නංගිට බබා ලැබුනෙන් ප්රිය බිරිඳ මගේ
සති දෙකකට ගියා සහයට ළඟට ඇගේ
පාළුව කාන්සිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදාගෙන බොන්නට උනා වගේ..
කළ විට සීනි බඳුනේ මූඩිය විවර
කොළයක් දුටිමි මතකයි අයගේ අත් අකුර
"මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර"
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර...
ඇර තේ පෝච්චිය බැලු විට තිබුණි ලියා
"පාළුවේ වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ෆිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නිසා
අලවා තිබුනෙ මුදු ආදර වදන් එයා....
හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටිවිට ඇගේ ගුණ අයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි...
දින පහ ගෙවී වැඩ නැති අවසන ශනිදා
දහවල් දවස ගතකර ඇඳ උඩම නිදා
මිතුරන් දෙදෙනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය සිතින් බදා...
උරුවම් බබා ඇර අල්මාරිය පියන
ඇඳුමක් සොයාගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතරේ තෝ මූසල ගල් බමුණ
බොන්ඩ ද යන්නේ" කොළයක අමුණා තිබිණ...
--පරාක්රම කොඩිතුවක්කු
A day in the life
A day in the life











