ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2025-09-30

ළමා හිංසණයට විරුද්ධ වෙමු.







මාලිමා ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා රාජ්‍ය සේවකයන් 80% පමණ ඡන්දය භාවිතා කළා.
මේ අතරින්ද තවත් විශේෂ ගාමක රාජ්‍ය සේවකයන් කණ්ඩායමක් හිටියා.
ඒ ගුරුවරු.
රජයේ පාසල් වල සේවය කරන ගුරුවරු මාලිමාව බලයට ගෙන ඒම සඳහා දැඩිව කැපවුණා.
යථාර්ථය නම් ගුරුවරුන්ගේ ඡන්ද 90% පමණ වැටුණේ අනුර කුමාරට.
ඉන් එහා ගිහින් ඡන්ද පොළේදී, ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ දී පවා ඔවුන්, අනුර සහ මාලිමාව වෙනුවෙන් උපරිම සහය ලබා දුන්නා.
දැන් ගුරුවරුන්ගේ ඡන්දය ලබා ගත් අනුර කුමාර, ජනාධිපති ධූරයට පත් වී වසරකටත් වැඩියි.
නමුත් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා, වැටුප් වර්ධක පිළිබඳ සාකච්ඡාවක් හෝ නැහැ. අද ඔවුන්ට ගුරුවරු මතක නැහැ.
එවැනි පසුබිමක මෙරට රජයේ පාසල් වල ගුරුවරු දංගෙඩියට දක්කා ගෙන යන අපූරු පනතක් අද ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

සචින් රත්වත්ත ගේ මේ පූර්විකාව සංස්කරණය කරන්න හිතුවේ නැහැ. “ ළමා හිංසනය “ පනත ගැන මටත් තියෙන්නේ ඔහුගේ අදහස් වලට සම්පාත අදහසක්. මේ පනත ගැන ජනතා සංවාදයක් ඇතිවිය යුතුයැයි මම සිතනවා.
අපි ඔහුගේ ලිපිය කියවමු.

ළමා හිංසනය වරදක්. 
ඒ ගැන කිසිම තර්කයක් නැහැ. අප සියලූම දෙනා ළමයින්ට හිංසා කිරීම, අතවර කිරීම සහ ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීමට දැඩිව විරුද්ධයි.
ඒ ගැන කිසිම තර්කයක් නැහැ.
කොටින්ම ළමා හිංසනයට විරුද්ධව සමස්ථ ලෝකයේම හොඳම සහ ශක්තිමත්ම නීති පවතින රටක් ශ්‍රී ලංකාව.
G.L පීරිස් ලාට එහි ගෞරවය හිමිවිය යුතුයි.

එවැනි පසුබිමක අද මාලිමා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පණත ළමා හිංසනයට විරුද්ධ පනතක් නෙවෙයි.
ශාරීරික හිංසනය කොහොමත් ශ්‍රී ලංකාවේ අපරාධමය වරදක්. එය තහනම් කිරීමට අලුත් පනතක් අවශ්‍ය නැහැ.
එහෙනම් මේ කඩිමුඩියේ අලුත් පනතක් ගෙන ආවේ මොකද ?
ඒ තමයි ආණ්ඩුවේ උපක්‍රමය.

මේ පනත මගින් වාචිකව උපදෙස් දීම පවා 'ළමා හිංසනයක්' ලෙසට අර්ථකතනය කරනවා.
එය මේ කාලයේ ලෝකය පුරාම ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන රැඩිකල්, වාමාංශික, “වෝක් සංකල්ප“ මත ගොඩනැගුණු විකෘති පනතක්.
මේ පනත අනුව දෙමාපියන්ට හෝ ගුරුවරුන්ට පවා දරුවන්ට අවවාද සහ උපදේශ ලබා දිය නොහැකියි.
එය දරුවන්ගේ මානසිකත්වය බිඳින 'අපරාධ' වරදක් ලෙස නිර්වචනය විය හැකියි.
ළමයෙකුට ලබා දෙන උපදේශයක් ඔවුන්ව වාචිකව හිංසාවට ලක් කිරීමක්, අපචාරයක් ලෙස මේ පනතේ නිර්වචනය කෙරෙනවා.

මේ සඳහා මුල්කොට තිබෙන්නේ ඇමෙරිකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වූ පනත්.
එම රටවල් වල වෝක් සුලඟ සමග මෙවැනි විකෘති නීති සම්මත වුණා.
ඒ අනුව දරුවෙකුට උපදෙසක් දීම පවා දෙමාපියන් සිරගත විය හැකි, දෙමාපියන්ගෙන් දරුවන් ඉවත් කරන ක්‍රියාවක්.
මේ පනත සම්මත වූ පසු ගුරුවරුවන්ට පාසලේ දී දරුවන්ට නිසි දඬුවමක් තබා කිසිඳු ඔවදනක් හෝ ලබා දිය නොහැකියි.
ඇට්ටර දරුවෙකුට, එය ළමා හිංසනයක් ලෙස පැමිණිලි කිරීමේ බලය මේ පනතෙන් ලැබෙනවා.

දරුවන් යනු ඉතාම බුද්ධිමත්ව සහ පරිස්සමින් රැක බලා ගනිමින් ගොඩනැගිය යුතු සම්පතක්.
ඔවුන් විනයගත කළ යුතුයි. ඔවුන්ට හරි වැරැද්ද තෝරා දිය යුතුයි. ඔවුන්ට මග පෙන්වා දිය යුතුයි.
බාහිර සමාජයෙන් 'හොඳ නරක' ඉගැනීමට පෙර පවුලෙන් සහ පාසලෙන් දරුවන් ශික්ෂණය කළ යුතුයි.

කිසිඳු දෙමාපියෙකු හෝ බහුතර ගුරුවරුන් දරුවන්ට උපදෙස් දෙන්නේ, ඔවදන් දෙන්නේ ඔවුන් නිවැරදි කිරීමට මිසෙක ඔවුන්ට වෛර කරන නිසා නොවෙයි.
හෝමෝ සේපියන් ලා පරිනාමය වූ කාලයේ සිටම වැඩිහිටි පරම්පරාවෙන්, දරුවන්ට දැනුම සහ ශික්ෂණය ලබා දුන්නා.
ඒ ශික්ෂණය මානව වර්ගයාගේ ඉදිරි ගමනට විශාල හේතුවක් වුණා.

නමුත් ජීවිතය පුරාවටම පවුල් ජීවිතයක් ගත නොකළ, දරුවන් නැති, අම්මා කෙනෙකුගේ හැඟීම නොතේරෙන හරිනි ලා, කෞෂල්‍යා ලා, ලක්මාලි ලා ට එය වැටහෙන්නේ නැහැ.
මේ පනතේ නිර්මාතෘන් ඔවුන්.
තමන් රටේ කැබිනට් අමාත්‍යධූරයක් භාර ගන්නා මොහොතේ ඊට සුබ පැතීමට නොපැමිණි සැමියෙක් සිටිනා, ආදරණීය සහ උණුසුම් පවුල් ජීවිතයක් නොමැති සරෝජා පෝල්රාජ් ලාට පවුලක බැඳීම සහ වටිනාකම වැටහෙන්නේ නැහැ.
ජීවිත කාලය පුරාම වෘත්තීය සමිති තුළ දේශපාලනය කළ, පාසලක උගන්වා නැති මහින්ද ජයසිංහ ලාට ගුරුවරයෙකු දරුවෙකුට ආදරය කරන තරම වැටහෙන්නේ නැහැ.
දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම වැටහෙන්නේ නැහැ.

පවුලෙන් සහ පාසලෙන් එළියේ ලෝකය දරුවෙකුට සුන්දර නැහැ.
එක් පැත්තකින් මත්ද්‍රව්‍ය. අනෙක් පැත්තෙන් පාතාලය.
තවත් පැත්තකින් සමාජ ජාලා. ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන් ද බිලි ගැනීමට මාන බලනා සමාජයක් එළියේ සිටිනවා.
වැඩිහිටියෙකුගේ අවවාද සහ මගපෙන්වීම නොමැති දඩබ්බර දරුවන්ට වර්තමාන ලෝකයේ කිසිම රටක පැවැත්මක් නැහැ.

ඇමෙරිකාව මේ විකෘති වෝක් නීති ඉවත් කළේ ඒකයි.
දරුවෙකු නිවැරදිව ගොඩනැගීමේ බලය දෙමාපියන්ට හිමිවිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමෙරිකානු රජය කියනවා.
මෙවැනි පනත් මගින් මානවයා තවදුරටත් 'මෘදු' කරනවා. ඔවුන් ගැටලු සහ ප්‍රශ්න දරාගත නොහැකි පුයර බබාලා කරනවා.
එය තරගකාරී ලෝකයේ ඔවුන්ට කරනා උදව්වක් නොවෙයි. එය දරුවන්ට කරනා විනාශයක්.

මෙවැනි වෝක් නීති ඉවත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් අපූරු කතාවක් කිව්වා.
කුඩා කල සිටම දරුවන් පුහුණු කරනා රුසියාවේ පිරිමි දරුවන් ලොව හොඳම මල්ලව පොර ශූරයන් වෙනවා. ගැහැණු දරුවන් ලොව හොඳම ජිම්නාස්ටික් ශූරියන් වෙනවා.
චීනයෙන් ටේබල් ටෙනිස් ශූරයන් බිහිවෙනවා.
නමුත් ඇමෙරිකාවෙන් බිහිවන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, රටක් ගොඩනැගීමට තරම් ශක්තියක් නැති දුර්වල ජාතියක් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
දරුවන්ට දෙමාපියන් තරම් ආණ්ඩුව ආදරේ ය කීම තනිකර විහිලුවක් බව ට්‍රම්ප් ප්‍රකාශ කළා.
දරුවන් 'ස්පොයිල්' කිරීම ඔවුන්ට කරනා උපකාරයක් නොව, විනාශයක් බව ට්‍රම්ප් කිව්වා.

නමුත් අද ඇමෙරිකාව විසින් ප්‍රතික්ෂේප කරන නීති, 2025 දී ශ්‍රී ලංකාවේ සම්මත වෙනවා.
මේ නීතිය සම්මත වූ පසුව ගුරුවරයෙකුට පාසලේ සම්මත විනය පවත්වා ගැනීම, නීති විරෝධියි.
දරුවෙකුගේ කොන්ඩා මෝස්තරය ඉවත් කිරීමට උපදෙස් දීම සිරගත විය හැකි වැඩක්.
තවදුරටත් ගැහැණු දරුවෙකුගේ ගවුමේ දිග තීරණය කරන්නේ ඇය මිසෙක පාසල නොවෙයි.
පච්චා කෙටීම වැනි දෑට පවා විරුද්ධ වීමට ගුරුවරුන්ට හැකියාවක් නැහැ.

බටහිර පැවැති ක්‍රමයේ දී දෙමාපියන්ට එරෙහිව පැමිණිලි කර, දෙමාපියන් නිවසෙන් ඉවත් කිරීමේ බලය හෝ දෙමාපියන්ගෙන් ඉවත් වීමේ බලය දරුවන්ට හිමිවෙනවා.
මේ පනතින් එම බලය ශ්‍රී ලංකාවේ දරුවන්ටත් හිමි වෙනවා.
ඔබට ළමා කාලයක් තිබෙන්නට ඇති.
ඔබගේ දෙමාපියන් ඔබට තරවටු කරන්නටත් ඇති.
නාහෙට නාහන කාලයේ ගෙදරින් පැන යාමට ඔබ සැලසුම් කරන්නටත් ඇති.
නමුත් එවකට සමාජය ඒ සඳහා ඔබට හැකියාවක් ලබා දුන්නේ නැහැ.
නමුත් අද ඒ අතීතය සිහිපත් කරද්දි ඔබේ දෙමාපියන් ඔබ වෙනුවෙන් කොතරම් කැපකිරීම් කළාද, ඔබට කොතරම් ආදරය කළාද, ඔබ වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතයම කැප කළාද කියල ඔබට වැටහෙනවා.

නමුත් එදා ඇට්ටර යොවුන් අවදියේ ඔබට ඒ අවබෝධය තිබුණේ නැහැ.
මේ පනතෙන් සිදුවන්නේ ඇට්ටර යොවුන් වයසේ සිටින , කිසිවක් නොවැටහෙන, දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ ආදරය නොතේරෙන දරුවන් අතට නොමග යාමේ බලය ලබා දීම පමණයි.
මේ පනත ශ්‍රී ලංකාවේ අනාගතය ඉලක්ක කර ඇටවූ කාල බෝම්බයක්.
මේ පනත සක්‍රීය වූ මොහොතේ සිට පාසලේ විනය ආරක්ෂා කිරීමෙන් ගුරුවරු ඉවත් වේවි.
එයට අකමැති ගුරුවරු සිරගත වේවි.
වල් බූරු නිදහසක් දරුවන්ට හිමිවේවි.
 
හොඳ නරක තෝරා ගත නොහැකි වයසේ සිටිනා දරුවන් ඔවුන්ගේ හෝර්මෝන මගින් උත්තේජනය කරනා මාර්ග සහ විකල්ප තෝරා ගනීවි.

තවමත් මේ රට තුළම වයස අවුරුදු 12, 13, 14 , 15 වයස් වල කුඩා දැරියන් නීත්‍යානුකූලවම විවාහ කෙරෙනවා.
කුඩා දැරියන් විසින් දරුවන් හදනවා.

ඒ නීති ඉවත් කිරීමට කොන්දක් නැති සරෝජා ලා මෙවැනි නීති සම්මත කිරීම විහිලුවක්.
පනත පිළිබඳ සංවාදයේ දී, තවමත් බිරිඳ විසින් 'සහෝදරයා' ලෙස අමතන, පවුල් සංකල්පය නොවැටහෙන බිමල් රත්නායක දරුවන් හොද්දක් මෙන් නොවෙයි කිව්වා.
ඔව් බිමල්.
දරුවන් හොද්දක් වගේ නෙවෙයි.
හොද්දක් බෙරි වුනොත් විසි කරලා ආයෙත් හදාගන්න පුලුවන්.
හැබැයි දරුවෙක් නොමග ගියොත් ආයේත් හදන්න බැහැ.
ඒ පවුල, සමාජය වගේම රටටත් ලොකු හානියක්!


- සචින් රත්වත්තේ

මම මේ ලිපිය මුණු පොතේ ෂෙයාර් කලා. ප්‍රතිචාර අතරින් දෙකක් මම තෝරාගත්තා  
අනෙක් ඒවා මේ ලිපියේ දේශපාලන දැක්මට එල්ල කල ප්‍රාහාර.
ලිපියක අදහසකට විමර්ශනීය අදහස් දැක්වීම පාඨකයා තුල නැහැ. ඔවුන් බොහෝ විට පාර්ශව දෙකකට බෙදෙනවා.
එක පාර්ශවයක් බලය අතින් දුබලයි.
ඔවුන්ගේ අදහස් දෑක්වීම් “ පාච්චලයට “ ලක් කරනවා.
අන්තර්ගතය විමසන්නේ නැහැ.
එය කනගාටුදායකයි.

arath Ranasinghe

මෙවැනි පනත් ගෙනඒම කාලෝචිත නොවේ.එමනිසා මේ සම්බන්දව ජනාධිපති තුමා මැදි හත්ව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු .දරුවන් නිසි මගට ගැනීමට ගුරුවරුන්ට නිදහස තිබිය යුතුය .


Pemas Gunasinghe

මොන තරම් ගැඹුරකින් සිතන්නට උත්සාහ කරන කියවීමක් වුනත් මෙහි වැඩිහිටියන් විසින් දරුවන්ව දකින කෝණය නිවැරදිද කියා නැවත හැරී බැලිය යුතුමය. බටහිර රටවලට ගැති වීමක් ලෙස දකිනවාට වඩා පෙරදිග අති උතුම් දාර්ශනික චින්තය දරුවන් දෙස දකින කෝණය අප අතහැර දැමුවාදැයි නැවත සිතා බලන්න ලේඛකය.
"මිනිසා උපතින්ම නිර්මලය සුන්දරය" මේ අදහස හෝ මතය බටහිරට අයිති එකක් නොවේ.
බුදුන්වහන්සේ ට පසු ගමන් යමින් ( දායාද ඉල්ලමින් අතැගිලේ එල්ලී ගිය බවක් බෞ. සහිත්‍යයේ කියවේ) වස්තුව ඉල්ලා ගමන් ගත් ඒ කුඩා දරුවා බුදුන්වහන්සේ අතහැර දැමුවේ නැත. නොදන්නා පුංචි දරු⁣වකු ලෙස සලකා ඉවත දැමුවේ නැත. ඒ සිදුවීම අපට කියා දෙන දහම කුමක් ද?
දරුවන් යනු නිර්මලය , අති සුන්දර වස්තූන්ය. ඔවුන්ව කිසිම අයුරකින් අවතක්සේරු නොකළ යුතුය. ඉදිරියේ දී අප කිසිවකුට සිහිනයෙන් හෝ නොදුටු ලොවක් ඔවුන් විසින් නිර්මාණය කරනු ඇත.
එහෙයින් ඔවුනට අපට දිහැක්කේ දිය යුත්තේ "රැකවරණය" හා "ආදරය" යන දේවල්ය.


























S

2025-09-29

මහ පඹාගේ කතාව.



බොල්තුඹේ මහ සමන් දේවාලය පෙරහැරේ යන මහ පඹාගේ කතාව.


මහ පඹා පිළිබඳවමත කිහිපයක් තිබෙනවා.
මහ පඹාගේ උස අඩි 8 කී.ඉහලට එසවූ අතේ කඩුවකි
ඉනෙහි තබාගෙන යන අතේ මල් පොකුරකි.රාජසිංහ රජුගේ රුව ලෙස ද සලකයි.බෞද්ධ රජකු වූ මොහු පසුව අබෞද්ධ විය.සංඝයා වහන්සේලා පවා ඝාතනය කරන ලද බැවින් මෙම දෙබිඩි පිළිවෙත මහ පඹා තුළින් නිරූපණය කරන බව එක් මතයකි.
කඩුවෙන් එඩිතර බවද,රණකාමී බවද,
මල් පොකුර නිර්මල සිංහල බෞද්ධ පසුබිමද,කය සම්පූර්ණයෙන් ආවරණය කිරීමෙන් ජාතික බව ආචාරශීලිත්වය
සැමට සමානාත්මතාවයකැරකි කැරකී යන ආකාරය පෙන්වයි.හොඳ නරක
පෙන්වන්නක් ලෙසද මහ බබා හඳුන්වයි.සියලු දේ නිර්මාණය කිරීමට හැකි දෙවි කෙනෙකු ලෙසද හඳුන්වයි.
තම සහෝදර විභීෂණ රාමාට එකතු වූ බව රාවණාට ආරංචි වූ විට සාමාන්‍ය මුහුණ වියරු වැටී ගිය බවත් මහ බබා ගෙන් ඒය පිළිබිඹු වන බවත් පැවසේ .
රාමා එක් පසකින්ද,රට ජාතිය පාවාදුන් විභීෂණ එක් පසෙකින් පිළිබිඹු වන බව තවත් මතයකි.
සබරගමුවේ ජනතාව විශ්වාස කළ නොහැකි තේරුම් ගත නොහැකි පිරිසක් ලෙස සැලකීමද,
මහ පඹා වෙතින් නිරූපණය වන බව තවත් මතයකි.
රාවණගේ නැගණිය වන සුපර්නිකා ලෙසද
මහ පඹා හදුන්වයි.
ඇහැලේපොළ අදිකාරම්ගේ අවධියේදී
මහ පඹා පෙරහරට එකතු වෙන්නට ඇතැයිද මතයක් පවතී.
ශ්‍රී පාදස්ථානය සහ එහි පිහිටි සමන්දේවාල කේන්ද්‍රකරගෙන සතර කොනක ඉදි කර තිබෙන මහියංගනය සමන් දේවාලය,බලංගොඩ පින්නවල බොල්තුඹේ සමන් දේවාලය ,දැරණියගල සමන් දේවාලය සහ රත්නපුර සබරගමු මහා සමන් දේවාලය යන දේවාල සතරේ පමණක් පැවැත්වෙන පෙරහර මංගල්‍යයන් හිදී පමණක් මෙම මහ පඹාගේ රුව චාරිත්‍රයක් ලෙස පෙරහැරට එක් කෙරේ.

ලංකාවේ වෙනත් කිසිදු පෙරහැරක මහ පඹා දකින්නට නොමැති  අතර
වර්තමානයේ එය copy කර පෙරහරවල් වල රැගෙන යාම ද වරදකි.
සබරගමුවේ බොහෝ බෞද්ධ පෙරහැර මංගල්‍යන් තුළ වර්තමානයේ මෙම මහා පඹාගේ රුව දැක ගත හැකිය .
සමන් දේවාල වලට පමණක් ආවේණික පුරාතන චාරිත්‍රයක් ලෙස මහා පඹා නිර්මාණය කිරිම හදුන්වා දිය හැකිය
.
තොරතුරු පොත පත ඇසුරිනි...
උපුටා ගැනිමකි.................

2025-09-28

ශ්‍රී ලංකාව vs. සිංගප්පූරුව







දියුණුවෙමින් පවතින රටක ඉඳන් දියුණු රටක් දක්වා.

හිතන්නකො, එක මනුස්සයෙක්ගේ ජීවිත කාලයක් ඇතුළත සිංගප්පූරුව කියන රට, කිසිම දෙයක් නැති තැනක ඉඳන් ලෝකේ ඉහළම ආදායම් ලබන දියුණු රටක් බවට පත්වුණා. ඒත් ඒ කාලෙම, සමහර විට ඊටත් වඩා හොඳයි කියල හිතපු අපේ ශ්‍රී ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක්. මේ රටවල් දෙකේ ගමන දෙපැත්තකට ගියේ කොහොමද කියල තමයි අපි මේ බලන්න යන්නේ.

වෙනස කොච්චරද කියනවනම්, සිංගප්පූරුවේ කෙනෙක්ගේ සාමාන්‍ය ආදායම (GDP per capita) ඩොලර් 84,000ක් විතර වෙද්දී, අපේ එක ඩොලර් 3,800ක් වගේ. ඒ කියන්නේ සිංගප්පූරුවේ කෙනෙක් සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක්ට වඩා 21 ගුණයක් විතර පොහොසත්. ලෝකේ තරඟකාරීත්වය, හොඳ පාලනය, දක්ෂ මිනිස්සු ඉන්න රටවල් අතරින් සිංගප්පූරුව හැමදාම ඉහළින්ම ඉන්නවා. ඒත් ලංකාව ඒවයින් ගොඩක් පස්සෙන් ඉන්නේ.

මෙන්න මේ රටවල් දෙකේ සරල සැසඳීමක්:

ප්‍රධාන දේවල් සැසඳීම (2023 විතර වෙනකොට)

සිංගප්පූරුව: පොඩි නගරයක් වගේ රටක් (වර්ග කි.මී. 733). මිනිස්සු මිලියන 5.6ක් විතර ඉන්නවා. චීන (75%), මැලේ (15%), ඉන්දියානු (7%) වගේ ජාතීන් කීපයක් ඉන්නවා.
ලංකාව: මධ්‍යම ප්‍රමාණයේ දූපතක් (වර්ග කි.මී. 65,600). මිනිස්සු මිලියන 22ක් විතර ඉන්නවා. සිංහල (75%), දෙමළ (15%), මුස්ලිම් (9%) වගේ ජාතීන් ඉන්නවා, ඒත් බහුතරයයි සුළුතරයයි අතර ප්‍රශ්න තියෙනවා.

දළ දේශීය නිෂ්පාදිතය (GDP):
සිංගප්පූරුව: ඩොලර් බිලියන 500ක් විතර. අධි තාක්ෂණික, විවිධාංගීකරණය වුණු ආර්ථිකයක්.
ලංකාව: ඩොලර් බිලියන 90ට අඩුයි. තේ, ඇඟලුම්, සංචාරක ව්‍යාපාරය වගේ දේවල් මත යැපෙනවා.

ඒක පුද්ගල ආදායම:
සිංගප්පූරුව: ඩොලර් 90,000ක් විතර (ඉහළ ආදායම් ලබන රටක්).
ලංකාව: ඩොලර් 3,800ක් විතර (පහළ-මධ්‍යම ආදායම් ලබන රටක්).
මානව සංවර්ධන දර්ශකය (ජීවන තත්ත්වය):
සිංගප්පූරුව: ලෝකෙන් 12 වෙනියා වගේ. ගොඩක් ඉහළයි.
ලංකාව: ලෝකෙන් 73 වෙනියා වගේ. ඉහළ මට්ටමක තියෙනවා, ඒත් සිංගප්පූරුවට වඩා ගොඩක් පල්ලෙහා.

දූෂණය:
සිංගප්පූරුව: දූෂණය හරිම අඩුයි (ලකුණු 100න් 83යි). පිරිසිදු, කාර්යක්ෂම පාලනයක්.
ලංකාව: දූෂණය ගොඩක් වැඩියි (ලකුණු 100න් 34යි). දූෂණයයි නෑදෑකම් රටේ දියුණුවට ලොකු බාධාවක්.

දේශපාලන ක්‍රමය:
සිංගප්පූරුව: ස්ථාවර, එක පක්ෂයක් දිගටම පාලනය කරන ක්‍රමයක් (1959 ඉඳන් PAP පක්ෂය). දුර දිග බලල සැලසුම් කරනවා.
ලංකාව: ප්‍රජාතන්ත්‍රවාදී, ඒත් නිතරම ජනප්‍රියවාදී තීරණ ගන්නවා. පක්ෂ/පවුල් අතර නිතරම බලය මාරු වෙනවා. හැමදේටම දේශපාලනය ගෑවිලා.

ජාතීන් අතර එකමුතුකම:

සිංගප්පූරුව: ජාතීන් අතර සමඟිය ඇති කරන්න විශේෂ නීති ගෙනල්ලා (උදා: හැමෝටම එකට ඉන්න පුළුවන් විදියේ නිවාස ). 1960 ගණන් වලින් පස්සේ කිසිම ගැටුමක් වෙලා නෑ.
ලංකාව: සිංහල-දෙමළ සිවිල් යුද්ධයක් තිබ්බා (1983–2009). ආගමික ප්‍රශ්නත් විටින් විට ඇතිවෙනවා. මේ බෙදීම් රටේ ස්ථාවරත්වයට බලපෑවා.

අධ්‍යාපනයේ තත්ත්වය:
සිංගප්පූරුව: ලෝක මට්ටමේ ඉස්කෝල. ඉංග්‍රීසියෙන් උගන්වනවා. විද්‍යාව, තාක්ෂණයට ලොකු තැනක් දෙනවා.
ලංකාව: නොමිලේ අධ්‍යාපනය, 92%ක් විතර මිනිස්සු උගත්. ඒත් තත්ත්වය දුර්වලයි. සිංහල/දෙමළ වලින් උගන්වන නිසා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න අමාරුයි. දක්ෂ තරුණයෝ රට දාල යනවා (Brain Drain).

ආර්ථික මොඩලය:
සිංගප්පූරුව: අපනයන මත පදනම් වුණු ආර්ථිකයක්. සැලසුම්සහගතව වෙළඳාමේ ඉඳන්, නිෂ්පාදනයට, ඊට පස්සේ දැනුම පදනම් කරගත් ආර්ථිකයකට මාරු වුණා. සල්ලි හොඳට කළමනාකරණය කරනවා.
ලංකාව: මුලින්ම සුබසාධන දේවල් වලට (සහනාධාර) බර දුන්නා. ප්‍රතිපත්ති නිතරම එහාට මෙහාට පැද්දෙනවා (සමාජවාදී, ධනවාදී). හැමදාම අයවැය හිඟයි, ණය ප්‍රශ්න.
පේනවා නේද වෙනස? සිංගප්පූරුව අද ඉන්න තැනට එන්න ලංකාවට කොච්චර කල් යයිද? හිතන්නකො, අපි අවුරුද්දට 8%ක වේගයකින් දියුණු වුණත් සිංගප්පූරුවේ අද තියෙන තැනට එන්න අවුරුදු 41ක් විතර යනවා. 5%ක වේගයකින් ගියොත් අවුරුදු 64ක් යනවා.

ඉතින්, අපි දැන් බලමු මේ රටවල් දෙකේ ගමන මේ තරම් වෙනස් වුණේ ඇයි කියලා.

1. නිදහසෙන් පසු ඓතිහාසික ගමන් මග
ලංකාවේ හොඳ ආරම්භය (1948–1970s): 1948 නිදහස ලබනකොට, ලංකාව ආසියාවේ ගොඩක් රටවල් වලට වඩා ඉස්සරහින් හිටියේ. අපේ ජීවන තත්ත්වය ජපානයටත් සමාන මට්ටමක තිබුණා. නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය නිසා මිනිස්සු හොඳ තත්ත්වයක හිටියා. ඒත් 1960 ගණන් වෙනකොට වැරදි ප්‍රතිපත්ති නිසා මේ හොඳ ආරම්භය නැතිවෙන්න පටන් ගත්තා. රට ඇතුළටම වෙලා, පිටරටින් බඩු ගේන එක නවත්තලා, හැමදේම රජයෙන් කරන්න ගියාම ආර්ථිකය එක තැන පල්වෙන්න ගත්තා.
සිංගප්පූරුවේ අමාරු පටන් ගැන්ම (1965–1980s): සිංගප්පූරුව 1965දී ගමන පටන් ගත්තේ ඊට වඩා ගොඩක් අමාරුවෙන්. කිසිම ස්වභාවික සම්පතක් නෑ, මිනිස්සුන්ට රස්සා නෑ, ජාතිවාදී කෝලහාල. ඒත් ඒගොල්ලෝ සැලැස්මක් හැදුවා:
(1) වෙළඳ මධ්‍යස්ථානයක් වෙනවා,
(2) පිටරට සමාගම් ගෙන්නගෙන ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික් බඩු හදල පිටරට යවනවා,
(3) ඒකෙන් හම්බෙන සල්ලි වලින් රටේ යටිතල පහසුකම් සහ අධ්‍යාපනය දියුණු කරනවා. මේ සැලැස්ම නිසා 1980 ගණන් වෙනකොට සිංගප්පූරුව "ආසියාවේ කොටි"න්ගෙන් කෙනෙක් වුණා.

ගමන දෙපැත්තකට හැරුණු තැන:
යුද්ධය vs. ස්ථාවරත්වය: 
ලංකාවේ ගමන වැරදුණු ප්‍රධානම තැන තමයි ජාතිවාදී ගැටුම. 1956 "සිංහල පමණයි" පනත වගේ දේවල් නිසා සිංහල-දෙමළ ප්‍රශ්න වැඩිවෙලා, අන්තිමට 1983දී සිවිල් යුද්ධයක් පටන් ගත්තා. අවුරුදු 26ක් තිබ්බ මේ යුද්ධෙන් රට විනාශ වුණා, ලක්ෂ ගාණක් මිනිස්සු මැරුණා. ලංකාව යුද්ධෙට සල්ලි වියදම් කරද්දී, සිංගප්පූරුව දියුණුවට සල්ලි වියදම් කලා. සිංගප්පූරුව එයාලගේ රටේ ජාතීන් අතර ප්‍රශ්න එන්න නොදී බොහොම පරිස්සමින් කළමනාකරණය කරගත්තා.

2. දේශපාලන නායකත්වය සහ පාලන ක්‍රම

පාලනයේ තත්ත්වය: සිංගප්පූරුව ප්‍රසිද්ධ වුණේ දූෂණයෙන් තොර, කාර්යක්ෂම පාලනයකට. සිවිල් සේවකයන්ට ඉහළ පඩි ගෙවලා දක්ෂම අයව බඳවගත්තා. ඒත් ලංකාව දූෂණය, නාස්තිය, නෑදෑකම් දෙන එක නිසා පස්සට ගියා. ආණ්ඩු මාරු වෙද්දී රජයේ ආයතන වලට දේශපාලන හිතවතුන්ව පත් කරන එකෙන් ආයතන විනාශ වුණා. රාජපක්ෂ, බණ්ඩාරනායක වගේ පවුල් පාලන කාලවලදී මේ දේවල් හොඳටම දකින්න ලැබුණා.

ස්ථාවර දේශපාලනය vs. ජනප්‍රියවාදී පොරොන්දු: 
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ සහ එයාගෙන් පස්සේ ආපු නායකයෝ දිගටම එකම ප්‍රතිපත්තියක් අරන් ගියා. ඒ ස්ථාවරත්වය නිසා ව්‍යාපාරිකයන්ට විශ්වාසයක් ඇතිවුණා, දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. ලංකාවේ හැම අවුරුදු 5කට සැරයක් වගේ ආණ්ඩු මාරු වෙනවා, ආණ්ඩු මාරු වෙද්දී ප්‍රතිපත්තිත් මාරු වෙනවා. ඡන්දෙ දිනන්න ඕන නිසා, රටට හොඳ නැති ජනප්‍රිය තීරණ (සහනාධාර, අනවශ්‍ය බදු අඩුකිරීම්) ගත්තා. 2019දී කරපු බදු අඩුකිරීම සහ පොහොර තහනම රටේ ආර්ථිකය කඩන් වැටෙන්න ලොකු හේතුවක් වුණා.

3. අධ්‍යාපනය, සමාජ එකමුතුකම සහ සංස්කෘතික සාධක
අධ්‍යාපන ක්‍රමයේ වෙනස: 
ලංකාවේ නොමිලේ අධ්‍යාපනය නිසා 92%ක සාක්ෂරතාවයක් තිබුණත්, අධ්‍යාපනයේ තත්ත්වය දුර්වලයි. විෂය නිර්දේශ පරණයි, රැකියා වෙළඳපොළට ගැලපෙන්නේ නෑ. වැදගත්ම දේ තමයි, ඉංග්‍රීසි භාෂාවට තැනක් නොදුන්න එක. සිංගප්පූරුව ඉංග්‍රීසිය ඉගැන්වීමේ මාධ්‍යය කරගත්ත නිසා ලෝකයත් එක්ක ලේසියෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඒගොල්ලෝ විද්‍යාවට, ගණිතයට, තාක්ෂණයට මුල් තැන දුන්නා.

සමාජ එකමුතුකම
සිංගප්පූරුව ජාතීන් අතර සමඟිය හදන්න විශේෂ නීති ගෙනාවා. රජයේ නිවාස වල හැම ජාතියකටම කොටසක් වෙන් කරලා, ජාතිවාදී ගෙටෝ (ghettos) හැදෙන එක නැවැත්තුවා. "සිංගප්පූරු ජාතිකයෙක්" කියන අනන්‍යතාවය හැදුවා. ලංකාවේ වුණේ ඒකේ අනිත් පැත්ත. ජාතිවාදය නිසා යුද්ධයක් ඇතිවෙලා රට බෙදුණා. සමාජය බෙදුනම රටක් දියුණු කරන්න බෑ.

භාෂාවේ බලපෑම:
 
සිංගප්පූරුව ඉංග්‍රීසිය වැඩ කරන භාෂාව කරගත්ත එක එයාලගේ දියුණුවට ලොකු රුකුලක් වුණා. ඒකෙන් පිටරට සමාගම් වලට එන්න ලේසි වුණා, ජාතීන් අතර පොදු භාෂාවක් ඇතිවුණා. ලංකාවේ "සිංහල පමණයි" ප්‍රතිපත්තියෙන් දෙමළ මිනිස්සු කොන් වුණා විතරක් නෙවෙයි, පරම්පරාවකටම ලෝක භාෂාව වුණු ඉංග්‍රීසි නැතිවුණා.

4. ආර්ථික උපායමාර්ග සහ යටිතල පහසුකම්
ආර්ථික සැලසුම්: 
සිංගප්පූරුවේ ආර්ථිකය මෙහෙයවූයේ පැහැදිලි, දුර දක්නා සැලසුම් වලින්. මුලින්ම පිටරටින් කම්පැනි ගෙන්නුවා, පස්සේ දක්ෂතා අවශ්‍ය කර්මාන්ත වලට මාරු වුණා, ඊටත් පස්සේ මූල්‍ය සහ තාක්ෂණික සේවා වලට ගියා. ලංකාවේ ආර්ථික උපායමාර්ගය එච්චර පැහැදිලි නෑ. අපනයන වලට වඩා රට ඇතුළේ නිෂ්පාදනයට බර දුන්නා. "ලංකාව දකුණු ආසියාවේ සිංගප්පූරුව කරනවා" කිව්වට, ඒකට හරියන ප්‍රතිපත්ති හැදුවේ නෑ.

සල්ලි කළමනාකරණය (Fiscal Discipline):
 
මේක තමයි ලොකුම වෙනස. සිංගප්පූරුව ආදායමට වඩා වියදම් කලේ නෑ. එයාලගේ අයවැය බොහෝවිට අතිරික්තයක්. ලංකාව හැමදාම ආදායමට වඩා වියදම් කලා. ඒ හිඟය පියවන්න ණය ගත්තා, සල්ලි අච්චු ගැහුවා. අන්තිමට ණය ගෙවාගන්න බැරුව රට බංකොලොත් වුණා.

යටිතල පහසුකම්: 
සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළ, වරාය, පොදු ප්‍රවාහන සේවය ලෝක මට්ටමේ. ඒ හැමදෙයක්ම හැදුවේ ආර්ථිකයට සේවයක් වෙන්න. ලංකාවේත් පාරවල්, වරායවල් හැදුවත්, සමහර ඒවා දේශපාලන හේතු මත හදපු "සුදු අලි ව්‍යාපෘති" (උදා: හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ). ඒවායින් රටට ආදායමක් ආවේ නෑ, ණය බර විතරක් ඉතුරු වුණා.

5. ජාන සහ බුද්ධිය ගැන කතාව (මේකේ ඇත්තක් තියෙනවද?)
සමහරු අහනවා සිංගප්පූරුවේ මිනිස්සු ජානමය වශයෙන්ම දක්ෂද කියලා. විද්‍යාත්මකව බැලුවම, එහෙම කිසිම සාක්ෂියක් නෑ. සිංගප්පූරුවේ මිනිස්සුයි ලංකාවේ මිනිස්සුයි අතර බුද්ධියෙන් කිසිම ජානමය වෙනසක් නෑ.
හැබැයි, රටක මිනිස්සුන්ගේ සාමාන්‍ය කුසලතා (ගණිතය, විද්‍යාව වගේ විෂයන් වල දක්ෂකම) සහ ආර්ථික වර්ධනය අතර සම්බන්ධයක් තියෙනවා. සිංගප්පූරුවේ ළමයි ලෝකේ විභාග වලින් ඉහළම ලකුණු ගන්නවා. සමහර IQ දත්ත වලට අනුව සිංගප්පූරුවේ සාමාන්‍ය IQ අගය 105ක් වගේ ඉහළ අගයක් ගන්නකොට, ලංකාවේ එක 85ක් විතර වෙනවා.
හැබැයි මේකට හේතුව ජාන නෙවෙයි. හොඳ පෝෂණය, සෞඛ්‍යය සහ ඉහළම තත්ත්වයේ අධ්‍යාපන ක්‍රමයක් නිසා ළමයින්ගේ බුද්ධි වර්ධනය ඉහළ යනවා. ලංකාවේ ළමයින්ටත් ඒ පහසුකම් දුන්නොත්, එයාලටත් ඒ තැනට එන්න පුළුවන්. ඒ නිසා මේක ජානවල ප්‍රශ්නයක් නෙවෙයි, පරිසරය සහ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක්.

6. ලංකාව දියුණු රටක් කරන්න නම්, කරන්න ඕන දේවල්
හරි, දැන් අපි බලමු මේ තත්ත්වයෙන් ගොඩ එන්න ලංකාවට මොනවද කරන්න පුළුවන් කියලා.

6.1 පාලනය සහ ආයතන ප්‍රතිසංස්කරණය
දූෂණය නවත්තන්න: 
ස්වාධීන දූෂණ විරෝධී කොමිසමක් හදලා, ලොකු පොඩි භේදයක් නැතුව දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන. හැම දෙයක්ම ඔන්ලයින් (e-governance) කරනකොට පොඩි පොඩි දූෂණ අඩුකරගන්න පුළුවන්.

රාජ්‍ය සේවය සහ රාජ්‍ය ව්‍යවසාය (SOE) හදන්න: 
අනවශ්‍ය තරම් ලොකු රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕන. පාඩු ලබන රාජ්‍ය ආයතන (උදා: ශ්‍රී ලංකන් ගුවන් සේවය) ප්‍රතිව්‍යුහගත කරන්න ඕන. දේශපාලන හෙන්චයියන්ව ලොකු පුටු වලට දාන එක නවත්තලා, සුදුස්සන්ට තැන දෙන්න ඕන.

6.2 ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ
ආදායම වැඩි කරලා, වියදම අඩු කරන්න: 
බදු ආදායම වැඩි කරන්න ඕන. ඒත් ඒ බර සාධාරණව බෙදිලා යන්න ඕන. අනවශ්‍ය සහනාධාර කපලා, ඇත්තටම අවශ්‍ය දුප්පත් මිනිස්සුන්ට විතරක් ආධාර දෙන්න ඕන.

අපනයන සහ විදෙස් ආයෝජන වැඩි කරන්න: 
ලෝකෙට විවෘත වෙන්න ඕන. පිටරට සමාගම් වලට ලංකාවට ඇවිත් බිස්නස් කරන්න ලේසි කරන්න ඕන. අපේ බඩු පිටරට යවන්න තියෙන බාධා අයින් කරන්න ඕන.

ප්‍රධාන ක්ෂේත්‍ර දියුණු කරන්න:
සංචාරක: 
වැඩිපුර වියදම් කරන සංචාරකයන්ව ගෙන්නගන්න ඕන.

කෘෂිකර්මය: 
නවීන තාක්ෂණය යොදාගෙන, කුළුබඩු, පළතුරු වගේ ඉහළ වටිනාකමක් තියෙන දේවල් වවන්න ඕන.

නිෂ්පාදන: 
ඇඟලුම්, ටයර් වගේ දේවල් වලට අමතරව ඉලෙක්ට්‍රොනික් උපාංග වගේ දේවල් හදන්න පටන් ගන්න ඕන.
ඩිජිටල් ආර්ථිකය (IT): IT කර්මාන්තයට උදව් කරලා, අපනයන ආදායම වැඩි කරගන්න ඕන.

වරාය සහ සැපයුම්: 
ලංකාවේ පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන අරන්, කොළඹ වරාය තවත් දියුණු කරලා ලෝකේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් කරන්න ඕන.

6.3 අධ්‍යාපනය සහ මානව ප්‍රාග්ධනය දියුණු කිරීම

විෂය නිර්දේශය අලුත් කරන්න: ඉංග්‍රීසි, IT, විද්‍යාව, ගණිතය වගේම නිර්මාණශීලීව හිතන්න උගන්වන විෂය නිර්දේශයක් ගේන්න ඕන.
උසස් අධ්‍යාපනය පුළුල් කරන්න: 
රජයේ විශ්වවිද්‍යාල වලට අමතරව, හොඳ තත්ත්වයේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලටත් ඉඩ දීලා, වැඩි පිරිසකට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාව දෙන්න ඕන.
වෘත්තීය පුහුණුව ශක්තිමත් කරන්න: 
හැමෝම උපාධිධාරීන් වෙන්න ඕන නෑ. රටට දක්ෂ කාර්මික ශිල්පීන්, ඉලෙක්ට්‍රීෂියන්ලා, වඩු කාර්මිකයන් ඕන. ඒ අයට හොඳ පුහුණුවක් දෙන්න ඕන.
Brain Drain එක නවත්තන්න: 
රටේ දක්ෂයින්ට රටේම හොඳ රැකියා අවස්ථා හදල දීල, එයාලව රටේම නවත්වාගන්න ඕන.

6.4 සමාජ එකමුතුකම සහ ජාතික සමගිය
සැබෑ සංහිඳියාවක් ඇති කරන්න: 
දෙමළ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දීලා, සාධාරණ විසඳුම් දෙන්න ඕන. හැමෝටම මේක "අපේ රට" කියල හිතෙන තැනක් හදන්න ඕන.
ජාතික ඒකාබද්ධතා වැඩසටහන්: 
සිංගප්පූරුව වගේ, විවිධ ජාතීන්ගේ ළමයි එකට ඉගෙනගන්න, එකට වැඩ කරන වැඩසටහන් හදන්න ඕන.
සමාජ සාධාරණත්වය: 
දියුණුවේ ප්‍රතිලාභ රටේ හැම ප්‍රදේශයකටම, හැම ජාතියකටම එක වගේ ලැබෙන බවට වගබලාගන්න ඕන.

ලංකාව දියුණු රටක් කරන එක අමාරුයි, ඒත් කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකට අවුරුදු ගාණක කැපවීමක් ඕන. සිංගප්පූරුව වගේ, හරි ප්‍රතිපත්ති දිගටම අනුගමනය කරලා, අතීතයේ කරපු වැරදි වලින් පාඩම් ඉගෙනගන්න ඕන.
ප්‍රධානම දේවල් තමයි: 
ස්ථාවර ආර්ථිකයක්, අපනයන මත පදනම් වූ වර්ධනයක්, දක්ෂ මිනිස් බලයක්, හොඳ පාලනයක් සහ සමාජ එකමුතුකමක්. මේ ටික හරියට කරගත්තොත්, ලංකාවටත් තමන්ගේ නිදහසේදී තිබ්බ පොරොන්දුව ඉෂ්ට කරලා, මේ පරම්පරාවේ ජීවිත කාලය ඇතුළත දියුණු රටක් වෙන්න පුළුවන්.

ලංකාව මේ තියෙන තත්ත්වයෙන් ගොඩඑන්න පුළුවන් ඕගොල්ලෝ හිතන අදහස් මොනවද ?


.

Pradeepa Dilani


Dr Priya පිටුවෙන් 
ස්තූතියී

2025-09-27

අපිට පාන් ද ? .



බිග් කුවෙච්චන් අපට පාන් ද ? කියලා අහනවා.
ඔව් අපිට පාන් තමයි.
මැතිවරණ වේදිකාවේ කියන කතා අහලා අපිත් රැවටෙනවා.
කලින් කලට එක එක් කෙනා පාර්ලිමේන්තුවට , පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට යවනවා.
ගියාට පස්සේ ඡණ්දේ දුන්න අපිව මතක නැහැ.
අපෙන් අහනවා “ පාන් ද ? කියලා.
ඔව් “ අපිට පාන් “ තමයි.
බිග් කුවෙච්චන් විතරක් නෙමෙයි පසුගිය කාල පරාසයක හිටපු බයියොත් අපෙන් ඇහුවේ “ තමුසෙලාට පාන් ද “ කියලා.
“පාන්ද ?“. කියලා අහන එකක් නෑ කියලා හිතාගෙන මේ පාර ඇරපු උන්දැලත් දැන් අපෙන් අහනවා “පාන් ද “ කියලා.
මම 1980 ගනන් වල ජනතාව රවට්ටන ව්‍යාපාරයකට සහයෝගය දෙමින් ගම් නියම් ගම්වල ඇවිදිමින් ජනතාව රවට්ටමින් ගිය බවක් පසු කාලය වන විට තේරුම් ගත්තා
ඇත්තටම මම.් කරලා තියෙන්නේ බොරුවක් කියලා කියපු දේවල් යථාර්තයක් කරන්න දරපු උත්සහායෙදී තමයි තේරුනේ.
මේ ඇවිදින අතරවාරයේදී එක් ගැමි ගෙදරකට ගොඩ වුනා .
කතා බහේදී
වැඩක් නෑ මහත්තයා ඡණ්දෙට මිළක් තියෙනවා.
මම ඡණ්දේ දෙන්න කලින්ම ගණුදෙණුව බේරගන්න කැමතියි.
ඡණ්දේ දිනපුවට පස්සේ ඔය කවුරුවත් එන්නේ නෑ
අපේ ගෙදර ඡණ්ද හයක් තියෙනවා.
මහත්තයා කැමති නම් දොලෙස් දාහක් දෙන්න.
ගණුදෙණුව එවරයි.
ආයේ “ අපට පාන්ද කියලා “ අහන්න ඕනි නැහැනේ.

A day in the life

2025-09-26

ආදාහන මළුව විහාරය - මහනුවර




මහනුවර රජවරු සහ බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව විහාරය
මහනුවර යුගයේ රජවරුන් සහ රජතුමාගේ බිසෝවරුන් , මව්බිසව වගේ රජ පවුලේ ඉහළම පෙළේ අයත් ආදාහනය කරපු තැන තමයි ආදාහන මලුව.
ඔබ අහලා තියෙනවා අස්ගිරි ගෙඩිගේ රජමහ විහාරය ගැන. ඒ කියන්නේ දළදා පෙරහරේ දියකපන පෙරහර අරඹන තැන. කුරුවිට දෙල්ගමුවේ සිට දළදා වහන්සේ වැඩමවාගෙන අවුත් පළමුවැනි විමලධර්මසූරිය රජතුමා මුලින්ම දළදා වහන්සේ තැන්පත් කළේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරයේනේ.ඒ සිහිවිම සදහා තමයි අවසන් මහ පෙරහරින් පස්සේ පෙරහර කරඩුව ගෙඩිගේ තැන්පත් කරලා දියකපන්න පෙරහර පිටත්වන්නේ. මේ විහාරයට ආදාහන මළුව විහාරය කියලත් කියනවා. ඒකට හේතුව තමයි රජවරුන්ගේ ආදාහන මේ විහාර භූමියේ සිදුකිරිම.

රජවරුන් ආදාහනය කිරිම ආරම්භ වුණේ මේ ආකාරයට. ගම්පල යුගයේ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ (1347-1375) මව්බිසව තමයි චන්ද්‍රවති දේවිය. එතුමියට අස්ගිරි දේවි කියලත් කියනවා. චන්ද්‍රාවති දේවිය මියගියාම තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් මව්බිසව ආදාහන කළේ ආදාහන මළුවේ.ඒ අදාහන කරපු තැන රජතුමා බෝධියක් රෝපණය කළා.ඒ බෝධිය අදත් තිබෙනවා. චන්ද්‍රාවති බෝධිය කියල තමයි ඒ බෝධින් වහන්සේ හදුන්වන්නේ. ඉතින් රජතුමා එම ස්ථානයේ විහාරයකුත් හැදුවා .ඒක තමයි අස්ගිරි ගෙඩිගේ විහාරය කියන්නේ.

අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාරය සුළු ප්‍රමාණයක පැතිර තිබුණත් අතීතයේ මේ විහාරයට උඩවත්ත කැළයෙන් මෙපිට හා බහිරවකන්දට මෙපිට සියළු ඉඩම් රජවරු පූජාකර ඇති බව අදත් විහාරයේ ඇති සන්නස් තුළින් පැහැදිලි වෙනවා. ඒ වගේම මේ විහාර භුමිය මහල් තුනක් තිබිලා තියෙනවා අතීතයේ. උඩමළුව,මැදමළුව,පාත මළුව කියලා ඒ මළු තුන හදුන්වනවා. උඩමළුවේ තමයි බෝධින් වහන්සේ ඇතුළු විහාරය පවතින්නේ. දෙවැනි මළුවේ රජවරු ආදාහනය කළ බවත් තුන්වැනි මළුවේ මහජනයා රැස්වු බවත් පොත්පත්වල සදහන් වෙනවා.

ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707- 1739) හා කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා (1747- 1782) කුමාර අවධියේ අකුරු කරවා තිබෙන්නේ මේ පන්සලෙන්. ඉතින් ඒ රජවරු වගේම මහනුවර යුගයේ සිටි සියළු රජවරු මේ විහාරස්ථානයට විශේෂ අනුග්‍රහයක් දක්වා තිබෙනවා. එසේම 1753 දි කීර්ති ශ්‍රි රාජසිංහ රජසමයේ තායිලන්තයෙන් ලංකාවට උපසම්පදාව රැගෙන ආ උපාලි මහ තෙරණුවන් අපවත්වු පසු ආදාහනය කර තිබෙන්නෙත් මේ ආදාහනමළුව විහාර⁣ භූමියේදි. එය සිහිවීම සදහා තායි රජ පවුල විසින් විහාර භූමියේ ඉදිකළ ස්මාරකය අදත් දකින්න තියෙනවා.

පළමුවැනි විමලධර්මසූරිය රජතුමා (1591- 1604), සෙනරත් රජතුමා (1604- 1635), දෙවැනි රාජසිංහ රජතුමා (1635- 1687) ,දෙවැනි විමලධර්මසූරිය රජතුමා (1687- 1707), ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා (1707- 1739), ශ්‍රි විජය රාජසිංහ රජතුමා ( 1639- 1757), කීර්ති ශ්‍රි රාජසිංහ රජතුමා (1747- 1782), රාජාධි රාජසිංහ රජතුමා (1782- 1798) යන රජවරුන් මියගිය පසු ආදාහනය කර ඇත්තේ මේ අස්ගිරි ගෙඩිගේ විහාරය හෙවත් ආදාහනමළුව විහාර භූමියේ බවයි සදහන් වෙන්නේ.

එපමණක් නොව මේ රජවරුන්ගේ බිසෝවරුන් වගේම මව්බිසෝවරුන් මියගිය පසුත් ආදාහනය කර ඇත්තේ මේ ස්ථානයේ බව පොත්පත්වල සදහන් වෙනවා. එසේම රජවරුන් හා බිසෝවරුන් ආදාහනය කර එම භෂ්මාවශේෂ තැන්පත් කරලා විහාර භූමියේ කුඩා චෛත්‍ය වැනි ස්මාරක හදා තිබෙනවා.ඉංග්‍රීසි පාලනය එනතුරු මේ ස්මාරක විහාර භූමියේ තිබුණත් ඉංග්‍රීසි පාලකයන් ඒවා බොහෝමයක් වැනසි යෑමට සලස්වා තිබෙනවා.

එසේම ඉතිරිවු රාජකීය ස්මාරකත් විනාශ වුයේ නුවර මාතලේ දුම්රිය මාර්ගය හැදිමේදි. 1878- 1880 කාලයේදි එම දුම්රිය මාර්ගය හැදුවේ ගෙඩිගේ විහාරය හෙවත් ආදාහන මළුව යටින්. ඉතින් ඒ ඉදිකිරිමෙිදි ඉතිරිව තිබු රාජකීය ස්මාරකය ටිකත් ඉංග්‍රීසින් විනාශකර දැම්මා. නමුත් විහාර භුමියේ ඉපැරණි අරලිය ගස් දෙකක් පමණ අදත් දකින්න තිබෙනවා.බොහෝවිට එම ගස් රාජකීයන් ආදාහනය කර භෂ්මාවශේෂ තැන්පත් කර ⁣ රෝපණය කළ ගස්විය හැකි බවද කියනවා.

Chanaka Rupasinghe මුණු පොතට.
ධර්ම ශ්‍රි තිලකවර්ධන


A day in the life

2025-09-25

ඉපැරැණි කුල ධුරාවලිය .


ශ්‍රී ලාංකේය ජන සමාජය පුරා අදටත් පවතින ඉපැරැණි කුල ධුරාවලිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරින් සැකසූ මෙම ලිපිය බදාදා අතිරේකයට යොමු කරන ලද්දේ හපුතලේ එස්‌. එම්. ඩී. සෙනෙවිරත්න විසිනි. ආචාර්ය ඔබේසේකර මහතා මෙරට කුලධුරාවලිය පිළිබඳ පර්යේෂණ රැසක්‌ සිදුකළ විද්වතෙකි.

කුල සාධකය
නිදහසින් පස්‌සෙ අපේ රටේ දේශීය බුද්ධිමතුන් අපේ යටගියාව ගැන සෙවීමට වැඩි උනන්දුවක්‌ දැක්‌වූවා. ඉතිහාසය පුරාවිද්‍යාව, භාෂාව, වැනි කාරණා ගැන බොහෝ උගතුන් හඹාගිය බවක්‌ තිබුණා. ඒත් අපේ සමාජයේ අටුවන් බැහැලා තිබුණු කුල ධුරාවලිය ගැන කිසිවෙකුත් සොයා බැලීමට ඉදිරිපත් වුණේ නෑ. එකල අද සමාජයට වඩා උග්‍ර ලෙස කුල ක්‍රමය බලවත්ව තිබුණා. අනෙක්‌ අතට අපි පුංචි කාලෙදීත් කුල හීනයන්ට සමාජයෙන් ලැබුණු පිළිගැනීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයකයි තිබුණේ.
මේ කුල ක්‍රමය අපේ ඉපැරැණි සිංහල සමාජය තුළ තිබුණ දෙයකුත් නොවෙයි.
කුලවාදය ඇරැඹුණේ විජයගෙන්ද?

රාවණ රජ කාලෙදී අපේ සිවුහෙළ ජන සමාජය තුළ කුල ක්‍රමයක්‌ තිබිල නැහැ. ඒ කාලේ යක්‍ෂ, රාක්‍ෂ, නාග, අසුර හෙවත් ගන්ධබ්බ, කියන වාර්ගික බෙදීමක්‌ වැනි දෙයක්‌ තිබුණා. නාග කියලා හැඳින්වූයේ නාවිකයන්. අසුර කියල හැඳින් වුණේ ඇසිරියන්. ඔවුන් උතුරු ඉන්දීය බ්‍රාහ්මණ ජන පිරිසක්‌. ඔවුන් විවිධ ශිල්ප ශාස්‌ත්‍ර දැන සිටියා. යක්‍ෂයො කියල හැඳින්වුණේ මේ රටේ ම සිටි ස්‌වදේශික වැදි පිරිසක්‌
ඒ වැදි සමාජයත් පංති තුනකට බෙදිල හිටියා. වනවාසී, ග්‍රාමවාසී, නගර වාසී, වශයෙන්. ඒ අයගෙන් නගර වාසී අය රාෂ්ට්‍ර පාලනයටත් නතු වුණ නිසා ඒ අයට රාක්‌ෂශ යන නම යෙදුනා. මේ හතර වරිගය ම එකම බසක්‌ භාවිත කළා. කුල භේදයක්‌ තිබිලා නෑ. මෙතරම් උදාර ලෙස සමඟි සම්පන්න ව සිටි අපේ පැරැණි සිවුහෙළ සමාජයට මුලින්ම කුල වාදයේ විෂබීජය හඳුන්වා දී අත්තේ විජය ඇතුළු පිරිස වෙතින් විය හැකියි. 

එයත් එතරම් බලවත් ලෙස සමාජගත නොවුණ අතර පසු කාලීනව මෙරටට ආ මිහිඳු මහ රහතන් වහන්සේ හා සංඝමිත්තා ථෙරණිය සමඟ ආ පිරිස්‌ මගින් මෙරට ජනයාට නුහුරු නුපුරුදු ඉන්දීය කුල ක්‍රමය බලහත්කාරයෙන් සමාජගත කෙරුණා. එතැන් සිට තමයි අපේ ලාංකේය ජන සමාජය කුලය නමැති සාධකය මත විභේදනය වන්නේ. ඉතින් මේ තොරතුරු අපේ සම්මත යෑයි කියන ඉතිහාස පොත් වල නොතිබුණ නිසා මට ගමින් ගමට ගොස්‌ කරුණු එක්‌රැස්‌ කරන්න සිදු වුණා. ඇතැම් කුලවලට අයත් තොරතුරු ලබා ගන්නට ඒ කුලවලට අයත් ජන ප්‍රධානීන් හා උගතුන් හමුවට ගියත් නිසි පරිදි තම කුලගොත් වල විස්‌තර අන්‍යයයනට නොදෙන තත්ත්වයක්‌ තිබුණා. ඇත්තට ම මට එදා එය මහත් අභියෝගයක්‌ වුණා.

මම ඉතාම සැලසුම් සහගත ඒ ඒ කුලවලට අයත් ජන ප්‍රධානීන් හමුවන්නට ගියේ ඔවුන්ගේම කුලයේ ඔවුන්ගේම පවුලේ කෙනෙක්‌ හැටියටයි. ඒ නිසා ඒ අයත් මට තම කුලයේම කෙනෙකු ඥතියකු ලෙස සලකා අවශ්‍ය තොරතුරු ලබා දුන්නා. මට එය පහසුවක්‌ වුණා. ඒ නිසා අදටත් ඇතැම් අය සිතා ඉන්නේ මම ඒ අයගේ කුලයට අයත් කෙනෙක්‌ හැටියට.

කුල ගැන දුර්මත

නූතන ජන සමාජයේ පවා ඇතැම් කුල ගැන පවතින දුර්මත රැසක්‌ තියෙනවා. නිදසුනක්‌ හැටියට අප "සලාගම" කුලය ගතහොත් ඔවුන් පැවත එන්නේ උතුරු ඉන්දීය "ශාලිග්‍රාම වාසී" බ්‍රාහ්මණයන්ගෙන්. ඒ අය මෙරටට පැමිණියේ මෙරට රජවරුන්ට ඔටුනු පැළැඳවීමටයි. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වෙලා මේ රටට විදේශ විනිමය උපයන්න ගත්තා. දැහැමි බමුණන් වූ ඔවුන් කුරුඳු වගාවෙන් දැහැමි ලෙස ධනය ඉපදෙව්වා. ඒ හැර කුරුඳු තැලීම කළේ නෑ. ඒ සඳහා යෙදෙව්වෙ වෙනත් කුලවල කම්කරුවන්. මෙවැනි දුර්මත අනෙක්‌ කුල සම්බන්ධයෙනුත් තියෙනවා.

රොඩී කුලය

රොඩී හෙවත් "ගාඩි" වංශය ගැන අදටත් විද්වතුන් අතර විවිධ පරස්‌පර මත තිබෙනවා. අපි සාමාන්‍යයෙන් "හුලවාලි" ලෙස හඳුන්වන්නෙත් රොඩී ජනයායි. ඒත් ඒක වැරැදියි. අද හුලවාලි ජනයා නෑ. "හුලවාළි" යන්නෙහි තේරුම "හෙළ වහල්ලු" යන්නයි. ණය තුරුස්‌ ගෙවා ගැනීමට බැරි වූ විට වහල්භාවයට පත් වීමට ණය ගැතියාට සිදුවෙනවා. ඒකට කිසිම කුල භේදයක්‌ නෑ. ඉතින් හුලවාලි කියන්නෙ විශේෂිත කුලයකට අයත් පිරිසක්‌ නොවෙයි. ඇතැම් විට රටේ රජතුමාත් තමන්ගේ ප්‍රසාදය දිනාගත් කෙනෙකුට වහලුන් තෑගි දුන්නා. මහ බණ්‌ඩාරෙන් ගෑනු වාල් තුනයි පිරිමි වාල් තුනයි ලැබුණා... ආදී වශයෙන් පැරැණි ලේඛන වල සඳහන් වෙනවා. මේ තමයි හෙළ වහල්ලු හෙවත් හුලවාලි කියන අය. ඒ අයට තම ණය ගෙවා නිදහස්‌ වුණාම ආයෙත් නිදහස්‌ පුරවැසියො වෙන්න පුළුවන්. අවැසි නම් තම ස්‌වාමියාගේ වාසගමින් බාගයක්‌ තම නමට එක්‌ කරගන්නටත් පිළිවන්. ඒත් රොඩී කියන් වදන හැදිල තියෙන්නෙ සංස්‌කෘතික භාෂාවෙ"රුද්‍ර" කියන වදනින්. ඒ අය ගර්භිත පිරිසක්‌. හුලවාලි අය දඩයමේ යන උදවියට ගිනි පන්දම් අල්ලමින් සහාය වූ පිරිසක්‌ හැටියටත් ඇතැම් දෙනා අර්ථ දක්‌වනවා. ඒක වැරැදියි.
උතුරු මැද පළතෙ ගාඩි වංශිකයන් අතර පැරැණි මතයක්‌ තියෙනවා ඒ අය ප්‍රතිපත්තියක්‌ හැටියට සොබා දහමට විරුද්ධව කිසිම දෙයක්‌ කරන්නෙ නෑ කියලා. ඒ අනුව ඒ අය ගොවිතැන් කරන්නෙත් නෑ. ගස්‌ කැපීම බිම් කෙටීම වැනි දේ කරන්නෙත් නෑ. හිඟා කාලා ජීවත් වෙනවා. මේ අය රොඩී වත් ගාඩි හෝ හුලවාලි අය වත් නොවෙයි. අතීතයේ දී ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වුණු ජෛන ආගමික පිරිසකින් පැවැත එන පිරිසක්‌. ඒ අය රොඩී රැහේ ඇත්තන් වගේම අනුන්ට අත පා ජීවත් වීම නිසා ම ඉබේම ම රොඩී බවට පත් වෙලා.
කුල වැද්දවීම.

රොඩී හෙවත් ගාඩි වංසයේ කොටසක්‌ රාජ දඬුවම් ලැබ රොඩී රැහැට කුල වැද්දුව පිරිසක්‌. අනෙක්‌ කොටස කසළ ශෝධකයන් නගර ශෝධකයන් ලෙස දකුණු ඉන්දියාවෙන් ගෙන ආ පිරිස්‌ වලින් පැවැත එන්නන්... කොහොම වුණත් අපේ රටේ පොදු ජනයා අතර පහත් යෑයි සම්මත කුල වලට අයත් ජනයා කෙරෙහි ඉන්දියානු ජන සමාජයේ මෙන් ඉතා අහිතකර කුල පීඩනයක්‌ කිසිදාක ඇති වී නැහැ. සැඩොල් කුලය හෙවත් චණ්‌ඩාල කුලයත් පහත් ම කුලයක්‌ නොවෙයි. පැරැණි රත්නවල්ලි කාව්‍යයෙන් ගම්‍ය වෙන්නෙත් රජ දියණියක්‌ රොඩී රැහැනට වද්දා දඬුවම් දුන් ආකාරය ගැනයි.

ඒ අනුව බැලුවහොත් අද බොහෝ දෙනා වැඳුම් පිදුම් කරන ස්‌වර්ණමාලි චෛත්‍යය ගොඩනඟා තියෙන්නෙත් පැරකුම්භා රජුගේ දියණියක වූ "රත්නවල්ලි" නමැති කුමරිය රොඩී රැහැට කුල වැද්දූ පසු ඇය ලැගුම් ගත් රත් තෙළෙඹු ගස පිහිටි ස්‌ථානයේයි. සමාජ විරෝධී කටයුතු කළවුන් සඳහා දියහැකි මරණීය දණ්‌ඩනයට වඩා උග්‍ර වූ රොඩී රැහැට කුල වැද්දීමේ සිංහල රාජ නීතිය බුදුන් දවස බුදුන් විසින් අනුදැන වදාළ "බ්‍රහ්මදණ්‌ඩය" නම් වූ නීතියට සමාන වන්නක්‌ ලෙස සැලැකිය හැකියි.

කොහොම වුණත් පවතින සෑම සමාජ ක්‍රමයක්‌ තුළම මිනිසුන් අතර විවිධ හේතු නිසා විභේදනය වීම හා එකතු වීම සිදුවෙනවා. ඒක සාමාන්‍ය සමාජ ප්‍රවණතාවක්‌.



ආසියානු කුලභේදයේ ඇරැඹුම

දැනට වසර හත් දහසකට පමණ පෙර උතුරු ඉන්දියාවට සංක්‍රමණය වූ ආර්ය ජන වර්ග විසින් සකසා ගනු ලැබූ වෛදික පරිපාලන යාන්ත්‍රණය මගිනුයි ආසියානු කූල භේදය ආරම්භ වනුයේ. වෛදික ඉගැන්වීම් වලට අනුව ඉන්දියාව පුරාම කුල අනුව ජනයා වර්ගීකරණය කරනු ලැබුවේ වෛදික බමුණන් විසිනුයි. එහිදී බමුණු කුලය වෛදික සමාජයේ ඉහළම කුල ස්‌ථරය බවටත් ක්‌ෂත්‍රිය හා ගොවි කුල දෙවැනි තෙවැනි ලෙසත් පෙළ ගස්‌වා සෙසු කුල පිළිවෙළින් ගලපාගෙන"බෙදා පාලනය කිරීමේ න්‍යායට" අනුගත වුණා. පශ්චාත් කාලීනව එම ක්‍රමයේ ආභාෂය අපේ ජන සමාජයටත් ලැබුණා. මෙම විභේදනය සමාජය තුළ වසර දහස්‌ ගණනක්‌ පැවැතීමට එක්‌ හේතුවක්‌ වුණේ උසස්‌ යෑයි සම්මත කුලවල ජනයා තමනට ආරෝපණය වී තිබුණු සමාජ තත්ත්වය ලෙහෙසියෙන් ඉවත දැමීමට අකමැති වීම. දෙවැනි කරුණ වූයේ මිනිසා තුළ මුල් යුගයේ සිට පැවැති විවිධ කාරණා නිසා විභේදනය වීමේ හා විවිධ හා විවිධ කාරණ නිසා ඒකරාශී වීමේ සහජ ගතියයි. මෙම සහජ ගතිකත්වය නොතිබෙන්නට මිනිසා මෙලොවින් සමුගෙන බොහෝ කල් වන්නට ඉඩ තිබුණා.

අප නිදසුනක්‌ වශයෙන් එකම පවුලක වෙසෙන සමාජිකයන් ගතහොත් ඔවුන්ගේ ආහාර රුචිය සම්බන්ධයෙන් විවිධ ප්‍රවණතා තියෙනවා. ඒත් ඒ අය ආහාර රුචියේ වෙනස්‌කම් මත "පවුල් ඒකකය" නමැති න්‍යෂ්ටිය බැඳීම අත්හරින්නට කැමැති නෑ. ඒත් මුල්ම අවධියේ ඇති වුණ ගෝත්‍රික සමාජවලදී එකම ගෝත්‍රයක සිටි සමාජිකයන් තම වර්ගයාගේ ජනගහනය වැඩි වන විට ගෝත්‍රික නායකයාගෙන් ඇතැම් විට අසාධාරණකම් සිදුවන විට එම සාමූහික සමාජයෙන් වෙන්වී ගියා. මෙසේ විභේදනය වූ කොටස්‌ අතර ඇතැම් විට ගැටුම් පවා ඇති වුණා. මෙහි ප්‍රතිඵලය වූයේ ඇතැම් කොටස්‌ නව ප්‍රදේශ කරා සංක්‍රමණය වීම. මෙසේ විසිරී විභේදනය වූ මිනිස්‌ සමාජය තවදුරටත් වෙනස්‌කම්වලට ලක්‌ වුණා. ස්‌වයංපෝෂිත ගෝත්‍රික ජීවන රටාව තුළ භාණ්‌ඩ හා සේවා නිෂ්පාදනයේ අතිරික්‌තය නිසා "ශ්‍රම විභාජනය" ඇතිවුණා. මෙම තත්ත්වය පසු කලකදී කුල බවට පත්වුණා. මෙම තත්ත්වය එදා වගේ ම අදත් අද වගේම හෙට දවසේත් විවිධ ස්‌වරූපයෙන් අඛණ්‌ඩ ව පවතීවි.

සමාජවාදී රටවල කුල භේදයක්‌ නැති එක ඇත්ත. ඒත් ඒ රටවල ජත සමාජය දෙස ඉතා සියුම් ලෙස පරීක්‍ෂා කර බැලුවොත් අපට පෙනී යනවා විවිධ වෘත්තීන් අනුව මිනිසුන් බෙදී කටයුතු කරන බව. ඒක තමයි යථාර්ථය. ආකර කම්කරුවෙක්‌ යුද සෙබළියක්‌ සමග විවාහ වන්නට තියෙන ප්‍රවණතාව අඩුයි. වෘත්තීය වෙනස නිසා පවුල් ජීවිතය විනාශ කර ගන්න කවුද කැමැති. අධ්‍යාපන මට්‌ටම, ආර්ථික තත්ත්වය, දේශපාලන අදහස්‌, වෘත්තීය වෙනස්‌කම්, ආගමික වෙනස්‌කම් මේ ආදී නොයෙකුත් හේතු මත කුල භේදයක්‌ නොමැති සමාජයක මිනිසුන් විභේදනය වෙනවා. මිනිසුන් මෙසේ "කුලය" යන ඉපැරැණි සංකල්පය ඉවත් කළත් ඒ පැරැණි රටාවට අනුවම වෙනස්‌ මුහුණුවරකින් විභේදනය වෙන්න බලනවා. ඒ වගේම රට, ජාතිය, ආගම, භාෂාව, ආදී සාධක මත එක්‌ වීමේ ප්‍රවණතාවකුත් තියෙනවා. මේක මිනිසා තුළ තම වර්ගයා බෝ කිරීමට ඇති සහජ රුචිය වගේම සහජ ගතියක්‌. මෙසේ නොවුණා නම් මිනිස්‌ සමාජය වඳ වීමටත් එයම හේතු වන්ට ඉඩ තියෙනවා. ලොව පුරා මිනිසුන් පැතිර යැමටත් මෙම සහජ ගතිකත්වය හේතු වෙලා තියෙනවා.

අපේ මේ පුංචි දිවයිනේ මනාව ජනාවාස ඇතිවෙලා තියෙන්නෙ වසර ලක්‍ෂ එකහමාරක පමණ අතීතයක ඉඳලා. ඒත් අපේ ලිඛිත ඉතිහාසය වූ මහාවංශය ලියලා තියෙන්නෙ වසර දෙදහස්‌ පන්සියයක සිට. ඒකත් සිංහල අකුරෙන් පාලි භාෂාවෙන් ඊට පෙර ලියා තිබුණ ඉතිහාස පොත් විනාශ කරලයි මහා වංශය ලියල තියෙන්නේ. මහා වංසයට පෙර තිබුණ අපේ රාවණ යුගය ගැන නූතන ඉතිහාසඥයො කියන්නෙ. "ප්‍රාග් ඉතිහාසය" කියලා. ඉතිහාසය විෂය එහෙම පෑනකින් ඉරි ගහල බෙදන්නෙ කොහොමද? එදා මහාවංසය පොත ලියන්න පෙර මහනාම යතිවරයා මහා විහාරය මිදුලේ ඇත්තු හත් අට දෙනෙකුගේ උසට අපේ පැරැණි ඉතිහාස පොත් ගොඩ ගහලා ගිනිබත් කරලයි මහවංශය ලියන්න ගත්තේ.

අදත් අපේ ඇතැම් උගතුන් කියන්නෙ මේ රටට සියලු ශිල්ප කලාවන් හා ශිල්ප ඥනය ලැබුණ මිහිඳු හිමියන්ගෙ ආගමනයෙන් පසුව කියලයි. ඒත් අර ගින්නට අසුවෙලා නොපිලිස්‌සුන අට්‌ටකතා පොත් වල ඊට වෙනස්‌ තොරතුරු තියෙනවා. මහා වංසය ඉතාම පක්‍ෂග්‍රාහී ලෙස ලියෑවුණ කෘතියක්‌. 
තරුණ දුටුගැමුණු අවුරුදු අසූවක්‌ විතර මහලු එළාර රජු සමග ද්වන්ධ යුද්ධයට යැම වීර ක්‍රියාවක්‌ වෙන්නෙ කොහොම ද? එළාර රජු සිංහලයෙක්‌ බව මම මගේ පර්යේෂණ මගින් ඉතා පැහැදිලිවම ඔප්පු කර තියෙනවා. 
එළාර දෙමළ අයෙකැයි කියන මිත්‍යාව වපුරපු දා සිට බුදු සසුන බැබලවූ දෙමළ භික්‍ෂූන් ඉන් ඉවත් වුණා. සමගි සම්පන්නව සිටි ජාතීන් දෙකක්‌ විරසක වුණා. අපි ඒ නැතිකරල දාපු විනාශ කරල, දාපු විකෘති කරපු ඉතිහාසය සත්‍යයය සොයා යන්න ඕනෑ. 
මතු පරපුරට සත්‍ය ඉතිහාසය පහදා දෙන්න ඕනෑ.

ආචාර්ය මිරැන්ඩො ඔබේසේකර ©

,
Ajith Kumara - මුණුපොතට.
උපුටා ගැනීමක්.

A day in the life

2025-09-24

මමයි පරසිදු මනමෙ කුමරිය

අප්පච්චිගේ හොඳම සිසුවලු අනේ මන් දා
මට ඉතින්
කරන්නට වෙන කිසිත් නැතිවී 
මනමෙ කුමරුගෙ අත අරන්
අන්ත අසරණ යුවතියක ලෙස ආව මුත්
උගෙ පසුපසින්
බැලුවෙ නැහැ ඌ එක් වරක් වත් අනේ මා
දෙස ආදරෙන්

දන්නෙ නැහැ ඌ පෙම් කරන්නට 
උපන්නත් රජ පෙලපතින්
දෛවයට ඉඩදී මමත් ඔහෙ 
ගමන් ගත්තා වන මැදින්
පැන්න වැද්දෙක් කැලේ අතරින් 
කඩා බිඳගෙන මහ හඬින්
මගෙ හිතත් කලබල වෙන්න ඇති 
එක්වරම දුටු එදසුනින්

ගැහෙන අතැඟිලි අතර රැඳවුණු 
කඩුව ගිලිහෙන්නැති බියෙන්
මෝඩයා මේ කොපුව ගන්නැති 
කඩුව කියලා මගෙ අතින්
කඩුව දුන්නා නෙවෙයි මහතුනි 
උදුර ගත්තා ඌ මගෙන්
මමයි පරසිදු මනමෙ කුමරිය 
එදා සිට ඉතිහාසයෙන්

ඇහිඳ ගත් දෑ එකතු කරමින් 
තවත් රස මසවුළු දමන්
ඔන්න ඔහොමයි කතා හැදුණේ 
එදා සිට කුටු කුටු සරින්
නාඩගමකුත් ඇරඹුණා නොවැ 
එදායින් පසු මගෙ නමින්
බඩුව කියලා පටබැන්දෙ මට 
ඊට පස්සෙයි ගැලරියෙන්

මුගේ මලගම පවත්වන්නේ 
කෙලෙසකද මේ මහ වනේ
මගේ කියලා කාත් කවුරුත් නැතිව 
අද මා තනි වුනේ
උගේ පැල වෙත යමුද කියලා 
වැද්ද ඇහුවා පා සෙනේ
ඉතින් එය හැර කුමක් කරමිද
නිබඳ දොස් කිව් මහතුනේ

කාන්ති ඉපලවත්ත.

A day in the life

2025-09-23

ආතල් කතාවක්.




ෆියුස් අයියා.

අද කතාව දශක පහක් පමන පරණවු කථාවක් .
අදට ගලපගන්න මොනවත් තියෙනවද ? නැද්ද කියලා මට හිතා ගන්න බැහැ.
සමහර විට තියෙන්නත් පුළුවන් මේ දේශපාලන කන්කරච්චල් අහන කොට.
කතාවට එන්න ඉස්සෙල්ලා අතුරු කතාවකට එන්නම්.
මෙල්බර්න් වල ඉන්නවා මගේ සහෝදරයෙක්. එයා ජාතික වශයෙනුත් සහෝදරයෙක් නිසා දෝ දවසට මුණුපොතේ පෝස්ට් දෙක තුනක් පලකරනවා.
මේ නිසාම එයා මග හරින කරදරයක් ලෙස සලකන ඥාති මිත්‍රයින් ලංකාවේ ඉන්නවා.
එයාට ඒක තේරුම් ගන්න බැහැ. තේරුම් කරලා දෙන්නත් බැහැ.
ඒකත් කරුමයක් තමයි.

ඔන්න ෆියුස් අයියා.

ෆියුස් ලියන මහත්තයා කියලත් කියනවා. වෙළද සලක කළමනාකාර මහත්තෙක්.
හවසට පොඩි අඩියක් ගහන චරිතයක්.
පදමට ආපුවහම මතක් වෙන හැම විරුද්ධවාදියාම ප්‍රසිද්ධ වේදිකාවේ විවේචනය කරනවා.
ප්‍රසිද්ධ වේදිකාව කියුවේ එයාගේ වෙළදසැල ඉදිරිපිට පිල.
එතන ජනතාව අමතන්න හොද වේදිකාවක්.
දැන් කාලේ සතියෙන් සතියට අළුත් මාතෘකා එනවා වගේ එයාටත් එකක් එවර වෙන්න එකක් ජනතාව අමතන්න මාතෘකා උපදිනවා.
සමහර විට එයාගේ ගණුදෙණු කරුවෙක්, නැත්නම් අසල්වාසියෙක්, එහෙමත් නැත්නම් වෙනත් වෙළද සැලක අයිතිකාරයෙක්. තරාතිරමක් බලන්නේ නැතිව කවුරුන් හෝ මාතෘකා වෙනවා.
මේක හවස් යාමෙට කන්කරච්චලයක් !.
මෙයා කතෝලිකයෙක්.
මේ කියන කාලේ ගමේ පල්ලියේ ඝණ්ඨාර කුළුණ ප්‍රතිසංස්කරණය කරලා අළුත් ඝණ්ඨාරයක් සවිකලා.
කවුරුන්දො නොසන්ඩාලයෝ පිරිසක් මේ ඝණ්ඨාරයේ සවිකල අළුතම සොරකම් කරලා.
පියුස් ලොක්කට හොද කටගැස්මක්.
මනුස්සයා හවස් ජාමෙට පොඩ්ඩක් දාගෙන ජනතාව අමතන්න පටන් ගත්තා
පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් පටන් අරන් දවසින් දවස ගමේ ඉන්න එක එක්කෙනා අමතනවා . සිංහල අණ්ඩර දෙමළ හැම භාෂාවෙන්ම.
කාගේවත් ප්‍රතිචාර නැහැ.

මෙහෙම ගිහින් දවසක එක සවසක කඩ වීදියේ මුදලාලි කෙනෙක් මාතෘකා කරගෙන චෝදනා පත්‍රය දිග අරින්න පටන් ගත්තා.
ආලවට්ටම් දාලා.
මුදලාලි හතර රියන් පුරුෂයා. වැඩි කතා බහක් නෑ. 
කලබලයක් ඇත්තෙත් නැහැ.
හිමින් සැරේ ඇවිත් පියුස් ලොක්කගේ වේදිකාවට ගොඩවුනා.
කතාවක් නැහැ .අත ඉස්සුවා කණ හරහා.
ජනතාව අමතන හඩ එක පාරට නතර වුනා.
ෆියුස් ලොක්කා මිදුලේ බඩ ගානවා.
මුදලාලි ගානක් නැතිව ආපහු යන්න යනවා.
එදයින් පස්සේ ජනතාව අමතන වැඩේ අතහැරුනා. අපට හවසට ගන්න තිබුන “ ආතල් “ එකත් නැතිවුනා.

A day in the life


2025-09-21

අටංගෙඩිය


දන්නවද අටංගෙඩිය ගැන..
ඇත්තෙන්ම විවාහ මංගල්‍යයක් කියන්නෙම ආගමික,සංස්කෘතිකාංග වලින් පිරුණු මහෝත්සවයක්.අතීත ජන සමාජයේ ඉතිම් අද වාගේ මංගල යෝජනා තීරු තිබුණේ නැහැනේ.අදටත් විවාහයකදී අතරින් පතර මගුල් කපුවෙකුගේ මැදිහත් වීම සිද්ද වුනත්,බොහෝ විට සිද්ද වන්නේ තරුණයා හා තරුණිය එක්ව විවාහයට අවශ්‍ය සියල්ල සංවිධානය කරන එක.ඒත් අතීතයේ විවාහයක දී සාම්ප්‍රදායික අතරමැදියා වුණේ මඟුල් කපුවා. බොහෝ වෙලාවට එදා ජන සමාජයේ විවාහ කටයුත්තක් සිදුවුණේ දෙමාපිය කැමැත්ත මත ඔවුන්ගේ ආශිර්වාදය මැද. අද වාගේ දුටු ඇහැට විවාහවීම තිබුනේම නැති තරම්.
ඔන්න ඔය විදියට අතීතයේ විවාහ මංගල්‍යයක් ඉෂ්ට සිද්ධ කරන්නට මත්තෙන් ඉස්සෙල්ලාම කරන්නේ ගම ගෙදර බලන්න යන එක.
කපු මහත්තයාගේ හෝ සමීපතමයකු ගේ මාර්ගයෙන් යෝජනා ගෙනෙන මනාලිය බලන්න මනාලයා ඔහුගේ මාපියන් ,වැඩිහිටියන්,සමීපතමයන් කිහිපදෙනෙක් එක්කාසු කොට ගෙන මනමාලියගෙ ගේදොර බලන්න පිටත් වෙනවා.ඒ විදියට යන ගමනේ පෙනුම් පෙට්ටියක් රැගෙන යන්න නම් අමතක කරන්නේ නෑ.මොකක්ද එතකොට මේ පෙනුම පෙට්ටිය කියන්නේ
දන්නවද ⁣ඒක ඇතුළෙ තියෙන්නේ ඉඹුල් කිරිබත්...
ඉඔුල් කියන්නේ කොට්ට වලටනේ..නිදන කොට්ටෙට හෙම නොවෙයි හොඳද...අර ගස් වල හැදෙන කොට්ට ගෙඩි දන්නවා නේද..අන්න ඒ වගේ හැඩය නිසා තමයි මේවට ඉඹුල් කිරිබත් කියන්නේ.මම හිතනවා හදන විදිහත් ඔයාලා අනිවාර්යෙන්ම දන්නවා ඇති කියලා.මුලින්ම කිරිබතක් උයාගෙන පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට ඒ කිරිබත් ගුලියකට මැදට පොල් පැණි මැදි කරලා තල් කොළයක් අධාරයෙන් අර කීව කොට්ට ගෙඩියක හැඩයට හදාගන්නව.අද කාලෙනම් තල් කොළයක් වෙනුවට ඉටි කොලයක ආධාරයෙනුත් රවුම් කරල හදනවා මම දැකල තියෙනව .
ඔන්න ඉතින් ඔය කියාපු ඉඹුල් කිරිබත් පුරවාපු පෙට්ටියක් අරන් තමයි ගමගෙදර බලන්න මනමාලිගෙ ගෙට ගොඩ වෙන්නෙ.ගෙට ගොඩ වෙනවත් එක්කම මේ පෙන්නුම් පෙට්ටිය එහෙමත් නැත්තම් ඉඹුල් කිරිබත් පෙට්ටිය මනාලියගේ පියා ට තමයි බාර දෙන්නේ.
ඊට පස්සේ ඉතින් ගිය පිරිස ආගිය තොරතුරු හෙම දොඩලා,දවල් කෑමත් සප්පායම් වුනාට පස්සේ ඔන්න ඉතින් මනමාලිය ලස්සනට හැඩ වැඩ කරලා බුලත් හෙප්පුවක් හෙම අතට දීලා මනමාලයාගෙ ඉස්සරහට යවනවා.මනමාලිත් ඉතින් බුලත් හෙප්පුව මනමාලයාගේ අතට දීලා ආචාර සමාචාර කරන්න අමතක කරන්නෙත් නෑ.
ඔන්න ඔය විදිහට ගිය කරුණු කාරණා අහවර උනාට පස්සේ අර මුලින් ගෙනාපු පෙනුම් පෙට්ටිය ආපහු ඔවුන්ටම ලැබෙනවා.ඒක ඇතුලේ ඉතිම් මුලින් දෙනකොට තිබුනේ ඉඹුල් කිරිබත් පුරවලානේ.පෙට්ටිය හිස් වෙලා තිබුනොත් ඔන්න ඒකෙන් කියන්නේ මනමාලියගේ පාර්ශවය මේ මංගල යෝජනාවට කැමැති බවයි..
හැබැයි ඉතින් අර මුලින් තිබ්බ ඉඹුල් කිරිබත් ටික ආපහු දෙද්දීත් එහෙම්මම තිබ්බොත් ඒකෙන් කියන්නේ මනමාලිගෙ පාර්ශවය මීට අකමැති බව...
ඔන්න ඉතින් ඔය විදිහට මංගල යෝජනාවක් සඳහා මනාලයා විසින් මනාලියගේ ගෙදර යනකොට ගෙන යන පෙනුම් පෙට්ටිය එහෙමත් නැතිනම් ඉඹුල් කිරිබත් පෙට්ටියට තමා මේ අටංගෙඩිය කියලා කියන්නේ...

සඳමාලි කරුණාරත්න
උපුටා ගැනීමකි
අතීතාවර්ජනා...
ස්තූතියි කතු අයිතිය ට 
මුණු පොතට 

Priyantha Perera


A day in the life

2025-09-20

එස් ටී කාර්තිගේෂන් සිහිවටනය .


ඉතින් අද මම කියන්න යන්නේ රත්නපුරයට 1913 අවුරුද්දේ ආපු ගං වතුර ගැන විශේෂ සිදුවීම් ටිකක්. ඒ ගංවතුර මට්ටම රත්නපුර "වේස් අනුස්මරණ" ගොඩනැගිල්ලේ, එහෙමත් නැත්නම් කවුරුත් වගේ දන්න රත්නපුර මහජන පුස්තකාල ගොඩනැගිල්ලේ සලකුනක් සටහන් කරලා තියනවා.

මම ටවුන් එකේ ඇවිදින ගමන් නිකමට වගේ කල්පනා කරලා බැලුවා කොච්චර විතර වතුරක් රත්නපුරේ යටකරන්න ඇත්ද කියලා. මහපාරේ ඉඳල මේ සලකුණට අඩි අටක විතර උසක් තියෙනවා. ඒ උසත් එක්ක හිතලා බැලුවම මේ ගං වතුර කොච්චර බිහිසුණු එකක්ද කියලා හිතාගන්න පුළුවන්. මේ ගංවතුර ගැන ඒ කාලේ හිටපු ආර් එන් තේන් කියන රත්නපුරේ ඒජන්තවරයා තමන්ගේ දින සටහන් වල සටහන් කරලා තියෙනවා මෙන්න මෙහෙම.

එතුමාගේ සටහන් වලට අනුව මේ ගං වතුර ගලන්න වහින්න පටන්ගෙන තියෙන්න 1913 ඔක්තෝම්බර් 4 වෙනිදා. එතුමා කියනවා දිසාපති නිළනිවස පිටිපස්සේ තියෙන වෙල්යාය වතුරෙන් පිරිලා තියෙන්නේ, ඒ නිසා මේ වතුර ඇල දිගේ ගලාගෙන ගිහින් ගඟට එකතු උනාම ගං වතුරක් ඇතිවෙන්න පුළුවන් කියලා.

කොහොමහරි 5 වෙනිදා වෙනකොට ටිකක් වැස්ස පායලා තිබිලා තියෙන්නේ. ඒත් දිසාපති වලව්ව වටේ වතුරෙන් යටවෙලා තිබුන නිසා මේ අය වලව්වේ හිරවෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඒ කාලේ රත්නපුරේ දිස්ත්‍රික් ඉංජිනේරු වරයා වෙලා ඉඳලා තිබුණේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා. එතුමා දිසාපති තුමාගෙන් අහලා තියෙනවා වතුර ගලලද කියලා. ඒ වගේම එවෙලේ දිසාපති තුමා දැනගෙන තියෙනවා රත්නපුරේ පොලීසිය මහජන පොළ එහෙමත් වතුරෙන් යට වෙලා තමයි තිබුනේ කියලා.

මේ වෙලාවේ දිසාපති තුමා වතුරේ බැහැලා ඇවිත් තියෙනවා නගරය කොහොමද කියලා බලන්න. එතුමා සටහන් කරනවා එවෙලේ වතුර මට්ටම එතුමාගේ වැලමිටට වඩා ඉහලින් තිබුණා කියලා. පස්සේ මෙතුමා ගිහින් තියෙනවා රත්නපුරේ නගර මධ්‍යයේ තියෙන බලකොටුව පැත්තට. කොටුවෙන් ඒ වෙලාවේ ලොකු වතුර පාරක් එන නිසා එතුමා කොටු දොරකඩින් ඇතුල් වෙන්නේ නැතුව දිස්ත්‍රික් ඉංජිනේරු නිල නිවාස පැත්තට ගිහින්.

එවෙලේ තමයි එතුමා දැකලා තියෙන්නේ ඉංජිනේරු තුමාගේ නිළ නිවසේ වගේම කාර්යාලයේත් අවතැන් වෙච්ච අය ඉන්නවා කියලා. හවස් වෙනකොට දිසාපති තුමා ආයෙත් දිසාපති වලව්ව පැත්තට යන්න කල්පනා කරලා තියෙනවා බිරිඳයි දරුවනුයි වලව්වේ හිටපු නිසා. ඒත් පයින් යන්න බැරි තරමට වතුර වැඩිවෙලා නිසා එතුමා පොඩි බෝට්ටුවක් අරගෙන තමයි ගිහින් තියෙන්නේ වලව්වට.

ඔයාලා දන්නවද දන්නේ නෑ රත්නපුරේ පරණ ආයුර්වේද රෝහල තමයි ඉස්සෙල්ලාම රත්නපුරේ හදපු ඉංග්‍රීසි බෙහෙත් ශාලාව කියලා. ඉතින් මේ වෙලාවේ දිසාපති තුමාට දැනගන්න ලැබිලා තියෙනවා රෝහලත් යට වෙලා කියලා. පස්සේ දිසාපති තුමා බෝට්ටුවකින් ගිහින් බලනකොට තමයි දැකලා තියෙන්නේ රෝහලේ ඉන්න සීයක් විතර ලෙඩ්ඩු අනාත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නවා කියලා.

හයවෙනිදා වෙනකොට පිරිමි රෝගීන් එතකොට තිබුණ පරණ හිරගෙදරටත් යවලා තියෙනවා වතුර වැඩි නිසා. පරණ හිරගෙදර මොකක්ද කියලා දැන් අහන්න පුළුවන්. ඒ තමයි දැනට රත්නපුර ගොවිජන සේවා කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල. මේවායේ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ තරමක් දුරට තාමත් රැකිලා තියෙන නිසා ඒවායේ පෞරානික බව දැකගන්න පුළුවන්.

ඉතින් කල දුටුකල වල ඉහගන්න ඕන නිසා බෝට්ටු කාරයෝ මේ වෙලාවේ තමන්ගේ අය කිරීම් වැඩි කරා වැඩිපුර මුදල් උපයාගන්න. ඒ නිසා මේ බෝට්ටු සේවාව තහනම් කරමු කියලා යෝජනාවක් ආවත් දිසාපති තුමා ඒකට කැමතිවෙලා නැහැ. මොකද පුළුවන් අය හරි ඒකෙන් බේරෙයි කියලා හිතපු නිසා. මෙයාලා පුළුවන් පුළුවන් හැටියට බෝට්ටු යොදාගෙන මිනිස්සු එහා මෙහා කරලා තියෙනවා. හය වෙනිදා හවස් වෙනකොට වතුර සම්පූර්නෙන්ම වගේ අඩුවෙලා ගිහින්.

ඉතින් දිසාපති තුමා සටහන් කරලා තියෙනවා ගම් වල මිනිස්සු කඩවල් වලින් කන්න බොන්න දේවල් මිලදී ගන්න නගරයට එනකොට කඩවල් ඔක්කොම වගේ වහලා තිබුණේ කියලා. ඒ නිසාම මිනිස්සු කඩවල් කඩලා මංකොල්ල කන්න පටන්ගත්තලු. ඒ නිසාම දිසාපති තුමා කරලා තියෙන්නේ කඩවල් වල ආරක්ෂාවට පොලීසියෙන් යොදවපු එක.

ගං වතුර ගැන කියන්න තියෙන්නේ ඔච්චරයි. දැන් එමු අපේ කාර්තිගේෂන් ස්මාරකය ගැන කතාවට. මම කලින් කිව්වා මතක ඇති ඔයාලට මේ කාලේ රත්නපුරේ ප්‍රධාන ඉංජිනේරු වරයා වෙලා හිටියේ එස් ටී කාර්තිගේෂන් කියන මහත්මයා කියලා.

ඉතින් මේ ගං වතුර වෙලාවේ මෙතුමා ගොඩක් මහන්සිවෙලා මිනිස්සුන්ගේ සුභ සාධන කටයුතු වලට දායක වෙලා තියෙනවා. ඒත් එතුමා කරපු පවකට වෙන්න ඇති එතුමාට ඒ ගං වතුරෙන්ම තමන්ගේ ජීවිතයට සමු දෙන්නත් සිද්ද වෙලා තියෙන්නේ.

රත්නපුරේ ඔසුසල දැනට පිහිටලා තියෙන්නේ මධ්‍යම බස්නැවතුම්පල කිට්ටුවමයි. මේ ස්ථානයේ පාරේ එහා පැත්තේ පහලින් තියෙනවා වගුරක්. මේකට කියන්න "නාගහමුත්තෙට්ටුව වගුර" කියලා. එක පැත්තකින් මේ වගුර මායිම් වෙන්නේ රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ඇහැලේපොළ වලව්වෙන්. ආ මට තව දෙයක් කියන්න අමතක උනා. ඒ ඇහැලේපොළ වලව්ව තමයි මේ දිසාපති වලව්ව කියලා කිව්වෙත්. මොකද ඇහැලේපොළ නිළමේ හිරභාරයට ගත්තට පස්සේ මේ වලව්ව ඉංග්‍රීසි දිසාපති නිල නිවාස බවට පත් උනා. දැන් තමයි කෞතුකාගාරය විදියට භාවිතයට ගන්නේ.

ඉතින් ගං වතුර තියෙන වෙලාවේ කාන්තාවන් කීප දෙනෙක් මේ නගහමුත්තෙට්ටුව කියන වගුරේ ගහගෙන යනවා දැකලා තියෙනවා මේ කාර්තිගේෂන් කියන ඉන්ජිනේරුතුමා. එතුමා වතුරට බැහැලා පීනලා ගිහින් මේ අයව බේරගන්න උත්සාහ කරන්න. ඒත් අවාසනාවන්ත විදියට එතුමාටත් ඒ වතුර පාරේම අවසන් ගමන් යන්න සිද්දවෙලා.

පස්සේ රත්නපුරේ පරිපාලන නිලධාරින් සහ ඉංජිනේරු නිලධාරීන් එකතුවෙලා එතුමා වෙනුවෙන් රත්නපුර කෞතුකාගාරය පිහිටලා තියෙන ස්ථානය අසල පාර අයිනේ මෙන්න මේ ස්මාරකය ඉදි කරවලා තියෙනවා. පාර පළල් කරනකොට මේක පේමන්ට් එකට අහුවෙලා අදටත් යහතින් තියෙනවා. වෙලාවකට මල කරදරයක් මේ ස්මාරකය. මොකද පේමන්ට් එක මැදනේ තියෙන්නේ. ඒත් කාර්තිගේෂන් මහත්තයා රත්නපුරේ ජාති ආගම් බේදයක් නැතිව උදවු උපකාර කරපු කෙනෙක්. ඒ නිසා අපි එතනින් යන එන වෙලාවට එතුමාව මතක් කරගෙන යන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා දෙයක්.

මේ කුලුන කළුගල් කුට්ටි තියලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. උස මීටර් දෙකක් විතර වෙනවා. පාදම මීටරයක් විතර දිග පළල සමචතුරශ්‍රාකාර හැඩයක් ගන්නවා. ඒත් කුලුනේ උඩට එන්න එන්න දිග පළල ටිකක් අඩුවෙන්න තමයි හදලා තියෙන්නේ. කුලුනේ ඉහල කොටසේ එක පැත්තක සටහනක් කරලා තියෙනවා. ඔයාලත් කවදාහරි මේ කුලුන ගාවින් යනකොට මේක කියවලා බලන්න...





Article courtesy of Darshana Prabhath Dharmawardhana
Photo courtesy of Shades of Ratnapura team.
A day in the life
face book -

Isuru Maduranga