික යහපාලනයයි. එපමණක් නොව මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංවේදී පාරිසරික පද්ධති භූමි භාවිතය කොටසේ දක්වා ඇත්තේ දැනට විද්‍යානුකූල ව හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික ව දැඩි සංවේදී කලාප හා සංවේදී කලාප නිශ්චිතව තහවුරු කිරීමට පියවර ගැනීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් ලෙස දක්වා ඇත. .

මීට අමතර ව ජනාධිපතිවරණයට ප්‍රථම ජාතික ජන බලවේගය ජනතාව සමඟ සම්මුති ගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් සදාහරිත ජීවිතයක් ලෙස සඳහන් කොටසේ දක්වා ඇත්තේ සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම හා ඒකාබද්ධ කළ හැකි වනජීවී හා වන සංරක්ෂණ කලාප හඳුනාගෙන නව මංකඩවල් ස්ථාපිත කිරීම සිදු කරන බව ය. නමුත් මේ වන විට සිදු වන්නේ මාර්ග ඉදි කර සංවේදී පරිසර පද්ධති විනාශ කර දෙකඩ කිරීම ය. මේ නිසා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශන ද ජනතාව මුලා කළ ලේඛණවලට පමණක් සීමා වූ සම්මුති තත්ත්වයට පත් කර ඇත.

මේ නිසා අප  ජනපතිවරයාට අවධාරණය කරන්නේ පසුගිය ආණ්ඩු විසින් සිදු කළ ආකාරයට ම නැවතවරක් පාරිසරික යහපාලනය හා නීතියේ ආධිපත්‍යය අහිමි කර වත්මන් හා අනාගත පරපුරේ ස්වාභාවික සම්පත්වල අයිතිය අහිමි කිරීම නතර කිරීමට වහා ම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය. එසේ නොමැති වූවහොත් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට පමණක් සීමා වනු ඇත. එය ජනතාව ගේ හා ජාතික ජන බලවේගයේ ඉරණම ද තීරණය කරනු ඇත.

2025-11-30

මොනරවිල කැප්පෙටිපොළ මහ දිසාව



කැප්පෙටිපොළ සහ මඩුගල්ලේ යන දෙදෙන ඔවුන්ගේම ඉල්ලීම පරිදි (වර්ෂ 1818) නොවැම්බර් මස 25 වනදා අලුයම් වේලෙහි දළදා මාලිගාවට කැඳවාගෙන යන ලද්දෝ ය. කැප්පෙටිපොළගේ ඉල්ලීම සහ ශී‍්‍රමත් රොබට් බ‍්‍රවුන්රිග් උතුමාණන්ගේ අවසරය පරිදි සෝවර්ස් මහතා දළදා මාලිගාවේදී ඔහුට මුණගැසිණි.

භික්ෂූන් වහන්සේ අභිමුඛයෙහි, වැඩහිඳින මාලිගාවේ එළිපත්ත මත දණගසා ගත් නිලමේ තමා භික්ෂූන්ට කළ සේවය, විහාරවලට කළ පුදපූජා වැනි තම ජීවිත කාලය තුළ සිදු කරන ලද ප‍්‍රධාන පුණ්‍ය කි‍්‍රයා ද, අනෙක් ධාර්මික කි‍්‍රයා ද විස්තර කළේ ය.
ඊළඟට ඔහු ප‍්‍රාර්ථනාව ඉදිරිපත් කළේ ය. එනම් "ඊළඟ ආත්මභාවයේදී හිමාලය පර්වතයෙහි උපදිම්වා, කෙළවර අමා මහ නිවන් දකිම්වා" යන්නයි.

මෙයින් පසු භික්ෂූන් වහන්සේ ඔහු ඇමතූහ. උන්වහන්සේ ආවේග බහුල ස්වරයකින් හා ලීලාවකින් කැප්පෙටිපොළගේ පුණ්‍ය කි‍්‍රයා මහත්ඵල මහානිශංසදායක යයි පවසා ආශංසනයකින් සිය දේශනය අවසන් කළහ.
එහි අවසාන වචන මෙසේ ය; "අහසට දැමූ ගල් කැටයක් නැවත පොළොවට පෙරළා එන්නේ යම් සේ ද, එසේම ඔබතුමා කළ පින් මහිමයෙන් ඔබතුමා මීළඟ බුද්ධෝත්පාද කාලයෙහි ඉපිද ඉෂ්ට විපාක ලැබීම ඒකාන්ත ය". 
නිලමේ සහ භික්ෂූන් වහන්සේ අතර පැවැත්ම සානුකම්පිත හා උදාර විය.

මෙතෙක් දණ ඔබා සිටි නිලමේ නැඟිට සෝවර්ස් මහතා දෙසට හැරී "මගේ අවසන් පින්කමෙන් ලත් පිනෙන් කොටසක් ඔබට අනුමෝදන් කරවමි"යි කියා ඉණේ ඔතා සිටි තුප්පොට්ටිය ගලවා මාලිගාවට පූජා කොට, එය අපිරිසිදු වැරහැල්ලක් නමුත් "මා සන්තක එකම වස්තුව මෙය නිසා එය පිදීමෙන් ලත් පින අඩු නොවේ"යයි සරදම් සහගතව පැවසීය.
ඉනික්බිතිව ඔහු වධකස්ථානයට තමා හා කැටුව එන ලෙස සෝවර්ස් මහතාගෙන් ඉල්ලා සිටි නමුත් ඒ ඉල්ලීම කාරුණික හා විනීත ලෙස ප‍්‍රතික්ෂේප කරන ලදී.... ඉන්පසු කැප්පෙටිපොළ ස්ථීර හා තැන්පත් ලෙස සෝවර්ස් මහතාට අතට අතදී සමුගත්තේ ය.
සිරකරුවෝ දළදා මාලිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදී. මෙහිදී වතුර සපයන ලෙස සිරකරුවන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. සිරකරුවෝ මුහුණ හා අත් දෝවනය කළහ.

මෙනික්බිති කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ, කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් පා ඇඟිලිවලින් අල්ලාගත්තේ ය. ඔහු ඉණේ රෙදිපට අතරින් කුඩා බණපොතක් ගෙන ගාථා කිහිපයක් කියවා එය එහි සිටි ස්වදේශික නිලධාරියකුට දෙමින් බදුල්ලේ සේවය කළ කාලයේදී තමන්ට දැක්වූ මිත‍්‍රත්වය සහ කාරුණික බව පිළිබඳ කෘතඥ පූර්වක ලකුණක් වශයෙන් එය සෝවර්ස් මහතාට දෙන ලෙස කීය.
කැප්පෙටිපොළ නිලමේ පාලි ගාථා සජ්ඣායනය කරමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේදී "අරහං" යන වචනය ඔහුගේ මුවින් පිටවිය. දෙවැනි පහරින් ප‍්‍රාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේ ය.
ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී.

ඉංග්‍රීසි පාලනයට එරෙහිව පැනනැඟුණු 'උඩරට මහ කැරැල්ල' සඳහා නායකත්වය ලබාදී, කැරැල්ල බිඳවැටීමෙන් පසුව අත්අඩංගුවට පත්ව යුද්ධාධිකරණය මගින් රාජද්‍රෝහී වීමේ වරදට මරණ දණ්ඩයට නියම කළ කැප්පෙටිපොළ මහදිසාවේගේ අවසන් දිනය පිළිබඳ මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම සිදුවීම ඇසින් දුටු වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසිනි.
බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස වර්ෂ 1809 සිට 1821 දක්වා ලංකාවේ සේවය කළ වෛද්‍ය හෙන්රි මාර්ෂල් රචනා කළ Ceylon: A General Description of the Island and Its Inhabitants කෘතිය පසුව ඇල්ලෙපොළ එච්.ඇම්. සෝමරත්න මහතා විසින් 'සිංහලේ' නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී. ඉහත කොටස එම කෘතියෙන් උපුටාගෙන තිබේ
.
මව්බිමේ නිදහස වෙනුවෙන් මොනරවිල රාජපක්ෂ වික්‍රමසේකර බණ්ඩාරනායක මුදියන්සේ රාලහාමි හෙවත් මොනරවිල කැප්පෙටිපොළ මහදිසාවේ දිවි පුදා වසර 207ක් ගෙවෙන දිනයේ එකී කැපකිරීම පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරමු.



ඡායාරූපය : වෛද්‍ය හෙන්රි මාර්ෂල් විසින් ස්කොට්ලන්තයට රැගෙන ගිය කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස් කබල නැවත ලංකාවට රැගෙන ආ අවස්ථාවේ එය ප්‍රදර්ශනයට තබා තිබූ ආකාරය මෙම ඡායාරූපයෙන් දිස් වේ.
වම්පස ඉදිරියෙන් සිටින්නේ කැප්පෙටිපොළ පවුලේ සිවුවැනි පරම්පරාවට අයත් උපාලි මොනරවිල කැප්පෙටිපොළ මහතා ය.
කැප්පෙටිපොළ මහදිසාවේගේ හිස්කබල ඇති මංජුසාවට ඉහළින් තබා තිබෙන හතරැස් මුළු තොප්පිය එතුමා විසින් පැළඳි තොප්පියයි. එතුමාගේ සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
එසේම හිස්කබල සහිත මංජුසාවට පසුබිමෙන් අඩක් පෙනෙන ධජය නම් කැප්පෙටිපොළ මහදිසාවේ භාවිත කළ ධජයයි. මෙම ධජය ද මහනුවර ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.

ඡායාරූපයේ හිමිකම : විශ්‍රාමික විනිසුරු Pearl Karalliadde මැතිණිය සතු වේ.

FB උපුටාගැනීමකි

A day in the life

2025-11-29

පාර්ලිමේන්තුවේ සහ ඉංගිරිසි භාෂාව.





අමාත්‍ය සුනිල් හඳුනෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී ඉංගිරිසි භාෂාවෙන් කළ කතාවක කොටසක් සහිත වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ ජනප්‍රිය වී තිබේ. එය උපුටා ගැනෙන්නේ සම්ච්චල් සහගත ලෙසය. ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී කතාකළ චාමර සම්පත් මහතා කියා සිටියේ " නිකං පච වෙන්නේ නැතුව දන්න සිංහලෙන් කතා කළා නං ඉවරයිනේ" කියාය. අපහසුවෙන් හෝ ඉංගිරිසි භාෂාවෙන් කතා කරන ජනතා නියෝජිතයන්ට සමච්චලයට සිනහ වීම මෑතකදී ආරම්භ වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ "කපුටු" කතාවේ සිටය. 
බැසිල් මහතා හා හඳුනෙත්ති මහතා යන දෙදෙනාම ඉංගිරිසියෙන් කළ කතාවල අදහස ඉතා මැනවින් සන්නිවේදනය වන බව කිව යුතුය. මට හිතෙන්නේ මේ අවස්ථා දෙකෙහිදීම මේ දෙදෙනාටම සමච්චලයට සිනහවීම සිදුවන්නේ දේශපාලන එදිරිවාදිකම නිසාය. ඒ ඔවුන්ගේ විරුද්ධ පාක්ෂිකයන් විසිනි.

සුනිල් හඳුනෙත්ති තම කතාවෙදී කියන කාරණය වැදගත් ය. ඔහු කියන්නේ ඉංගිරිසි භාෂා භාවිතය තරුණ ව්‍යවසායකයන්ට ඉගැන්වීමේ ඇති ප්‍රතිලාභ ය. මේ කරුණ හැබෑයැයි කීමට අවශ්‍ය නොවේ. කොතරම් විවිධ දක්ෂතාවලින් පිරි මානව සම්පතක් අද අපේ රටේ ඉංගිරිසි නිසා අසරණ වී සිටීද? ඒ අතර රාජ්‍ය නායකයන්, විවිධ ජනතා නියෝජිතයන් , පුද්ගලික අංශයේ නිලධාරීන් , රාජ්‍ය අංශයේ නිලධාරීන් හා ව්‍යවසායකයන් , කලාකරුවන්, පමණක් නොව ආචාර්ය මහාචාර්යවරු පවා ඉංගිරිසිය ඉදිරියේ පසු බා ඇත. අද හඳුනෙත්තිට සිනහ වූවාට කමක් නැත. එහෙත් මේ සිදුවීම ජනාධිපතිවරයා හා අගමැතිනිය විසින් බැරෑරුම්ව සැළකීමට ගත යුතුව ඇත. ඒ ඔවුන්ගේ රජය යටතේවත් අනාගත පරම්පරාව ඉංග්‍රීසියෙන් සන්නද්ධ කිරීමට ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමය. එවන් ප්‍රමුඛත්වයක් දෙන බවක් දැනට පෙනෙන්නට නැතිවා සේය.

මහින්ද රාජපක්ෂ ආදර්ශය


යුද්ධය ජයගෙන දෙවන වරටත් ජනාධිපතිධූරයට පත් මහින්ද රාජපක්ෂ මහතා ඉංගිරිසි භාෂා අධ්‍යාපනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කලේය. ඔහු මතු කළ තාර්කික අදහස වූයේ වසර ගණනාවක පාසැල් අධ්‍යාපනයෙන් පසුව වුවත් සිසුන්ට ඉංගිරිසි භාෂාව කතා කළ නොහැකි වීම ගැටළුවක් වී ඇති බවය. ඒ නිසා ඔහු ඉංගිරිසි භාෂාව හා තොරතුරු තාක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්‍ය සාධන බලකායක් සාදා එහි වගකීම ආචාර්‍ය් සුනිමල් ප්‍රනාන්දු මහතා වෙත භාර කලේය. ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු මහතා ගැන යමක් කිව යුතුය. ඔහු ශ්‍රී ලංකාවේ ඉතා ධනවත් ව්‍යාපාරිකයෙකු හා දානපතියෙකු වූ චාල්ස් හෙන්රි සොයිසාගේ මී මුණුපුරාය. රෝයල් කොලීජියෙන් හා කේම්බ්‍රිජ් විශ්ව ව්ද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ එතුමා පේරාදෙණිය ව්ශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳව ජේෂ්ඨ කථිකාචාර්‍යවරයෙක් ලෙසත්, එම අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙසත් කටයුතු කර ඇත. ආරම්භයේ පටන්ම දේශපාලනයට නැඹුරුවක් තිබූ එතුමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රථම සම්බන්ධීකරණ ලේකම්වරයාද විය. මා මේ කරුණු සඳහන් කලේ රාජපක්ෂ ජනාධිපතිතුමා වටේ සිටි අනෙකුත් පරපෝෂිතයන් මෙන් නොව එතුමා තමා වෙත භාරදුන් වගකීම පොලොවේ පැළ කිරීමට අවංකව වෙහෙස දැරීය. පිංතූරයේ දැක්වෙන්නේ එතුමා හිටපු ජනාධිපතිවරයා සමග සිටි අවස්ථාවකි. " English as a Life skill (ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි )" යනුවෙන් මෙම වැඩසටහනේ ප්‍රමුඛ තේමාව හඳුන්වා දී " Speak English Our Way ( අපේ විදියට ඉංග්‍රීසි කතා කරමු)" යනුවෙන් සිය ජාතික වැඩසටහනට උප තේමාවක් යොදා එතුමා වැඩ ආරම්භ කලේය. මෙයින් ප්‍රමුඛත්වය දෙනු ලැබුවේ භාෂාවේ වඩාත්ම ප්‍රායෝගික කුසලතාවන් දෙක වන "ශ්‍රවණය හා කථනයයි". " අපේ විදියට ඉංග්‍රීසි කතා කරමු " යන පාඨය එකළ මහත් ආන්දෝලනයක් ඇති කලේය. විශේෂයෙන් බොහෝ විශ්වවිද්‍යාලයීය ඉංග්‍රීසි ආචාර්ය මහාචාර්යවරු මෙය දැඩි ලෙස විවේචනය කලේය. ඔවුන් එය ගැන කතා කලේ උපහාසයෙන්‍ ය. සෘණාත්මකවය. එක් මහාචාර්යවරයෙක් මා සමග මෙසේ කීවේය, " That Sunimal Fernando has no base. Therefore what he does has no value, no results. ( ඔය සුනිමල්ට කිසි පදනමක් නෑ. ඒ නිසා එයා කරන දෙයහි කිසි වටිනාකමකුත් නෑ, ප්‍රතිඵලයකුත් නෑ)". එහෙත් මට හිතෙන්නේ "අපේ විදියට ඉංගිරිසි කතා කරමු" කියන පාඨය ඇතුලේ තිබුණේ ඉංගිරිසි භාවිතයට බය නැතිව දිරි ගැන්වීමක් කියල. යම් රටකට ආවේණික ලෙස භාෂාව උච්චාරණය කිරීම, ඒ රටට ආවේණික වචන (ඉංගිරිසි පද නොමැති) උදා: උදැල්ල, කැත්ත, මුං, කව්පි, කුල්ල, වැනි වචන ඉංගිරිසියට මිශ්‍ර කර කතා කිරීම වැනි දෑ අර අපේ විදියට කතා කරමු කියන තේමාව යටතේ තියනවා කියල මට හිතෙනවා (මගේ මුහුණු පොතේ මිතුරු ලයිස්තුවේ ඉන්න භාෂා උගතුන් වන මහාචාර්ය රාජීව විජෙසිංහ , මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය ක්‍රිෂාන්ත ෆ්‍රෙඩ්රික්ස්, ආචාර්ය දර්ශන සමරවීර , ආචාර්ය කුලරත්න සූරියආරච්චි මහත්වරුන් මෙන්ම භාෂාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ පිළිබඳව පැහැදිලි අදහස් දැක්වීමට මා ආරාධනා කරනවා). කොහොම වුනත් සුනිමල් ප්‍රනාන්දු මහතා බය නැතුව මේ ඉංගිරිසි වැඩසටහන ඉදිරියට අරගෙන ගියා. ඇත්ත ඔහු ඉංගිරිසි භාෂාව පිළිබඳව ගුරුවරයෙක් නොවේ. එහෙත් ඉංගිරිසිය අපූර්ව චතුර බවකින් හැසිර වූ කෙනෙක් එතුමා. එතුමා " ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි " කියන තේමාවෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුලේ වෙනම ම ශාඛාවක් පිහිටුවලා , ඒ මගින් ඉංගිරිසි ගුරුවරුන් 125 ක් පමණ ඉන්දියාවේ හයිද්‍රාබාද්හි " ඉංග්‍රීසි හා විදේශ භාෂා විශ්ව විද්‍යාලය" ට ශිෂ්‍යත්ව ලබාදීල යවල ඉංගිරිසි භාෂාවේ ශ්‍රවණ හා කථන කුසලතාවන් උගන්වන ආකාරය පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා දීලා,
ඉන්පසු පාසැල් මට්ටමින් ඉංගිරිසි ගුරුවරුන් පුහුණු කිරීම සිදු කළා. ඉංග්‍රීසි කතාව ප්‍රවර්ධනය කිරීමට වීඩියෝ මාලාවක් නිපදවා ජාතික රූපවාහිනීයේ විකාශනය කළා. විදුහල්පතිවරුන්ට පැය 100 ඉංගිරිසි ශ්‍රවණ හා කථන පුහුණු වැඩසටහන් පැවැත්වුවා. වසර කිහිපයක් මේ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දි අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි ඒකකය විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයේදී සිසුන්ගේ ශ්‍රවණ හා කථන කුසලතා ප්‍රායෝගික පරීක්ෂණයකට ලක්කර ලකුණු 15 ක් එයින් ලබා දීමටත්, ලිඛිත විභාගයෙන් ලකුණු 85 ක් ලබා දෙන ලෙස. මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්තුවා මතකයි. නමුත් එයට නිසි තීරණයක් ලැබීමට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ "ජීවන කුසලතාවක් ලෙස ඉංග්‍රීසි " - ජනාධිපති වැඩසටහන් ඒකකය අහෝසි වෙලා ගියා. ඒ මහින්ද රාජපක්ෂ මහතා තෙවන වර ජනාධිපතිවරණයෙන් පරාද වීමත් සමගයි. එතැනින් එහාට ඒ වැඩසටහන අඟලක්වත් ඉදි‍රියට ගියේ නෑ. ඒ වැඩසටහනේ ගැටලු හා දුර්වලතා තිබුණා. එහෙත් මම මෙහිදී මතු කරන්නේ රටේ නායකයා ලෙස රාජපක්ෂ මහතා ප්‍රායෝගික ඉංගිරිසිය කෙරෙහි දැක්වූ දැඩි උනන්දුවයි. තවත් කරුණක් තමන්ට බාරදුන් භාරදූර වගකීම යතාර්ථයක් කිරීමට ආචාර්‍ය සුනිමල් ප්‍රනාන්දු මහතා යටි අරමුණුවලින් තොරව අවංකව දැඩි වෙහෙසක් ගත් බව එතුමාට කරන ගෞරවයක් ලෙස මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ යුගයේ වෙන අයෙකුට මේ දෙය භාර කළා නම් මිලියන ගණනින් යටි මඩි ගහන එක අහන්ඩ දෙයක්ද?

වර්ථමානය


බැසිල් මහතාටත් හඳුනෙත්ති මහතාටත් සිනාවීම කියන කාරණයෙන් අපි අවබෝධයකට පැමිණිය යුතුයි. ඒ අපිට රටේ ගුණාත්මක ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දීමට ඇති හැකියාව ගැන රටේ නායක දෙපළට අවධානය යොමු කරවීම යි. "ඉංගිරිසි බෑ" කියල අපි හිනාවෙන්නේ අපිටමයි. මොන පක්ෂයේ හිටියත් පාර්ලිමේන්තුවේ ඉංගිරිසි හොඳින් හසුරවන අය හා බැරි අය අයත් පවුල් පසුබිම් සොයා බැලුවම ඒක අපිට හොඳින් වැටහෙනවා. සරල දෙයක් පසු කාලෙක දේශපාලනයේ ප්‍රභලයන් වූ රාජපක්ෂවරු (මහින්ද, බැසිල්, ගෝඨාභය , චමලුත් එහෙම වෙන්න ඇති) කිසිකෙනෙක් ඉංගිරිසියේ ව්‍යක්ත නෑ. එහෙත් බණ්ඩාරනායක පවුලේ ( චන්ද්‍රිකා, අනුර, සුනේත්‍රා) උදවියගේ ඉංගිරිසි භාවිතය ඉතා ඉහළයි. ඉතිං ඔය කාගේ ඉංගිරිසියට හිනා වුණත් ඒකෙන් ඉදිරි පරම්පරාවට සිදුවන කිසි ප්‍රගතියක් නෑ. ඒ අපේ මෝඩකම පෙන්වීමක් විතරයි.

හඳුනෙත්තිට ආචාරය

" හොනරබල්", " ඔන්ටපනර්ෂිප්", " ගිව් මී අ වන් මිනිට්", " අයි මයි සෙල්ෆ්" වැනි දෑ උපුටා දක්වමින් හඳුනෙත්තිගේ ඉංගිරිසියට සිනාසෙනු පෙනේ. එහෙත් ඔහු ඔහුට වඩා ඉංගිරිසි හොඳින් හසුරුවන අය පාර්ලිමේන්තුව තුල ඉන්නා බව දැන දැන නිර්භයව කළ කතාව තුල ඇත්තේ රටේ වරප්‍රසාද නොලත් තරුණ පරම්පරාව හා සිසු පරම්පරාවන් මුහුණ දී ඇති ඛේදවාචකය යි. බණ්ඩාරනායක මහතාගේ තීරණයත් සමග අහෝසි වී ගිය ගුණාත්මක ඉංගිරිසි අධ්‍යාපනය නැවත රටතුල සාමාන්‍ය පරිදි කිසිදා ගොඩනැගුණේ නැත. ගොඩ නැංවීමට ක්‍රියාමාර්ග ගන්නා බවක්ද පෙනෙන්නට නැත. හරියන්නට හෝ වරදින්නට මෙයට සෘජුවම ජනාධිපතිවරයා හෝ අගමැතිනිය බැරෑරුම් ලෙස මැදිහත් විය යුතුය . මේ සම්බන්ධව කලින් කී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මහත් ආදර්ශයක් වන්නේ ඒ නිසාය.
කකුල් කොර ගසමින් හෝ අසීරුවෙන් ආබාධිතයෙකු උත්සාහයක් ගන්නේ ඔහුට ඇවිද යාම ඉතා වටිනා නිසාය. වැරදි වැරදි හෝ හඳුනෙත්ති ඉංගිරිසියෙන් කල කතාවෙන් පෙනෙන්නේ ද එහි මතු පරම්පරාවට ඇති අත්‍යවශ්‍ය බව හා වටිනාකමයි. මෙය නොවැටහෙනකල් අපි එකිනෙකාට හිනාවෙමු !

සුරන්ජිත් ආලෝක බණ්ඩාර
20025 -11- 25

A day in the life

2025-11-28

ඉරිසියාවට කියන කතා නොවේ.



ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක..........
අපි හිත හදාගනිමු!
හිතට එන හැමදේම පලකිරීම සෞඛ්‍යට හිතකර නොවේ.
ඒත් සමහරක් දේ ලියවේ.

මැතිඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ගැන දොඩමලු වීමද එවැන්නකි.

බලයක් නැතිව නන්තාරව සිටිය යුගයේදී මැති ඇමතිවරුනට අලුත් වාහන අකැපය.
පස්ස පැත්ත තියාගෙන යාමට අලුත් වාහන ඕනෑදැයි එකල මතයවිය. දැන් නම් පස්ස පැත්ත තියා ගෙන යාමට අලුත් වාහන අවශ්‍ය බව තේරුම් ගොස් ඇත‍.
එයත් Change එකකි.

මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව ස්ථීර වුයේ අයවැයත් සමගය.
මහජනතාවට නැති දේවල් අපිට ඕන නෑ කිව්වේ ඉස්සරය.
ලක්ෂ 12 කට විට්ස් කාරයක් ගෙනත් දෙනා කීවේත් ඉස්සරය.
බස්වල කෝච්චියේ සෙනග මාරාන්තික ගමනක යන බව දුටුවේත් ඉස්සරය.
දැන් ඒවා ගැන වගේ වගක් නැත.

දැනට වාර්තා වන ලැබෙන වාහන වරප්‍රසාදය ලොතරැයියක්ය .
මන්ත්‍රී කම තියෙනතාක් මහජනතා බදු මුදලින් නඩත්තුවන වාහනය තනතුර අවසන්ව ගෙදර යන දා එවකට බලපැවෙත්වන තක්සේරු වටිනාකම ගෙවා ගෙදර ගෙන යා හැක.
මෙයත් හොද Change එකකි.

දේශපාලනඥයන් මේ වන විට මහජන සේවයට කැප වී සිටින්නේ දුෂ්කරතා රැසක්‌ මැද ය. ඒවා රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවා යන්න ජනතාවගේ ප්‍රාර්ථනාවය.
මේ හදිසියේ වාහන ගෙන්වන්නට තදියම මොකක්‌දැයි මේ ගැන හාංකවිසියක්‌වත් නො දන්නා මෝඩ තකතීරුවන්ට ප්‍රශ්නයක්‌ විය හැකිය. 
 ඒ ගැන පැහැදිලි කර දෙන්නෙම්, අහගන්න.

දිලිසෙන්නට ඔප දමා, ෆුල් කන්ඩිෂන් පිට අපට පෙනෙන්නට තිබෙන බොහෝ වාහන ඇත්තටම අබලන් ය. කෙනකුට ඒවා දකින විට සියුම් ඊර්ෂ්‍යාවක්‌ මතුවන්නේ එම වාහන දේශපාලනඥයන් සතුව තිබීම නිසාම මිස වෙන කාරණයක්‌ නිසා නොවේ. තුන් හතර දෙනකුට එක්‌ව එම වාහනවල ගමන් කිරීමේ හැකියාවක්‌ නැත. පොඩි වැස්‌සකට ද තෙමේ.
දේශපාලනඥයන් ගමන් ගන්නා රථ සමඟ 'බැකප්' වාහන ගමන් ගන්නේ 'ආරක්‍ෂාවට' යෑයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මුලාවකි. එම බැකප් වාහන ගමන් ගන්නේ අදාළ රථය (සමහර මෝඩයන් සුපිරි යෑයි සිතා සිටින) හදිසියේ බ්‍රේක්‌ ඩවුන් වූ විටෙක තල්ලු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමටය. 
එසේ නම් ආරක්‍ෂකයන් ගමන් ගන්නා රථය හොඳ තත්ත්වයේ තිබේදැයි කේන්ති යන අන්දමේ ප්‍රශ්න නොඅසන ලෙස  සියලුම මෝඩ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

ඇත්තෙන්ම  කල්පනාව හැටියට මෙම ගෙන්වන වාහන සුඛෝප‍බෝගි බවින්  මදි බවය.

රටේ ජනතාවට අඩුම මිලට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැත්නම්, අඩුම තරමින් යතුරු පැදියක්‌ තීරුබදු රහිත මිලට නොව අවම මිලකට මිලට ගැනීමට හැකියාවක්‌ නැත්නම් අපට මේ සුඛෝපභෝගී වාහනවලින් ඇති ඵලය කුමක්‌දැයි සිතන මේ මැති ඇමැතිවරුන්ට ජාතියේ ප්‍රශංසාව හිමිවිය යුතුය
අපේ කරුමයට එහෙම අය නැත.
 
ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටේ ජනතාවට ද කළ හැකි යමක්‌ තිබේ. ඒ අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් වෙනුවෙන් ගතහැකි හොඳම පියවර ගෙන තිබේ යෑයි හිත හදා ගැනීමය.

A day in the life